2021 මැයි 01 වන සෙනසුරාදා

පෝට් සිටියේ ගේම් සහ සර්කස්

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

කොවිඩ් රෝගීන්ගේ හදිසි ඉහළ යාම ආණ්ඩුව බරපතළ අර්බුදයකට තල්ලු කරමින් සිටියදී ඒ අඳුරු වලාවේ එක් රිදී රේඛාවක් දැකීමට ආණ්ඩුවට අවස්ථාව උදාවිය. ඒ අවස්ථාවද උදාකර දුන්නේ වෙන කවුරුවත් නොව රාජපක්ෂ දේශපාලනයට ඉතාම හිත්වත්ව  කටයුතු කරන චීනයයි. චීනය මේ වනවිට ශ්‍රී ලංකාවට නැතිවම බැරි බලවතා බවට පත්ව තිබෙන අතරේ සිදුවූ චීනයේ ජාතික ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්ගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය ආණ්ඩුවේ නායකයන්ගේ මහත් ප්‍රීති ප්‍රමෝදයට හේතු වී තිබිණි.

චීන ආරක්ෂක ඇමැතිවරයාට ලැබුණු උණුසුම් පිළිගැනීම මාධ්‍ය ඔස්සේ දැකගත් ඕනෑම කෙනකුට ඔහුගේ ශ්‍රී ලංකා නිල ගමන මෙරට ආණ්ඩුවට කොතරම් වැදගත්ද යන්න ගැන වැටහීමක් ඇතිකර ගැනීමට අමාරු නැත. ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට සහභාගි වූ අතර ඒ පිළිබඳව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ වී තිබුණේ එම සාකච්ඡා දෙරටටම ඉතාම ඵලදායක වූ බවය. ශ්‍රී ලංකාවට චීනයෙන් පිරිනැමුණු මුදල් ආධාරය පමණක් නොව මෙරට ආරක්ෂක හමුදාවලට චීනයෙන් ලබාදෙන පුහුණු කිරීම් සහ නවීන උපකරණ පිළිබඳවද එහිදී අදහස් ප්‍රකාශ විය. චීනය මෙරට යුද්ධය පැවැති කාලයේ පැවැති ආණ්ඩුව කුමක් වුවද යුද්ධෝපකරණ ඇතුළු වෙනත් ආධාර නොකඩවා ලබාදුන් බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

චීනයෙන් මෙවර පැමිණි ඉතා වැදගත් රාජ්‍ය අමුත්තාගේ ගමන සිදුවූයේ චීන ජනාධිපති ෂී ජිං පෙං සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ටික කලකට පෙර පැවැති සුප්‍රසිද්ධ දුරකථන සාකච්ඡාවෙන් පසුවය. එම සාකච්ඡාවෙන් පසුව ආණ්ඩුව ගත් වැදගත් පියවරක් වූයේ කොළඹ පෝට් සිටිය සඳහා පාලන මණ්ඩලයක් පත් කිරීම පෙරදැරි කර ගනිමින් ඒ පිළිබඳ සකස් කෙරුණු පනත් කෙටුම්පත එළියට දැමීමය. බලාපොරොත්තු වූ පරිදිම එම කෙටුම්පතේ අඩංගු කරුණුවලට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 23ක් ඉදිරිපත් විය. මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ ගණනාවක් සඟ සංවිධාන කිහිපයකින්ම පෙත්සම් ඉදිරිපත් වූ අතර වඩාත්ම කැපී පෙනුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්ද පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීමය. මේ පෙත්සම් පිළිබඳ විභාගය මේ වනවිට අවසන් වී තිබෙන අතර ලබන බදාදාට පෙර එහි තීන්දුව කථානායකවරයා වෙත යැවෙනු ඇත.

