2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

අභයාරාමයේදී පෙරළුණු බාල්දිය

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 15 වැනිදා නාරාහේන්පිට අභයාරාමයේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද සමඟ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව දේශපාලන දෙබරයට ගල් ගැසීමක් බවට පෙරළෙමින් තිබේ. එම මාධ්‍ය සාකච්ඡාවේදී වරාය නගරය චීනයට පැවරීම සම්බන්ධයෙන් හෙළිදරව් කළ කරුණු හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට අවිනීත භාෂාවෙන් දුරකථනයෙන් බැණ වැදුණු බව විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය ඔහු සිදුකළේ 16 වැනිදා සිකුරාදා සිය නිවෙසේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.

එයින් පසුව එදිනම (16) පස්වරුවේ තවත් මාධ්‍ය සාකච්ඡාවක් තබා විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට විජයදාස රාජපක්ෂ මහතා බලාපොරොත්තුවෙන් සිටින බවද එම සාකච්ඡාවටද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහභාගි වීමට නියමිතව සිටි බවද දැනගන්නට ලැබිණි.

විජයදාස රාජපක්ෂ මහතා 15 වැනිදා මාධ්‍ය සාකච්ඡාවේදී රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශවලට පිළිතුරු දීම සඳහා ආණ්ඩු පක්ෂ ජ්‍යෙෂ්ඨ ඇමැතින් පිරිසක්ද 16 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටි බවද එදින දහවල් වනවිට වාර්තා විය. එසේම මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වරාය නගරය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා තවත් මාධ්‍ය සාකච්ඡාවක් 16 වැනිදා දහවල් පැවැත්වීමට නියමිතව සිටියේය.

විජයදාස මහතා සිය නිවෙසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණේ තමන්ට ජනාධිපතිවරයා ආවේගශීලීව චෝදනා එල්ලකළ බවය. එය ජනාධිපතිවරයකුට නොගැලපෙන බවද ඔහුගේ විශේෂ ප්‍රකාශයේ සඳහන් විය. කෙසේ වුවද ජනාධිපතිවරයා තමන්ට ආමන්ත්‍රණය කළ භාෂාවෙන්ම ප්‍රතිචාර දැක්වීමට අකැමැත්තෙන් වුවද තමන්ට සිදුවූ බවද ඔහු කියා තිබිණි. සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් සහ තමන්ගේ දරු පවුල ඇතුළු සමීප ඥාතීන් සම්බන්ධයෙන් බියක් දැනුණු බවත් මේ හේතුවෙන් ඒ ගැන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් යොමුකළ බවත් විජයදාස මහතා කීය.

මේ අතර විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් සිටිමින් ජනාධිපතිවරයාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ දරුවන් සම්බන්ධව සිදුකළ ප්‍රකාශයට ආණ්ඩු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ දැඩි විරෝධය එල්ල වී ඇතැයි සිකුරාදා (16) දහවල් වනවිට දැනගන්නට ලැබිණි. එයට ප්‍රතිචාර වශයෙන් විජයදාස මහතාට එරෙහිව ඇති චෝදනා ගණනාවක් සම්බන්ධව හෙළිදරව් කිරීමට සාකච්ඡා පැවැත්වෙන බවද දැනගන්නට තිබේ.

කෙසේ වුවද මේ සිද්ධිය අලුත් අවුරුද්ද ආරම්භයේදීම ආණ්ඩුවට මුහුණදීමට සිදුවන වඩාත්ම බරපතළ අභියෝගයක පෙරනිමිත්තකි. මුලින්ම ආණ්ඩුවට සිදුවන්නේ කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළදී සම්මත කර ගැනීමය. මෙකී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක් අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන විනිසුරැවරැන් හමුවේ හෙට (19) සිට විභාගයට ගැනෙනු ඇත. එම පෙත්සම් 23 විභාගය අවසානයේ ලබාදෙන තීන්දුවට අනුව ඊළඟ පියවර ගැනීමට ආණ්ඩුවට සිදුවෙයි.

විජයදාස රාජපක්ෂ මහතා කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් රජයේ පිළිවෙත දැඩිව විවේචනය කරන අතර ඔහු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවද ප්‍රබල විරෝධයක් දැක්වීය. ඒ අවස්ථාවේදී අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන පක්ෂ නායකවරුද 20 වැනි සංශෝධනයේ වගන්ති කිහිපයකට දැඩිසේ විරෝධය පළ කළහ. එහිදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ පැය කිහිපයක සාකච්ඡාවකින් පසුව මුරුත්තෙට්ටුවේ හිමියන් ඇතුළු භික්ෂූන් පිරිස “සංවේදී කරුණු” හේතුවෙන් 20 වැනි සංශෝධනයට තමන් දක්වන විරෝධය ඉවත් කර ගන්නා බව පැවසූහ. එසේම විමල් වීරවංශලාද ප්‍රකාශ කළේ තමන්ගේ විරෝධය විපක්ෂයේ වාසියට හේතුවීමට ඉඩ තිබෙන බැවින්ද රජය අපහසුතාවයට පත් කිරීමට තමන්ට අවශ්‍ය නැති බැවින්ද තමන්ගේ විරෝධය ඉවත් කර ගන්නා බවය.

ඉන්පසුව විමල් වීරවංශ මහතා බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් අභයාරාමයේ දොරටුව විවෘත විය. මුරුත්තෙට්ටුවේ හිමියන්ද ඒ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා දැක්වූ අදහස් පිළිගත් අතර ඔහුට දේශපාලන වශයෙන් හානියක් සිදුවීමට ඉඩ නොතබන බවද ප්‍රකාශ කළහ. දැන් අභයාරාමයේ දොරටු ජනාධිපතිවරයාත්, බැසිල් රාජපක්ෂ මහතාත් දැඩිව විවේචනය කරන විජයදාස රාජපක්ෂ මහතාටද විවෘත වී තිබේ. මෙය ආණ්ඩුව ඇතුළේ පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් ඔඩු දිවීමක් බව පැහැදිලිය. මේ සමඟ ආණ්ඩුවට ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක බවද පෙනෙන්නට තිබේ.

- ශශීන්ද්‍ර