පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ සම්බන්ධයි කියලා අපි කිව්වෙ නෑ
රන්ජන් රාමනායක වැරුද්දක් කළා: හැබැයි හොර - වංචා කරලා නෑ
මිත්‍යාවෙන් - පැණියෙන් ආණ්ඩුව ජනතාව රැවැට්ටුවා
සෞඛ්‍ය අංශයේ ඉල්ලීම් ඉහළින් වෙනස් කළා
වරාය නගර පනත චීනෙන් හැදුවාදැයි අපට සැකයි
ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීම විපක්ෂයේ කාර්යයක්
බොරු චෝදනාවලට බය වෙන්නේ මොකටද?
මනූෂ නානායක්කාර
පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජන බලවේගය
විපක්ෂයෙ අයගේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි ආණ්ඩුවට ටිකක් බයෙන් වගෙයි ඉන්නෙ. මොකක්ද ඒකට හේතුව?
දැනට වෙලා තියෙන දේවල් එක්ක ගත්තාම මේ ආණ්ඩුව මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් යන්නෙ. අධිකරණයේ බලය වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයා යටතට ගත්තා. පාර්ලිමේන්තු බලය අග්‍රාමාත්‍යවරයාගෙන් ගලවලා ජනාධිපතිවරයා යටතට ගත්තා. දැන් මේ සියලුම ආයතන ආණ්ඩුව විසින් මෙහෙයවන තැනට ඇවිල්ලා තියෙන්නෙ. පේනවනෙ ඒ අයගෙ නඩු තීන්දු එහෙම නිදහස් කළ හැටි. ඒ නිසා මේ දේවල් හෙළි කරන පුද්ගලයො, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය මේ වෙනකොට මර්දනකාරී වැඩපිළිවෙළකට තල්ලු කරමින් යනවා. විශේෂයෙන් දේශපාලනඥයො මොනවා හරි දෙයක් කරලා අත්අඩංගුවට ගන්න යන්නෙ. මේ සියලු බාධක මැද්දෙ තමයි විපක්ෂය මේ වැඩ කටයුතු කරගෙන යන්නෙ. ඒ සියල්ල නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ෆේල් කියලා රටම දැනගත්තෙ.
ඔබ හිතනවද විපක්ෂයේ කාර්යභාරය නිවැරදි ලෙස සිදුවෙනවා කියලා?
අනිවාර්යෙන්ම. මේ විපක්ෂය ශක්තිමත් විපක්ෂයක් වගේම තමයි ඩීල් නැති විපක්ෂයක්. ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ ඉතාම කෙටි කාලයක් තුළ මේ ආණ්ඩුව දුර්වල බවට රටට පෙන්නන්න. දැන් මිනිස්සු ආයේ රාජපක්ෂලාට ඡන්දෙ දෙන්නෙ නෑ කියන මතයෙ තමයි ඉන්නෙ.
අපි දැක්කා පසුගිය දවස්වල ඔබත් හරින් ප්‍රනාන්දු මන්ත්රීවරයාත් ආණ්ඩුවට විශාල වාග් ප්‍රහාරයක් එල්ල කළා. ඊටපස්සෙ ඔබලම කිව්වා ආණ්ඩුව විසින් ඔබලව අත්අඩංගුවට ගන්න යනවා කියලා. මට ඉස්සෙල්ලම කියන්න ඔබලව අත්අඩංගුවට ගන්න හේතුව?
අපි දෙදෙනාම අත්අඩංගුවට ගන්න නම් හේතුවක් නෑ. හැබැයි පාර්ලිමේන්තුවෙ කරපු කතාවත් එක්ක තමයි මේ දේ දැනගන්න ලැබුණෙ. අප්‍රේල් 21 වැනිදා අපි පාර්ලිමේන්තුවෙදි කිව්වා පාස්කු කොමිසමේදි රහස් පොලීසියේ නිලධාරීන් සහ විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ කළ එහෙත් වාර්තාවට අඩංගු නොවූ කාරණා කීපයක් ගැන. අපිට ප්‍රශ්නයක් තිබුණා. අන්න ඒ කරැණු පස්සෙ ඇයි ආණ්ඩුව හඹා නොයන්නෙ කියලා. මේ කරුණු අපි සොයාගත්ත දේවල් නෙමෙයි. කොමිසමේදි කතා වුණු දේවල්. අන්න ඒ අනාවරණය හමුවේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගිහිල්ලා රහස් පොලීසියෙ පැමිණිල්ලක් දාන්නෙ. ඒ වගේම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට රහස් පොලීසියට එන ලෙසට කැඳවීමක් ලැබුණා.
