2021 අප්‍රේල් 11 වන ඉරිදා

අද මාකට් කරන්නේ බය

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:10 71

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත

  • එජාප ඩීල් කතාව කියන්නේ රනිල් එක්ක කන බොන අය
  • ගෝඨාභය රජය කර තියාගෙන යන්නේ කඩාවැටුණු ක්‍රමයක්
  • ජවිපෙට කවදාවත් තනි ගමනක් නෑ
  • හොරකමට වංචාවට ජවිපෙ සම්බන්ධ නෑ
  • අපේ සතුරා අපි ගැන සමාජ බිල්ලෙක් හදලා
  • ආණ්ඩු නරකයි කිය කියා කෑගැහැව්වට අපි පිළියම් දීලා නෑ
  • කෑම ටිකෙත් වස නම් ඊට වඩා ම්ලේච්ඡත්වයක් කොහේද

ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නෑ දැන්. හැබැයි දේශපාලන භූමියේ සක්‍රීයව ඉන්නවා. ඔබට කොහොමද මේ ගතවන කාලය ගැන පේන්නේ?

අපි මේ දැන් ජීවත්වෙන ක්‍රමය බිහිවෙලා උපරිම අවුරුදු දෙසීයක් වගේ කාලයක්. ඒක මෙහේ බිහිකළේ බටහිර ජාතිකයෝ. අපි ඊට කලින් ජීවත්වුණේ රජතුමාගේ පාලනයේ. ඒ වගේම අපි මේ ගෙවන සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය යුරෝපයේ ක්‍රියාත්මක වුණේ අවුරුදු 500කට කලින්. මේ ක්‍රමයේ දර්ශනය තමයි ලිබරල්වාදය කියන්නේ. ලිබරල්වාදයට අනුව රජය විසින් කළයුතු දේ සහ නොකළයුතු දේ තීරණය කළා. ඒකට අනුව රජය මිනිස්සුන්ගේ ආර්ථිකය වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන නෑ. ඒ නිසා මිනිස්සු තනියම තමන්ගේ ආර්ථිකය ගොඩනගාගත්තා. ඒක බරපතළ සමාජ ව්‍යසනයක් වුණා.

ලෝකය පිළිගන්නේ ලිබරල්වාදයනේ. සමාජවාදයවත් ෆැසිස්ට්වාදයවත් නූතන ලෝකය පිළිගන්නේ නෑනේ ?

ඉන්නකෝ. මේ ලිබරල්වාදය අවුල් වීමත් එක්ක, ඒ කාලේ හිටිය දාර්ශනිකයෝ පිළිගත්තා මේක වෙනස් කරන්න ඕන කියලා. ඒ අනුව රජය මිනිස්සුන්ගේ ආර්ථිකයට මැදිහත් වෙන්න ගත්තා. ඒක අවුරුදු ගාණක් ලෝක යුද්ධයෙන් පස්සේ ක්‍රියාත්මක වුණා අපි වගේ රටවල් ඇතුළේ. රජය මිනිස්සුන්ගේ ජීවිතවලට සම්බන්ධ වුණා. ඒකට කියන්නේ කෙන්සියානු ආර්ථික මොඩලය කියලා. අපේ රජයනුත් ඒක ක්‍රියාත්මක කළා. ඒකත් පස්සේ කාලේ අවුල් වුණා. ^70 දශකය වෙනකොට නැවත තීන්දු කළා මිනිස්සුන්ගේ ආර්ථික කටයුතුවලින් ඉවත් වෙන්න. ඒ වෙනකොට මෙරට හිටියේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන. අන්න එතන ඉඳලා අද වෙනකල් වෙන්නේ රජය මහජනයාගේ කටයුතු වලින් ඉවත්වීම. එහෙම වෙනකොට අද රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඇතිවෙනවා. ඒක ලෝකය හඳුන්වන්නේ නව ලිබරල් ආර්ථිකය කියලා. මේක දැන් යුරෝපයේ කඩාවැටිලා තියෙන්නේ. අන්න ඒ කඩාවැටුණු ක්‍රමය තමයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව කරේ තියන් යන්නේ.

