විමල් වීරවංශ දේශපාලනය පටන් ගත්තේ 1994දී වුවත් ඔහු පාර්ලිමේන්තුවට එන්නේ 2000දීය. කොළඹ දිස්ත්‍රික්කයෙන් ජවිපෙ නියෝජනය කරමින් ඡන්ද 13,284ක් අරං පාර්ලිමේන්තුවට එන විමල් 2004 එජනිස සමඟ සන්ධානගතව ජවිපෙන් තරග කර ඡන්ද 2,37,185ක් ගත්තේය. ඊටපස්සේ ජවිපෙන් ඉවත් වී ජාතික නිදහස් පෙරමුණ පිහිටුවාගෙන එජනිස සමඟ එකතු වී 2010 දී පාර්ලිමේන්තු එන්නේ ඡන්ද 2,80,672ක් ගනිමිනි.
කෙසේ වුවද ඔහු හොඳම ප්‍රතිඵලය පෙන්නුම් කරන්නේ 2015දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය වූ අවස්ථාවේ ඡන්ද 3,13,801ක් ලබාගෙනය. 2020දී රාජපක්ෂලා යළිත් ආණ්ඩුව පිහිටුවූ අවස්ථාවේ විමල් ගන්නේ ඡන්ද 2,67,084ක් පමණි. ආණ්ඩුව පරදින විටත් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ විමල් තමන් සහාය දුන් පොහොට්ටුව දිනන විට දිස්ත්‍රික්කයේ දෙවැනියා විය. ඔහු දෙවැනි තැනට දැම්මේ කොළඹ දිස්ත්‍රික්කයට මුලින්ම ඉදිරිපත් වූ සරත් වීරසේකරය.
ආණ්ඩුව පරදිනකොටත් කොළඹ පළමුවැනියා වූ විමල්ට ආණ්ඩුව විශිෂ්ට ලෙස ජයගනිද්දී තමන් දෙකට වැටීම ගැන හිත් අමාරුවක් නොහැදුණානම් පුදුමය. ඔහු ජවිපෙ සිටියදී ගත්තේ යන්තම් ඡන්ද 13,000ක් වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධානගත වීමෙන් පස්සේ ඡන්ද ගත්තේ ලක්ෂ ගණනිනි. රාජපක්ෂවරුන් සමඟ සන්ධානගත වීම විමල්ගේ දේශපාලන ගමනට ලොකු ගැම්මක් වූ බව එයින් පැහැදිලිය. ඔහු ඡන්ද ව්‍යාපාරය තුලදී රාජපක්ෂවරුන්ගේ වේදිකාවේ ප්‍රධානම කසකාරයා විය. ඔහුගේ “කට” රාජපක්ෂවරුන්ට අමිල සම්පතක් වී තිබූ බව රහසක් නොවේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමේදීත් යුද්ධයට දේශපාලන නායකත්වය ලබාදීමේදීත් විමල් සෙවණැල්ලක් මෙන් මහින්දගේ වේදිකාවේ සිටියේය. මහින්ද සමඟ චන්ද්‍රිකා දේශපාලන වශයෙන් අවි අමෝරා ගනිද්දී විමල් චන්ද්‍රිකාව හැඳින්වූයේ නූල කැඩිච්ච සරුංගලයක් හැටියටය. නැතහොත් දේශපාලන බිබික්කමක් හැටියටය. ඔහු තදින්ම බැඳී සිටියේ රාජපක්ෂලා නායකත්වය දුන් දේශපාලන පක්ෂය සමඟ නොව රාජපක්ෂලා සමඟ බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. ඒ අතරිනුත් මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ දේශපාලන ලෝකයේ මහරජා විය. එහෙම හිටපු විමල්, මහින්ද රාජපක්ෂ මහත්තයා එයාගේ පක්ෂයේ මහ පුටුවෙන් බස්සන්න කියලා කියයිද? ඇත්තටම ඔහු එහෙම කිව්වාද?
