පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර දෙකක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වැනිදා වනවිට එහි මහ මොළකරුවන් අල්ලාගෙන නොතිබුණහොත් සිදුවිය හැකි තත්ත්වය පිළිබඳව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පසුගියදා ලොකු අනතුරු ඇඟවීමක් කළහ. එය රටපුරා ක්‍රියාත්මක කෙරෙන දැවැන්ත විරෝධතාවකි. එහි මූලික පියවර කළු ඉරිදා වශයෙන් නම්කරනු ලැබ තිබේ. එම කළු ඉරිදාව අද (07) ක්‍රියාත්මක වෙයි.
කොළඹ අගරදගුරු නිවෙසේ පසුගිය අඟහරුවාදා (02) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ අනතුරු ඇඟවීම සිදුකළ කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ප්‍රකාශයට පත් කර ඇති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළේය. එම වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු සහ නිර්දේශවලට තමන්ගේ විරෝධය පළකරන එතුමෝ එම මහපොළොව නුසුලන අපරාධයට වගකිවයුතු පිරිස් තවමත් නීතිය ඉදිරියට පැමිණවීමට නොහැකිවීම පිළිබඳ තම විමතියද පළකරති. ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවුවද එම වගකිවයුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව පැහැදිලි කිරීමක්ද ඉල්ලා සිටිති.
පාස්කු ප්‍රහාරය කොතරම් දරුණු ඛේදවාචකයක් වී දැයි යන්න අප කිසිවකුටවත් තවම අමතක නැත. එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ 269 දෙනා සහ තුවාල ලැබූ 500කට අධික පිරිස වෙනුවෙන් අප හදවත් තවමත් ප්‍රකම්පනයට හසුවෙමින් තිබේ. ඒ පිළිබඳ මේ වනතුරුත් යුක්තිය ඉටුනොවීමෙන් අගරදගුරුතුමන්ට ඇතිවන ශෝකය සහ වේදනාව ඉසිලිය නොහැකි තරම් බවද අපට වටහාගත හැකිය. පාස්කු කොමිසමේ වාර්තාව නිකුත් වුණත් ඊට ආධාර සහ අනුබල දුන් පුද්ගලයන් සහ එහි පසුපස සිටි මහමොළකරුවන් තවමත් නිදැල්ලේ සිටීම එතුමන්ට බරපතළ ගැටලුවක් වන්නේ එබැවිනි. එකී ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පුද්ගලයන් පැමිණ තම මියගිය සහ තුවාල ලැබූ සමීප ඥාතීන් පිළිබඳ තොරතුරු මතක් කර දෙන විට අගරදගුරුතුමෝ ඇතුළු කතෝලික පල්ලිවල සෙසු පූජක ප්‍රසාදීන් වහන්සේලාට තවමත් දියහැකි නිශ්චිත පිළිතුරක් නොමැති වීම මහත් අවාසනාවක් බව කිවයුතු නැත.
පාස්කු කොමිෂන් වාර්තාව පත්කරනු ලැබුවේ එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. එය පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු විමර්ශනය කිරීමේ පරීක්ෂණ කොමිසමක් මිස වැරදිකරුවන්ට දඬුවම් නියම කරන අධිකරණ බලතල සහිතව පිහිට වූ කොමිසමක් නොවීය. මේ නිසා එම පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙන ලද සියලු පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු විශ්ලේෂණය කොට එහි සම්පිණ්ඩනයක්ද සමග එම ම්ලේච්ඡ ප්‍රහාරයට තුඩුදුන් හේතු කාරණා සහ එවැනි තත්ත්වයක් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ අවස්ථාද ඊට අදාළ නිර්දේශද මේ වාර්තාවේ සඳහන් වෙයි. එසේම මෙවැනි මහා අපරාධයක් යළි සිදු නොවනු පිණිස රට තුළ ඇති කළ යුතු ආකල්පමය වෙනස්කම්ද නිර්දේශ සහිතව එහි සඳහන්ය. ප්‍රහාරය සිදුවන අවස්ථාව දක්වා වසර ගණනාවක සිට ඇතිවෙමින් තිබූ තත්ත්වයද සාක්ෂි විමසීම්වලදී අනාවරණය වූ පරිදි එහි ඇත. බුද්ධි තොරතුරු ලැබීම් සහ ඒවා නොසලකා හැරීම්ද එහි සඳහන් බව මේ වනවිටද අනාවරණය වී තිබේ. අගරදගුරුතුමන් අතට මේ වනවිට ලබාදී තිබෙන එම කරැණු ඇතුළත් කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා එතුමන් විසින් පත්කර ඇති විශේෂඥ කමිටුවේ නිගමන මේ බොහොමයක් ගැටලුවලට විසඳුම් ලබාදෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසය බවද සඳහන් කළ යුතුය.