පාර්ලිමේන්තුවෙදි කරපු ප්‍රකාශයකට නීතිය ක්‍රියාත්මක කරන්න බෑනෙ?
ඒ අය ඒ ගැන නොදැන වගේ, ඒ සියල්ල දැනගෙන තමයි ඒක සිදු කළේ. ඒ හරහා වෙනත් දේකට අත්අඩංගුවට ගන්න තමයි උත්සාහ කළේ.
කවුද ඔබව අත්අඩංගුවට ගන්නවා කිව්වෙ?
අපිට ඒ ගැන ආරංචි ලැබුණා අභ්‍යන්තර මාර්ගයෙන්.
ඔබලා ඉදිරිපත් කරපු කාරණා, පාස්කු වාර්තාවෙ කාරණා ගැන සමහර අය කිව්වා නීතිපතිට යවපු කොටස්වල ඒවා තියෙනවා කියලා. කොහෙන්ද ඒවා ලැබුණෙ?
නීතිපතිට අපි කිව්ව කාරණා යවලා තියෙනවා නම් හොඳයි. හැබැයි අපිට විශ්වාසයක් නෑ අඩුම තරමෙ නීතිපතිවරයාට යවලා තියෙනවා කියලා. ඒවා ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ. මොකද ජනාධිපති කොමිසමක් ඉදිරියෙ කතා කළ දේවල්නෙ. අනික අපි මහජන නියෝජිතයො.
ඔබලට ලැබුණු වාර්තාවෙ ඔය කාරණා සුළුවට හෝ අඩංගු නැද්ද?
නෑ නෑ. අපිට හම්බවෙච්ච වාර්තාවෙ ඒවා නෑ.
ඔබට සහතික කරන්න පුළුවන්ද ඒවා කොමිසම ඉදිරියේ විමර්ශනය කරපු සාක්ෂි කියලා?
ඔව්. අපි නම් පිටින් පාර්ලිමේන්තුවෙදි කිව්වෙ.
දැන් මේ අනාවරණය කිරීම ගැන සමහර අයට කියන්න පුළුවන්නෙ මේක බුද්ධි අංශ පාවාදීමක් කියලා?
අපි ඒ චෝදනාවලට කිසිසේත් බය වෙන්නෙ නෑ. අපි දන්නවා ඉතිහාසයේත් හමුදාවෙ ඇතැම් කොටස් නිල නොවන දේවල් කළා කියලා. ඒක ඉතිහාසෙ ඉඳන් තිබුණා. සමහර විමර්ශනවලින් පසුගිය කාලෙ ඒ දේවල් අනාවරණය වුණා. එයට සම්බන්ධ වුණේ ඉතාම කුඩා පිරිසක්. හමුදා ඇඳුමට මුවාවෙලා වැරදි වැඩ කරන්න ඉඩ දෙන්න බෑ. බුද්ධි අංශ පාවාදෙනවා කියලා ඒ දේවල් අනාවරණය කරන්නෙ නැත්නම් අපි ජනතාවට කරන බොරුවක්.
බුද්ධි අංශ සාමාන්‍යයෙන් දෙයක් කරනවා නම් නිල හෝ නොනිල වශයෙන් ඒ කරන්නෙ පවතින රජයට පක්ෂපාතීව. ඔබ හිතනවද පාස්කු ප්‍රහාරය වගේ දේකට සම්බන්ධ වෙලා ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න පුළුවන් කියලා?
අපි පාර්ලිමේන්තු කතාව ඇතුළෙවත් කොහෙවත් කියලා නෑ බුද්ධි අංශ මේක කළා කියලා. බුද්ධි අංශ තියාගෙන ඇතැම් දේශපාලන අරමුණු තියන අය කරපු දේවල් තමයි මං ඉතිහාස කතාවලින් කිව්වෙ. හැබැයි මේකට එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා කියන්න බෑ. අපිට ඕනෙ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා ඇත්ත දැනගන්න. මොකද අපි රහස් පරීක්ෂකයො නෙමෙයිනෙ.
ඔබලා ආණ්ඩුවට විශාල වශයෙන් ගහනවා. එහෙම දැඩිව විවේචනය කරපු මන්ත්‍රී කෙනෙක් තමයි දැන් සිරගත වෙලා ඉන්න රන්ජන් මන්ත්‍රීතුමා. දැන් ඔහුට ජනාධිපති සමාව ගන්න උත්සාහ කරනවා. ඉතින් ජනතාවට හිතෙන්න පුළුවන් නේද ඔක්කොම එකයි වගේ එකක්?
