2021 ජනවාරි 30 වන සෙනසුරාදා

තුන් බිය

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

කොවිඩ් වසංගතය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් එල්ලවෙන චෝදනා සහ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අර්බුදය මේ දිනවල රජයට වද දෙන තුන් බිය බවට පත්ව තිබේ. ඒ අතුරින් කොවිඩ් වසංගතය දිගටම ව්‍යාප්ත වීම රජයට මහත් අසහනයක් ගෙන දෙමින් තිබුණත් ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු එන්නත් තොගය පසුගිය බ්‍රහස්පතින්දා කටුනායක ගුවන් තොටුපොළට ළඟාවීම රජයට යම් තරමක සැනසිල්ලක් ලබා දී තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගුවන් තොටුපොළට ගොස් ඉන්දීය තානාපතිවරයා අතින් එම එන්නත් පරිත්‍යාගය බාර ගත්තේය. එය ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අන්‍යොන්‍ය සුහදතාව පළකෙරුණු අවස්ථාවක් ද විය.

එසේ වුවද රජයට ඊළඟ සති කිහිපය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉතා වැදගත් වන සහ බරපතළ තීන්දු ගැනීමට සිදුවන කාලසීමාවක් බව පැහැදිලිය. එ.ජා. ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර නිකුත් කර තිබෙන වාර්තාවෙන් බරපතළ චෝදනා එල්ල කිරීමත් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් ගනු ලබන තද තීන්දු ගණනාවක් පිළිබඳව අනතුරු අඟවා තිබීමත් ගණන් නොගෙන සිටීමට රජයට හැකියාවක් නැත. ඒ ගැන කළ විමසුම්වලට රජයෙන් ප්‍රකාශ වී ඇත්තේ මෙරට ඇතැම් දේශපාලන පක්ෂ, සංවිධාන සහ පුද්ගලයන් විසින් සපයන ලද අසම්පූර්ණ වාර්තා සහ දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් හේතුවෙන් මෙවැනි රටට අහිතකර වාර්තාවක් නිකුත් වී ඇති බවය. එම වාර්තාවට පිළිතුරක් සපයන බව ප්‍රකාශ වී තිබුණත් පසුගිය සිකුරාදා (29) වන විටත් එවැනි පිළිතුරක් ගැන දැනගන්නට ලැබුණේ නැත. පිළිතුරු ලබාදිය යුතු දිනය වශයෙන් සඳහන් වී තිබුණේ පසුගිය 27 වැනිදාය.

එ.ජා. ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැච්ලේගේ වාර්තාව ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අතර එයට රජය ලබාදෙන පිළිතුර අනුව මානව හිමිකම් සැසියට ඉදිරිපත් කෙරෙන අවසන් වාර්තාව සකස් වනු ඇත. කෙසේ වුවද මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් තහවුරු කළ හැකි සාක්ෂි තිබෙන පුද්ගලයන් සතු දේපළ තහනම් කිරීම සහ ඔවුන්ට එරෙහිව සංචාරක සම්බාධක පැනවීම වැනි තදබල යෝජනා ද එම වාර්තාවේ සඳහන් වෙයි. එපමණක් නොව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට සහ සාක්ෂි එකතු කිරීමට යාන්ත්‍රණයක් සැකසීමටද ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අපරාධ නඩු විභාගයක් ආරම්භ කිරීමට සුදුසු පසුබිමක් ඇතැයි ඇය සඳහන් කර තිබෙන බවද කියැවේ.

