2021 අප්‍රේල් 11 වන ඉරිදා

ඡන්දෙට පොලු තැබීම

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:18 37

පාර්ලිමේන්තුවේ රැස්වීම් එකම ගාලගෝට්ටියකි. පාරේ විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන උද්ඝෝෂණ සහ පෙළපාලිය. අවුරුදු උත්සවය සාමාන්‍ය තරමින් හෝ සැමරීමට බලාපොරොත්තුවෙන් සිටි ජනතාවගේ එම බලාපොරොත්තු විස පොල්තෙල් අවුලේ ගිලී ගියේය. ඒ ජීවන වියදමේ පීඩනයට අතිරේකවය. එපමණක් නොව ජනාධිපති කාර්යාලයෙන් නිකුත්වෙන නියෝග සහ උපදෙස් පිළිපැදීම ප්‍රමාද වෙන අවස්ථාද උද්ගතව තිබේ. එයට ළඟම උදාහරණය පාම් තෙල් ආනයනය තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් ලබාදුන් නියෝගය දින දෙකකදී “රිවර්ස්” වීමය. ඒ සම්බන්ධව යළිත් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයට සිදුව තිබිණි.

ඉතාම බලවත් ජනාධිපති පදවියකින්ද මෑත ඉතිහාසයේ ශක්තිමත්ම පාර්ලිමේන්තුවකින්ද යුත් ආණ්ඩුවක් තිබියදී මෙහෙම වෙන්න පුළුවන්ද? එසේ විය නොහැකි නමුත් සිදුවෙමින් පවතින පෙරළිකාර සිදුවීම් හමුවේ පෙනී යන්නේ ශක්තිමත් විධායකයක් සහ පාර්ලිමේන්තුවක් තිබුණත් ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධා සිදුවෙමින් පවතින බවය. එම බාධා විපක්ෂය මගින් ගෙන එන ඒවාට වඩා ආණ්ඩුවේ අභ්‍යන්තරයේම පැන නගින ඒවා බව පැහැදිලිය.

මේ හේතූන් නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් සභා මැතිවරණයද නොකෙරෙන දීගයක් දක්වා තල්ලු වෙමින් තිබේ. කලින් පැවැති යහපාලන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය නොපවත්වා කල් මරමින් සිටින විට එයට විරුද්ධව අවි අමෝරා ගත්තේ එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවයි. එදා එහෙම ඡන්දය පවත්වන්නැයි ඉල්ලා බල කරපු මන්ත්‍රීවරුන් අද ඇමැතිවරැන් වී ගණන් බලන්නේ පළාත් සභා ඡන්දය තිබ්බොත් කුමක් වෙයිද කියාය. එය පැවැත්වීමට පවතින නීති වෙනස් කළ යුතු නිසා දැන්ම ඡන්දය තැබීමට නොහැකි බවත් එය වසරේ අවසානය දක්වා කල් යාමට ඉඩ තිබෙන බවත් කියති. හැබැයි ඡන්දය පැවැත්වීම අරමුණ නම් ඒ සඳහා අවශ්‍ය වන පනත සංශෝධනය කිරීම තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවකට ටොයිස් වැඩක් විය යුතුය. නමුත් පෙනෙන්න තිබෙන්නේ එය එසේ නොවන බවය.

ආණ්ඩුව මේ අවස්ථාවේදී සිටින්නේ ඡන්දයකට මුහුණදීමට ලොකු කැමැත්තකින් නොවේ. ඊට බලපාන හේතු කාරණා ගණනාවකි. ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිවීම නිසා මහජනතාව ඉදිරියට යාමට මැති ඇමැතින් බොහොමයක් දෙනා කැමැති නැත. පොරොන්දු ඉටු කිරීමට නොහැකිවීම මේ ආණ්ඩුවට පමණක් බලපෑ ගැටලුවක් නොවේ. මීට පෙර වුවද පොරොන්දු ඉටුකර පුංචි ඡන්දවලට ගිය ආණ්ඩු තිබුණේද නැත. පුංචි ඡන්ද හැමවිටම ආණ්ඩුවේ ජනප්‍රියත්වය උරගා බලන උණ කටුවක් පමණි. එයින් ලැබෙන ප්‍රතිඵලය තව වසර දෙක තුනකින් තිබෙන ප්‍රධාන ඡන්දයකදී ජනතාවගේ හැසිරීම පිළිබඳ හොඳ සිග්නල් එකකි. මේ සිග්නල් එක අනුව යමින් ගොඩවූ ආණ්ඩු මෙන්ම වැඩ වරද්දාගත් ආණ්ඩුද තිබුණේය.