ඒ ආර්ථික කඩා වැටීමෙන් ගොඩඑන්න මේ ආණ්ඩුව හරි එන ආණ්ඩුවක් හරි ගන්න ඕන තීන්දුව මොකක්ද ?

හැකි ඉක්මනින් නව ලිබරල්වාදී ආර්ථික මුලධර්ම වලින් ඉවත්වෙන්න ඕන. ඊටපස්සේ රජය මැදිහත් වෙන්න ඕන ජනතාවගේ අත්‍යවශ්‍ය කාරණා කීපයකට. සෞඛ්‍යයට, අධ්‍යාපනයට, ක්‍රීඩාවට, ප්‍රවාහනයට වගේ ඒවාවලට 100%ක් රජය මැදිහත්වෙන්න ඕන. ඇති නැති පරතරය නැති කරන්න ඕන. ඒ සඳහා අලුත් ආර්ථික මොඩලයක් ගේන්න ඕන. ඒ වගේම ප්‍රජාතාන්ත්‍රික විප්ලවීය වෙනසක් අවශ්‍යයි. ඒක 19 ව්‍යවස්ථා සංශෝධනයත්, අපි ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයත් ඇතුළුව. මොකද රාජ්‍ය ආයතන පද්ධතිය විනාශවෙලා. ප්‍රජාතන්ත්‍රවාදයේ කරටියේ මුදුනටම හෙණ ගහලා තියෙන්නේ. දූෂණය වංචාව හැමතැනම. ඊට අමතරව මේ ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයත් ඕන. මොකද 80%ක් ගන්නෙම වක්‍ර බදු. 20%යි සෘජු බදු. ඒ නිසා ඒ ක්‍රමය නවත්තන්න ඕන.

ඔබ ඔය කියන පරිවර්තනීය වෙනස, විප්ලවය ගැන ඔබ ඇතුළු තවත් පිරිස් කතා වෙනවා. හැබැයි සියල්ල අවසානයේ තීන්දු වෙන්නේ මැතිවරණ වේදිකාවේ ලබාදෙන පොරොන්දුත් එක්ක. එහෙම නම් හිතනවද ඔය කියන දේවල් මේ මහ පොළොවේ යථාර්ථයක් කරගන්න ලේසියි කියලා ?

ඇත්ත. ඔය කියන සාකච්ඡාව, වෙනස ගැන සමාජයේ ඉතාම කුඩා ස්ථරයක තියෙන්නේ. ප්‍රමාණවත් මදි. ජනමාධ්‍යවලින් ඒවට ලබාදෙන ඉඩත් මදි. ඇත්තටම සතුටු වෙනවා ඔබ මේ ගැන මගෙන් ප්‍රශ්න කරන එක. මොකද ජනමාධ්‍යයට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒත් සමහර ජනමාධ්‍ය හිමිකරුවන් මේ සඳහා ඉඩදෙන එකත් සීමා කරලා. ඒකට මම දොසක් කියන්නේ නෑ. හේතුව ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරගන්න එක අපේ යුතුකමක්. එහෙම නොවෙන එක අපේ දුර්වලකමක්. අපිටත් බැරිවෙලා තියෙනවා ප්‍රමාණවත් තරම් ඒක සමාජ කතිකාවතක් බවට පත්කර ගන්න.

ඇයි ඒක බැරිවෙලා තියෙන්නේ ?

