2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ජේ.ආර්. සහ ජී.ආර්.

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 330

පසුගිය සතිය අග භාගය වනවිට කොවිඩ් පොකුරු මතුවීමක් නොවුණා නම් රටේ ප්‍රධාන මාතෘකාව වෙන්න ඉඩ තිබුණේ කොළඹ පෝට් සිටිය වටේ ඇති දේශපාලන කතාවයි. පෝට් සිටිය රටේ ප්‍රධාන ආයෝජන මධ්‍යස්ථානයක් සහ වාණිජ කටයුත්තක් වුණත් එය මේ රටේ දේශපාලන ව්‍යාපෘතියකි. ඒක මේ රටේ හැටිය. කොතරම් ආර්ථිකයට සම්බන්ධ ව්‍යාපෘතියක් වුවද එහි තීන්දු තීරණ සියල්ල ගන්නේ රටේ දේශපාලන අධිකාරිය විසිනි. එහි වරදක් නැත. වෙනත් ආසියානු රටවල් බොහොමයක තත්ත්වයද එයම නිසාය. එහෙත් ඒ රටවල ආණ්ඩුවෙන් ආණ්ඩුවට විදේශ හෝ ආර්ථික හෝ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැත. විශේෂයෙන් ආයෝජන සම්බන්ධයෙන් ආණ්ඩුව මොකක් වුණත් ප්‍රතිපත්තිය එකමය. පෝට් සිටිය දැන් අධිකරණය ඉදිරියේ විභාග වන නඩු කටයුත්තක් බවට පත්වීමේ කෙටි ඉතිහාසය එයයි.

ජේ.ආර්.ගේ ආණ්ඩුව 1977 දී හයෙන් පහකින් බලයට පත්වී රට ආර්ථික වශයෙන් වෙනම පැත්තකට හැරෙව්වේය. එතෙක් තිබූ සියල්ල වසාගත් ආර්ථිකය වෙනුවට රටේ දොරටු සියල්ල හැර දැමුවේය. එතෙක් සුපිරි පැළැන්තියට පමණක් සීමා වී තිබූ විදෙස් රටවලට යාමේ වරම් මේ රටේ කිසියම් හෝ ශිල්පීය දැනුමක් තිබූ සෑම දෙනාටම විවෘත විය. වෙනෙකක් තබා මළපොතේ අකුරක් බැරි කාන්තාවට පවා ගෘහ සේවිකාවන් වශයෙන් අරාබි රටවලට ගොස් ඩොලර් සොයාගැනීමේ වරම හිමිවිය. ඔවුන් අරාබියේදී හරි හම්බ කරගත් මුදල් මේ රටට එවූ අතර බොහෝදෙනකුට ගෙයක් දොරක් හදාගැනීමට, මෝටර් සයිකලයක් ගැනීමට පමණක් නොව පුංචියට හෝ වෙළෙඳාමක් කර ගැනීමටද අවස්ථාව ලැබුණේය.

මෙයින් බොහෝදෙනා ගොඩගියත් පාර වරද්දාගෙන හතර අතේ ණය වී පවුල් කඩා ඉහිරවාගෙන සියල්ල නැතිභංගස්ථාන කරගත් පිරිසක්ද රටේ සිටියහ. එහෙත් බොහෝදෙනාට රට රුකියාව තමන්ගේ අනාගත අඩිතාලම බවට පත්කර ගත හැකි විය. මේ කාලයේම ජේ.ආර්. කළ අනෙක් වැඩේ වුණේ නිදහස් වෙළෙඳකලාප බිහිකිරීමට පියවර ගැනීමය. ඒ හරහාද රටේ වරප්‍රසාද නොලත් පන්තියේ බොහෝ දෙනෙකුට රුකියා අවස්ථා හිමිවිය. එසේම උගත්කම් තිබූ තරුණ පිරිසටද වෙළෙඳ කලාපයේ ඉහළ රුකියා හිමිකර ගැනිමට අවස්ථාව පැදුණේය. ඒ කාලය රටේ ජනතාව අතර යහමින් මුදල් ගැවසුණු කාලයක් විය. රටේ තරු පන්තියේ හෝටල් ඉදිවී සංචාරක කර්මාන්තයද ඔලුව ඉස්සුවේය.