විධායක බලය තවත් ශක්තිමත් කර ගැනීමට 20 වැනි ව්‍යවස්ථාවද සම්මත කරගෙන මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක ජයක්ද ලබාගෙන ඉන්න ආණ්ඩුවක් තුළ පුංචි ඡන්දයකට බයක් තිබිය නොහැක. එහෙම විය යුතු වුණත් ආණ්ඩුව ඡන්දය කල්අරින ආකාරයකට කටයුතු කරමින් සිටී. ඊට හේතුවක් හෝ හේතු කිහිපයක් තිබිය යුතුය. ජීවන වියදම පුංචි ඡන්දයකට කවදාවත් තීරණාත්මක සාධකයක් වුණේ නැත. මහින්දගේ කාලේ ජනතාව යුද්ධය මැද දහසක් දුෂ්කරතා විඳිමින් බඩේ පටි තදකර ගනිමින් හිටියත් ආණ්ඩුවට ජය ලබා දුන්හ. ඡන්ද තියන්න මහින්ද කවදාවත් පැකිළුණේ නැත. ඡන්ද දිනන ආකාරය මහින්දට කජු කන්නාක් මෙන් විය. හැබැයි දැන් එහෙම නැත.

ගෝඨාභය ජනාධිපතිවරයා පළාත් සභා ඡන්දය තැබිය යුතු බව කලින්ම කිව්වේය. ඔහු මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කොට ජූනි මාසයේ තුන්වැනි සතියේ පමණ ඡන්දය පවත්වා අවසන් කිරීමේ තීන්දුවක සිටියේය. එහෙත් දැන් එය වෙනස් වී තිබේ. ආණ්ඩුවේ ගමන්මග හරහා වැටෙන බාධක දිනෙන් දින ඉහළ යාම ඊට හේතුව බව බැලූ බැල්මට පෙනී යයි. එයට ලොකුම බාධකය බවට පත්විය හැක්කේ ශ්‍රීලනිපය විසින් ගනු ලබන තීන්දුව බව පැහැදිලිය.

තමන්ට පොහොට්ටුවෙන් සිදුවන කෙණෙහිලිකම් පිළිබඳව ශ්‍රීලනිපය දිගින් දිගටම ආඩපාලි කිව්වේය. මහ මැතිවරණයේදී ඔවුන්ට තරග කිරීමට වෙන්කළ අපේක්ෂක සංඛ්‍යාව අඩු වුවද ශ්‍රීලනිපය ආණ්ඩුව සමඟ එක්ව තරග කර ආසන 13ක් දිනුවේය. එසේ දිනාගෙන ඇමැතිකම් ගැන බලාපොරොත්තුවෙන් සිටියත් ලැබුණු ඇමැතිධුර සංඛ්‍යාව පිළිබඳව ඔවුන් සතුටු වූයේ නැත. ශ්‍රීලනිප මහාලේකම් දයාසිරි ජයසේකරටද බතික් රාජ්‍ය ඇමැති පදවියකින් සෑහීමට පත්වීමට සිදුවිය. ඔවුන් දිගටම මේ පිළිබඳව හිත් තැවුලින් කතා කරන විට පොහොට්ටු විප්ලවයේ පෙරගමන්කරු වන බැසිල් කිව්වේ කසාද බැඳල ආවාට පස්සේ දෑවැදි ගැන කතා කිරීම පළක් නැති බවය. හැබැයි දෑවැදි ප්‍රශ්නය නිසා ලංකාවේ සමහර කසාද කඩා ඉහිරෙන බව රහසක් නොවේ. පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර දීගයටද මේ වෙන්න යන්නේ ඒකද? ආණ්ඩුව පළාත් සභා ඡන්දයට බියෙන් සැකෙන් පසුවන්නේ එහෙම පෙරනිමිති පහළ වෙලා තිබෙන නිසාද?

