එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956දී ලංකාවේ අගමැති හැටියට පත්වුණේ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමිනි. ඒ වනවිට තමන්ගේ නායකත්වයෙන් බිහිවූ ශ්‍රීලනිපය තිබුණත් බණ්ඩාරනායක මහතා තරග කළේ පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණෙනි. එහි ලකුණ රෝදය විය. වාමාංශික බලවේග එකතුකරගෙන පංච මහා බලවේගය වශයෙන් හැඳින්වුණු සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු සංවිධානවල සහාය ඇතිව තරග කර තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගත් බණ්ඩාරනායක '56 අප්‍රේල් අගදී ආණ්ඩුව පිහිටෙව්වේ ජ්‍යෙෂ්ඨ සහ අලුත් ඇමැතිවරුන්ගෙන් යුත් ඇමැති මණ්ඩලයක් සමඟිනි.
මහත් ජනප්‍රිය තලයක සිටිමින් ආණ්ඩුව කිරීම පටන් ගත්තත් ඔහුට තම පාලනය තමන්ගේ මනාපය පරිදි කරගෙන යාමට නොහැකි විය. එයට හේතු වූයේ එවකට ආසන 08ට බැස තිබූ යූ.එන්.පී. විපක්ෂයේ බලපෑම් නොවේ. ඇතුළෙන්ම ඔහුගේ ප්‍රතිපත්තිවලට එරෙහි වූ පිරිස් සමඟ ඇතිවූ මතගැටුම්ය.
බණ්ඩාරනායක මහතා එදා රටේ ජනතාවගේ ප්‍රසාදයට පත්වූ තීන්දු ගණනාවක් ක්‍රියාත්මක කිරීමටද සමත් විය. ඒ අතරින් එකක් වූයේ මෙරට ක්‍රියාත්මකව තිබූ බස් සමාගම් සහ වරාය ජනසතු කිරීමය. පෞද්ගලිකව පැවති තරගකාරී බව නිසා එම කර්මාන්ත දෙකම රටේ ජනතාවට හොඳ සේවයක් සලසා දෙමින් තිබුණත් තම ප්‍රතිපත්තිය අනුව යමින් ඔහු 1958දී බස් ජනසතු කර ලංකා ගමනාගමන මණ්ඩලයද වරාය සංයුක්ත මණ්ඩලයද පිහිටෙව්වේය. ගොවීන්ගේ යහපතට කුඹුරු පනත සම්මත කරගත් අතර කම්කරුවන් වෙනුවෙන් වැටුප් වැඩිකර ඊ.පී.එෆ්. අරමුදලද ඇරඹුවේය.
ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි මැද පිළිවෙතක් වුවද බටහිර රටවල් සමඟ සබඳතා ඇරඹීම ගැන උනන්දු නොවී චීනය (එවකට මහජන චීන සමූහාණ්ඩුව) සහ රුසියාව (එවකට සෝවියට් සංගමය) සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගත්තේය. මැයි දිනය මෙරට ප්‍රසිද්ධ නිවාඩු දිනයක් කළේය.
මේ කොතරම් වැඩ කළත් රටේ ස්ට්‍රයික් කිරීම්වල කෙළවරක් නැති විය. සුළු දෙයටත් “කම්කරු” වශයෙන් හැඳින්වූ වැඩකරන ජනතාව ස්ට්‍රයික් කර පාරට බැස්සාහ. මේ අතර චෙල්වනායගම් සමඟ බණ්ඩාරනායක ඇතිකරගත් ගිවිසුමටද රටේ දැඩි මතධාරීන්ගේ විරෝධය පළවිය. එසේ වුවද බණ්ඩාරනායක බලයට පැමිණි විගසම එක් ඡන්ද පොරොන්දුවක් ඉටුකරමින් “සිංහල පමණයි” නීතිය සම්මත කර ගත්තේය. එහෙත් ඒ පනතට මෙරට සුළු ජාතික ද්‍රවිඩ දේශපාලනඥයන්ගෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් පසුව දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත සම්මත කිරීමටද පියවර ගත්තේය. එම පනතට ඔහු බලයට පත්කළ පංච මහා බලවේගයේ දැඩි විරෝධය පළ වූ අතර එයින් දැඩි ලෙස පීඩනයට පත්වූ බණ්ඩාරනායක මහතා භාෂා ප්‍රශ්නය නිසා 1958දී රටේ හටගත් දෙමළ ජනතාවට විරුද්ධව කෝලාහල මැඩ පැවැත්වීමට අපොහොසත් විය. මේ නිසාද දෙමළ ජනතාවගේ පීඩනයට ඔහු මුහුණ දුන්නේය.