මේ ආර්ථික ක්‍රමයේ හොඳ මෙන්ම නරකද තිබුණි. රටේ මෙතෙක් තිබූ හොඳ වටිනාකම්වලට තිබූ තැන නැතිවී සියල්ල මුදලට යටවෙන දූෂිත, ජාවරම්කාරයන්ට තැන ලැබෙන, අල්ලස රජකරන තත්ත්වයක්ද උදාවිය. ඊටත් වඩා නරකට බලපෑවේ ආර්ථිකය විවෘත කිරීමේදී රටේ එතෙක් තිබූ පාරම්පරික කර්මාන්ත සහ නිෂ්පාදනවල ආරක්ෂාවට කිසිදු සැලැස්මක් නොතිබීමය. සියල්ල පිටරටින් ගෙන එනු ලැබූ අතර රටේ තිබූ කර්මාන්ත නැත්තටම නැති විය. රට වේගයෙන් ආර්ථික වශයෙන් දියුණු වුවද එය සිදුවූයේ රටේ එතෙක් තිබූ නිෂ්පාදනය අහිමිකර ගනිමිනි. එහෙත් රට රුකියා පමණක් නොව රට ඇතුළේද රැකියා සුලබ වීම හේතුවෙන් මුල් කාලයේ ඒ ගැන කිසිම දේශපාලනඥයකුගේ අවධානය යොමුවුණේ නැත. එහෙම අවධානය යොමුකිරිමට තරම් ශක්තිමත් විපක්ෂයක් ප්‍රජා අයිතිය අහිමිකරවනු ලැබූ සිරිමාවෝ මැතිනියගේ ශ්‍රීලනිපයට තිබුණේද නැත.

මේ යුග පෙරළියේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවිපාක වශයෙන් එල්.ටී.ටී.ඊ.ය බිහිවී රට තිස් අවුරුදු යුද්ධයකට පැටලීමද විජේවීරලාගේ දෙවැනි කැරුල්ල ඇතිවීමද ඉහළින්ම කැපී පෙනෙයි. ඒ ගැන වෙනම කතා කළ යුතුය. ජේ.ආර්. එදා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවූ ආකාරයේ වැරදි තිබිය හැකි වුවත් ඔහු කළේ ඒ අවස්ථාවේ කළයුතුව තිබූ වැඩකි.

ලෝකයම ඒ කාලය වනවිට සංවෘත ආර්ථිකයෙන් විවෘත ආර්ථිකයට හැරෙමින් තිබුණි. ශ්‍රී ලංකාවද එයට ගැලපෙන පියවර ගතයුතු බවට ජේ.ආර්. තීරණය කර තිබූ අතර ඒ සඳහා ශක්තිමත් රජයක්ද දැඩි තීරණ ගැනීමේ හැකියාවක්ද ඔහුට තිබුණි. ඔහු ඒ තීරණ ගැනීමේදී උගත්, බුද්ධිමත්, කොටස් හෝ තමන් බලයට ගෙන ආ පිරිස් හෝ සමඟ පමණක් නොව පූජ්‍ය පක්ෂයේ පවා අදහස් විමසුවේ නැත. රටේ පවතින කම්කරු නීති රීති අනුව නිදහස් වෙළෙඳ කලාප ඇති කළ නොහැකි නිසා ඒ නීති වෙනස් කරන දීර්ඝකාලීන ක්‍රියාදාමයකට යනු වෙනුවට ඔහු කළේ “මහ කොළඹ ආර්ථික කොමිසම” ඇතිකර එයට වෙනම නීති හඳුන්වා දී වෙළෙඳ කලාප පාලනය එම ආර්ථික කොමිසමට යටත් කිරීමය. මහ කොළඹ ආර්ථික කොමිසමේ සභාපති ධුරයට ජේ.ආර්. පත්කළේ එකළ මෙරට සිටි පොහොසත්ම ව්‍යාපාරිකයා වූ උපාලි විජයවර්ධනය. උපාලිලා අතින් එදා වැඩේ කෙරුණේය. එයට විරුද්ධ වූ පිරිස් ශ්‍රීලනිපය සහ සෙසු වාමාංශික පක්ෂ තුළ සිටියද ඔවුන්ට ජේ.ආර්.ට එරෙහිව යාමට තරම් හයියක් තිබුණේ නැත.

