යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ටී.එන්.ඒ. මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම පාර්ලිමේන්තුව තුළදී ප්‍රශ්න කෙරිණි. සුමන්තිරන් මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය බදාදා (10) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ එය අසාධාරණ බව ප්‍රකාශ කරමිනි. සුමන්තිරන් මහතාට ජීවිත තර්ජන තිබෙන බවත් පා ගමනක් ගියා කියමින් ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීම වැරදි බවත් මෙය ඒකාධිපති රටක් නොවන බවත් විපක්ෂනායකවරයා කීය.
මෙහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කළේ එසේ නම් ඔබතුමන්ලා ත්‍රස්තවාදීන්ට කොතරම් ආරක්ෂාව ලබාදී ඇත්දැයි කියාය. හමුදා භටයෝ හතර වටේ තබාගෙන පිල්ලෙයාන්ට අද ආරක්ෂාව දෙන බවද ත්‍රස්තවාදීන්ට එරෙහිව හැමදාමත් කටයුතු කළ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම ඉතාම අසාධාරණ බවද ඔහු කීය.
මෙයට පිළිතුරු දුන් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ සුමන්තිරන් මන්ත්‍රීතුමාගේ ආරක්ෂාව ඉවත් කළේ මහජන ආරක්ෂක ඇමැති හැටියට තමන් බවය. යම් පුද්ගලයකු අධිකරණයේ හෝ පොලීසියේ නියෝග නොතකමින් යම් නීති විරෝධී ස්ථානවලට යන්නේ නම් එවැනි පුද්ගලයකුට පොලීසියේ ආරක්ෂාව ලබාදීම විහිළුවක් බවත් තමා යටතේ තිබෙන පොලිස් හමුදාව නිවට හමුදාවක් කිරීමට සූදානම් නැති බවත් ඔහුගේ පිළිතුරේ සඳහන් විය.
මේ අර්ථයෙන් ගත්කළ මේ රටේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තමන්ගේ ආරක්ෂාව අහිමිකර ගැනීමකින් තොරව කිසිදු උද්ඝෝෂණයකට හෝ මහජන පෙළපාලියකට සහභාගී විය නොහැක. මෙය මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතීන් පවා අභියෝගයට ලක්කරන ප්‍රකාශයකි. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින බොහොමයක් මැති ඇමැතිවරු එවැනි උද්ඝෝෂණවලට සහභාගි වූවෝ වෙති. ප්‍රජාතන්ත්‍රවාදී රටක පෙළපාලි සහ උද්ඝෝෂණ, ආණ්ඩු විරෝධී ව්‍යාපාර තහනම් කළ නොහැක. ඒවාට විරුද්ධව නියෝග ගැනීම් බොහෝ අවස්ථාවලදී උසාවි මගින් ප්‍රතික්ෂේප කෙරෙන්නේ එවැනි නියෝග ලබාදීම මූලික අයිතිවාසිකම්වලට එරෙහි වීමක් වශයෙන් දක්වමිනි. ඒ එක් පැත්තකි.
අනෙක් අතට ඇමැති සරත් වීරසේකර මහතාම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ නැගෙනහිර පළාතේ කොටි නායකයාව සිටි කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට ඇවිත් නියෝජ්‍ය ඇමැති පදවියක්ද දැරූ අවස්ථාවේ ඔහුට පොලිසිය පමණක් නොව හමුදාවේද ආරක්ෂාව ලැබුණි. ඒ ඔහු මහජන මන්ත්‍රීවරයකු වූ බැවිනි. ඔහු ත්‍රස්තවාදියකුව සිටි කාලයේ දළදා මාලිගාවට බෝම්බ ගැසූ සිද්ධියේ ප්‍රධාන චූදිතයා විය. ඒ ඔහුට එරෙහි එක් අපරාධයක් පමණි. පිල්ලෙයාන්ද කොටින් වෙනුවෙන් මිනීමැරූ බවට අපරාධ චෝදනා ලැබූවෙකි. මේ අයට ආරක්ෂාව ලබා දෙන්නේද පොලිස් හමුදාව මගිනි.
එම්.ඒ. සුමන්තිරන් මහතා සෑම කල්හිම එල්.ටී.ටී.ඊ. විරෝධියකු වූ අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නෙකි. ඒ නිසාම ඔහු අද කොටින්ට සහාය දක්වන එතෙර සිට ක්‍රියාත්මක කල්ලි සහ ඔවුන්ගේ මුදලින් යැපෙන උතුරේ කල්ලිවල මරණීය තර්ජනවලට ලක්වී සිටින්නකු බව සුප්‍රකට දමිළ දේශපාලන විචාරකයකු වන ඩී.බී.එස්. ජෙයරාජ් ප්‍රකාශ කරයි.
සුමන්තිරන් මහතාට එරෙහිව දැඩි ජීවිත තර්ජනයක් පවතින බවට බුද්ධි අංශ සතුව තොරතුරු ඇතැයි විපක්ෂයද සඳහන් කර තිබිණි. මේ අතර ඔහුගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරනු ලැබුවේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් වලට අනුකූලව පැවැති සාමකාමී විරෝධතා පා ගමනකට සහභාගිවීම හේතුවෙන් යැයි ප්‍රකාශයට පත්වීම මතභේදයට ලක්වීම වැළැක්විය නොහැක.