මෙරට ඉහළ අධිකරණවල රටම පිළිගත් ගෞරවය දිනා සිටින විනිශ්චයකාරවරුන්ගෙන් සැදුම්ලත් සාමාජිකයන්ගෙන් සමන්විත වූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව නිකුත් කර ඇති පාස්කු ප්‍රහාරයේ වාර්තාව මේ තරම් ඉක්මණින් කළු කොඩි විරෝධයකට ලක්වීම කනගාටුවට කරුණක් බවද මෙහිදී පෙන්වා දීම අවශ්‍යය. කොමිසමට බලතල ඇත්තේ ඒ පිළිබඳ කරුණු විමර්ශනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම වුවද ඕනෑම කෙනෙකුට එහි සඳහන් කරුණු උපයෝගී කරගනිමින් උසාවියේ නඩු පැවරීම කළ හැකිය. එහිදී කොමිසම හමුවේ ලබාදී ඇති ප්‍රකාශ සනාථ කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීම මේ ප්‍රහාරයේ මහමොළකරුවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබාදීමේ මාවත පාදා දෙනු ඇත.
පාස්කු ඉරිදා ඛේදවාචකය සම්බන්ධයෙන් එවකට සිටි ජනාධිපති - අගමැති ප්‍රමුඛ රජය වගකිවයුතු බවද වාර්තාවේ සඳහන් කර තිබේ. හිටපු ජනපතිට සහ ඇමැති රිෂාඩ් බදියුදීන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු දැමිය යුතු බව එක් නිර්දේශයකි. මීළඟ පියවර වන්නේ නීතිපතිවරයා විසින් එම නිර්දේශයද ඇතුළු සෙසු කාරණා පිළිබඳව නීතිමය තත්ත්වය සලකා බැලීමය. කොමිෂන් වාර්තාව පදනම් කරගනිමින් නඩු පැවරීම් සිදුකළ හැකි ආකාරය තීරණය වන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මතය. ඒ සඳහා නීතිපතිවරයාට තරමක කාලයක් ගතවන බව තේරැම් ගැනීම අවශ්‍යය. එහෙත් බොදුබල සේනාව තහනම් කිරීම වැනි නිර්දේශ ගැන සමාජ ආන්දෝලනයක් හටගෙන ඇත.
කතෝලික ප්‍රජාවගෙන් යුක්තිය ඉල්ලා කාදිනල් තුමන් වෙත එල්ල වන බලපෑම සුළුපටු නොවන බව අවබෝධ කර ගැනීම දුෂ්කර නැත. “කළු ඉරිදාව” එම පීඩනයේ එක් ප්‍රතිඵලයක් වශයෙන් අපි දකිමු. මේ තත්ත්වය යථා පරිදි තේරැම් ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අදාළ බලධාරීන් උනන්දු විය යුතුය. පීඩනය දැවැන්ත විරෝධයක් දක්වා ව්‍යාප්තවීම වළක්වා ගත හැක්කේ එවිට පමණි.