2021 ජනවාරි 30 වන සෙනසුරාදා

විකුණපුවා නැවත ගන්න ආපු අය දැන් විකිණිල්ල පටන් අරන්

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

 

  • විපක්ෂයට අයිති තනතුරුවත් ආණ්ඩුව දෙන්නෙ නැහැ
  • හැම ප්‍රශ්නයම ලෝකෙට කියන්න තරම් අපි බංකොලොත් නැහැ
  • නැගෙනහිර ජැටියට අපේ ආණ්ඩුව ගිවිසුම් ගැහුව කියන කතාව බොරු
  • මෙයාල රෑ දනියෙල් දවල් මිගෙල් වැඩ කරල රට මුලා කරනවා
  • මේක මායාකාර ආණ්ඩුවක්
  • අපේ පක්ෂයට බය මිනිස්සු චම්පික වෙනම යනවය කියනවා
  • අනාගතේ යූ.ඇන්.පියත් අපිත් එක්ක ඒවි

 

 

 

 

 

අලුත් පක්ෂය පිහිටුවලා දැන් ඔබලා විපක්ෂය නියෝජනය කරනවා. ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් විපක්ෂයේ කාර්යභාරය සම්බන්ධව බොහෝදෙනාගේ බලාපොරොත්තු තියෙනවා. ඔබ හිතනවද විපක්ෂයේ කාර්යභාරය හරිහැටි ඉෂ්ට වෙනවා කියලා?

අපි අලුත් පක්ෂයක්. පිහිටුවලා අවුරුද්දක්. අපි පක්ෂය පිහිටුවලා ඉතාම කෙටි කාලයක් තුළ තමා කොරෝනා ප්‍රශ්නය ආවේ. අපි පාර්ලිමේන්තු මැතිවරණයට ගියේ කොරෝනා සිද්ධියත් එක්ක. ඒ වගේ ප්‍රශ්න ගොඩක් මැද වුණත් අපිට පුළුවන් වුණා මන්ත්‍රීවරු 54 දෙනෙක් පාර්ලිමේන්තුවට ගේන්න. එතකොට ජනතාවට අපි ගැන විශ්වාසයක් තියෙන නිසා තමයි ආණ්ඩුවට පස්සේ අපිව විපක්ෂය බවට පත් කළේ. අපි අපේ කාර්යභාරය හරිහැටි ඉෂ්ටකරන බව දන්නා නිසයි ජනතාව අපිව පත් කළේ.

මම අහන්නේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය ගැන ජනතාවගේ ප්‍රසාදය කොහොමද?

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යය ගැන ජනතාවට විශ්වාසයක් තිබෙනවා. අපිට මිනිස්සු කියන දේවල්, ලියල එවන දේවල් එක්ක බලද්දී ඒක පේනවා. දැන් අපි ජනතාව අතරට යමින් ඉන්නේ. දිස්ත්‍රික්ක 08ක දිස්ත්‍රික් කමිටු පිහිටුවල තියෙන්නේ. ඒ වගේම හැම ග්‍රාමසේවා වසමකටම අපි යනවා. අපි හැම ප්‍රදේශයකටම ගිහිල්ලා අපේ ජාලය පුළුල් කරගෙන යාම තමයි අපි දැන් කරන්නේ.

ආණ්ඩුවේ දැන් 2/3ක බහුතරයක් ඉන්නවා. විපක්ෂයේ ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයයි. ඒ 2/3 බහුතරය එක්ක කොහොමද විපක්ෂය කටයුතු කරන්නේ?

ඉතාම අමාරුයි. මං උදාහරණයක් දෙන්නම්කො. ඔය සීනි බද්ද රු.50 ඉඳලා ශත 25ට අඩු කිරීම සම්බන්ධයෙන් අපි දැඩි සටනක ඉන්නේ. අපි විවාදයක් කරලා අවසානයේ අපි ඡන්දයක් ඉල්ලුවා. නමුත් කතානායක දුන්නෙ නැහැ. ඒකට හේතුව අපි තත්පර 10ක් ඇතුළත ඡන්දය ඉල්ලුවේ නැහැයි කියලයි කියන්නේ. ඒත් විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහත්මයා ඉල්ලුවා. හැබැයි කතානායක ඒ දිහා බැලුවේ නැහැ. ඒකට හේතුව කතානායක හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ ආණ්ඩුව දිහා.