මේ සියලු අරගල මතභේද අතුරින් බණ්ඩාරනායක මහතාට දැඩිම බලපෑමක් එල්ලවෙමින් තිබුණේ පංච මහා බලවේගයේ අංක එක වූ “සඟ” සංවිධානයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීව සිටිමින් ඒ මහතා බලයට පත් කිරීමේ ප්‍රමුඛයකු වූයේ තමන් බව කියාගත් මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන්ගෙනි. එවකට කැලණිය රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ වසමින් බණ්ඩාරනායක මහතා සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගිය බුද්ධරක්ඛිත හිමියන් තමන්ගේ සම්බන්ධයක් ඇති නැව් සමාගමකට වරායේ මෙහෙයුම් ලබාගැනීමට කෙරුණු ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් බණ්ඩාරනායක මහතා සමඟ දැඩි ලෙස විරසක විය.
1959 වනවිට බණ්ඩාරනායක මහතාට තම පාලනය ගෙන යාම දැඩි අභියෝගයක් බවට පත්වෙමින් තිබුණේය. ඒ විපක්ෂය නිසා නොව තමන් බලයට පත්කළ බලවේගවල බලපෑම් නිසාය. ඔහු බලයට පත් කළ පක්ෂය වූ මහජන එක්සත් පෙරමුණේ වාමාංශික නායකයන් වූ පිලිප් ගුණවර්ධන සහ විලියම් ද සිල්වා යන මහත්වරු ඇමැති ධුරවලින් ඉවත්වීමෙන් අර්බුදයක් ඇතිවිය. මොවුන් සැලකුණේ දැඩි මතධාරී දේශපාලනඥයන් වශයෙනි. මේ කලබල මැද 1959 සැප්තැම්බර් 26 වැනිදා බණ්ඩාරනායක මහතා වෙඩිතබා ඝාතනය කරන ලදී. එම ඝාතනය ලෝක දේශපාලන ඉතිහාසයටද එක්වූයේ බලයේ සිටි රාජ්‍ය නායකයකුගේ නිවෙසටම පැමිණ සිදුකළ පළමු ඝාතනය හැටියටය. වෙඩිතැබුවේ තල්දූවේ සෝමාරාම නම් භික්ෂුව විසිනි. එම ඝාතනයේ ප්‍රධාන කුමන්ත්‍රණකරු වශයෙන් මරණ දඬුවම හිමිවූ අනෙක් විත්තිකරු වූයේ මාපිටිගම බුද්ධරක්ඛිත හිමිය.
එදා බණ්ඩාරනායක මහතා ශ්‍රීලනිපය හැදුවේ සේනානායකලාගේ යූ.එන්.පී.යෙන් කැඩී ගොසිනි. එදා සිට මේ දක්වා මේ රටේ රාජ්‍ය නායකයන් හැදූ පවුල් තුනක් වන්නේ සේනානායකවරු, බණ්ඩාරනායකවරු සහ රාජපක්ෂවරුය. අද යූ.එන්.පී. නායකත්වයේ සේනානායකලා නැත. ශ්‍රීලනිප නායකත්වයේ බණ්ඩාරනායකලා නැත. හැබැයි රාජපක්ෂ පවුලේ දෙදෙනෙක්ම රටේ නායකයෝ වී සිටිති.
