මංගල සමරවීර මෙරට ප්‍රධාන දේශපාලන ජල ධාරාවේ පෙරළෙන ගලකි. පෙරළෙන ගලක සෙවල නොබැඳෙන බව කියන්නේත් කට කහනවාට නොවේ. මංගල ශ්‍රීලනිපයෙන් දේශපාලනයට ඇතුළු වුණේ අනුර බණ්ඩාරනායකගේ මිත්‍රත්වය ප්‍රයෝජනයට ගනිමිනි. බෙල්ලට එන තෙක් කොණ්ඩය වවාගෙන හචා බෑග් එකක්ද කරේ එල්ලාගෙන තෝඩු පැළඳ නුතර සමඟ රොස්මීඩ් බංගලාවට ඇතුළු වූ තරුණ මංගල දුටු සිරිමාවෝ මැතිනිය අනුරට අඬගසා මේ කව්දැයි විමසූ බවත් ඔහු පිළිබඳ අනුරගේ විස්තරය අසාගෙන සිටි මැතිනිය ඔක්කොටම ඉස්සෙල්ලා ගිහින් ඔය කොණ්ඩෙ කපාගෙන එන්නැයි කියා අනුර අතේ මංගලට පණිවුඩයක් යැවූ බවත් එක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ඒ කාලයේ ලියූ ලිපියක සඳහන්ව තිබිණි. මංගලගේ දේශපාලන ගමනට පෙකණිවැල කැපුණේ ශ්‍රීලනිපයේ නායිකාව වූ සිරිමාවෝ මැතිනියගේ ආශිර්වාදයෙන් ඒ ආකාරයටය.
එහෙම ගමන් ඇරඹූ මංගල මුල පටන්ම මෙරට දේශපාලන කරළිය තුළ පෙරළිකාර චරිතයක් විය. ඔහු සිරිමාවෝ මැතිනියගෙන් දේශපාලන අතපොත් ලබාගෙන චන්ද්‍රිකාට එකතු විය. සිරිමාවෝ මැතිනිය ශ්‍රීලනිපයේ ඉදිරි ගමනට අනුරගෙන් ලැබෙන සහාය පිළිබඳව සැක පහළ කරගෙන ඒ කාලයේ පිටරට සිටි චන්ද්‍රිකාව මෙරටට ගෙන්වාගෙන ඔටුනු පළඳවන්නට කැසකවන විට අනුර ඊට එරෙහි වී පැත්තකට වී යූ.එන්.පියට එකතු විය. හැබැයි මංගල අනුර එක්ක ගියේ නැත. අනුරගේ ඒ කාලයේ දේශපාලන ගජමිතුරා වූ මහින්දත් අනුර එක්ක ගියේ නැත. ඔහු ශ්‍රීලනිපය සමඟ රුඳී සිටීමට තීරණය කළත් මංගලගේ භූමිකාව පිළිබඳවද ඇහැගහගෙන සිටියේය.