ඒක හරියටම දැනගන්න නම් විමල් පසුගිය සතියේ “ඉරිදා ලංකාදීප”යට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී දෙබරයට ගල් වැදුණු උත්තරය කියවාම බැලිය යුතුය. ප්‍රශ්නය වී තිබුණේ රට කරවන්නේ ඇත්තටම ජනාධිපති ගෝඨාභයද, අගමැති මහින්දද? වෙනත් කෙනෙක්ද යනුවෙන් රටේ ඇත්තටම ප්‍රශ්නයක් තිබෙන බවය. ඒකට විමල් දුන් උත්තරයේ මෙසේ සඳහන් විය.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හැටියට ඉතා විශිෂ්ට සේවයක් මේ රටට ඉටුකරපු කෙනෙක්. රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා බාරගත්තට පස්සේ දේශපාලන ක්ෂේත්‍රයේදී එතුමා ඉන්නේ එක්තරා ආකාරයකට අත්දැකීම් බහුල චරිතයක් හැටියට නෙවෙයි. ඒ වගේම එතුමාට විය යුතුව තිබුණු දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබාදීමයි. එතුමාට එහෙම ගෙන්වන්නේ නැතිව ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒකෙන් වෙන්නේ මන්ත්‍රීවරුන් සහ එතුමා අතර තියෙන සබැඳියාව දුබල වීම. දේශපාලන තන්ත්‍රය සමඟ එතුමා අතර තිබෙන සබැඳියාව දුර්වල වීම. ඒක ආණ්ඩුවේ සහ රටේ නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවෙයි. ඉතින් මට තේරෙන්නේ නෑ ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ, කුමන අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහාද කියලා.”
මේ උත්තරය දීමෙන් විමල් බලාපොරොත්තු වූයේ දෙබරයට ගල්ගැසීමක් බව පැහැදිලිය. දෙබරය ඇවිස්සුණේය. හැබැයි ඇවිස්සුණාට වඩා තවත් කවුරුන් හෝ ඇවිස්සූ බව පැහැදිලිය. විමල්ගේ උත්තරයට ප්‍රති උත්තර බැන්දේ පොහොට්ටු පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ය. ඔහු පාර්ලිමේන්තු ගියේ ජාතික ලැයිස්තුවෙනි. සාගර කාරියවසම්ගේ මන්ත්‍රී ධුරය ගැන විමල් ප්‍රකාශ කර තිබුණේ “කාට හරි බැලමෙහෙවරකම් කරලා ඒකට ලැබුණු තෑග්ගක් තමයි ඔය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය” කියාය. සාගර කාරියවසම් යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් එම පක්ෂයේ ලේකම් ධුරයට තෝරාගනු ලැබූ තැනැත්තාය. නැගෙනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට ලබාදීමේ ගිවිසුමෙන් ඉවත් කර ගැනීමේ සටනට විමල් ලබාදුන් සහාය ගැන සහ ඒ ගැන ඔහු මාධ්‍ය සාකච්ඡා තබා කළ ප්‍රකාශ ගැන කනගාටු වන බව ප්‍රකාශ කර තිබුණේද සාගර කාරියවසම්ය. එය ඔහුගේ රාජකාරියයි.
විමල්ට ඔහු නොසිටි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රහාරය එල්ල කළ සෙසු මැති ඇමැතිවරුන් අතර ප්‍රසන්න රණතුංගද නිමල් ලාන්සාද සිටියහ. මේ දෙදෙනාද බැසිල්ගේ සමීප දේශපාලන සගයන් බවද ප්‍රකට කරුණකි. විමල් වෙනුවෙන් එහිදී කතා කළ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන වාසුදේව නානායක්කාර මේ දෙදෙනාගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ බවද සඳහන්ය. එකී පොහොට්ටු රුස්වීම ගිනියම් කළ පිරිස අතර සිටි වැඩිදෙනා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට කැම්පේන් කරන අය බවද ප්‍රසිද්ධය. නමුත් බැසිල් තවමත් එයට කැමැත්ත පළකළ බවක් දැනගන්නට නැත.