පෙබරවාරි සහ මාර්තු මාසවලදී ජිනීවාහිදී පැවැත්වෙන වාර්ෂික මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වෙන යෝජනාවට පදනම වන්නේ කොමසාරිස්වරිය විසින් සකස් කරන වාර්තාවයි. මීට පෙරදී යහපාලන ආණ්ඩුවට පෙර පැවැති රාජපක්ෂ පාලන යුගවලදීද මේ ආකාරයටම වසරින් වසර චෝදනා දැඩි කරමින් වාර්තා සකස් කෙරෙනු දැකිය හැකි විය. එම වාර්තාවලින් අවසන් කාලයේදී ඉදිරිපත් කළ යෝජනා අතර ද රටට එරෙහිව විවිධ සම්බාධක පැනවීම් පිළිබඳ නිර්දේශ ක්‍රියාත්මක කිරීමද තිබිණි. ඒ වන විට යුරෝපා සංගමය මගින් ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමි කරමින් පනවා තිබූ සම්බාධක හේතුවෙන් මත්ස්‍ය අපනයනයෙන්ද ඇඟළුම් අපනයනයෙන්ද ශ්‍රී ලංකාවට ලැබෙමින් තිබූ ඩොලර් බිලියන ගණනක විදේශ විනිමය අහිමිව ගොස් තිබිණි. මේ හේතුවෙන් රටේ අපනයන ආදායමට දැඩි බලපෑමක් එල්ල විය.

මෙවර ඉදිරිපත් වෙන යෝජනාවට යුද අපරාධ චෝදනාවලට අමතරව මෑත කාලයේ සිදුවීම් කිහිපයක්ද සම්බන්ධ කර තිබීම ජිනීවා මෙහෙයුමේ සැබෑ මුහුණුවර හෙළි කිරීමක්ද වී තිබේ. මේ වාර්තාව සහ ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව ජාත්‍යන්තර දේශපාලනයේ උපක්‍රමයක් බව පෙනෙන්නට තිබේ. මෙවැනි උපක්‍රම තමන්ගේ ඉලක්කවලට ලක්වෙන රටවලට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන අතර තමන් අකැමැති ආණ්ඩු වක්‍රාකාරයෙන් අමාරුවේ දැමීමත් මානසිකව වැට්ටවීමත් එහි යටි අරමුණු අතර වෙයි. උඩින් දෙමළ ඩයස්පෝරාවේ උවමනා එපාකම්ද යටින් ජාත්‍යන්තරයේ බලවත් රටවල් කිහිපයක උවමනා එපාකම්ද වශයෙන් මේ උපක්‍රමය ක්‍රියාත්මක වෙයි. මෙවැනි අවස්ථාවලදී ප්‍රවේශමෙන් අඩිය තැබීම රජයේ වගකීමය. යෝජනාව සහ වාර්තාව කොතරම් පක්ෂග්‍රාහී වුවත් අසාධාරණ සහ අයුක්ති සහගත වුවත් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනුවලදී කුඩමිටි හරස් කර ගැනීම අවාසිදායකය. අවශ්‍ය වන්නේ උපක්‍රමශීලීව කටයුතු කරමින් එම අවස්ථාවට මුහුණ දී රටේ අභිමානය ආරක්ෂා කර ගැනීමය. ඇඟේ හයි හත්තියට වඩා මොළය පාවිච්චි කිරීම මෙවැනි රාජ්‍යතාන්ත්‍රික උපක්‍රමික මෙහෙයුම්වලදී වඩාත් වැදගත් වෙයි. ඒ වෙනුවට තෝරාගන්නේ කැත්තට පොල්ල මෙන් කටයුතු කිරීම නම් ප්‍රතිඵල ද ඒ අනුවම ලැබෙන බව නියතයකි.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් පහරදීම එ.ජා. ගේ මානව හිමිකම් කොමිසමේ ඉලක්කය බව පෙනී යයි. ඔවුන් මෙතෙක් කලක් තිබූ යුද අපරාධ චෝදනාවලට වඩා මෑතකාලීන සිදුවීම් කෙරෙහි අවධානය යොමුකර තිබීමෙන් එය පැහැදිලි වෙයි. මෙය තරගය කෙසේ හෝ දිනාගැනීමට “ගෝල් කණු වෙනස් කිරීම”කි. මානව හිමිකම් කඩකිරීම් ප්‍රශ්න කිරීමකටත් වඩා මෙහිදී සිදුවන්නේ දේශපාලන ගැලවිජ්ජාවකි. නමුත් පසුගිය කාලසීමාව තුළ දැඩි මතධාරී දේශපාලන නායකයන්ගේ අභිමතයට අනුව ගනු ලැබූ ඇතැම් පියවර මේ තත්ත්වයට හේතු වූ බවද ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතයයි. කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ අවසන් කටයුතු ආදාහනය කළ යුතු බවට ගනු ලැබූ තීරණයද, උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ සංවේදී නොවීමද, රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානීන් ඇතුළු පරිපාලන ව්‍යුහවලට හමුදා නිලධාරීන් වැඩියෙන් පත් කිරීමද මේ තීරණ අතර වෙයි.

