කොරෝනා වෛරසය සාර්ථකව මැඩපැවැත්වූ ලොවේ හොඳම රටවල් 10 අතර ශ්‍රී ලංකාව ද රැඳී සිටියි. මේ බව හෙළි කරන්නේ ඔස්ට්‍රේලියාවේ බුද්ධි මණ්ඩලයකින් යුත් ආයතනයක් වන Lowy ආයතනය මගින් සිදුකර ඇති සමීක්ෂණයකි. නවසීලන්තය, වියට්නාමය සහ තායිවානය එම ලැයිස්තුවේ ඉහළින්ම රැඳී සිටින අතර බ්‍රිතාන්‍යය (66) සහ අමෙරිකාව (94) රැඳී සිටින්නේ ලැයිස්තුවේ පහළ අගයට ආසන්නවය. ඉන්දියාව 86 ස්ථානයේ පසුවෙයි.
මුල් රටවල් තුනෙන් පසුව තායිලන්තය, ලැට්වියා සහ ශ්‍රී ලංකාව රැඳී සිටී. ජනගහණයට අනුපාතිකව ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අඩුවීම අනුව මේ සටහන සකස් කර තිබේ. සියවැනි ආසාදිතයා වාර්තා වූ දිනයෙන් පසුව ගෙවී ගිය සති 36ක කාලසීමාව මේ සමීක්ෂණයට අදාළ කරගෙන තිබේ. පසුගිය ජනවාරි 09 වැනිදා දක්වා ප්‍රකාශිත දත්ත මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.
මේ සමීක්ෂණයේ වාර්තාව එළිදක්වන අවස්ථාව වන විට ලොව පුරා කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා තිබූ අතර මරණ සංඛ්‍යාව මිලියන 02ක් ඉක්මවා ගොස් තිබිණි. ආසියා - පැසිෆික් රටවල් කොවිඩ් වසංගතය හැසිරවීමේ සාර්ථකත්වයෙන් ඉදිරියෙන්ම සිටින බවද යුරෝපය සහ අමෙරිකාව වෛරසයේ වේගවත් ව්‍යාප්තියෙන් දැඩි ලෙස බැටකන බවද එහි සඳහන්ය. අඩු ජනගහණයකින් යුත් සංවෘත සමාජයක් ඇති සහ ශක්තිමත් ආයතන ව්‍යුහයක් ඇති රටවල්වලට ගෝලීය වසංගතයක් පාලනයේදී වාසිදායක තත්ත්වයක් තිබෙන බවද වාර්තාව කියයි.
චීනය මේ සමීක්ෂණයෙන් ඉවත් කර ඇති අතර එ රටේ ප්‍රකාශිත දත්ත ප්‍රමාණවත් නොවීම ඊට හේතුව වශයෙන් දක්වා තිබේ. කිසිදු රටක ආර්ථික සංවර්ධනය හෝ දේශපාලන ක්රමයේ වෙනස්කම් සමීක්ෂණ ප්‍රතිඵලවලට කිසිදු බලපෑමක් කර නැතැයි ද එහි සඳහන්ය.
රොයිටර්ස්
තානාපති පත්වීම් ප්රහේළිකාව
මේ දිනවල හොඳින් ක්‍රියාකාරීව කටයුතු කරන කැබිනට් ඇමැති දියණියකට ඉතා අගනා තනතුරක් හිමිව තිබේ. නිව්යෝක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ තනතුරකට ඇය පත් කරනු ලැබ සිටී. ඇය දැනට නිරතව සිටින කාර්යභාරයට අනුව නව තනතුර හොඳ “හුවමාරුවක්” බවද සඳහන්ය.