ඒත් කථානායකතුමාට තිබුණා ඡන්දයකට යමු කියන්න. ඔහු ඒක දුන්නේ නෑ. මෑත ඉතිහාසයේ පළමුවෙනි වතාවට තමයි කථානායක කෙනෙක් ඡන්දයක් ඉල්ලලා නොදුන්නේ. එතකොට බලන්න විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිවුණා. ඒ එකක්. තව එකක් තියෙනවා. රාජ්‍ය මුදල් කමිටුව. ඒ කමිටුවේ සභාපති විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විය යුතුයි කියලා ස්ථාවර නියෝගවල තියෙනවා. ඒකට යෝජනා කළේ විපක්ෂයේ අය හර්ෂ ද සිල්වා කියන මන්ත්‍රීවරයා. ආණ්ඩුව මොකද කළේ තුනෙන් දෙකේ බහුතරය දාලා ඒක නවත්තලා ඒ අයගේ කෙනෙක් දාගත්තා. ඔහොම තමයි ඒ අය තුනෙන් දෙකේ බහුතර බලය පාවිච්චි කරන විදිහ.

ආණ්ඩුව චෝදනා කරනවා විපක්ෂයේ හැම ප්‍රශ්නයක්ම විසඳාගන්න ජාත්‍යන්තරයටයි යන්නේ කියලා. ඇත්තද? විපක්ෂය එහෙමද?

අපිට කිසිම ඕනෑකමක් නෑ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනියන්න. එහෙම බංකොළොත් පක්ෂයක් නෙමෙයි. අපේ ප්‍රශ්න අපි විසඳගන්නේ මේ රට ඇතුළේ. කවද්ද අපි ජාත්‍යන්තරයට ගියේ. අපි කියන්නේ ආණ්ඩුවට. විපක්ෂයේ අයිතින් දෙන්න කියලා. අපි රට වෙනුවෙන් සටන්කරන විපක්ෂයක්. අපිට චෝදනා කරන ආණ්ඩුවේ අගමැතිතුමත් ජාත්‍යන්තරයට ගියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒ නිසා මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජාත්‍යන්තරයට යන්න පුළුවන් වුණොත් ජාත්‍යන්තරයට වුණත් යනවා. ජිනීවා ඉස්සෙල්ලාම ගියේ මහින්ද රාජපක්ෂ කියන එක අමතක කරන්න එපා.

මේ චෝදනාව එන්න එක්සත් ජාතින්ගේ කොමසාරිස්වරිය කියලා තියෙනවා අපේ රටේ මානව හිමිකම් කඩවීමේ චෝදනා තියෙන අයට සම්බාධක දාන්න කියලා. කෙහෙළිය ඇමතිවරයා කිව්වේ මේ දේවල් මෙහෙම වුණේ ඉස්සෙල්ලා ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් රට පාවා දුන්න නිසා කියලා?

2009 යුද්ධය ඉවරවුණ ගමන් මහින්ද රාජපක්ෂ මහත්තයත් එවකට  එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කී මූන් මහත්තයත් ඒකාබද්ධ ප්‍රකාශයක් දැම්මා මානව හිමිකම් කඩවීම් ගැන හොයලා බලනවා කියලා. ඒකට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී යෝජනාවක් සම්මත කරගත්තා. ඒ පොරොන්දු ඉටු වුණේ නැති නිසා 2011දී රටට විරුද්ධව කොමිසමේදී යෝජනාවක් සම්මත කරගන්නවා. ඒ අනුව 2012, 2013, 2014 වශයෙන් හැම වසරකම යෝජනා සම්මත කරගන්නවා. ඊට පස්සෙ 2015 දී මේ අය ඡන්දයේදී කියනවා විදුලි පුටුවට අරන් යනවා කියලා. පස්සේ 2015 වාර්තාව ආවා. හැබැයි වාර්තාව ගන්න දෙයක් නෑ චෝදනා. නමුත් අපි කොමිසමත් එක්ක තීන්දුවකට ආවා කාරණා හතරක් එක්ක මේක ඉදිරියට අරගෙන යනවා කියලා සංහිඳියාව වෙනුවෙන්. අතුරුදන් වූවන් සොයන්න කමිටුවක් දැම්මා. වන්දි ගෙවන්න පටන් ගත්තා. අතුරුදන් වුවන්ට සහතිකයක් දුන්නා. ඒ වගේම නැවත මේ වගේ දේවල් ඇති නොවෙන්න කටයුතු කරන එක. මේ සියල්ල කළා. හැබැයි ආණ්ඩුව ආපුගමන් මේ සියල්ල නතර කළා. ඒවත් එක්ක තමයි මේ චෝදනා අද එන්නේ.