කොතරම් ප්‍රශ්න ආවත් ජේ.ආර්. තමන්ගත් පියවර ආපස්සට ගත්තේ නැත. ඉන්පසුව පැමිණි යූ.එන්.පී. නායකයන්ද අනුගමනය කළේ ජේ.ආර්.ගේම විවෘත ආර්ථික ප්‍රතිපත්තිමය. නමුත් පසුකාලයක ශ්‍රීලනිපය ඇතුළු සන්ධාන යූ.එන්.පී. ආර්ථික ප්‍රතිපත්ති වලට එරෙහිව දැඩිව හඬ නැගූ අතර එය යූ.එන්.පී.ය දේශපාලන වශයෙන් පරාජය කොට තමන්ගේ ආණ්ඩු පිහිටුවා ගැනීමේ තීරණාත්මක අවිය වශයෙන් භාවිත කරන්න විය. යූ.එන්.පී. ආණ්ඩුව කාලේ පටන්ගත් යුද්ධය මහින්ද නායකත්වයෙන් පරාජය කිරීම එම තත්ත්වය තවත් ඉහළටම එසවීය. ආර්ථිකයට එරෙහිව ගෙනගිය සටනට දේශීය චින්තනය, ජාතිකත්වය, පමණක් නොව ආගම්වාදයද එකතුවීම නිසා එය යූ.එන්.පී. ප්‍රමුඛ පෙරමුණුවලට බර අවි යොදාගෙන සිදුකළ උග්‍ර දේශපාලන ප්‍රහාරයක් බවට පත්විය. එම ප්‍රහාරය තුළ විදේශීය ආයෝජන පවා පෙන්නුම් කරනු ලැබුවේ මේ රටට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණ වශයෙනි. විදෙස් රටවල් සමඟ එක්ව සිදුකිරීමට යෝජනා කෙරුණු සෑම ආයෝජනයක්ම රට විකිණීමක් වශයෙන් පෙන්වා දෙනු ලැබීය. රටේ සෑම කර්මාන්තයක්ම අපටම කරගත හැකි බවට විශාල මතයක්ද ගොඩනංවනු ලැබීය.

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දීය සහ ජපන් ආයෝජකයන් සමඟ සංවර්ධනය කිරීමේ වත්මන් ආණ්ඩුවේ යෝජනාවට එරෙහිව නැගී සිටියේ මේ ආණ්ඩුව විසින් පසුගිය යහපාලන කාලසීමාවේ ගොඩනැගූ එම මතවාදය කරපින්නාගත් සංවිධාන සහ බලවේගයි. නැගෙනහිර ජැටියද අපටම කරගත හැකි බවට මතයක් පවා ඉදිරිපත් කෙරුණේද එම පිරිස් වෙතින්මය. ජපාන ආයෝජනයකින් ගොඩනැංවීමට නියමිත වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියටද හිමිවූයේ එම ඉරණමය.

මේ පසුබිමේ රට තුළ වඩාත් සාර්ථකම “ආයෝජකයා”බවට පත්ව සිටින්නේ චීනය වීම කැපී පෙනෙයි. මේ ආණ්ඩුව චීනය සමඟ දැඩි මිත්‍රත්වයකින් කටයුතු කරන බව ජාත්‍යන්තරයේ පවා රහසක් නොවේ. එහෙත් චීනය මේ රටේ සිදුකර ඇති ආයෝජන වශයෙන් හඳුන්වන බොහොමයක් ව්‍යාපෘති පොලියට ලබාගත් ණය මත ක්‍රියාත්මක වන ඒවාය. නමුත් කොළඹ වරාය නගරය (පෝට් සිටි) ඊට වඩා වෙනස්ය. එය චීනය මගින් ගොඩනංවන ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්වෙයි. වටිනාකම වශයෙන් සඳහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 1.5කි. මුහුද ගොඩකිරීමේ අදියර දැන් අවසන්ය. මීළඟ පියවර වන්නේ පෝට් සිටිය තුළ ව්‍යාපාර සහ ආර්ථික මෙහෙයුම් ආරම්භ කිරීමය. ඒ සඳහා විශේෂ ආර්ථික කලාපයක් නීතිගත කළ යුතු අතර පෝට් සිටිය තුළ ව්‍යාපාරික සහ සෙසු සියලුම ක්‍රියාකාරකම් පරිපාලනය වනු ඇත්තේ එම කලාපයේ පාලක මණ්ඩලය හරහාය. එම පාලක මණ්ඩලයට නිලධාරීන් පත් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.

මෙවැනි විශේෂ නීතිමය බලතල සහිත මණ්ඩලයකින් පෝට් සිටිය පාලනය කළයුතු වන්නේ රටේ පවතින සාමාන්‍ය නීතිය යටතේ එවැනි විශාල ආයෝජන කලාපයක් තුළ කටයුතු කළ නොහැකි බැවින් යැයි ආණ්ඩුව කියයි. විශේෂයෙන්ම ආයෝජකයන්ගේ සියලු අවශ්‍යතා එකම කවුළුවකින් සිදුකළ හැකි වන පරිදි කටයුතු සැලසුම් කළයුතු බවද ලොවේ සියලු ආයෝජන කලාප කටයුතු කරන්නේ එම ආකාරයට බවද ප්‍රකාශිතය.

