2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ප්‍රභූ පිරිසකට ශ්‍රී ලංකන් වෙතින් නයිරෝබියට සැප ගමනක්

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98


වෙරි, වෙරි ස්පෙෂල් අමුත්තන් (වී.වී.අයි.පී.) රැසක් කෙන්යාවේ නයිරෝබි දක්වා සතියක සංචාරයකට රැගෙන යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සූදානම් වෙයි. බොහෝදුරට අප්‍රේල් 29 වැනිදා මෙරටින් පිටත්වීමට නියමිත මේ කෙන්යා ගුවන් සවාරිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බවද දැනගන්නට තිබේ. මේ සම්බන්ධව කළ විමසීම්වලට පසුගිය බ්‍රහස්පතින්දා (22) වනතුරු ශ්‍රී ලංකන් ආයතනයේ කිසිම ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි.

ශ්‍රී ලංකන් ආයතනය මුහුණ දී සිටින බරපතළ ආර්ථික ගැටලු හේතුවෙන් සහ කොවිඩ් වසංගතයේ බලපෑම් හේතුවෙන් සේවක මණ්ඩල කප්පාදුවක්ද සිදුකර තිබෙන අතර මේ ගමන සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකන් සේවයෙන් කොළඹ සහ නයිරෝබි අතර සතියකට වරක් සිදුකෙරෙන ගුවන් ගමන් ආරම්භය සටහන් කිරීමට බවද දැනගන්නට තිබේ.

මේ ගමනට සහභාගි වන නම සඳහන් කිරීමට අකැමැති එක් නිලධාරියෙක් ප්‍රකාශ කළේ කොළඹ සිට නයිරෝබි දක්වා සතිපතා ගුවන් ගමන් සේවාව ඇරඹීම නිමිත්තෙන් ගුවන් ගමන මුලින්ම යොදාගෙන තිබුණේ පසුගිය අප්‍රේල් 22 වැනිදා බවය. එය මේ වනවිට 29 වැනිදා දක්වා කල්දමා ඇති බවද ඔහු කීය.

ඩේලිමිරර් පුවත්පතට දැනගැනීමට ලැබුණු තොරතුරු අනුව මේ ගමන ශ්‍රී ලංකන් ආයතනය මගින් සම්පූර්ණ වියදම් දරණ සතියක විනෝද සවාරියකි. මේ සඳහා සහභාගි වන ප්‍රභූ පිරිස අතර ව්‍යාපාරිකයන්, නිරූපණ ශිල්පිනියන් සහ මාධ්‍යවේදීහුද වෙති. මේ සියලු විශේෂ ආරාධිත අමුත්තන්ට ඇරියුම් කෙරී ඇත්තේ එකම දුරකථන අංකයක් භාවිත කරමිනි. එම අංකය හිමි රුවන් ප්‍රනාන්දු නමැති අයකුටය. ඒ පිළිබඳ කළ විමසීමේදී දැනගැනීමට ලැබුණේ ඔහු “මේලීන් ග_ප්” නම් ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂ බවය. මේ සමාගම කෙන්යාවේ විවිධ ව්‍යාපාර මෙහෙයවන ආයතනයක් බවද කියති. එහි ප්‍රධානම ව්‍යාපාරය බව පැවසෙන්නේ සිවිල් ඉංජිනේරු සේවා සැපයීමය.

මේලීන් ග_ප් ආයතනය මගින් කෙන්යා ගමනේ ප්‍රභූවරුන්ගේ ගුවන් ටිකට්පත් වියදම් දරන්නේදැයි තවමත් පැහැදිලි නැත. මේ ගැන දැනගැනීමට ශ්‍රි ලංකන් ආයතනයේ නිලධාරියකු සම්බන්ධ කරගත් අතර ඔහු පැවසුවේ ගුවන් ගමන්වලට සම්බන්ධ වන මගීන් පිළිබඳ තොරතුරු හෙළිකළ නොහැකි බවත් මේ විශේෂ ප්‍රභූ ගුවන් ගමන පිළිබඳ විස්තර ලබාදීමට උත්සාහ කරන බවත්ය. කෙසේ වුවද පත්‍රය මුද්‍රණයට යන අවස්ථාවන වන විටද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු අතර අඩුම තරමින් ගමනට සහභාගි වන ආරාධිතයන්ගේ ගුවන් ටිකට්පත් වියදම හෝ ශ්‍රී ලංකන් ආයතනය මගින් දරන්නේද යන ප්‍රශ්නයට හෝ පිළිතුරක් නොලැබිණි.

නියමිත කාලසටහනට අනුව මෙම ගුවන් යානය නයිරෝබි ගුවන් තොටුපොළට සැපත්වීමෙන් පසුව සම්ප්‍රදායික ජල ධාරා ආචාරයෙන් පුදනු ඇත. මේ අවස්ථාව ශ්‍රී ලංකා - කෙන්යා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමටද නියමිතය. ගමනට සහභාගි වන ප්‍රභූවරු ඉන්පසුව සතියක පූර්ණ අනුග්‍රහය සහිත විනෝද සවාරිය අරඹති. එයට දර්ශනීය ස්ථාන නැරඹීමට යාම මෙන්ම සෆාරි ගමන්ද අයත්ය. මේ ගමන සංචාරක බුබුළක් යටතේ ක්‍රියාත්මක වන අතර ප්‍රභූ පිරිස සතියකට පසුව ආපසු කොළඹට පැමිණෙනු ඇත.

- ඩේලි මිරර්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00