කෙසේ වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කරුණු සොයා බැලීමේ ත්‍රිපුද්ගල කොමිසමක් පත් කිරීම රජයේ කිසියම් නම්‍යශීලී බවක් පෙන්නුම් කර තිබේ. එම කොමිසම මගින් මීට පෙර ජිනීවා වාර්තාවල සඳහන් ජාත්‍යන්තර මානව හිමිකම් නීති කඩකිරීමක් හෝ බරපතළ මානව හිමිකම් කඩකිරීම පිළිබඳ තොරතුරු තිබේදැයි සොයා බලනු ඇත. එසේම මානව හිමිකම් සම්බන්ධයෙන් එම වාර්තාවලින් නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීමට ගත හැකි පියවර සොයා බැලීමද එම කොමිසම සිදු කරනු ඇත. එහෙත් රජය ගත් මේ ක්‍රියාමාර්ගය හේතුවෙන් ජිනීවාහිදී ඉදිරිපත් වීමට නියමිත නව යෝජනාවේ වෙනසක් වනු ඇතිදැයි කියන්න අමාරුය.

රජයට බලපාන ඊළඟ හිසරදය කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අර්බුදයයි. එතැනදී රජය පත්ව සිටින්නේ රැවුලයි කැඳයි දෙකම බේරාගත යුතු තත්ත්වයකය. රජය ඉන්දියාවේ අවශ්‍යතාව ඉටුකර දීමට රාජ්‍යතාන්ත්‍රිකව බැඳී සිටියි. අනෙක් අතට තමන් බලයට පත් කළ සියලු බලවේගවල බලාපොරොත්තු බිඳ දැමීමටද රජයට හැකියාවක් නැත. ජිනීවා කොමිසම තම සැසිය ආරම්භ කිරීමට පෙර මේ ගැටලුව විසදා ගැනීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් වැදගත් බව පැහැදිලිය. එහෙත් ගැටලුව විසඳෙන පාටක් පෙනෙන්නට නැත.

ජැටිය සම්බන්ධයෙන් රජය ක්‍රියා කරන්නේ ඊට අදාළ ගිවිසුම අත්සන් කර ඇති පදනමක සිටිමිනි. මුදල් රාජ්‍ය ඇමැති පසුගියදා කියා තිබුණේ කවුරුන් විරුද්ධ වුවත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට 49%ක් ලබාදීමේ ආණ්ඩුවේ තීරණයේ වෙනසක් නොවන බවය. එහෙත් එය කොළඹ වරාය සුරැකීමේ වෘත්තීය සංගම් කනකටවත් ගත්තේ නැත. ඔවුන් සැලසුම් කරන්නේ “දේශීය සම්පත් විකිණීමට විරුද්ධ” සියලු බලවේග එකතු කර ගනිමින් මහා වැඩවර්ජනයකට යාමටය. ඉදිරි සතිය තුළදී ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වීමටද ඔවුන් සැලසුම් කර තිබේ. ඇතැම් පිරිස් මේ ගැන ආණ්ඩුවේ මත දෙකක් පවතින බවද එයින් එක් මතයක සිටින අයගේ සහාය තමන්ට ලැබෙන බවද විශ්වාසය තබා තිබේ. එහෙත් ආණ්ඩුව ඇතුළේ විවිධ මත පැවැතිය හැකි වුවද නැගෙනහිර ජැටියේ අනාගතය දැනට ද ලියැවී අවසානය. ඊළඟට ලැබීමට නියමිතව තිබෙන්නේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර අත්සන් කෙරුණු ගිවිසුම මේ රටේ ව්‍යවස්ථාවට පටහැණි නොවන බවට සහ එය රටට අහිතකර නොවන බවට වන වාර්තාවක් ලබාගැනීමය. එය ඉදිරි කාලය තුළදී ලැබීමටද ඉඩ තිබේ.