එදා බණ්ඩාරනායකගේ “සිංහල පමණයි” පනත මූලික කරගනිමින් ඇදී ගිය රටේ භාෂා ප්‍රශ්නය ජාතික අර්බුදයක් දක්වා වර්ධනය වූ අතර අවසානයේ වසර 30ක යුද්ධයකටද එය හේතු විය. එම යුද්ධය අවසන් කර දැමුවේ රාජපක්ෂලාය. 2009 දී එල්.ටී.ටී.ඊ.ය පරාජය කරමින් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් තොර රටක් බවට පත් කිරීම හේතුවෙන් මෙරට දේශපාලනයේ රාජපක්ෂවරුන්ට සුවිශේෂ තැනක් ලැබුණේය. එය මෙරට රාජ්‍ය නායකයකුට ලැබුණ ඉහළම ජනප්‍රියත්වය සහ පිළිගැනීම විය. මහින්දගෙන් පසුව ගෝඨාභය ජනාධිපති වූයේද එම ජනප්‍රියත්වය - පිළිගැනීම සහ ජනාධිපතිවරයාම පසුගිය නිදහස් උළෙලේදී කිව් පරිදි රට ඉල්ලූ නායකයා වීම හේතුවෙනි.
එදා බණ්ඩාරනායක බලයට පත්කළ පංච මහා බලවේගයම මෙදා රාජපක්ෂලා බලයට පත් කිරීමටද පෙරමුණ ගත්තේය. එදා බණ්ඩාරනායක ඡන්දය ගැනීමට ජාතිකත්වය සහ ආගම මූලික තේමාව කර ගත්තේය. මෙදා රාජපක්ෂවරුන්ගේ තේමාවද එයම විය. බණ්ඩාරනායක “සිංහල පමණයි” මතවාදය ඉදිරියට ගත් අතර රාජපක්ෂලා සිංහල-බෞද්ධ සංකල්පය ඉදිරිපත් කළහ. නිදහස් දිනයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ගත් තීරණය එහි එක් ප්‍රතිඵලයකි. දේශපාලන වශයෙන් රාජපක්ෂලා දුෂ්කර තත්ත්වයන්හිදී ඉදිරියට ගන්නේ ජාතිමාමක, දේශමාමක සංකල්පයයි. මේ සංකල්පය '56දී වගේම 2021දීත් ඡන්ද මැෂිමකි.
හැබැයි මේ ඡන්ද මැෂිමෙන් තුනෙන් දෙක දිනූ බණ්ඩාරනායකට ආණ්ඩුව කරගෙන යාමට හරස් වුණේ විපක්ෂය නොව ඇතුළේම කට්ටියකි. රටට හුඟක් වැඩකළ බණ්ඩාරනායක අන්තිමට ඇතුළේ කට්ටියගේ මතවාද අතර හිරකාරයෙක් බවට පත්විය. 1959දී වරායේ සේවකයන් විසින් ඇතිකරන ලද වැඩවර්ජනය පසුපස ආණ්ඩුව බලයට පත්කළ පංච මහා බලවේගයේ කොටස්කාරයෝද, ඔවුන්ට ආණ්ඩුව ඇතුළේ සිට සහාය දුන් පිරිසක්ද සිටි බවට කතා පැතිරුණේය. මේ කතා කොතරම් බලවත් වීදැයි කිව්වොත් පසුකාලයකදී ලංකාවේ පමණක් නොව ලෝකයේම පළමු අගමැතිනිය වූ සිරිමාවෝ කිව්වේ “ඇන්.ඇම්.ලා මගේ සැමියා නොමරා මැරුවා” කියලාය. මේ කතාවට කවුරුත් උත්තර දෙන්න ගියේ නැත.
