2021 මාර්තු 27 වන සෙනසුරාදා

ජිනීවා බෙහෙත් වට්ටෝරුව

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

මහාචාර්ය කොටපිටියේ රාහුල හාමුදුරුවෝ මේ රටේ ගෞරවයට පාත්‍ර වූ උගත් පඬිරුවනකි. උන්වහන්සේ දේශපාලනය කතා කරන්නේ නැත. එහෙම වුණත් අවස්ථාවක් ලැබුණාම කියන්න තිබෙන දේ කෙළින්ම කියන හිමිනමකි.

මහාචාර්ය රාහුල හිමියෝ පසුගිය 17 වැනිදා පැවැති උත්සවයකදී අපේ රටේ භික්ෂූන් වහන්සේලා ජාත්‍යන්තරය ගැන කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අපූරු කතාවක් කීහ. එය භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගෙන කිව්වත් රටේම දේශපාලනයට අදාළ විය. ජිනීවා යෝජනාවට දවස් කිහිපයක් තිබියදී උන්වහන්සේ මේ කතාව කළේ ජනාධිපතිවරයාත් විදේශ ඇමැතිවරයාත් අහගෙන සිටියදීය. උන්වහන්සේ මෙසේ සඳහන් කළහ.

“අපේ හාමුදුරුවරුන් ජාත්‍යන්තරය දිනාගන්න හදන්නේ ජාත්‍යන්තරයේ නමක් හදාගන්න හදන්නේ සහයෝගය දිනාගන්න හදන්නේ ජාත්‍යන්තරයට විරුද්ධ වෙලා. ලෝකය දිනන්න යන්නේ අපේ මහා කඨෝර භාෂාවෙන්. අපි අපේ අනන්‍යතාව රැකගන්න ඕනෑ. දුර්වලකම් ප්‍රදර්ශනය කරන්න හොඳ නෑ.

දවසක් අමෙරිකාවේ තානාපතිනිය මා හමුවෙන්න ආවා. ඇය කිව්වා අපි ලංකාවට උදව් කළත් මොනවා කරන්න හැදුවත් බොහෝ දෙනෙක් විරුද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් හාමුදුරුවරුන් විරුද්ධ වෙනවා. ලංකාවේ හාමුදුරුවරු ඇමෙරිකාවට ඇවිත් පන්සල් 82ක් හදලා තියෙනවා. මේ හාමුදුරුවරුන් බුද්ධාගම උගන්වන්නේ භාවනා උගන්වන්නේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොවේ අමෙරිකාවේ සුදු ජාතිකයන්ට. ලංකාවේ ලක්ෂ ගාණක් අද අමෙරිකාවේ ඉන්නවා. හැබැයි ඔබලා වගේ අපිත් හිතුවා නම් අපේ රටේ එක හාමුදුරුකෙනෙක්වත් මේ වෙනතුරු නැහැ. අපි ලංකාවේ එක පල්ලියක්වත් හදලා නෑ. අපි  උදව් කරන්න ආවත් අපට ගරහනවා. 

මට මේවා අහලා කට උත්තර නැතිවුණා. මම කියන්නේ අපි ඒ පැත්ත මේ පැත්ත ගත යුතුයි කියා නොවෙයි. අපි විදේශයන් සමඟ අවිචාරවත් ලෙස කටයුතු කරනවා නම් අපේ වටිනාකම් මොකක්ද කියලා හිතන්න වෙනවා.”

මේ කතාව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපූරු විවරණයකි. ජිනීවා ඡන්දයෙන් මෙහෙම පරාජය වූයේ ඇයිදැයි පසුවිපරමක යෙදෙනවා නම් ආණ්ඩුවට වෙන මුකුත් උවමනා නැත. මේ කතාවේ අන්තර්ගතය හරිහැටි තේරුම් ගන්නට හැකිනම් එය ප්‍රමාණවත්ය.

අද ආණ්ඩුව ඇතුළෙන්ම නැගෙන චෝදනාවක් වන්නේ ජිනීවා යෝජනාවේදී ශ්‍රී ලංකාව මේ ඉරණමට මුහුණ දුන්නේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී දැක්වූ දුර්වලකම් හේතුවෙන් බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව පරාජය කිරීමට අසමත්වීමට විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා වගකිවයුතු බවය. විදේශ ලේකම් පසුගිය කාලයේ සිදුකළ ඇතැම් ප්‍රකාශ අදාළ රටවල් ගනුලැබූ තීන්දුවට බලපෑම් ඇතිකළ බවත් ඔහු තම කාර්යභාරයෙන් හදිසියේ වැටපනින බවටත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා චෝදනා කළේය. ඉන්දියාව නිශ්චිත තීරණයක් ගැනීමට පෙරම විදේශ ලේකම්වරයා ඉන්දියාව තමන්ට සහාය දක්වන බවට කළ ප්‍රකාශය ඔහු උදාහරණයකට ගත්තේය. 

ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ශ්‍රීලනිපයේ අදහසද නැත්නම් සමස්ත ආණ්ඩුවේම අදහසදැයි එකපාරටම කියන්න බැරිය. එහෙම වුණත් යුද්ධය දිනපු අවුරුද්දේ පටන් මානව හිමිකම් කවුන්සිලය හරහා ලංකාවට බලපෑම් කිරීමට බටහිර සහ යුරෝපා බලවතුන් අටවනු ලබන ජිනීවා යෝජනාවෙන් අඩුම ඡන්ද ප්‍රමාණයක් ලැබුවේ මේ අවුරුද්දේ වීම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ආණ්ඩුවට විශාල පසුබෑමකි. ඒ ගැන ආණ්ඩුව ඇතුළේ විවේචනාත්මක කතිකාවක් ඇති නොවුණා නම් පුදුමය. ඩිලාන්ගෙන් එළියට පැන්නේ ඒ කතිකාවේම කොටසක් විය යුතුය. කොහොම වුණත් ආණ්ඩුව ඉදිරියට යන්නේ මේ වැඩපිළිවෙළට අනුව නම් ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් තවදුරටත් වැඩිවනවා මිස අඩුවන්නට හේතුවක් නැත.

ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් විදේශ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු කියා තිබුණේ කිසිදු ස්වෛරී රාජ්‍යයක් බාහිර බෙහෙත් වට්ටෝරැව අනුව කටයුතු කිරීමට බැඳී නැති බවය. කවුන්සිලයේ බහුතරයක් ජිනීවා යෝජනාවට සහාය නොදැක්වූ බවද ඔහු කිව්වේය. මානව හිමිකම් කවුන්සිලය එහි මාර්ගෝපදේශක මූලධර්මවලට අනුකූලද නැද්ද යන්න නැවත තක්සේරු කිරීමට මෙම ඡන්දය එක්සත්ජාතීන්ගේ සාමාජික රටවලට අවස්ථාවක් ලබාදී ඇතැයි ලංකාවේ අදහස බවද ඔහු කීය.

මේ කතාවට පිළිතුරු දෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා තිබුණේ පිටු දාහතහමාරකින් යුත් ජිනීවා යෝජනාවේ යුද්ධය සම්බන්ධයෙන් වෙන්වී තිබුණේ පිටු දෙකහමාරක් පමණක් බවය. ඉතිරි පිටු පහළොවේම සඳහන්ව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ පසුව විනාශ වූ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස සහ සුළු ජාතීන්ට හිරිහැර කිරීම් බවද කියමින් ඔහු ඉල්ලා සිටියේ ජිනීවා යෝජනාවලිය සම්පූර්ණයෙන් කියවන ලෙසටය.

ජිනීවා යෝජනාව ගැන විදේශ ඇමැතිවරයා එහි ඡන්දය විමසීමෙන් පසුව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමේ වැදගත්කම කුමක්දැයි වටහාගැනීම අසීරුය. මෙහිදී සඳහන් වූ කාරණා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළ හැකිව තිබුණි. එසේම ජිනීවා යෝජනාවේ අන්තර්ගතය සම්පූර්ණයෙන් සභාගත නොකර විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් ආණ්ඩුවට සැලසෙන විශේෂ වාසියක්ද නැත. යුද්ධය දිනූ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරය සිදුකරන කුමන්ත්‍රණවලින් ඔවුන් ගලවා ගැනීමට තමන් කැපවී කටයුතු කරන බව කියන සටන්පාඨයට රට ඇතුළේ තවමත් හොඳ ඩිමාන්ඩ් එකක් තිබෙන බැවින් ඒ සඳහා මේ අවස්ථාව යොදාගැනීමට රජය කල්පනා කරනවාද විය හැකිය. එහෙත් ජිනීවා යෝජනාවේ මෙවර ඒ සම්බන්ධයෙන් අඩු අවධානයක් යොමුකර තිබීම හේතුවෙන් එහි වටිනාකම අඩු වී තිබේ.