ඒකට හේතුඵලවාදය වැදගත් වෙනවා. අපි ඵලය ගැන කතා කරලා වැඩක් නෑ හේතුවට විසඳුමක් හොයාගන්නකල්. අපි ආණ්ඩුව නරකයි කියමින් ඵලය ගැන කතා කරනවා. වස පොල්තෙල්, ගස් කැපිලි, මහ බැංකු හොරකම්, ඒ සියල්ල ඵල. හැබැයි හේතුවට තවම අපි පිළියම් දීලා නෑ. දැන් ඕක මැතිවරණ කාලයේදී වෙනස් වෙන්නේ මේ පවතින සිස්ටම් එකෙන් ජීවත්වෙන කල්ලිය මැතිවරණ සමයේ ඒ තමන් හිතවාදී පක්ෂයට සම්බන්ධ වෙලා අසරණ ජනතාවට යම් යම් පොරොන්දු ලබාදීලා. රස්සාවක්, ගෙයක්, වැඩි වැටුප් වගේ දේවල්. දරිද්‍රතාවයේ පතුළට වැටෙන්න වැටෙන්න ඒවට ළංවෙනවා. මේකට අපි දේශපාලනයේදී කියන්නේ අනුග්‍රාහක සේවාදායක ගනුදෙනුව කියලා. අන්න දැන් වෙන්නේ ඒක. එතකොට අපි වගේ ව්‍යාපාරවලට බලපෑම් වෙනවා. අන්න එතකොට අපිට වෙනව ප්‍රති අනුග්‍රාහක සේවාදායක ව්‍යාපෘතියකට පණ දෙන්න. ඒ නිසා අපි උත්තරයයි, ප්‍රශ්නයයි කිව්වට ජනතාව ඒක ගන්නේ නෑ.

අඩුම තරමේ මේ වෙනස ගැන, සිස්ටම් ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණටවත් බලය ගන්න හම්බවුණේ නෑනේ ?

ඔබ කියන කාරණේ පිළිගන්නවා අපිට බැරිවෙලා තියෙන බව. එක පැත්තකින් අපේ අභ්‍යන්තරයේ හේතු තියෙනවා. තව පැත්තකින් අපේ ක්‍රියාමාර්ග අපිට සාර්ථක කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ වගේ අපේ ක්‍රියාමාර්ග විනාශ කරන්න, ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම මේ රටේ ප්‍රභූ පැලැන්තිය ගන්නවා. බොරු කියනවා. මඩ ගහනවා. මුදලට බා ගන්නවා. එවැනි ව්‍යාපාර මුදල් වියදම් කරලා සුණුවිසුණු කරනවා. ඒ ඔවුන් අතේ තියෙන රාජ්‍ය බලය නිසා. රාජ්‍ය බලය යොදාගෙන ඔවුන් ජාතිවාදය, මිථ්‍යාව වගේ දේවල් මේ සමාජයේ වපුරනවා. මේක ජාතිවාදයෙන් ඔද්දල් වුණ රටක්. ඒක මෙහෙයවන්නේ පාලකයෝ. ඒ වගේම ඔය ජාතිවාදයේ ඉන්න නායකයෝ ඉන්නේ එකට. සඳලුතලයේ ඉඳන් ඒ ජාතිවාදී නායකයෝ ප්‍රභූ පැලැන්තිය එක්ක අත්වැල් බැඳන් ඉන්නේ. මේ අය රටේ සාරය උරාබොනවා. එහෙම තත්ත්වයකදී අපේ වගේ ව්‍යාපාරවලට ජනතාවට සමීප වෙන්න අමාරුයි. මොකද මිනිසුන්ගේ සෛලවලටම ජාතිවාදය කා වැදිලා තියෙන්නේ. යුද්ධය තියෙනකල් කිව්වා යුද්දේ නිසා බෑ කියලා. යුද්දේ දින්නම ඔන්න ගෙනාවා මුස්ලිම්, සිංහල ජාතිවාදය. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ දිනුවේ ජාතිවාදයෙන්.

මිනිස්සු හොයන්නේ ආරක්ෂාවනේ. රට ආරක්ෂා කරන්න, ජාතික ආරක්ෂාව රකින්න තමයි ගෝඨාභය රාජපක්ෂ පත්කළේ කියලා කියන්නේ ඒ අය ?

නෑ. අද මාර්කට් කරන්නේ බය. බය කියන වචනය දේශපාලන ටූල් එකක් වෙලා. දැන් ගෙනත් තියෙන අලුත් බය තමයි කොරෝනා බය. දැන් ඒ බය මාර්කට් කරනවා. බය පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන බලය රුකගන්නවා. සම්පූර්ණයෙන් ජනතාව අවුල් කරනවා.

