2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයේ චෝදනා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ඇඟේ ගහන්න හදනවා

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

කොවිඩ් රෝගය නිසා ඔබ පසුගිය කාලයේ ප්‍රතිකාර ලබාගත්තා. කොහොමද ඔබතුමාගේ දැන් සෞඛ්‍ය තත්ත්වය. හොඳින්ද?

ඇත්තටම දැන් හොඳින් ඉන්නෙ. කොරෝනා රෝගය වැළඳුණාට පස්සෙ නිරෝධායන නීතිය අනුව නිරෝධායනය වෙලා ඊටපස්සෙ සතියකුත් ගෙදර ඉඳලා දැන් සුපුරුදු රාජකාරිවලට එකතුවෙලා ඉන්නවා. සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳ මට්ටමක තියෙනවා.

මම දැක්කා ඔබ කියලා තිබ්බා මාධ්‍යවලට මේ කොවිඩ් රෝගය සම්බන්ධයෙන් රජය ඇත්ත කියන්න ඕනෙ කියලා. මොකක්ද ඇත්ත. මොකක්ද හංගල තියෙන්නෙ?

ඇත්ත ගැන කතාවක් නෙමෙයි මම කිව්වෙ. මම කිව්වෙ මාධ්‍යවල කොවිඩ් හැදුණු රෝගීන් ප්‍රමාණයයි මැරුණු රෝගීන් ප්‍රමාණයයි හෙඩ්ලයින් දාන එක නෙමෙයි කරන්න ඕනෙ කියලා. ඇත්තටම මාධ්‍යයට මම මේ දැඩිව කියන්නෙ උණ, හෙම්බිරිස්සාව, කැස්ස තියෙනව නම් ඒ ගැන සැලකිලිමත් වෙලා කොවිඩ් රෝගය සම්බන්ධයෙන් නිසි ප්‍රතිකාර ගන්න කියන එක තමයි මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න ඕනෙ. ඇත්තටම මේ අපේ ආණ්ඩුව විතරයි ලෝකයෙන්ම මිනිස්සුන්ව එකතු කරන් ගිහිල්ලා තැනක තියල කන්න බොන්න දීල බලාගන්නෙ. හැබැයි වෙන රටවල වෙන්නෙ නිවෙස්වල නිරෝධායනය වෙන්න දීල අමාරුවක් වුණොත් පමණක් රෝහලකට ගෙනියන එක.

ඇයි එහෙම කරන එක වැරදිද?

නෑ. දැන් බලන්න අපේ හැට දහසක් පමණ පිටරටවල ඉඳන් එන්න ඉන්නවා. ඒ අයත් ආපුවාම නිරෝධායනය මධ්‍යස්ථාන පිරෙනවා. ඉතින් ආණ්ඩුවකට මෙච්චර දේවල් කරන්න පුළුවන්ද? ඊට වැඩිය හොඳ නැද්ද කොරෝනා ලක්ෂණ තියෙනව නම් කාමරයකට වෙලා සෞඛ්‍ය අංශ දැනුවත් කරල නිරෝධායනය වෙන එක.

ලංකාවෙ හැමෝටම ඔය කියන විදියට ඉන්න නිවාස නෑනෙ?

නෑ ඒක තමයි මම කියන්නෙ. දැන් පවුලක දහ දොළොස් දෙනෙක් ඉන්නව නම් නිවාසයේ ඉඩකඩවල ප්‍රශ්නයක් තියෙනව නම් ඒ වගේ අයට අවස්ථාවක් දුන්නට කමක් නෑ. මොකද අපේ රටේ සරම්ප, පැපොල වගේ රෝග හැදිල තියෙනවා. දින 14ක් වගේ කාලයක් නිරෝධායනය වෙලා සුපුරුදු වැඩ කටයුතුවල යෙදිල තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයත් එවැනි තත්ත්වයක්. 

ගොඩක් අය කතා වුණා ධම්මික පැණිය ගැන. ඔබත් ධම්මික පැණිය පානය කළාද?

අනේ නෑ. මං කිසි පැණියක් බිව්වෙ නෑ. 

රජයේ නිරෝධායන වැඩපිළිවෙළ ගැන ගොඩක් අය දොස් කියනවා. ඔබ මේ ගැන අත්දැකීමක් තියෙන කෙනෙක් හැටියට මොකක්ද කියන්න තියෙන්නෙ‍?