ඒ කියන්නේ මේක ආණ්ඩුවේ වරදක්ද?

ඔව්. මේක මේ අපිට දාන්න එපා. අපේ කිසිම සම්බන්ධයක් නෑ. අපි ජිනීවා ගිහිල්ලත් නෑ. ඔය දේවල් කියලත් නෑ.

ඒ වගේම එන චෝදනාවක් තමයි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න ගිවිසුම් ගැහුවේ ඔබලා කියලා?

ඔහොම කියන ආණ්ඩුව ජපානය එක්ක ගිවිසුම් ගහලා තිබුණ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්තුව. මේ ගිවිසුම් ගහලා තියෙද්දී බිලියන ගණනක් ජපානයට පාඩුව ගෙවන්න වෙලා. හැබැයි ඔය නැගෙනහිර ජැටිය පවරන්න අපි ගිවිසුම් ගහලා නෑ. ඒකේ තියෙන්නේ අවබෝධතා ගිවිසුමක් විතරයි. ඒක ඕන වෙලාවක නතර කරන්න පුළුවන්. ඒකෙ කිසිම කොටස් හෝ මුදල් ගනුදෙනුවක් නෑ. හොඳම උදාහරණය වරාය නගරය. ඒකේ ගිවිසුමක් තිබ්බා ඉඩම් පවරන්න. අක්කර 50ක් සින්නක්කරේට. ඒත් අපි ඒක නැවත පවර ගත්තා. අපි ඒක දුන්න ඡන්ද පොරොන්දුවක්. අපි ඒක කළා.

මට කියන්න ඔබලා මේ නැගෙනහිර ජැටිය ලබාදීමට පක්ෂයක් හැටියට එකඟද නැද්ද?

ඇයි අපෙන් අහන්නේ. අපි නෙමෙයි ආණ්ඩුව තමයි 69 ලක්ෂයකට පොරොන්දු වුණේ විකුණපු ඒවා නැවත ගන්නවා කියලා. කාටවත් ආයෝජනය කරන්න එපා කිව්වා. එයාලගේ ආණ්ඩුවක් ආපුවම ගන්නවා කියලා. මේ ආණ්ඩුව දිව දෙකේ ආණ්ඩුවක්. රූ දැනියෙල් දවල් මිගෙල් වැඩ තියෙන්නේ. හිතන්න මිනිස්සුන්ට කරපු මුළාව සුළුපටු නෑ.

ඩොලරය එකපාර ඉහළ ගියා. කොටස් වෙළඳපොළ ලෝකයේ පළවෙනි තැනට ආවා. මේ දේවල් කොහොමද ඔබ දකින්නේ ආර්ථික විශේෂඥයෙක් හැටියට?

දැන් බලන්න මෙයාලා ආනයනය සීමා කළා. ඒ අතරතුරේදී පවා ඩොලරය පාලනයෙන් ගිලිහිලා. ඊටපස්සේ බදාදා 202 තිබ්බ ඩොලර් එක 195 ට ගෙනාවා. ඒ කළේ බැංකු හරහා ඩොලරය භාවිතය අත් හැරලා. ඒක මේ අය කරන කෙටිකාලීන වැඩක්.

මම අහන්නේ මොකක්ද මෙහෙම වෙන්න හේතුව?

හේතුව තමයි මෙයාලා විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගැහුවා. දැන් බලන්න ආනයන බදුවල එකතුව බිලියන 100යි. හැබැයි මෙයාලා අච්චු ගහලා තියෙනවා බිලියන 750ක් විතර. මේකට මම කියන්නේ මායාකාර ගහ කියලා. මොකද සල්ලි අච්චු ගහලා, රස්සාවල් දීලා, සංවර්ධන කරලා හැමදේම කරන මායාකාර ආණ්ඩුවක්. මේකේ බරපතලකම තේරෙන්නේ නෑ මේ අයට. මේ අය මාර්කට් එකට මුදල් දාලා එහේ මෙහේ කරලා පුළුවන් වෙයි මේ දවස්ටික අරගෙන යන්න.