ආණ්ඩුව මතුපිටින් පෙන්වන්නේ හැකි තරම් ඉක්මනට පළාත් සභා ඡන්දය පවත්වා අවසන් කිරීම තමන්ගේ අරමුණ බවය. ඊට අදාළ පළාත් සභා පනතට සංශෝධන සකස් කිරීමට කැබිනට්ටුවෙන් කමිටුවක්ද පත්කරගනු ලැබීය. කෙසේ වුවද එම ඇතැම් යෝජිත සංශෝධනවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ බොහොමයකින් විරෝධය පළ විය. එපමණක් නොව ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කළ බලවේගවලින්ද පළාත් සභා ඡන්දය පැවැත්වීමට විරෝධය පළවෙමින් තිබේ. එය ආණ්ඩුවේම උපාය මාර්ගික සැලැස්මක් දැයි කියන්න බැරි වුණත් පළාත් සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව මතයක් ඇතිකිරීම ආණ්ඩුව දැන් සිටින තත්ත්වය අනුව වඩාත් වාසිදායක බව පැහැදිලිය.

එයට හේතුව ශ්‍රීලනිපය පළාත් සභා ඡන්දයේදී ලොකු දේශපාලන කරණමකට සූදානම් වෙමින් සිටීමය. පසුගිය සති කිහිපය තුළදීම මේ පිළිබඳ තිරය පිටුපස රහස් කතා පැතිර ගිය අතර පොහොට්ටු සන්ධානයේ පක්ෂ නායකයන් ගණනාවක්ම පළාත් සභා ඡන්දයේදී වෙනම සන්ධාන ගතවී ඡන්දයට ඉදිරිපත් වීමට තීරණයක් ගෙන තිබෙන බවද සඳහන්ය. මේ බව ආණ්ඩුවේ නායකයන්ටද දැනගන්නට ලැබී තිබේ. මෙසේ වෙන්ව ඉල්ලීමට ලොකුම හේතුව වශයෙන් දැක්වෙන්නේ තරග කිරීමේදී ලැබෙන අපේක්ෂක සංඛ්‍යාව බලාපොරොත්තු වන තරමට පොහොට්ටුවෙන් නොලැබී යාමය. එය පොහොට්ටුවේ නායකයන්ට පාඩමක් උගැන්වීමට අවස්ථාවක් කර ගැනීමට ගන්නා තීන්දුවක් විය හැකිය. ඒ කොහොම වුණත් මෙය මහින්දලා බැසිල්ලා බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවන බව පැහැදිලිය. මේ ගැටලුව විසඳා ගැනීම සඳහා ක්‍රමයක් නොයෙදුණොත් පළාත් සභා ඡන්දය ආණ්ඩුවට ඉතාම තීරණාත්මක විය හැකි බව නම් පැහැදිලිය.

එය තීරණාත්මක විය හැක්කේ විපක්ෂය ඡන්දයට සූදානම් වන ආකාරය අනුවය. දැනට නම් විපක්ෂයද එක් අරමුණකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ප්‍රධාන විපක්ෂය වන සජබ ඇතුළේද චම්පික වෙනම ගමනක් යාමට සූදානම් බවක් පෙනෙන්නට තිබේ. එසේම සජබ සමහර මන්ත්‍රීවරුන්ද සිටින්නේ කලකිරීමෙන් බවද වරින් වර අසන්නට ලැබෙයි. එහෙම වුණත් කලින් විපක්ෂයේ තිබූ යූ.එන්.පීයට වඩා නම් සජිත්ගේ සජබ ක්‍රියාකාරී බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එය රනිල්ගේ යූ.එන්.පීයද පාරේ සටන්වලටම කැඳවාගෙන ඇවිත් තිබෙන බවද පහුගිය සතියේ පෙනී ගියේය. බැරි වෙලාවත් පළාත් සභා ඡන්දයේදී මේ සියලු දෙනාම එක්වී එක පෙරමුණකින්ද ශ්‍රීලනිපය ප්‍රමුඛ නව සන්ධානයක් වෙනම පැත්තකින්ද ඉදිරිපත් වුණොත් ආණ්ඩුව තීරණාත්මක තැනකට තල්ලු විය හැකි බව ඉතාම පැහැදිලිය. ප්‍රතිඵල ආ විට සමහර විට පළාත් සභා ඡන්දය නොතිබ්බා නම් හොඳයි කියා හිතෙන්නත් බැරි නැත.

 ශශීන්ද්‍ර