ඇත්තටම ආණ්ඩුව නිකරුණේ බැණුම් අහන්නෙ අනවශ්‍ය දෙයක් කරගහන්න ගිහිල්ලා. ආණ්ඩුව සාධාරණත්වය ගැන කල්පනා කරල මේ දේ පාලනය කර ගැනීමේ අරමුණෙන් මැදිහත් වෙලයි මේ බැණුම් අහන්නෙ. විශේෂයෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හැමෝම විශාල කාර්යභාරයක් මේ වෙනුවෙන් කරනවා. ඒ නිසා ඔවුන්ටයි වැඩි සැලකීමක් කරන්න ඕනෙ. අපේ රටේ මරණ අනුපාතිකය ගත්තාම දස ලක්ෂයකට දා හතර දෙනයි. රෝගීන් ගත්තාම 0.4%යි. එහෙම තත්ත්වයක් ඇතිවෙන්න හේතුව අපේ සෞඛ්‍ය අංශවල තියෙන ශක්තිමත්කම නිසා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් තීන්දුවකට ආවා ඒක ඉන්දියාවට ලබා නොදිය යුතුයි කියලා. ඇයි ඒ වගේ තීන්දුවකට ආවෙ?

මේ වරාය කියන්නෙ අපේ පක්ෂයේ නිර්මාතෘවරයා ජනසතු කරපු වරාය. අපේ පක්ෂයෙ නායකයා මරා දැම්මෙත් මේ වරාය නිසා. මොකද ජනසතු කරල ඊටපස්සෙ පෞද්ගලික කම්පැනියක් හදන්න විමලා විජයවර්ධන මැතිනියත්, බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේත් කරපු උත්සාහයේ අසාර්ථකභාවය නිසා තමයි එතුමා මරණයට පත් කළේ. ඒ නිසා අපිට පැහැදිලි අයිතියක් තියෙනව මේ වරාය වෙනුවෙන් පෙනී ඉන්න. ඒ වගේම මෛත්‍රීපාල මහත්මයා ජනාධිපතිවරයා හැටියට ඉන්නකොට ප්‍රසිද්ධියෙ ප්‍රකාශයක් කළා මේ වරාය විකුණන්නෙ නෑ කියලා. මේ සියල්ල නිසා අපි වරාය රුකීමේ මූලිකත්වය අරන් ඉන්නවා. විශේෂයෙන් අපේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් විකුණන්නෙ නෑ කියන එකයි.

හැබැයි ඔබතුමාල මේක බේරගන්න මැදිහත් වුණාට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව චෝදනා කරන්නෙ ගිය ආණ්ඩුව තමයි මේ නැගෙනහිර ජැටිය විකුණන්න ඉන්දියාවයි ජපානයයි සමඟ ගිවිසුම් ගැහුවෙ කියලා. එතකොට ගිය ආණ්ඩුවෙ කැබිනට් මණ්ඩලයෙ ප්‍රධානියා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා?

ඔබ කියන කාල වකවානුවේ මම කැබිනට් මණ්ඩලයේ හිටියෙ නෑ. නමුත් එතුමගෙ කාලෙ ජපානය සහ ඉන්දියාවෙ කළ සංචාරයකදි මේ නැගෙනහිර ජැටිය ගැන සාකච්ඡා කරල තියෙනවා. නමුත් ස්ථාවර ගිවිසුමකට ඇවිල්ල තිබු‍ණෙ නෑ. නමුත් ස්ථිර ගිවිසුමකට එන්නෙ 2019 මැයි මාසෙදි සාගල රත්නායක ඇමැතිතුමා. හැබැයි මම දන්නෙ නෑ ඒවා කැබිනට් මණ්ඩලේදි කතා වුණාද නැද්ද කියලා. නමුත් ගිවිසුම අත්සන් කරල තියෙනව කියල අපි දන්නවා. 

ඇයි මේ දේවල් විකුණන්න ප්ලෑන් කරන්නෙ?

මෙහෙමනෙ. අවුරුදු තිහ හතළිහක ප්ලෑන් එකක් නැතිව යනකොට තමයි මේවා විකුණන්න වෙන්නෙ. මොකද එක එක ආණ්ඩු එන විදිහට ඒ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය උඩ රජය දේපළ විකුණනවා. ඒ නිසා මේ කෙටිකාලීන ගනුදෙනු නිසා අපිට මේ විවිධ අර්බුදවලට මුහුණ පාන්න වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ගෝඨාභය ජනාධිපතිතුමා මේ ගැන අවධානය යොමු කරල නිසි ක්‍රමවේදයක් සකසයි කියලා. 