මංගල චන්ද්‍රිකාට එක්වී රටේ ඊළඟ නායිකාව බවට චන්ද්‍රිකා පත් කිරීමට ප්ලෑන් එක ගැහුවේය. චන්ද්‍රිකාගේ රුඩිකල් දේශපාලන චරිතයට මංගලගේ ලිබරල් චින්තනය හොඳට ෆිට් විය. චන්ද්‍රිකා රටේ ජනතාවට කිට්ටු කිරීමට සංවිධානය කළ පා ගමනේදී මංගල පළමු වතාවට මහින්ද සමඟ ගැටුණේය. චන්ද්‍රිකා ඒ වෙලාවේ ගත්තේ ළඟදී තමාට එකතු වූ මංගලගේ පැත්ත මිස ශ්‍රීලනිපයේ උරුමක්කාර පවුලක කැපීපෙනුණු සාමාජිකයා වූ මහින්දගේ පැත්ත නොවේ. මංගලගේ හයියට ඒ වෙලාවේ එකතු වුණේ එස්.බී. ය. මේ දෙදෙනා තම තරුණ ජවයද එකතු කරගෙන චන්ද්‍රිකා 94 දී ජනාධිපති ඡන්දයෙන් දිනවා ඇයගේ කැබිනට්ටුවේ සාමාජිකයෝ බවට පත්වූහ. මහින්දත් කැබිනට් ඇමැතිවරයකු වුණත් චන්ද්‍රිකා ආණ්ඩුව කරද්දී ඇයට වඩාත් සමීපව සිටියේ මංගල සහ එස්.බී. ය. මේ දෙදෙනාගෙන් මංගලගේ ලිබරල් චින්තනය චන්ද්‍රිකාගේ පාලනයට වඩාත් හොඳින් ගැලපීම නිසා ඒ දෙදෙනා අතර ප්‍රබල දේශපාලන බැඳීමක් තිබුණේය. එය කොතරම්දැයි කිවහොත් චන්ද්‍රිකා ජනාධිපතිව සිටියදී 2001 පැවැති මහ මැතිවරණයෙන් පිහිටුවූ යූ.එන්.පී. ආණ්ඩුව අවුරුදු 02කදී වැට්ටුවේ මංගලය. ඒ ඔහුගේ දේශපාලන ගේම්වල බල මහිමයෙනි.
හැබැයි මංගලගේ දේශපාලන ගමන එක පක්ෂයකට සීමා වුණේ නැත. අසූ ගණන් අග වන විට ඇතුළේ බරපතළ මතගැටුම් හේතුවෙන් වැලේ වැල් නැතිව සිටි ශ්‍රීලනිපයට යළි පණ පොවා ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඇතිකර සිරිමාවෝ මැතිනියගේ නායකත්වය වෙනුවට චන්ද්‍රිකා ඉදිරියට ගෙන එම පක්ෂයට රටේ නායකත්වය ලබාදීමට ලොකු මෙහෙයක් කළ මංගල චන්ද්‍රිකාගේ ධූර කාල දෙක අවසන් වන විටදී තම ඉදිරි දේශපාලනය ශ්‍රීලනිපය තුළ සිදුවනවා නම් ඒ වන විට පක්ෂයේ ඉල්ලුම තිබූ මහින්ද සමඟ එක්වීමට සිදුවන බවට ගණන් බලා තිබුණි. ඔහු ගණන් බැලූ ක්‍රමය නිවැරදි විය. ඒ වන විට දකුණේ ප්‍රබල ජනමතයක් ඇතිකරගෙන සිටි මහින්දට ජනාධිපති අපේක්ෂක ධූරය දෙනවා හැරෙන්න චන්ද්‍රිකාට වෙන විකල්පයක් නොතිබිණි. මහින්දට රට ඇතුළේ යූ.එන්.පී. විරෝධී ජනතාව අතරේ ලොකු ඉල්ලුමක් තිබීම ඊට හේතුවය. මහින්දට අපේක්ෂකත්වය ලැබුණු විට මංගල ඔහු සමඟ එක්වී ඔහුගේ කැම්පේන් එකේ ලොකු වැඩ කොටසක් කළේය. මංගලගේ දක්ෂතා හඳුනාගෙන සිටි මහින්ද ඔහුගෙන් හොඳට වැඩ ගත්තේය. එහෙම වුණත් මහින්ද බලයට පත්වීමෙන් පසුව ඔහුගේ පාලනයේ තිබූ ජාතිකවාදී චින්තනය සමඟ මංගලගේ ලිබරල් චින්තනය පෑහුණේ නැත. ජාත්‍යන්තරය සමඟ එකතු වූ යුද්ධයට පිළිතුරක් සොයා යාමේ මංගලගේ පිළිවෙතට මහින්දගේ පාලනය තුළ ඉඩක් නැති විය. ඒ වෙනුවට මහින්ද තෝරාගත්තේ ජාත්‍යන්තරය ඉන්දියාව හරහා බැලන්ස් කර ගනිමින් කොටින්ට එරෙහිව ජයග්‍රහණයක් දකින තෙක් යුද්ධය ඉදිරියට ගෙන යාමේ මාවතයි.