දැන් මන්ත්‍රී කෙනෙක් හොරකම් කරලා තියෙනවා නම් වංචා කරලා තියෙනවා නම් ගසාකාලා තියෙනවා නම් එහෙම විස්තරයක් අපිට කියන්න පුළුවන්නෙ. අන්න එවැනි චෝදනා තියෙන අය ඉන්නවා නම් එහෙම අය බේරාගන්න මැදිහත් විය යුතු නෑ. රටේ තියෙන ප්‍රශ්නයක් ගැන ප්‍රසිද්ධියෙ කතා කිරීම නිසා තමයි ඔහු සිරගත වුණේ අධිකරණයට අපහාස කිරීම යටතේ. ඒ කතාවෙ යම් යම් ප්‍රශ්න තියෙනවා සමහර අයට. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා වැරැද්දක් කරලා තියෙනවා. හැබැයි අනිත් අය වගේ හොරකම් කරලා වංචා කරලා නෑ. ඒ නිසා අයුක්තිසහගත ලෙස පීඩා විඳින එකෙන් ගලවාගන්න එක මම නම් වරදක් හැටියට දකින්නෙ නෑ.
රන්ජන් වගේ මන්ත්‍රීවරයෙක් රාජපක්ෂලා දැඩි ලෙස විවේචනය කරලා ගෝඨාභය රාජපක්ෂගෙන් නිදහස අරගෙන එළියට ආපුවාම අර ඔහු කරපු පරණ භූමිකාව නැවත කරන්න හැකියාවක් තියෙයි කියලා ඔබ හිතනවද?
ඒක ඉතින් රන්ජන් රාමනායකගෙන් තමයි අහන්න ඕනෙ ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක.
ඔබට එහෙම දෙයක් වුණොත් ඔබට එහෙම කතා කරන්න පුළුවන්ද?
නෑ මං ඒ ගැන හිතලා නෑ.
ඔබ ඉස්සෙල්ලා පැවසුවා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ෆේල් කියලා. හැබැයි ආණ්ඩුවෙ අය නම් කියන්නෙ ලෝකෙ අනිකුත් රටවල් එක්ක බලද්දි සාර්ථක ලෙස කොවිඩ් මර්දන වැඩ කටයුතු කළේ අපේ රට කියලා. ඉතින් ෆේල් වෙන්න පුළුවන්ද?
මම හිතන්නෙ ආණ්ඩුව වැරදි තැනකින් අල්ලගෙන තමයි ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න පටන් අරගෙන තියෙන්නෙ. ආණ්ඩුවට මේ කොරෝනා ප්රශ්නය ඉතාම සාර්ථක ලෙස ජය ගන්න තිබුණා. කොරෝනා නිසා යම් බලපෑමක් ආර්ථිකයට තියෙනවා තමයි. හැබැයි සමස්ත ආර්ථිකයම කඩා වැටුණෙ කොරෝනා නිසා නෙමෙයි. තව මාස හයක් යනකොට අපිට ණය වාරිකය ගෙවාගන්න බැරිවෙලා රට අගාධයට යනවා. පසුගිය වසරේ පෙබරවාරිවල ඉඳන්ම මේ සඳහා මුහුණ දිය යුතු ආකාරයේ ක්‍රමවේදයක් හදාගන්නෙ නැතුව සිදු කරපු දේවල් නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ. මිත්‍යාවෙන් පැණිවලින් ජනතාව රවට්ටලා මුලාවෙ දාලා අවසානෙ අමාරැවෙ වැටුණා. මිනිස්සුන්ගෙ බය නැති කළේම ආණ්ඩුව. බලන්න එන්නත් ටිකවත් හරියට මිනිස්සුන්ට දෙන්න බැරිවුණා.
ඔබ කියන්නේ ආණ්ඩුව මේ තත්ත්වය ඇතිකරගත්තෙ විහින් කියලද?
සෞඛ්‍ය අමාත්‍යතුමිය, රාජ්‍ය අමාත්‍යතුමිය, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය බලධාරීන් මේ සියලු දෙනාම ඉල්ලුවා රට යම් ආකාරයකින් පාලනය කරගන්න මෙන්න මේ වගේ වැඩපිළිවෙළක් කරන්න කියලා. ඒත් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ඒ දේ වෙනස් කළා. ඒකට හේතු වුණේ මේ දේවල් හමුදා පාලනයක් වගේ සිදු කළ නිසා. අහඹු පී.සී.ආර්. පරීක්ෂණ නතර කළා. පී.සී.ආර්. පරීක්ෂණ අඩු කළා. මෙ හැම දෙයින්ම ආණ්ඩුවට ඕන වුණේ අපි තමයි හොඳටම කළේ කියලා පෙන්නන්න.
