2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

ජීවන වියදම ආණ්ඩු පක්ෂ රැස්වීම රත් කරයි

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, ප.ව. 05:59 94

ජීවන වියදම ආණ්ඩු පක්ෂ රැස්වීම රත් කරයි

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම කලින් සතියේ රැස්වූ අවස්ථාවේ හටගත් විවාදය හොඳින් තුනපහේ දැමූ ලංකාවේ කටට සැර හොද්දක් මෙන් විය. රජයේ මන්ත්‍රීවරුන්ගේ පැමිණිල්ල වූයේ ජීවන වියදම ඉහළ නගින බවය. පොදු ජනතාවට එය එන්න එන්නම දරාගැනීම අමාරු වන බවය. වඩාත් ඉහළින් හඬ නැංවූ එක් මන්ත්‍රීවරයකු වූයේ කළුතර දිස්ත්‍රික්කයේ ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයාය.

වැඩේ ගොඩ දාන්න ඉදිරිපත් වීමට සිදුවූයේ වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් බන්දුල ගුණවර්ධන මහතාටය. ඔහු කිව්වේ සමූපකාර අලෙවිසල්වල ආහාර අවශ්‍ය තරම් පවතින බැවින් බොරු ප්‍රචාරවලට නොරුවටෙන ලෙසටය. බඩු හිඟයක් ගැන පවතින කතා මාධ්‍යවල මවාපෑමක් බව සඳහන් කරමින් ඔහු මාධ්‍ය වාර්තාවලින් නොමග නොයන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ගේ ගෙවල් දොරකඩටම ලබාදීම සහතික කළ යුතු බව කීය. ඔහුගේ යෝජනාව වූයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හරහා එම බෙදාදීම සිදු කළ හැකි බවය. මේ ප්‍රකාශය මන්ත්‍රීවරුන්ගේ සිනහවට ලක් විය. එක් මන්ත්‍රීවරයෙක් අසල සිටි තම සගයකුගේ කනට ළං වී ඇසුවේ ඒගොල්ලො ඒවා තමන්ගෙ ගෙවල්වලට ගෙනිච්චොත් හරි ඒවා ඒ අයම විකුණගත්තොත් හරි මොකද වෙන්නේ යනුවෙනි.
මෙහිදී රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වත්කුඹුර සිංහරාජ අඩවියේ ඉඩමක් හෙළි පෙහෙළි කරන රාජ්‍ය ඇමැතිවරයකු සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. එහෙත් ඔහු මන්ත්‍රීන් පිරිසක් කෑකෝ ගසා වාඩි කරනු ලැබීය. එක් අයෙක් ප්‍රකාශ කළේ ගැටලුව පැනනැගී ඇති ඉඩම 1960 ගණන්වලදී බෙදා වෙන් කළ ඉඩමක් බවය. එහි ඔප්පුව සොයාගෙන ඇති බව තවත් අයෙක් ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ රුස්වීම සඳහා සහභාගි වී සිටියේ නැත. සභානායක විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා රුස්වීමේ මුලසුන හෙබැවීය.

සන්ඩේ ටයිම්ස් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න සහ පිළිතුරු ගොඩගැහිලා!

පාර්ලිමේන්තුව සඳුදා (05) සිට සිකුරාදා (09) දක්වා පැවැත්වෙයි. හෙට දින (සඳුදා) මුළුමනින්ම වෙන්කර තිබෙන්නේ ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු ලබාදීම වෙනුවෙනි. මන්ත්‍රීවරුන් විසින් ඇසීමට නියමිත ප්‍රශ්න එතරම් ප්‍රමාණයක් ගොඩගැසී තිබීම මීට හේතුවයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පාස්කු ප්‍රහාර වාර්තාව පිළිබඳ විවාදයේදී ප්‍රකාශ කර තිබුණේ තමා ජාතිකවාදී මතධාරියකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණියත් ඇතැම් දේශපාලන නායකයන්ගේ කතා ඇසීමෙන් පසුව තමා ක්‍රම ක්‍රමයෙන් ජාතිවාදී නැඹුරුවකට තල්ලු වී සිටින බවත් තමා දැන් තල්ලු වී සිටින ස්ථාවරයට අනුව තම රට, ජාතිය සහ ආගම වෙනුවෙන් කතා කිරීමට කිසි විටෙකත් බිය නොවිය යුතු යැයි තමාට දැනෙන බවත්ය.
මේ පරිවර්තනයට හේතුව මෙතැන සිටින සමහර දේශපාලන නායකයන් මෙරටට මුලින්ම ආ භාෂාව සිංහලද දෙමළද එසේත් නැත්නම් උතුරේ මුල්ම පදිංචිකාරයන් වූයේ සිංහල ජාතිකයන්ද දෙමළ ජාතිකයන්ද කියා විමසීම බවත් ඔහු කීය. මෙවැනි දේශපාලන නායකයන් ශ්‍රී ලංකා ජාතික අනන්‍යතාවක් ගොඩනැංවීමට කටයුතු කරනවාට වඩා අන්තවාදය කරා ජනතාව පොළඹවන බවටද ඔහු චෝදනා කළේය.

සන්ඩේ ටයිම්ස් ඩොලරයත් සමඟ උද්ධමනයත් නගී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් තිබේ. ඒ අනුව ආහාර ද්‍රව්‍ය උද්ධමනය 7.9 සිට 9.6 දක්වාද ආහාර නොවන භාණ්ඩ උද්ධමනය 1.3 සිට 1.8 දක්වාද ඉහළ ගොස් තිබේ. මේ අතර පසුගිය පෙබරවාරි මාසයේ සමස්ත උද්ධමනය 3.3 සිට 4.1 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වුවද එළවළු, අමුමිරිස් සහ අලුත් මාළු මිල ගණන්ද කහ කුඩුද මිල ගණන් මාර්තු මාසය තුළදී පහළ බැස ඇතැයිද මහ බැංකු වාර්තාවේ සඳහන්ය. මේ අතර මාර්තු 31 වැනිදා ඩොලරයට සාපේක්ෂව රුපියල 202 දක්වා තවදුරටත් දුර්වල වී තිබේ. මෙය රුපියලේ අගය මේ තරම් පහතට වැටුණු පළමු අවස්ථාවයි. මාර්තු 17 වැනිදාද මේ ආකාරයටම රුපියල 200 ඉක්මවා ගිය අතර එය 201.75ක් වශයෙන් එදින සඳහන් විය.

ඩේලි එෆ්.ටී