2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

මහජන උපයෝගිතා කොමිසමේ වෙනස්කම්

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

මහජන උපයෝගිතා කොමිසමට අලුතින් පත් කෙරුණු සාමාජිකයන් පස්දෙනාගේ නම් අනුමත කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු සභාවේ ඒකච්ඡන්දයෙන් නොව බහුතරයේ කැමැත්තට අනුව බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. කෙසේ වුවද එම නම්වලට විරෝධය පළකළේ කවුද යන්න ප්‍රකාශ කිරීමෙන් එම ආරංචි මාර්ග වැළකී සිටියේය. කොමිසමේ සභාපති වශයෙන් ජනක රත්නායක මහතා පත්කෙරුණු අතර චතුරිකා විජේසිංහ, මොහොන් සමරනායක, උදේනි වික්‍රමසිංහ සහ මහාචාර්ය ජනක රත්නායක සෙසු සාමාජිකයෝ වෙති.

මෙසේ අලුත් සාමාජිකයන් නම්කරනු ලැබුවේ ශ්‍රී ලංකා විදුලි කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික සහ ආරක්ෂක නියාමනයේ බාරකරු වන මහජන උපයෝගිතා කොමිසමේ අනාගතය පිළිබඳ පවතින කටකතා මැදය. එසේම ඛනිජ තෙල් සහ ජල සම්පත් මණ්ඩල නියාමනය සඳහාද එම කොමිසමට නියම කෙරෙන බවද සඳහන්ය.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සාමාජිකයන් වූ මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතා ප්‍රධානත්වයෙන් යුත් පස්දෙනා පසුගිය දෙසැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් මේ පුරප්පාඩු ඇතිවිය. ඔවුන්ට අස්වෙන්නැයි දැනුම් දී තිබුණේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගලය.

ඔවුන්ගේ ඉල්ලා අස්වීම් සිදුවීමට පෙර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා භාණ්ඩාගාර ලේකම් ආටිගල මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබුණේ මහජන උපයෝගිතා කොමිසම වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය. එහි තාක්ෂණික කාර්ය මණ්ඩලය බලශක්ති අමාත්‍යංශ සැලසුම් අංශයට අනුයුක්ත කරන ලෙසටද එම ලිපියෙන් දැනුම් දී තිබිණි.

කෙසේ වුවද එතැන් සිට රජය ප්‍රකාශ කළේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට සැලසුම් කර නැති නමුත්  එහි බලතල සීමා කිරීමට අවශ්‍ය බවය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවකට අනුව මහජන උපයෝගිතා කොමිසමේ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ. අයවැය කතාවේදීද මේ බව සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා කීවේ බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා මහජන උපයෝගිතා පනත සහ විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කළයුතු බවට යෝජනා කරන බවය. කෙසේ වුවද මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ තමන් කිසිදු ව්‍යාපෘතියක් ප්‍රමාද නොකළ බවයි. එහෙත් අනවශ්‍ය ලෙස හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා වැය කිරීමට ගිය රුපියල් බිලියන ගණනක මහජන මුදල් ඉතිරි කර දුන් බවය.

මේ අතර කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයන් මේ වනවිට අනතුරු අඟවා ඇත්තේ මේ හේතූන් නිසා විදුලි උත්පාදනයට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත විශාල අරමුදල් සංඛ්‍යාවක් නොලැබී යනු ඇති බවය.

- ඩේලි එෆ්.ටී.


ඉන්දියාවේ කනස්සල්ල දෝරේ ගලයි!

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඒකපාර්ශ්විකව ඉවත්වීම ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙන බවට ලකුණු පහළවෙමින් තිබේ. මේ තීන්දුව සම්බන්ධයෙන් ඉන්දියාවේ අකැමැත්ත පළ කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ පසුගිය අඟහරුවාදා (02) ජනාධිපති ගෝඨාභය සහ අග්‍රාමාත්‍ය මහින්ද හමුවිය. මේ අතර ශ්‍රී ලංකාවේ ඒකපාර්ශ්වික ඉවත්වීම ඉන්දියාව දැනගත්තේ මාධ්‍ය වාර්තාවලින් බවටද ඉන්දියාවේ මාධ්‍ය වාර්තාකර තිබිණි.

ඒ සමඟ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය 13 වැනි ව්‍යවස්ථාව මුළුමනින් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා කර ඇති බවද සදහන් වෙයි. මේ සාකච්ඡා නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකොබ් විසින් මෙහෙයවා ඇති බවද හිටපු නැගෙනහිර එල්.ටී.ටී.ඊ. නායකයන් දෙදෙනකු වන විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ සඳහා සහභාගි වී ඇති බවද කියයි. 

වසර 05ක් රිමාන්ඩ් භාරයේ සිටි පිල්ලෙයාන් මඩකලපු මහාධිකරණය මගින් පසුගියදා නිදහස් කරනු ලැබීය. ඔහු ජෝශප් පරරාජසිංහම් හිටපු මඩකලපු ටී.එන්.ඒ. මන්ත්‍රීවරයා 2005දී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියේය. වර්තමානයේදී පිල්ලෙයාන් ආණ්ඩු පක්ෂයට සහාය දක්වන මන්ත්‍රීවරයෙකි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම සාකච්ඡාව සඳහා තෝරාගත් කාලසීමාව වැදගත් බවය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් මාධ්‍යය කළ විමසීමකදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව සමඟ පවතින දීර්ඝකාලීන සංවර්ධන සම්බන්ධතාව සඳහා ඉන්දියාවේ තිබෙන කැපවීම යළිත් තහවුරු කරන බවයි.

කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් සමඟ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සාකච්ඡා පවත්වා තිබුණේ වෙන වෙනම බවද සඳහන් වේ.

මේ අතර ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් විසින් ඉන්දීය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරන ලද ප්‍රකාශ බරපතළ බව රාජ්‍යතාන්ත්‍රික අංශ පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නාවික හමුදාව සමඟ ගැටුමකින් මියගිය ඉන්දීය ධීවරයන් තිදෙනාගේ මරණ මිනීමැරුම් වශයෙන් ඔහු හඳුන්වා දී තිබිණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාදී ඇති පිළිතුර පිළිගත නොහැකි බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. මේ බව “ඉතාම, පැහැදිලිව අපි ශ්‍රී ලංකාවට දැනුම් දුන්නා” යනුවෙන්ද ඔහු කියා තිබිණි.