ඒ අවුල ඔබලට ලිහන්න බැරිද ?

අපේ වගකීමක් ඒ අවුල ලිහන එක. මම පිළිගන්නවා. හැබැයි ඒ අවුල ඉවරවෙද්දී තවත් අවුලක් හදනවා.

ඒ අතින් බලපුවම දේශපාලන ව්‍යාපාරයක් වුණ ජනතා විමුක්ති පෙරමුණට වඩා මේ රටේ ආණ්ඩුව වෙනුවෙන් කතාකරන පුංචි සංවිධාන ප්‍රබලයි මිනිස්සුන්ගේ මනස හදන්න?

ඇත්ත කතාව මේකනේ. අපි කරන දේශපාලනය අනෙක් පක්ෂවලට වඩා අමාරුයි. අනෙක් පක්ෂ කරන, සිදුකරන දේශපාලනය ලේසියි. පවතින ක්‍රමයට අනුගතවෙලා කරන ඒක ලේසිනේ. සමාජ පරිවර්තන සමහර රටවල සිදුවෙලා තියෙන්නේ අවුරුදු 100ක් ගිහින්. ඉතින් ඒ නිසා ඒක හිතන තරම් ලේසි නෑ.

ඔබ හිතනවද මේ දැන් රටට සමාජ පරිවර්තනයක් අවශ්‍යම මොහොතක් කියලා?

කෑම ටිකක් කන්න බෑ වස නම්, පොල්තෙල් ටිකක් කන්න බෑ වස නම්, බත් ටිකක් කන්න වස නම්, කිරිපිටි ටිකක් බොන්න බෑ වස නම්, කෑම ටිකට වස දාන තැනකට සමාජය පත්වුණා නම් ඊට වඩා ම්ලේච්ඡත්වයක් තවත් කොහෙද? ඒවාට ඉඩදීලා තියෙන්නෙ ප්‍රභූ පැලැන්තිය. එක රාජ්‍ය ආයතනයක් ඒ සඳහා මෙහෙයවෙනවද ? නෑ... ඇයි... මොකද? ඒ අය දාපු අය ඉන්නේ. මුදුනටම හෙන ගහලා. සමස්ත පරිසරයම විනාස වෙනවා නම් ඒ සඳහා ඉඩ දෙනවා නම් ඒ සමාජ වෙනස දැන් ඕන කියලා කියන්නේ.

ඒ වෙනස කරන්න ජනතා විමුක්ති පෙරමුණ සුදානම්ද? ඒ අභ්‍යන්තරික කියවීම කරලා තියෙනවද?

අභ්‍යන්තරිකව පක්ෂයක් හැටියට කරපු කියවීම තමයි මම ඔබට මුල සිට කියන්නේ. ඒ සියල්ල මට කියන්න පුළුවන් ඔබ මගෙන් අහන ප්‍රශ්නත් එක්ක. ඇත්තටම අපට ඕන පුද්ගල නිදහස තියෙන, මානව හිමිකම් රකින, සමානාත්මතාවය, ජනතා පරමාධිපත්‍යය සහිත පාලනයක්. මේ හතර මූලික කරගෙන.

ඒ කියන්නේ කියුබාව, චීනය, සෝවියට් ක්‍රමය වගේ එකක්ද?

නෑ එහෙම මොඩලයක් නෙමෙයි. අපි මේ රටවල් ගැන කතාකළාම මිනිස්සු හිතනවා ඒ කඩාවැටුණු සමාජවාදී ක්‍රමය තමයි අපි මේ කියන්නේ කියලා. කිසිසේත් නෑ. අපි කියන්නේ නවීන සමාජවාදය. අර උඩ කිව්ව හතර මූලික කරගෙන.

ඒත් ජනතාවට බයක් තියෙනවා ජවිපේ ආවොත් මොනවා වෙයිද කියලා. පෝසතාගෙන් හැමදේම කඩා වඩා ගනී. බහු පක්ෂ නැතිවෙයි. නිදහස නැතිවෙයි කියලා?