මහින්ද යුද්ධය දිනන විට මංගල ඔහුගේ ආණ්ඩුවෙන් ඉවත් වී යූ.එන්.පිය සමඟ එක්වී සිටියේය. ඒ වන විට ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩුවේද මහින්දගේ ආණ්ඩුවේද කැබිනට් ඇමැතිවරයෙක් වශයෙන් කටයුතු කර තිබිණි. මේ අවස්ථා දෙකේදීම මංගල ජාත්‍යන්තරය සමඟ සුහදව සහ සමීපව කටයුතු කරමින් ඔවුන් සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගාගෙන සිටියේය. මංගලගේ ලිබරල් චින්තනය රනිල්ගේ ලිබරල් ප්‍රතිපත්තිද සමඟ හොඳින්ම ගැලපුණි. මංගල-රනිල් සුසංයෝගයට ටික කලක් ගතවන විට චන්ද්‍රිකාද යටින් එක්වී සිටියාය. යුද්ධය දිනා වසර හයකින් මහින්ද ජනාධිපතිවරණයෙන් පරාජය වීමේ කතාවේ තිරය පිටුපස මංගලගේ භූමිකාව ඉතා ප්‍රබලව කැපී පෙනුණි. මහින්දලාට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයේ මහමොළය වූයේ මංගල බව බොහෝ දෙනාගේ පිළිගැනීම විය. මංගලගේ වැඩත් මෛත්‍රීපාලගේ කටත් 2015 යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණයේ අඩිතාලම දැමූ බව පැහැදිලිය. මංගල ඒ ආණ්ඩුවේ විදේශ ඇමැති ධූරයත් මුදල් ඇමැති ධූරයත් දෙකම අවස්ථා දෙකකදී දැරුවේය.
මංගලගේ දේශපාලයත් සමඟ හැමදාමත් ඈඳී තිබූ ලිබරල් චින්තනය 2015 සිට 2020 දක්වාම ශ්‍රී ලංකාව ජිනීවාහිදී කිසිම යෝජනාවක් සම්මත වීමෙන් වැළැක්වීමට සමත් වී තිබිණි. එහෙම වුණත් ඔහු කවදත් තමන් නිවැරදි යැයි ඍජුවම පිළිගත් ලිබරල් චින්තනය මෙරට දිගටම ඉස්මතු වෙමින් තිබූ ජාතිය සහ ආගම මුල්කොටගත් දේශපාලනය සමඟ පෑහුණේ නැත. ඔහු පළ කළ බෞද්ධ විරෝධී රට තුළ ප්‍රබල විවේචනයකට ලක්විය. ඒ වන විට යූ.එන්.පියද භේදභින්න වී දෙකට කැඩී ගිය තත්ත්වය තුළ මංගල නැගූ ලිබරල් හඬ මහින්දලාට හොඳ දේශපාලන සටන්පාඨ බවට පත්විය. මේ නිසා මංගලට යූ.එන්.පිය ඇතුළෙන්ද විවේචන එල්ල විය. එහෙත් මංගල වෙනස් වුණේ නැත.
සජිත්ලා සමඟ එක්ව සිටියත් මහ මැතිවරණයේදී මාතර ඡන්ද සටනේ තමන් අතරමං වන බව දැනගත් මංගල ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කොට ඡන්ද සටනින් ඉවත් වී නිහඬ විය. ඔහු යළිත් යූ.එන්.පියට යන්න සූදානම් බවටද රාවයක් පැවතුණි. නමුත් දිගටම තමන් පුරුදුව සිටි සටන්කාමී දේශපාලනයෙන් නිහඬ චරිතයකට මාරු වූ මංගල හදිසියේම කරළියට ආවේය. ඒ ආවේ තමන්ට ඉතාම හුරුපුරුදු ජාත්‍යන්තර දේශපාලනයේ රාජපක්ෂ ආණ්ඩුව පසුබෑමකට ලක්වූ අවස්ථාවේදී වීම කැපීපෙනෙයි. එහෙම ඇවිත් මංගල තම පුරුදු භාෂාවෙන් ආණ්ඩුව දැඩි විවේචනයකට ලක් කළේය. පසුගිය 31 වැනිදා කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මංගල එසේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේය. එහිදී ඔහු දිගටම පෙන්වා දුන්නේ තමන්ගේ රජය ජාත්‍යන්තරයේ සහයෝගය ඇතිව විශිෂ්ට ජයග්‍රහණ ලබාගත්තත් වත්මන් ආණ්ඩුව රට භයානක අඩියකට ඇද දමා ඇති බවය.