කොළඹ පෝට් සිටියට එරෙහිව සජබ සහ යූ.එන්.පී.ය දෙකම පෙත්සම් ඉදිරිපත් කර තිබීමද කැපී පෙනිණි. සංවෘත ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට විවෘත ආර්ථික ප්‍රතිපත්ති පිළිගන්නා වඩාත් ලිබරල් අදහස් සහිත මේ පක්ෂ දෙකම පෝට් සිටියට එරෙහි වීම තාක්ෂණික කාරණාවලට වඩා දේශපාලන කාරණා මත පදනම්ව තිබෙන බව පැහැදිලිය. එම කෙටුම්පතේ ඇතැම් වගන්ති හරහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ නම් ඒවා නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කිරීම වැදගත් වුවද මෙවැනි ජාත්‍යන්තර ව්‍යාපෘතියක් හරහා ශ්‍රී ලංකාවට අනාගතයේදී ලබාගත හැකිවන පුළුල් ආර්ථික වාසි පිළිබඳ නොසලකා කටයුතු කිරීමද දේශපාලන පක්ෂයකට කළ නොහැකිය. විශේෂයෙන්ම දැනට විපක්ෂයේ සිටින සජබ සහ යූ.එන්.පී.ය කවදා හෝ බලයට පැමිණියහොත් ඔවුන්ට කවදාවත් මේ පෝට් සිටිය අතහැර දැමීමට හැකියාවක් නැත. ඒ වෙනුවට රට ගොඩනැගීමට ආර්ථිකය වඩාත් ප්‍රසාරණය කරගත හැකි පෝට් සිටි වැනි ව්‍යාපෘති තවදුරටත් වර්ධනය කිරීම හැර වෙනත් විකල්පයක් නැත. අද වත්මන් ලෝකයේ බොහොමයක් රටවල් මෙවැනි ව්‍යාපෘති ඔස්සේ විශාල ආර්ථික ජයග්‍රහණ ලබාගෙන ඇති අතර එම බොහොමයක් රටවල් මීට දශක දෙකකට පමණ ඉහතදී ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවටත් වඩා පසුපසින් සිටි රටවල් බවද සඳහන් කළ යුතුය.

කෙසේ වුවද පෝට් සිටිය එහි පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සහ සමස්ත ව්‍යාපාතියට එරෙහි බොහොමයක් විරෝධතා පසුපස ඇත්තේ දේශපාලන කාරණා බව තේරුම් ගැනීම අපහසු නැත. එය පසුපස චීනයට එරෙහි ජාත්‍යන්තර විරෝධයක් පවතින බවද පැහැදිලිය. ඒ බව සනාථ කරන එක් සාධකයක් වන්නේ චීන විදේශ ඇමැතිගේ සංචාරය සමඟ මෙරට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වූ සිදුවීම් කිහිපයකි. පෝට් සිටියට චීනය මහා පරිමාණයෙන් ලබාදෙන දායකත්වය එම සිදුවීම්වලට බලපාන ප්‍රධාන සාධකය බව පෙනෙන්නට තිබේ.

රාජපක්ෂවරැන්ගේ ආණ්ඩුව මේ වනවිට චීනය හැරුණු විට ජාත්‍යන්තරයේ බලවත් රටවල් බොහොමයක් සමඟ පවත්වන්නේ යහපත් සබඳතාවක් නොවේ. අමෙරිකාව ඇතුළු බටහිර රටවල්ද යුරෝපා සංගමයද සමඟ පමණක් නොව අසල්වැසි ඉන්දියාවද සමඟ රාජපක්ෂ රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පවත්වන සබඳතා පවතින්නේ බෙහෙවින් පහළ මට්ටමකය. මෙයට ප්‍රධානම හේතුවක් වන්නේ ජාත්‍යන්තරය සමඟ ඇයි හොඳැයිකම් පැවැත්වීමේ සුවිශේෂ දක්ෂතා ඇති පුද්ගලයන්ගෙන් විදේශ අමාත්‍යංශය වැඩක් නොගැනීමය. වෘත්තීමය නොවන මට්ටමින් බලවත් රටවල් සමඟ කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනකු නිසා අද ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ මහත් අසීරැ තැනක පසුවෙයි. මීට හොඳම උදාහරණ වන්නේ ජිනීවා යෝජනාවේදී ශ්‍රී ලංකාව තනිවූ ආකාරය සහ ඉන්දියාව සමඟ නැගෙනහිර ජැටිය පිළිබඳ ඇතිකරගත් අර්බුදයයි.