ඔබ ඔහොම කිව්වට ආණ්ඩුව ඇතුළෙ ඇතැම් අය කියනවා මේවා මෙහෙම කරල බෑ.. ආයෝජනවලට ඉඩ දෙන්න ඕනෙ. නැගෙනහිර ජැටිය ඉන්දියාවටයි ජපානෙටයි ආයෝජනය කරන්න දෙන්න ඕනෙ කියල. ආණ්ඩුව ඇතුළෙ මොකද මේ බෙදීම?

සමහර අය එක එක මතවල ඉන්න පුළුවන්. ඒක අපිට ගැටලුවක් නෑ. නමුත් අපි අවසානයෙ තීන්දුව ගන්න ඕනෙ සියලු දෙනාගෙම ඒකමතික තීරණය මත. ඉතින් ඒ නිසයි ජනාධිපතිතුමත් අගමැතිතුමත් කැබිනට් මණ්ඩලයත් තීන්දු කරල තියෙනව මේක රුකගන්න. මොන මතවාද, තර්ක ආවත් ඒක තමයි අවසාන තීන්දුව. 

ඉන්දියාවට නැගෙනහිර ජැටිය ලබා නොදීම ගැන ඔවුන් ඉන්නෙ දැඩි කනස්සල්ලෙන්. ඒ නිසාම ඔවුන් යම් යම් බලපෑම් ලංකාවට එල්ල කරනවා. මේක රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් දක්වා දුරදිග යයි නේද?

අපි නොබැඳි ජාතියක් හැටියට ඉන්න ඕනෙ. නමුත් විදේශ සබඳතා ගොඩනගා ගත යුතුයි. ඒ නිසා මේ ගැටුම් අපි තේරුම් ගන්න ඕනෙ මොකක්ද හේතුව කියන එක. 

මොකක්ද මේ ගැටුමට හේතුව?

මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ හම්බන්තොට වරාය සංවර්ධනය කරන්න චීනය අතගැහීමත් එක්ක. ඒ වගේම වරාය නගරය ඉදිකරන්න චීනය අතගැහිල්ලත් එක්ක. මේ සියල්ල නිසා තමයි ඉන්දියාව අර්බුදයකට ලක් වුණේ. ඒ නිසා එතන ඇතිවෙලා තියෙන තත්ත්වය අපි හොඳින් තේරුම් ගන්න ඕනෙ. මොකද ඉන්දියාවයි චීනයයි අතර විශාල අර්බුදයක් තියෙනවා. ඒ අමෙරිකාව මැදිහත් වෙලා ඉන්න හින්දා. ඒ නිසා අපි චීනයත් එක්ක ගනුදෙනු කරන්න ගත්ත ගමන් ඉන්දියාව ඒකට විරුද්ධ වෙනවා. 

හැබැයි ලෝකෙම කියන්නෙ චීනය තමයි ප්‍රශ්නෙ කියල?

මම නම් හිතන්නෙ නෑ චීනය ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද ඔවුන්ට දෙමළ ඩයස්පෝරාවත් වෙන වෙන දේශපාලන බලපෑම්වත් නෑ. නමුත් අපි ඉන්දියාවත් අමෙරිකාවත් ගත්තාම දෙමළ ඩයස්පෝරාව වගේම විවිධ දේශපාලන අරමුණු ඔවුන් වෙනුවෙන් තියෙනවා. ඒ නිසා විශාල අර්බුදයක් එනවා සාමාන්‍යයෙන්. අපි දැන් දැනගන්න ඕනෙ මෙතනින් ගැලවිලා ඉස්සරහට යන්න ඕනෙ කොහොමද කියලා. මගේ නම් අදහස ඔය හැම රටකටම කියන්න ඕනෙ අපි අපේ වැඩේ කරගෙන යන්නම්.. ඔබලා ඔබලාගෙ දේශපාලන ගැටුම් විසඳගන්න කියලා. අපිට මැදිහත් වෙන්න අවශ්‍යම නෑ. අපි කොටස්කරුවො වුණොත් අපිට විශාල අර්බුද රුසකට මුහුණ දෙන්න වෙනවා. 