නැගෙනහිර ජැටිය පිළිබඳ ගැටලුව ජාතික වශයෙන් පමණක් නොවන ජාත්‍යන්තර වශයෙන්ද බලපෑම්වලට හසුව තිබෙන බව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් ද පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ අනාගත සමුද්‍රීය කටයුතු සඳහා ඉන්දීය සමාගමක් සම්බන්ධ කර ගැනීම “අත්‍යාවශ්‍ය” බවය. තෝරාගත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමඟ පැවැත්වූ ඔන්ලයින් සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කර තිබුණි. එම්.සී.සී. ගිවිසුම ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීමට බලවත් වෑයමක් දැරූ අමෙරිකානු තානාපතිනිය එම උත්සාහය අසාර්ථක වීමෙන් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගිවිසුමකට යාමේ වැදගත්කම පෙන්වා දීමට යළි ඉදිරිපත් වීමද ජාත්‍යන්තර දේශපාලන බලපෑම්වලම අවස්ථාවකි. ඉන්දීය සාගර කලාපයේ පවතින චීනයේ බලපෑම්වලට එරෙහිව ඉන්දියාව සමඟ අමෙරිකාවද එකට සිටගන්නා බව මෙහි යථාර්ථයයි. එම යථාර්ථය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම රජයේ උත්සාහය විය යුතුය. එසේ වුවත් නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ඇති කරගත් ගිවිසුම ශ්‍රී ලංකාව සතු සම්පත් විකිණීමක් නොව ආයෝජන අවස්ථාවක් බව රටට පෙන්වා දීම නම් ආණ්ඩුවට අමාරු වනු ඇත.

මේ අතර රටේ ඩොලර් සංචිතය සේදී යාමද රජයට මුහුණදීමට සිදුව තිබෙන තවත් ගැටලුවකි. මහ බැංකුව පසුගියදා සියලු බැංකුවලට උපදෙස් දී තිබුණේ ඩොලර් මගින් ආනයන ණය පහසුකම් ලබාදීම තාවකාලිකව අත්හිටුවන ලෙසටය. ඩොලරයට සාපේක්ෂව රුපියල 200 දක්වා බාල්දු වී ඇති තත්ත්වයක් තුළ රජය එවැනි සීමා කිරීම්වලට යාම ගැන පුදුම විය යුතු නැත. එහෙත් සිදුවිය යුත්තේ අපනයනය වැඩි කිරීමෙන් සහ ආයෝජන අවස්ථා වැඩිපුර ලබාගැනීමෙන් රට තුළ ඩොලර් ගලා ඒම වර්ධනය කර ගැනීමය. නැගෙනහිර ජැටියේ ගැටලුව උග්‍රවීම එවැනි ඩොලර් ලැබෙන ආයෝජන අවස්ථාවලට ධෛර්ය දීමක් නොව අධෛර්යවත් කිරීමකි. පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමින් තීරණ ගැනීමට හැකිවන දවස උදාවන තුරු මේ තත්ත්වයෙන් රටට ගොඩ ඒමක් නම් නැත.

 ශශීන්ද්‍ර