ඔබ කියන කාරණය මම පිළිගන්නවා. ජනතාව තුළ එක්තරා ප්‍රමාණයක බයක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි අපේ සතුරා විසින් අප ගැන හදලා තියෙන සමාජ බිල්ලා. දෙක පරණ සමාජවාදය පිළිබඳ තියෙන ආකල්පය. මම කියන්නේ අපි ලෝකයේ සමාජවාදී රටවල් ඉදිරිපත් කළ සමාජ මොඩලයක් නෙමෙයි ඉදිරිපත් කරන්නේ. මේක ලංකාව. චීනයවත්, රුසියාවවත්, කියුබාවවත් නෙමෙයි. ඔය කියන රටවල් සමාජවාදය ක්‍රියාත්මක කරනකොට ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නෑ. තිබුණේ අමු ඒකාධිපතිවාදයක්. හැබැයි ලංකාවේ එහෙම සංස්කෘතියක් නෑ. අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය හරහා ජනතාවට තවත් ප්‍රතිලාභ ලැබෙන තැනකට පත්කරන්න තවත් රුඩිකල් වෙනසකට පත්කරනවා විනා අපි ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නේ නෑ. මේක මේ වෙලා තියෙන්නේ ප්‍රභූ මිනිස්සු නෙමෙයි හිතන්නේ දුප්පත් මිනිහා. එතනයි අවුල.

සමාජවාදය ගැන මිනිස්සුන්ට එහෙම බයක් තියෙනවා කියලා පිළිගන්නවනේ. ඒත් මේ රටේ මිනිස්සු ඒකාධිපතිවාදයට, හමුදා පාලනයකට බය නෑ. ඔවුන් කියනවා රට හදන්න එහෙම පාලනයක් ඕන කියලා. ඇයි ඒ?

ජාතිවාදය, යුද්ධය නිසා රට අරාජික වෙනකොට. බිය නැමැති බිය සමාජ ගතවෙන කොට මිනිස්සු කල්පනා කරනවා අපිට හිට්ලර් වගේ මිනිහෙක් හිටියොත් හොඳයි කියලා. රජෙක් වගේ මිනිහෙක් හිටියොත් හොඳයි කියලා. එහෙම හිතලා නායකයෙක් ගෙනාවා. තුනෙන් දෙකේ බලයකුත් දුන්නා. ඒත් අඩුම තරමේ ගහක් කපන එක නවත්ත ගන්න බෑනේ. හොරට ගල්කඩන එක, වැලි ගොඩදාන එක නවත්තන්න බෑනේ. ඇයි ප්‍රාදේශීය දේශපාලකයෝ තමන්ගේ ගොඩේ තියාගන්න ඕන නිසා සද්ද නොකර ඉන්නවා.

ඒ කියන්නේ හිට්ලර් ආවත් හෝචිමින් ආවත් සිස්ටම් එකක් තිබ්බොත් රටට ප්‍රශ්නයක් නෑ කියලද?

අනිවාර්යයෙන්. මේ ලෝකේ පාර්ලිමේන්තු ක්‍රමය වගේම ජනාධිපති ක්‍රමයෙන් ඉහළට ගිය රටවල් තියෙනවා. එහෙම නොවුණ රටවලුත් තියෙනවා. මෙතන අවශ්‍ය පාලකයාගේ අරමුණයි. හැකියාවයි. ඒ වෙනුවෙන් පොදුජනතාව යොදාගැනීමයි. මොකද ජනතාවට හොරෙන් රටක් හදන්න බෑ. හදනවා නම් ජනතාව සම්බන්ධ කරගන්න ඕන. මේ රටේ මිනිහෙක්ට හිතෙනවද මේ රට ගොඩනගන වැඩපිළිවෙළට මාව සම්බන්ධ කරගෙන ඉන්නවා කියලා. රජයේ රස්සාවට යන මනුස්සයා, පෞද්ගලික අංශයේ රැකියාවට යන මිනිහා, ගොවියා වගේ අයට ඒ ජාතික වැඩපිළිවෙළට සම්බන්ධ වෙලා කියන හැඟීම නෑ.