විපක්ෂය නම් කියන්නෙ ආණ්ඩුවට සල්ලි නැති නිසා තමයි ඒවා විකුණන්නෙ කියල?

ඔය නැගෙනහිර ජැටිය විකුණන්න ප්ලෑන් එක ඇන්ඳෙ එදා රනිල් වික්‍රමසිංහ මහත්තයත් අද ඔය කෑගහන සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු කැබිනට් මණ්ඩලය. මේ ටෙන්ඩර් එකට රටවල් හතක් ඉදිරිපත් වුණා. නමුත් ටෙන්ඩර් එක ඕපන් කරන්නෙ නැතුව තියාගෙන ඉඳල විවිධ යෝජනා ගෙනල්ල අවසානයෙ මේක මේ අද තියෙන තැනට ගෙනාවෙ ඔය කට්ටිය. ඒ ටෙන්ඩර් අහෝසි වීම මත තමයි අද මේ ඉන්දියාව මේ වගේ බලපෑමක් කරන්නෙ. 

ආනයනය සීමා කරන ගැටුම උග්‍රවෙලා වගෙයි දැන් පේන්නෙ. අගමැතිතුමා ටයිල් සඳහා නිදහසක් ලබා දීලා ගැසට් එකක් ගැහුවාම ආනයනය සහ අපනයනය අධ්‍යක්ෂ ජනරාල් විසින් ඒ ගැසට් එක අහෝසි කරල නැවත ගැසට් එකක් පළ කරනවා. මොකක්ද මේ ප්‍රශ්නෙ?

මෙහෙමයි. අපි මේ ක්‍රියාත්මක කරන ආනයන ප්‍රතිපත්තිය නිසා තමයි මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නෙ. සමහර ව්‍යාපාරිකයන්ගෙ බලපෑම් ඇතිවෙන්නත් පුළුවන්. මේ තත්ත්වය නිසයි මෙවැනි අවුල්සහගත ගැටුම් ඇතිවෙන්නෙ කියලයි මම හිතන්නෙ.

දැන් මේ දේවල් නිසා නෙමෙයිද ඩොලරය ඉහළ ගිහිල්ල කොටස් වෙළෙඳපොළ දරුණු ලෙස කඩා වැටිලා ප්‍රශ්න ඇතිවෙන්නෙ?

කොටස් වෙළෙඳපොළ කඩා වැටීම නම් තාවකාලිකයි. ඒක නැවත සුපුරුදු පරිදි ඉහළ යනවා. ඩොලරයෙ ප්‍රශ්නෙ නම් වෙලා තියෙන්නෙ විදේශ ආයෝජන, ඒ වගේම අපේ විදෙස් ශ්‍රමිකයන්ගෙන් එන මුදල් ප්‍රමාණයත් අඩුවීම මත තමයි මේ ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ. මේක සාමාන්‍ය මට්ටමට ගෙන්නගන්න පුළුවන් අපනයන වැඩි කිරීමත්, සංචාරක ව්‍යාපාරය නැවත ක්‍රියාත්මක කිරීමත් එක්ක. කවුරු හිටියත් මේ තත්ත්වය උඩ මේක වෙනවා. අපේ රටේ ඩොලර් බිලියන 84ක ආදායමක් තියෙන්නෙ. ඒකෙනුත් ඩොලර් බිලියන 6ක් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන්නෙ. එතකොට හිතාගන්න පුළුවන්නෙ. 

ජනාධිපතිවරයා ප්‍රකාශ කළා නිදහස් දවසෙ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයත්, මහ බැංකු චෝදනාවලට සම්බන්ධ අයටත් තරාතිරම නොබලා කටයුතු කරනවා කියලා. ඔබත් ආණ්ඩුවෙ රාජ්‍ය ඇමැති කෙනෙක්. දැන් කවුද කොමිෂන් වාර්තාවල වැරදිකාරයො වෙලා ඉන්නෙ?

මම නම් දන්නෙ නෑ. හැබැයි මම හිතනවා ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කොමිෂන් වාර්තාවලට අනුව එතුමා නිවැරදි තීරණයක් ගනී කියල.