චීනයේ ජාතික ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදීම මෙරට සිටින බලවත් රටවල තානාපතින් පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණීම මෙහිදී කැපී පෙනෙන්නේ එබැවිනි. මේ පිරිසට යුරෝපා සංගමයේ දූත පිරිසක්ද එක්ව සිටියහ. චීනයේ ජාතික ආරක්ෂක ඇමැතිවරයා මෙරටට පා තැබීමට පැය කිහිපයකට පෙර මේ සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය අඟහරැවාදා (27) විපක්ෂනායක කාර්යාලයේදීය.

යුරෝපා දූත පිරිසේ නායකත්වය දැරුවේ තානාපති ඩෙනිස් චයි බී ය. ඒ සඳහා ප්‍රංශ තානාපති එරික් ලැවෙර්තු, ජර්මන් තානාපති හොල්ගර් සෙයුබර්ට්, ඉතාලි තානාපති රීටා ගියුලියානා මැනෙල්ලා සහ රොමේනියා තානාපති ආචාර්ය වික්ටර් චියුදියා සහභාගි වී සිටි අතර එම සාකච්ඡාව පැවැත්වූයේ උදය කාලයේදීය. එදාම හවස්වරුවේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන්, කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන්, අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස්, ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර්, නෝර්වේ තානාපතිනි ත්‍රයින් ජර්නලි එස්කිදාල් සහ ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් අමාන්දා ජුවෙල් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡාවකට සහභාගී වූහ.

මේ සාකච්ඡා පිළිබඳව සමගි ජනබලවේගය ප්‍රකාශ කර තිබුණේ පුළුල් විෂය පථයක් තුළ සාකච්ඡා පැවැත්වූ බවය. කොවිඩ් 19 ව්‍යාප්තිය, ශ්‍රී ලංකාව තුළ වෛරසය පැතිරීම වැළැක්වීමට ගන්නා පියවර, රටතුළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ පටුවීම, මානව හිමිකම්, විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික ආරක්ෂක අභියෝග මේ මාතෘකා අතර වූ බවද සඳහන් කෙරිණි. නමුත් චීනයේ ආරක්ෂක ඇමැතිගේ සංචාරය සහ පෝට් සිටිය ගැන කතා නොකළා නම් පුදුම විය යුතුය.

මේ සාකච්ඡා ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා කියා තිබුණේ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් පුළුල් පරාසයක් තුළ සාකච්ඡා කළ බවය. අමෙරිකානු තානාපති කාර්යාල ප්‍රකාශක නැන්සි වැන්හෝන්ගෙන් මේ සාකච්ඡා පිළිබඳව ඩේලි එෆ්.ටී. පුවත්පත සිදුකළ විමසීමකදී ඇය ප්‍රකාශ කර තිබුණේ මේ සාකච්ඡාව සඳහා විපක්ෂනායකවරයාගෙන් ලැබුණු ආරාධනාව තමන් අගය කරන බවය. විපක්ෂය මුහුණ දෙන ප්‍රබල ගැටලු ගණනාවක් පිළිබඳ විපක්ෂනායකවරයා තම අදහස් ප්‍රකාශ කළ බවද තම දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම සහ පාරිසරික සම්පත් කළමනාකරණය යන මාතෘකාද කතාබහට ලක්වූ බවද සඳහන් විය. රජයෙන් විපක්ෂයට එල්ලවෙමින් තිබෙන තර්ජන පිළිබඳව මේ සාකච්ඡාවේ විපක්ෂනායකවරයා එම රටවල දූත පිරිසේ දැනුවත් කළ බවද සඳහන්ය.