විමල්ට ප්‍රහාර එල්ල වනවිට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පක්ෂනායක රැස්වීමක් කැඳවා තිබුණි. එයට විමල්ද සහභාගී වී සිටියත් ලොකුවට කතාබහක් ඇති වූ බවක් දැනගන්නට නැත. ඊට හේතුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් බවද සඳහන්ය. ඔහු කියා තිබුණේ “මම ඒ පත්තරේ කතාව බැලුවා. හැබැයි මාව පක්ෂ නායකකමෙන් අයින් කරන්න කියලා විමල් ඒකෙ කොතැනකවත් කියලා නෑ” කියාය. රැස්වීමේ උණුසුම එයින් නිවෙන්නට ඇති වුණත් ප්‍රශ්නය තාම එතැනම බව පෙනුණේ විමල් වෙනුවෙන් අභයාරාමයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමෙනි. ඒ සාකච්ඡාව කැඳවා තිබුණේ “පැවිදි හඬ” සංවිධානය වෙනුවෙන් එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යළි පිහිටුවීම සඳහා “පැවිදි හඬ” සංවිධානය ලොකු කාර්යභාරයක් ඉටුකළත් පසුගිය කාලය තුළම ඒ හඬ තිබුණේ නිහඬවය. ඒ හඬ යළි අවදි වුණේ විමල්ට පහර වදින විටය. මුරුත්තෙට්ටුවේ හිමියන් කිව්වේ මහින්ද සුළඟත්, පැවිදි හඬත් නැත්නම් පොහොට්ටුවක් නැති බවය. රට ගොඩදාගන්න දායකත්වය දුන් අය අමතක කිරීම අනුවණ කමක් බවය. “විමල් වීරවංශට එරෙහිව යන්නට පොහොට්ටුවේ කවුරුන් හෝ සූදානම් වුවහොත් ඊට එරෙහි වන්නට දෙවතාවක් සිතන්නේ නෑ. විමල් ඇතුළු පිරිස නුගේගොඩින් මහින්ද සුළඟ අරඹද්දී පැවිදි හඬ සංවිධානය අභයාරාමයෙන් තම යුතුකම් ඉටු කිරීම ඇරඹුවා. ඊට පස්සේ රට පුරා පැතිරී ගියේ ඔවුන්ගේ හඬ. පොහොට්ටුව පිපෙන්න ජීවය දුන්නේ මහින්ද සුළඟ හා පැවිදි හඬයි. විමල් වීරවංශට බැලපෑම් කිරීමට කාටවත් අයිතියක් නැති බව මතක තබාගන්න කියා මම පොහොට්ටුවේ ලේකම්ගෙන් ඉල්ලා සිටිනවා.”
මුරුත්තෙට්ටුවේ හිමියන් මෙහෙම කියන්නේ පොහොට්ටුවේ ලේකම්වරයාට පමණක් නොවන බව හොඳින්ම පැහැදිලිය. “පැරණි පැවිදි හඬ”ත් සමග බලන විට පොහොට්ටුවේ ලේකම් නවක මන්ත්‍රීවරයෙකි. එහෙම නම් විමල්ට පාට් දැම්මොත් අපිත් අතාරින්නේ නෑ කියලා මුරුත්තෙට්ටුවේ හාමුදුරැවන් මේ කියන්නේ කාටද?
ඒක ගැන සිතාගන්න නම් විමල්ලාත් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝත් එකට එකතු වූ අවස්ථාව සිහිපත් කළ යුතුය. ඒක වුණේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කළ අවස්ථාවේදීය. 20 සංශෝධනයේ සෙසු වගන්තිවලට මේ අයගේ විරෝධයක් නොමැති වුවද ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය ඉවත් කළ යුතුය යන්න ඔවුන්ගේ මතය විය. විමල් සහ උදය ගම්මන්පිලත් වාසුදේව නානායක්කාරත් මේ වගන්තියට දැඩිව විරෝධය පළකළහ. “පැවිදි හඬ” සංවිධානයේ හිමිවරුද මෙයට තමන් විරෝධය දක්වන බව ප්‍රකාශ කළේ ප්‍රසිද්ධියේමය. අවසානයේ ජනාධිපතිවරයා මේ සියලුදෙනා හමුවී පෞද්ගලිකවම සිදුකළ සාකච්ඡාවලින් පසුව ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ වූයේද එම විරෝධතා යටතේමය.
ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන වගන්තිය 19ට ඇතුළු කළේ රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට බව ආණ්ඩුවේ ස්ථාවරය විය. එසේ වුවද 20 වැනි සංශෝධනය ඉදිරිපත් කෙරෙන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අවසන් කොට තිබිණි. මහින්ද රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ගැටලුවක් තිබුණේම නැත. ද්විත්ව පුරවැසිභාවය ගැටලුවක් වීමට ඉතිරිව සිටියේ එකම රාජපක්ෂවරයෙකි. ඒ පොහොට්ටුව සැදූ බැසිල් රාජපක්ෂය.
ඉතින් දෙබරයකට ගල් ගැසීමක් බව දැන දැනම විමල් වීරවංශ පොහොට්ටුවේ නායකත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ආ යුතු බව කියන්නේ කට කහනවාට විය නොහැක. කොහොමත් විමල් මැතිවරණ වේදිකාවලදී හැර වෙනත් වේදිකාවලදී එහෙම කතා කරන්නේ නැත. එහෙම කතා කරන්නේ ඉලක්කයක් හිතේ තබාගෙනය. එම ඉලක්කය බැසිල් රාජපක්ෂද නැත්නම් අනාගත පදවියක්ද කියන්න තවම කල් වැඩිය.
ශශීන්ද්‍ර