මේකේ අවසානයේ ජනතාවට වෙන බලපෑම මොකක්ද?

මොනවත් නෙමෙයි විශාල වශයෙන් ජීවන වියදම ඉහළ යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යනවා. එහෙමයි ජනතාවට ප්‍රශ්නය එන්නේ.

හැබැයි ආණ්ඩුව ආනයන සීමාකරලා කරන්න යන්නේ දේශීය ගොවියා සහ ව්‍යවසායකයා ඉහළට ගේන්න කියලා කියන්නේ?

අනේ මට එහෙම දියුණුවුණ රටක් කියන්නකෝ.

වියට්නාමය, කියුබාව වගේ රටවල් එහෙමයි කියලා ආණ්ඩුව කියන්නේ?

වියට්නාමය කියන්නේ ලෝකයේ තියෙන විවෘතම රට. වෙළඳ ගිවිසුම් 40කට වඩා තියෙනවා. වියට්නාමයේ සේවා ආර්ථිකය විවෘත කරලා තියෙන්නේ. ඒ වගේම කියුබාව කියන්නේ ආර්ථික සම්බාධක ඇති රටක්. ඒ නිසා මේ දෙක බලාගෙන ඒ වගේ වැඩකරලා උඩට එන්න අමාරුයි.

2021දී ලංකාවේ ආර්ථිකය මොන වගේ වෙයිද? 

අමතක කරන්න එපා අපි මේ රේස් එකක ඉන්නේ. වැටුණා කියලා, ආබාධ ආවා කියලා රේස් එකෙන් අයින් වෙන්න බෑ. දුවන්නම ඕන අමාරුවෙන් හරි. අපිට තියෙන්නේ වටිනා රටක්. අපි අනික් අය වගේ දේවල් කරලා හරියන්නේ නෑ. අපි කරන්න ඕන අපිට හරියන ක්‍රමයක්. අපිට තියෙන ස්වභාවික පිහිටීමෙන් ප්‍රයෝජන ගන්න ඕන. මේක හොඳට සිංදු කියන්න පුළුවන් කෙනෙක්ට කාගේ හරි බලපෑමකට නීතීඥයෙක් වෙන්න කියනවා වගේ වැඩක්. ඒක මහා මෝඩ වැඩක්.

ඔබේ පක්ෂයට සම්බන්ධ වෙන්න ආපු චම්පික දැන් 43 කණ්ඩායමක් හදන් වෙනම ගමනක. ඔහු අනාගත ජනාධිපති අපේක්ෂකයෙක් කියනවා. මොකක් හරි ප්‍රශ්නයක්ද ඇතුළේ?

ඔය චම්පික වෙනම යනවා කියන්නේ අපේ පක්ෂයට බය මිනිස්සු. ඒ අයට ඕන මේක ඇතුළේ ප්‍රශ්නයක් හදන්න. චම්පිකගේ වැඩේ හොඳයි. අපි ඔක්කොම 43 නිදහස් අධ්‍යාපනයේ දරුවෝ. දැන් ඒ නිසා එක එක පක්ෂවල එක එක දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒ අය ඒ ගමන් යනවා. හැබැයි අවසානයේදී එකතැනකට එනවා. මේත් ඒ වගේ. චම්පික රටේ උගත් බුද්ධිමත් වෘත්තීයවේදීන් වෙනුවෙන් වේදිකාවක් හදලා තියෙන්නේ. ඒක වරදක් නෙමෙයිනේ. අපි හැමෝගෙම අරමුණ එකක්.

ඒ කියන්නේ වෙලාවට කට්‍ටිය එකතු වෙනවා?

ඔව්. ඒක එහෙම වෙන්න එපැයි. මොකද අපේ අරමුණ එකක්.

එජාපය එක්ක ඇයි එකතු නොවෙන්නේ?

මතක තියාගන්න එජාපයේ ඉන්නේ අපේ සහෝදරවරු. අපිට ඕනවුණේ සමගි ජනබලවේගයට කට්ටිය එකතු කරගන්න. ඒක බැරිවුණා. ඒ නිසා තමයි අපි වෙන වෙනම ගියේ. හැබැයි නුදුරු අනාගතයේදී හැමෝම මේකට එකතු වෙනවා. ඒ ගැන බයවෙන්න දෙයක් නෑ.

 ගයාන් ගාල්ලගේ