ආණ්ඩුව මේ කියන්නේ මීට පෙර යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩු මගින් රට තුළ ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා යෝජනා ගෙන එනවිට කියූ දේමය. එහෙත් එදා වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටියදී ඒ සියලු නීති රීති දැක්කේ මේ රටේ සම්පත් විදේශයන්ට විකුණන, රට කෑලිවලට කඩා විකුණන පියවර හැටියටය. රට විදේශවලට විකිණීමෙන් වළක්වා ගැනීමට තමන් බලයට පත්කරන හැටියට වත්මන් ආණ්ඩුවේ නායකයෝ මහජනතාවගෙන් ඉල්ලා සිටියහ. මහජනතාවද ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදුන්හ. එදා ජේ.ආර්. මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවා වෙළෙඳ කලාප බිහිකළ විට එය ආයෝජනයක් නොව රට විනාශ කිරීමක් හැටියට දුටු වත්මන් ආණ්ඩුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට දැන් වෙනම නීති හඳුන්වා දී ඩොලර් පවුම් වලින් පමණක් ගනුදෙනු කළ හැකි පෝට් සිටිය ජාතියේ ගැලවුම්කාරයා වශයෙන් පෙන්වීමට සිදුව තිබීම දේශපාලන සරදමක් යැයි කීමත් වැරදි නැත.

ජේ.ආර්. 1977දී ජනාධිපති පදවියට පත් වී රොනී, ගාමිණී සහ ලලිත්ද ප්‍රේමදාසද එකතු කරගෙන ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දෙන විට චීනයේ එවකට සිටි නායකයා වූ ඩෙන් ෂියා ඕ පෙං ද එතෙක් එරට තිබූ මාඕ සේතුංගේ ජාතික චින්තනයෙන් යුත් සංවෘත ආර්ථිකයෙන් මිදී විවෘත ආර්ථිකයට දොර ඇරියේය. චීනය විවෘත ආර්ථිකය ඔස්සේ ඉදිරියට පැමිණ අමෙරිකාව ඇතුළු බටහිරටද යුරෝපයටද ආයෝජන සඳහා ඉඩ ලබාදුන්නේය. අමෙරිකානු සහ යුරෝපීය නිෂ්පාදනවලට තම රට තුළ වෙළෙඳපොළ විවෘත කළ චීනය තමන්ගේ නිෂ්පාදනවලින් ඇමෙරිකාවේ සහ යුරෝපයේ වෙළෙඳපොළ ආක්‍රමණය කළේය. ඩෙන් ෂියා ඕ ගෙන් පසුව වත්මන් චීන නායක ෂී ජිංපිං දක්වාම චීනය එම ක්‍රමය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන ආවා මිස ආපස්සට ගියේ නැත. අද චීනය ලෝකයේ දෙවැනි ආර්ථික බලවතාය. එරටින් දුප්පත්කම අතුගෑවී ගොසිනි.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව පෝට් සිටිය හරහා සිදුකරන්නේ ඔවුන්ගේ සමහර පුරෝගාමීන් විරුද්ධව සිටි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමය. එය සිදුකරන්නේ චීනය සමඟ එක්වීමෙනි. එහෙත් චීනය සමස්ත ලෝකයටම තම රට ගනුදෙනු සඳහා විවෘත කර තබමින් එයින් උපරිම ඵල නෙළාගෙන තිබේ. රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව ආනයනය නැවැත්වීම හරහා රට යළිත් ආර්ථික වශයෙන් වසාගෙන සිටිමින් ආයෝජකයන්ට ආරාධනා කරයි. මෙය  චීනය 1977 දී ප්‍රතික්ෂේප කළ ප්‍රතිපත්තියයි. ජේ.ආර්.ලාගේ ආණ්ඩුව බලයට පත්වී ^1977 දී ප්‍රතික්ෂේප කළ ප්‍රතිපත්තියයි. එය අදට කෙසේ ගලපාගන්නේද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. ජී.ආර්. ආණ්ඩුව මුහුණ දෙන්නේ එම ප්‍රශ්නයටයි.


 ශශීන්ද්‍ර