චීන ආරක්ෂක ඇමැතිගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවූයේ විපක්ෂය බටහිර සහ යුරෝපා තානාපතින් හමුවේ තමන් මුහුණදෙන දේශපාලන මර්දනය පිළිබඳව කරුණු සඳහන් කෙරුණු සහ පෝට් සිටියට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් අධිකරණය තුළ විභාග වන පසුබිමක වීම කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ලෝකයේ බලවත් රටවල් සමඟ කොකු පටලවා ගෙන සිටින පසුබිමක දිගහැරෙන මේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මොන ආකාරයක වෙනසක් ඇතිකරනු ඇතිදැයි දැන්ම කීම අමාරුය. එහෙත් ඉන්දියාව මේ මොහොතේදී කොවිඩ් වෛරසයේ දරුණු ප්‍රහාරයකට ලක්වී සිටීමත් නුදුරු කාලයකදී එයින් ගොඩඒමට තිබෙන අවස්ථාව ඉතා අඩුවීමත් නිසා ලංකාවේ දේශපාලනයට අත පෙවීමට ඉන්දියාවට තිබෙන ඉඩකඩ අඩු වී තිබීම ආණ්ඩුවට කිසියම් පහසුවක් ඇතිකර තිබේ. මේ අතරත් පළාත් සභා පැවැත්වීමේ අවශ්‍යතාව යළිත් වරක් ඉන්දියාව පෙන්වාදීමද කැපී පෙනෙයි.

ලංකාවේ දේශපාලනය තුළ පෝට් සිටිය ලොකු හැරවුම් ලක්ෂයක් වන බවට ලකුණු පහළවෙමින් තිබෙන බව මේ අනුව පැහැදිලිය. පෝට් සිටිය සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබෙන තීන්දුව අනුව කටයුතු කිරීමට ආණ්ඩුව බැඳී සිටියි. ආණ්ඩුවේ හැසිරීමෙන් පෙනෙන්නේ යම් යම් සංශෝධන සිදුකළ යුතු බවට සඳහන් වන එහෙත් පෝට් සිටියේ ඉදිරි කටයුතුවලට හරස් නොකැපෙන තීන්දුවක් ලැබෙනු ඇති බවය. එසේ වුණත් නොවුණත් ආණ්ඩුව පෝට් සිටිය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් රට ඇතුළේ තම ස්ථාවර භාවය ශක්තිමත්ව පවත්වාගෙන යාම අවශ්‍යය. විපක්ෂයේ සහායද ඇතිව ගොඩනැගිය හැකි මහජන විරෝධය වළක්වාගත යුතුය. නමුත් විපක්ෂයේ හිටපු ඇමැතිවරුන් අත්අඩංගුවට ගනිමින් විපක්ෂයට දැඩි පීඩනයක් එල්ල කරන ආණ්ඩුව එහෙම හිතන බවක් පෙනෙන්නට නැත. එසේ නොවුණොත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට ගොස් සිදුවූ අලකලංචියටම ආණ්ඩුවට මුහුණදීමට සිදුවනු ඇත.

ඒ අවස්ථාවේදී අමනාප වූයේ ඉන්දියාව පමණි. එහෙම වුණත් පෝට් සිටිය ආණ්ඩුවේ අංක එකේ ව්‍යාපෘතියයි. එයට පූර්ණ දායකත්වය සපයන්නේ තමන්ට ඉතාම සමීප ජාත්‍යන්තර මිත්‍රයා වන චීනයයි. නැගෙනහිර ජැටිය ඉන්දියාව අතහැර දැම්මාක් මෙන් චීනය නම් පෝට් සිටිය අතහැර දමනු ඇතැයි සිතන්නවත් බැරිය. ඒ බව වඩාත් හොඳින්ම දන්නේ ආණ්ඩුවයි.

- ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00