දැන් ජනතා විමුක්ති පෙරමුණ විවිධ ආණ්ඩු එක්ක ගනුදෙනු කළා. ජනාධිපතිවරණවලට ආවා. දැන් අලුත් සන්ධානයකුත් හදාගෙන සිවිල් සංවිධාන එක්ක. හැබැයි පක්ෂය එන්න එන්න පහළට යනවා. සමාජ පරිවර්තනය වගේම පක්ෂයේ පරිවර්තනයක් විය යුතුයි කියලා හිතන්නේ නැද්ද ඔබට?

අපේ පරිවර්තන වැඩපිළිවෙළ ගැන කවුරුන් හෝ කියනවා නම් ඒක අපි ලබාගතයුතු සුදුසු දෙයක් නම් අපි ඕනෑම වෙලාවක එය ලබාගන්නවා. අපිට තියෙන අත්දැකීම්, කියවා ගැනීම්, අදහස් අනුව දැනට වෙන්න ඕන පරිවර්තනය අපි වෙලා තියෙනවා. අපි හොරකම වංචාවට සම්බන්ධ වෙලා නෑ. එහෙනම් ආණ්ඩුවට එකතු වෙනවනේ. එහෙම එකතුවෙලා අනෙක් පක්ෂ වගේ වැටෙන තැනට පත්වෙනවනේ. නමුත් අපි ඉන්න ඕන තැන අපි ඉන්නවා. මෙතන තියෙන්නේ අපි ඉන්න ඕන තැන ප්‍රශ්නයක් නෙමෙයි. බහුජන ව්‍යාපාර ඉහළට යනවා පහළට යනවා. ඒක සාමාන්‍යයි. ඉතිහාසයේ එහෙමයි. මේවා අපිට විතරක් නෙමෙයි හැමෝටම වෙනවා. බලන්නකෝ යුද්ධය ඉවර කරපු මහින්ද රාජපක්ෂ ගෙදර ගියානේ. ඊටපස්සේ ගෝඨාභය ආවා ජාතිවාදය එක්ක. දැන් එයා ඉවරයි. දැන් එන්නේ බැසිල්. එයා එන්නේ ජාතික සමගිය එක්ක. මොකද ජාතිවාදයේ යන්න පුළුවන් උපරිමය එයාලා ගිය නිසා. මොකද තවත් ජාතිවාදයෙන් යන්න බෑ. හැබැයි දැන් ජනතාව දැනුවත්. ඒ නිසා මම කියන්නේ අපේ අඩුවක් තියෙනවා නම් අපි ඒක බාරගන්නවා. හැබැයි අපි පිළිගන්නවා අපිට අඩුපාඩුවක් නෑ කියලා.

ඔබලාට විශාල වශයෙන් චෝදනා එල්ල වෙනවා. හැබැයි වැඩිම චෝදනා එල්ල වෙන්නේ ප්‍රගිතිශීලි පැත්තට නෙමෙයි අන්ත දක්ෂිණාංශික පැත්තේ ඉන්න එජාපය එක්ක ඩීල් කරනවා කියලා. ඇයි ඒ?

ඔය ඩීල් කරා කියන්නේ මහින්ද රාජපක්ෂගේ පිලේ අයනේ. ඒ අයට මොනවත් කියන්න නැතිවෙනකොට, අපේ ඉලක්කය ඒ අයවෙලා ඉන්න නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි රනිල් වික්‍රමසිංහ එක්ක ඩීල් කළා කියන කතාව. හැබැයි රනිල් එක්ක එකට කන්නේ බොන්නේ නිදියන්නේ ඔය රාජපක්ෂවරු ඇතුළු කල්ලිය. මතක තියාගන්න ඔය ප්‍රගතිශිලී වාමාංශික කියන අයත් අන්ත දක්ෂිණාංශිකයි. ඒ අය තමයි අද ආගම්වාදය, ජාතිවාදය, ගෝත්‍රවාදය යොදාගෙන තියෙන්නේ. මේ දෙගොල්ලොම නව ලිබරල් ආර්ථිකය ගෙනියන්නේ. එහෙම ගෙනියන ගමන් දේශපාලන වෙනසක් පෙන්නනවා. රාජපක්ෂලා ජාතිකවාදී, ආගමිකයි කියල පෙන්නනවා. අනික් අය කියනවා අපි මාර ප්‍රජාතන්ත්‍රවාදී කියනවා. හැබැයි මේ දෙගොල්ලොම අන්ත දක්ෂිණාංශිකයි.

මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්නේ ඔබලා මෙහෙම විවේචනය නොකර ආණ්ඩුවක් එක්ක එකතුවෙලා ආණ්ඩුවත් හරි පාරට අරන් ගමනක් යන්න පුළුවන්නේ කියලා. එහෙම බැරිද?

දැන් එහෙම කොමියුනිස්ට් පක්ෂය ගියානේ. සමසමාජ පක්ෂය ගියානේ. විමලුත් ගියානේ. ඒ අය ඔක්කොම පහළට වැටුණනේ. මෙහෙම කියන්නම්කෝ ඔය සිස්ටම් එක අරන් යන්නේ බල්ලා කියලා හිතන්නකෝ. අපිට බෑ ගිහින් නැට්ට වෙන්න. එහෙම මිනිස්සු අපිට යෝජනා කරනවා නම් මට මිනිස්සුන්ට කියන්න තියෙන්නේ අපිව බල්ලා කරන්න උන්ව නැට්ට කරන්න කියලා. අන්න එතකොට අපි කරන්නම් කියලා.

දැන් මේ ආණ්ඩුව අරන් යන්නේ ඔබ කියන ක්‍රමය නෙමෙයිද? දේශීයත්වය අගය කරලා, දේශීය ගොවියා, නිෂ්පාදකයා ශක්තිමත් කරලා, ආනයනය නතර කරලා දේශීය ආර්ථිකයක් හදන්න නෙමෙයිද?

ඇස් පේනවා නම්, කන් ඇහෙනවා නම් තේරෙන්න ඕන දැන් දේශීය ක්‍රමයක් නෙමෙයි සම්පූර්ණයෙන් විදේශීය ක්‍රමයක්. චීනා, ඉන්දියන්, ඇමරිකන් මේ අයගේ ණය ආධාරවලට හිඟාකන රටක්නේ. නැගෙනහිර ජැටිය වරාය සේවකයෝ මැදිහත් වෙලා බේරගත්තා. හැබැයි ඉල්ලන්නෙත් නැතුව බටහිර ජැටිය දෙනවා ආයේ. ඔබ ඔය කියන දේශීයත්වය රකින ආණ්ඩුවනේ. මේ සියල්ල රඟපෑම්. අපිත් කැමති හොඳ දෙයක් කරනවා නම්. අපිටත් ඕන හොඳ දෙයක් වෙනවා නම්. තවම අලි මිනිස් ගැටුමට උත්තරයක් දෙන්න බැරි පාලකයොනේ ඉන්නේ.

ජවිපේ දැන් අලුත් සන්ධානයක් හදලා තියෙන්නේ ජාතික ජනබලවේගය කියලා. ඉස්සරහට මේ සන්ධානයෙන්ම යනවද? නැත්තන් තනියම යනවද?

වැරදියි. ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් තනිව ගමනක් නෑ. අපි මේ රටට විසඳුම් හොයාගෙන ඒ අවශ්‍ය කණ්ඩායම් එක්ක යන්නේ ඉදිරියට. අපේ අදහස් එක්ක එකතු වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට අපි එක්ක එන්න පුළුවන්. හැබැයි මේ ඡන්දයක් බලාගෙන, මන්ත්‍රී පුටුවක් බලාගෙන ගමනක් යන්න අදහසක් නෑ. ප්‍රතිපත්තිමය ගමනක් සඳහා අපි එකතුවෙන් යන්නේ.

අවසාන වශයෙන් අහන්නේ. එළැඹෙන පළාත් සභා මැතිවරණයට ඔබ ඉදිරිපත් වෙනවද?

පක්ෂය විසින් එය තීන්දු කළොත් ඒ සඳහා කටයුතු කරනවා.

 ගයාන් ගාල්ලගේ