පාස්කු කොමිසමේ සාක්ෂිවලදීත් දේශපාලන වේදිකාවලදීත් දැඩි ලෙස චෝදනා එල්ල වුණේ එවකට ජනාධිපති සහ ඔබේ පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහත්තයට. නිකමට හරි කොමිසමේ වාර්තාවෙන් එතුමාට චෝදනා එල්ල වුණොත් ඔබල මොකද කරන්නෙ?

එතුමාට ඍජුව චෝදනා කරන්න හැකිවෙන්නෙ මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් හරි අදාළ පරීක්ෂණවලට හරි ඍජුව මැදිහත් වෙලා තියෙනව නම් විතරයි. රටේ කසිප්පුකාරයො අල්ලන්න කියන්නෙ නෑනෙ ජනාධිපති. ඒ වගේම තමයි ත්‍රස්තවාදියො අල්ලනකොටත් එහෙමයි. එතුමා මේ පරීක්ෂණ අඩාල කරල සැකකරුවන් අත්අඩංගුවට ගන්න එකට බලපෑම් කළා නම් අන්න එතකොට එතුමට වගකියන්න වෙනවා. අවසාන කාලෙදි තමයි එතුමා ආරක්ෂක අමාත්‍යංශයත් පොලීසිය භාර අමාත්‍යංශයත් ළඟ තියාගත්තෙ. ඊට කලින් තමයි සහරාන්ල ගැන පරීක්ෂණ කළේ. හැබැයි ඔබ කිව්වා වගේම අන්තිමේ මේ චෝදනා පටවන්න හදන්නෙ මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාට. හැබැයි එතුමා කවදාවත් මෙවැනි දෙයක් දැනගෙන කරන්න ඉඩ තියන්නෙ නෑ. එතුමා රටට ආදරේ මනුස්සයෙක්. 

මෙහෙම චෝදනා කරන්නෙ නිකම් වෙන්න බෑනෙ?

මෙතන තියෙන අරමුණ එතුමගෙ දේශපාලන ගමන නතර කරන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්නත්. ඒ විපක්ෂයෙ වුවමනාව අපි මුළුමනින්ම බැහැර කරනවා වගේම අපි ඉඩ තියන්නෙත් නෑ. 

කොමිසම් වාර්තාවෙ තීන්දුවත් එක්ක ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගන්නවා කියල ඔබගේ අදහසක් පසුගිය කාලයෙ එහෙ මෙහෙ සංසරණය වුණා. ඒකෙ ඇත්තක් තියෙනවද?

ඒක සම්පූර්ණ බොරුවක්. අපි මොකටද කොමිෂන් සභාවෙ තීරණයත් එක්ක දේශපාලන තීන්දු ගන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුවෙලා තමයි ආණ්ඩුව හැදුවෙ. මේ ආණ්ඩුව ආරක්ෂා කරන එක තමයි අපේ වගකීම.

යහපාලන ආණ්ඩුව කාලෙ ගත්ත නඩු තීන්දු, පරීක්ෂණ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගින් දේශපාලන පළිගැනීම් හැටියට යම් ආකාරයෙන් සහතික කරන්න පුළුවන්. ඔබත් ඒ ආණ්ඩුවෙ කාලයක් හිටියා. ඔබ පිළිගන්නවද එවැනි පළිගැනීම් සිද්ධ වුණා කියල?

ඇත්ත. ඒ කාලයේ ඇතැම් අය වෙනුවෙන් පළිගැනීමේ ක්‍රියාවන් සිද්ධ වුණා. සමහර අයව බේරල ඇරියා. ඒ හිතවත්කම් නිසා. ඒ නිසා මම කියන්නෙ ඒ සියලු දෙනාටම සාධාරණය ඉෂ්ඨ විය යුතුයි කියලා. මොකද ඔබ දැකල ඇතිනෙ රන්ජන් රාමනායක, ශානි අබේසේකරලට විනිසුරුවරුන්ට බලපෑම් කරපු එක. 

පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි අතර තිබ්බ ගැටුම දැන් ඉවරද? පක්ෂෙ නායකයො අවස්ථාවක් ලබා දුන්නද කතා කරන්න?

ගැටුමක් තිබ්බෙ නෑ. ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්නවලට තවම විසඳුම් ලැබුණෙ නෑ. අපි බලනවා කොහොමද අනාගතයෙ ප්‍රශ්න ටික විසඳගන්න. 

 ගයාන් ගාල්ලගේ