මේ අතර කොළඹින් ලොවේ ඇතැම් වැදගත් රටවලට පත්වීම් ලබා යන ඇතැම් තානාපතිවරුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ගැටලු පැන නැගී තිබේ. මේ ඇතැම් අය තමන්ගේ රටට වඩා තානාපති ධූරය දරණ සත්කාරක රටටත් තමන්ටත් වැඩ කර ගන්නා පිරිසක් බවට පත්ව සිටින බවද කියති. දේශපාලන පත්වීම් ලබා යන මෙවැනි ඇතැම් පුද්ගලයන්ගේ වැඩ ලජ්ජාවට පවා හේතුවන අවස්ථා තිබේ. යුද්ධයෙන් බැටකන රටකට යැවුණු මෙවැනි එක් තානාපතිවරයෙක් තමන් සිටි හෝටල් කාමරය තුළ තමන්ගේ කෑම බීම උයාගෙන ඇත්තේ මුදල් ඉතිරි කර ගැනීමටය. වරක් අමුමිරිස් අවසන් වීම හේතුවෙන් හෝටලයේ මුළුතැන්ගෙට ගිය මේ නිලධාරියා අමුමිරිස් ටිකක් ඉල්ලා බැගෑපත් වී ඇති බවද වාර්තා විය.
පසුගිය දිනවල කැනඩාව සහ සෞදි අරාබිය සඳහා ශ්‍රී ලංකාවෙන් නම් කරනු ලැබූ තානාපතිවරුන් දෙදෙනාට අක්තපත්‍ර ලබාදීම සඳහා එම දෙරටින්ම තවම අවස්ථාවක් ලබා දී නැත. මෙවැනි ප්‍රමාද කිරීම් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සැලකෙන්නේ සත්කාරක රට ශ්‍රී ලංකාවෙන් නම් කරන ලද තානාපතිවරුන් පිළිගැනීමට දක්වන අකැමැත්තය. එවැනි අකැමැත්තක් දැක්වීමට හේතු පැහැදිලි කිරීමක් සත්කාරක රටක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු නොවිය යුතුය.
කැනඩාව සඳහා ශ්‍රී ලංකාවෙන් නම් කරනු ලැබ සිටින්නේ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතාය. ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා වන සුමංගල ඩයස් මහතා විශ්‍රාම ගියේ නොවැම්බර් 02 වැනිදාය. පසුගිය නොවැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුව ඔහුගේ පත්වීමට අනුමැතිය ලබා දී තිබේ. ඔහුගේ නම කැනඩාවේ මහ කොමසාරිස් වශයෙන් නම් කරද්දී විදේශ කටයුතු අමාත්‍යාංශයට එක් යථාර්ථයක් මගහැරී ගොස් තිබේ. ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාවේ කැනඩාව ප්රමුඛ සාමාජිකයකු බවය. එරට සඳහා ඔහු නම් කරනු ලැබීම මේ රටේ හෝ හිටපු ගුවන් හමුදාපතිවරයාගේ හෝ යහපතට හේතු නොවන බව තේරැම් ගත යුතුව තිබිණි. කැනඩාවේ අගනගරවල දෙමළ ඩයස්පෝරාව ප්‍රබල ලෙස ක්‍රියාකාරීව සිටින බවද සියලු දෙනා දැන සිටිති.
1993 සිට 2001 දෙසැම්බර් 05 දක්වා මෙරට ආරක්ෂක ලේකම් වශයෙන් සිටි කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වූ හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු ද වූ චන්ද්‍රානන්ද සිල්වා මහතා ද මේ අත්දැකීමට මුහුණ දුන්නේය. ඔහු කැනඩාවේ මහ කොමසාරිස් වශයෙන් පත් කරනු ලැබුවද ඔහුගේ පත්වීම කැනඩාව නිහඬවම නොසලකා හැරියේය. එය චන්ද්‍රානන්ද සිල්වා මහතාගේ වරදක් නිසා සිදුවූවක් නොවුවද එම සිද්ධිය ඔහු අසීරුතාවට පත් කළේය. මේ අතර සුමංගල ඩයස් මහතා වෙනත් රටක තානාපතිවරයකු වශයෙන් පත් කරනු ලැබීමට අපේක්ෂිතය.
සන්ඩේ ටයිම්ස්