මංගල 2009 මැයි 26 වැනිදා ඇරුඹුණු ජිනීවා කතාවේ මුල සිට 2021 මාර්තු 23 වැනිදා දක්වා කතාවේ බොහෝ තොරතුරු මේ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි කළේය. 2009 මැයි 18 වැනිදා යුද්ධය දිනාගැනීමෙන් දවස් 07කට පසුව ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී මූන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය මංගල උපුටා දැක්වීය. ලංකාව කොතරම් විරුද්ධ වුණත් 2014 වන විට යුද අපරාධ සම්බන්ධයෙන් දඬුවම් කළ හැකි පරීක්ෂණ කමිටුවක් පත් කර තිබූ බවත් ඒ කමිටුවේ කොන්දේසිවලින් ලංකාවට ගැලවෙන්න බැරි තත්ත්වයක් තිබියදී එය යෝජනාවක් වශයෙන් එදා සම්මත වුණා නම් මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුට පිටරටකට හෝ යන්න නොහැකි තත්ත්වයක් උදාවීමට ඉඩ තිබූ බවත් කියූ මංගල අපේ රටේ ස්වෛරීභාවය විකිණී තිබුණේ එදා බවත් කිව්වේය. ඊළඟට 2015 ආණ්ඩුව පත්වී ජනවාරි 13 වැනිදා විදේශ ඇමැති වශයෙන් දිව්රුම් දී පැය 24ක් ඇතුළත ඉන්දීය විදේශ ඇමැතිවරිය හමුවී සාකච්ඡා කළ බවත් පැය 72ක් තුළ ජිනීවා ගොස් සාකච්ඡා කොට යෝජනාව සම්මත වීමෙන් වළක්වා ගත් බවත් මංගල පැහැදිලි කළේය.
මංගල මේ කතා ඔක්කොම කියන්න හේතුව ආණ්ඩුව මෙවර ජිනීවා යෝජනාවේදී වැඩේ වරද්දා ගැනීමෙන් පසුව එහි වගකීම යහපාලන රජය මත පටවා නිදහස් වීමට දැරෑ උත්සාහය බව පැහැදිලිය. ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේදී පැහැදිලිවම මේ ආණ්ඩුව පැහැදිලි ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ජාත්‍යන්තරයට බැට දී එය රට ඇතුළේ ඡන්ද දිනාගැනීමේ තුරුම්පුවක් බවට පත්කර ගැනීමට ආණ්ඩුව උත්සාහයක් දැරුවා නම් මංගල මේ කෙළින්ම අභියෝග කරන්නේ එම උත්සාහයටය.
ජිනීවා යෝජනාවට හිටපු ආණ්ඩුව වගකිව යුතු බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරයටද මංගලගේ කතාවෙන් ප්‍රබල පිළිතුරක් ලබා දී තිබේ. මෙය ආණ්ඩුවේ සිත රිදීමට හේතු විය හැකි වුවද ඉදිරියේදී සිදුවිය හැකි දේශපාලන පෙරළියක ඉඟියක් මේ කතාවේ තිබිය හැකි බවද පෙනී යයි. හැම ආණ්ඩුවකම හිටපු ප්‍රබල ඇමැතිවරයකු වන මංගල හිටපු ගමන් ඉදිරියට ඇවිත් ආණ්ඩුවට රිදෙන්න ගහන්නේ මොන අරමුණක් හිතේ තියාගෙන දැයි කීම ලෙහෙසි නැත.
ශශීන්ද්‍ර