එදා වරායේ වැඩවර්ජනය හේතුවෙන් ආනයන - අපනයන කටයුතු සියල්ල දින ගණනාවකටම ඇන හිටියේය. මේ සටන බලය යොදවා නිම කිරීමට බණ්ඩාරනායක මහතා දැරූ උත්සාහයට එවකට සිටි පොලිස්පති ඔස්මන් ද සිල්වා හරස් විය. කම්කරුවන්ට වර්ජනය කිරීමට තිබෙන අයිතිය බලය යොදවා අහිමි කිරීමට තමාට නීතියේ ඉඩ නැති බව පොලිස්පතිවරයා කියා තිබිණි. මේ හේතුව නිසා ඔහුට තම ධුරය අහිමි වූ බවද සඳහන්ය. එහෙත් වරායේ සටන එම ආණ්ඩුව තුළ දිගටම රැව් පිළිරැව් දුන්නේය. මේ කාලය වනවිට රටේ සෙසු සංවර්ධන වැඩ අඩපණ වී තිබුණි. ආණ්ඩුව බලයට ගෙනා පිරිස් තුළද තිබූ උද්යෝගය අඩුවී තිබුණු අතර එයට හේතුව ඔවුන්ට අවශ්‍ය පරිදි බණ්ඩාරනායක ආණ්ඩුව ඔවුන්ගේ අල්ලේ නැටවීමට සූදානම් නුවූ නිසාදැයි කියන්න බැරිය. නමුත් බණ්ඩාරනායකවරුන්ගේ පළමු ආණ්ඩුව අවසන් වූයේ අනපේක්ෂිත ආකාරයකටය.
රටේ ජාතිකත්වය සහ බෞද්ධාගම මත පදනම් වී මෙරට බිහිවූ පළමු ආණ්ඩුවේ අවසානය එසේ සිදුවිය. එදා සිදුවූ ඇතැම් සිදුවීම් පෙළගැස්වීමේදී අදට ගැලපෙන කාරණා ගණනාවක සමානකම් දැකිය හැකිය. මෙදා කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සටනට උත්තේජනය ලැබුණේ විපක්ෂයෙන් නොවේ. ආණ්ඩුව ඇතුළේම ඇමැතිවරුන් පිරිසකගෙනි. එසේම මේ රජය බලයට පත් කිරීමට ඉදිරිපෙළ කාර්යභාරයක් ඉටුකළ භික්ෂූන් වහන්සේලා ඇතුළු වෘත්තීය සංගම්ද එයට සහයෝගය ලබා දුන්නේය.
ජනාධිපති ගෝඨාභය මේ ගැටලුව සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමට කොතරම් උත්සාහ ගත්තත් එය සාර්ථක නොවුණේ ඇතුළේ පිරිසකගේ මේ අකුල් හෙලීම් හේතුවෙනි. වරාය පමණක් නොව මේ වනවිට රටේ විවිධ සංවිධාන, වෘත්තීය සමිති, වැඩවර්ජන පිළිබඳ දිගටම රතු එළි පත්තු කරමින් සිටී. වතුකරයේ රුපියල් දහසේ වැටුප් ඉල්ලීම හිසරදයක් බවට පත්ව තිබේ. තුනෙන් දෙකේ බලයකින් ආණ්ඩුව පිහිටුවා මාස 05ක් යාමටත් පෙර මේ ගොඩනැගෙන රැල්ලට ආණ්ඩුව බය නොවුණා නම් පුදුමය. මුලින්ම මේ බව දකින්න ඇත්තේ දේශපාලනයෙන් තෙම්පරාදු වූ අගමැති මහින්දය. ඔහු කාටවත් නොකියා මැදමුලන සිට වරායේ සටන “ජයග්‍රාහී” ලෙස අවසන් කළේ ඒ නිසා විය යුතුය. හැබැයි මේ “ජයග්‍රාහී” අවසානය ගෝඨාභය ජනාධිපතිට අවශ්‍ය වූ අවසානය නොවන බව නම් ඉතාම පැහැදිලිය.
- ශශීන්ද්‍ර