ජාත්‍යන්තරයට අභියෝග කර එය රට ඇතුළේ විශාල ජයග්‍රහණයක් වශයෙන් පෙන්වා ඡන්දය ලබාගැනීමේ උපක්‍රමයෙන් රජය තවමත් මිදී නැති බව මේ ක්‍රියාමාර්ගයෙන් පැහැදිලි වෙයි. නමුත් යෝජනාව මේ තරමට පැරදුණේ රජයේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී දැක්වූ දුර්වලකම් හේතුවෙන් බවට රජය ඇතුළෙන්ම චෝදනා එල්ල වනවිට එවැනි සටන් පාඨයක දිගටම රැඳී සිටීමද ආණ්ඩුවට අමාරුය.

ආණ්ඩුව ඒ වෙනුවට ජිනීවා යෝජනාවේදී සිදුවිය හැකිදේ පිළිබඳ කල්තබා පැහැදිලිව නිරවුල්ව විශ්ලේෂණය කරගෙන සිටියා නම් කළයුතුව තිබුණේ යෝජනාවට කලින් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කතිකාවක් ඇති කිරීමය. ඒ සඳහා රජයක් වශයෙන් නොව රටක් වශයෙන් ගතහැකි පියවර ගැන විපක්ෂයේද අදහස් ලබාගැනීමට කටයුතු කිරීමය. එසේ කළා නම් විපක්ෂයටද එයින් මගහැර ගොස් පසුව ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඉන්දියාව අහක බලන එකක් නැහැ වැනි බොළඳ ප්‍රකාශ නිකුත් කරනවාට වඩා එය හැම අතින්ම යහපත් පියවරක් විය හැකිව තිබුණි. ආණ්ඩුව දැන් කරන්නේ අශ්වයා පැන ගියාට පසුව ඉස්තාලයේ දොර වැසීම වැනි ක්‍රියාවකි.

ජිනීවා යෝජනාවේ අමිහිරි ප්‍රතිපලය ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයන් නින්දෙන් අවදි කිරීමක් බව පැහැදිලිය. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්ද ශ්‍රී ලංකාවට සහාය දක්වන රටවල් වශයෙන් ගණන් ගනිමින් මෙය අපේ රට ලැබූ (ජයග්‍රහණයක්) වශයෙන් පෙන්වා සතුටුවනවාට වඩා 2009 සිට ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය විසින් ගොතනු ලබන යෝජනාවට අවම සහායක් ලද අවස්ථාව වශයෙන් සලකා ඊට පිළිතුරු සොයාගැනීම විදේශ අමාත්‍යංශයේ ජාතික වගකීම වෙයි. එසේම වැඩිම රටවල් සංඛ්‍යාවක් (14) ඡන්දය දීමෙන් වැළකී සිටියේද මේ වසරේය. ඊට පෙර 2014දී රටවල් 12ක් ඡන්දය නොදී සිටියේය. ඉන් අනතුරුව එළඹුණු වසර කිහිපයේ ශ්‍රී ලංකාව අමෙරිකාව සමග යෝජනාවට සම අනුග්‍රාහකත්වයක් දැක්වීම නිසා ඡන්දය විමසීමක් සිදුවුණේ නැත.

ලංකාව තවදුරටත් ජාත්‍යන්තරය සමඟ ගහගෙන ප්‍රශ්න විසඳාගන්නා ප්‍රතිපත්තියේම රැඳී සිටින්නේ නම් ලබන සැප්තැම්බරය වනවිට මීටත් වඩා දරුණු ජාත්‍යන්තර ප්‍රතික්‍රියාවලට මුහුණදීමට සිදුවනු ඇති බව පැහැදිලිය. නැත්නම් ලංකාව ගැන කරුණු සොයන්න මානව හිමිකම් කවුන්සිලය ඩොලර් මිලියන 2.8ක් ඉල්ලන්නේ නැත. විදේශ ප්‍රතිපත්තිය හදාගන්න ආණ්ඩුවට අවංකවම කැමැති නම් උපදෙස් ගත යුත්තේ දේශපාලන වේදිකාවට නැග උගුර ලේ රහ වනතුරු කෑගසා ජාත්‍යන්තරයට අභියෝග කරන හාමුදුරුවරුන්ගෙන් නොව මහාචාර්ය කොටපිටියේ රාහුල වැනි විද්වත් හාමුදුරුවන්ගෙන් බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත. හැදෙනවා නම් රාහුල හිමියන්ගේ ප්‍රකාශය අනුව කටයුතු කිරීම පමණක් ආණ්ඩුවට ප්‍රමාණවත්ය.

- ශශීන්ද්‍ර