ඔබලා හිතනවද ඔබලගෙ ආණ්ඩුවක් තිබ්බා නම් මීට වඩා සාර්ථකත්වයක් තියෙන්න තිබ්බා කියලා?
පළවෙනි දේ තමයි අපි ඇත්ත කතා කරනවා. අපි ඒ යථාර්ථයෙන් ජනතාවට මුහුණ දෙන්න කියා දෙනවා. අන්න ඒ යථාර්ථයෙන් ගියා නම් මෙච්චර හානියක් සිද්ධ වෙන්නෙ නෑ. යථාර්ථය දැනගෙන ගියා නම් අපිට වළට නොවැටි ඉස්සරහට යන්න තිබ්බා.
දැන් අපි දැක්කා පසුගිය කාලෙ ආණ්ඩුව ඇතුළෙ යම් යම් අර්බුද තිබුණා. ආණ්ඩුව විශාල වශයෙන් මේ කොවිඩ් ප්‍රශ්නයට මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් විපක්ෂයකට මේ අවස්ථාව හොඳ බොර දියේ මාළු බෑමක් නේද?
මං ඉස්සෙල්ලා කියන්නම්කො මෙහෙම. අපි අද ආණ්ඩුවෙ ඉඳලා ඔය තත්ත්වය උදාවුණා නම් අපිට ඉතාම පෞද්ගලික ලෙස දැඩි ප්‍රහාර, විවේචන එල්ල කරනවා. ඒ වගේම නිතර දෝෂාරෝපණයට ලක්වෙන්න වෙනවා. හැබැයි අපි අතින් එහෙම දෙයක් වෙලා නෑ. ඔබ දැකලා තියෙනවද එහෙම වචනෙකින් හරි අපි ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරනවා. අපි කරන්නෙ ආණ්ඩුවට ජනතාවට වෙන පීඩාව, පාඩුව, කරදර ගැන පෙන්වා දෙන එක. ඒක විපක්ෂයේ කාර්යභාරයක්. අපිට ඇත්තටම අවශ්‍ය නෑ බොර දියේ මාළු බාන්න. අපි මේ රටේ අර්බුදය වෙලාවෙ ඒ අයලගෙ පක්ෂෙත් අර්බුද තියෙන වෙලාවෙ අපි ඒ හැම දෙයක් සම්බන්ධයෙන්ම උපේක්ෂාවෙන් බලා ඉන්නවා.
අපි දැක්කා පසුගිය කාලෙ වරාය නගරය ගැන විශාල අනාවරණයක් ඔබලා කළා. හැබැයි ආණ්ඩුවෙන් කිව්වෙ ඒ චෝදනා කිසිදු පලයක් කිසිදු සත්‍යතාවයක් නැති කරුණු කියලා. ඇයි ඔබලා ඒ ගැන සොයා බැලීමකින් තොරව ඒ ගැන ප්‍රකාශ කළේ?
මේ වරාය නගරය ලංකාවේ සියලුම පනත් අතික්‍රමණය කරලා තමයි ක්‍රියාත්මක වෙන්නෙ. බදු පනත් පවා දුර්වල වෙනවා. ලංකාවෙ කැසිනෝ පනතෙම තියෙනවා ලංකාවෙ කැසිනෝ තියෙන්න පුළුවන් හතරයි කියලා. හැබැයි ඒ පනතත් ඉක්මවා ගියා. ඒක කළාට කමක් නෑ හැබැයි පිටරටින් ඇවිල්ලා කැසිනෝ දාලා ඒ සල්ලි නැවත පිටරටට අරන් යන්න පුළුවන් විදිහට තමයි මේ පනතට අනුව තියෙන්නෙ. මේ නගරය හරහා ව්‍යාපාර ඒකාධිකාරයක් ගොඩනැගෙනවා. මුළු කොළඹම තියෙන ව්‍යාපාර අඩපණ වෙනවා. අධිකරණ බලතලවලට පවා මේ හරහා බලපෑම් එල්ල වෙනවා. අපිට දැන් සැකය මේ වරාය නගර පනත චීනෙන් හදලා දුන්න එකක්ද කියලා. මට මේ ගැන වෙනමම සම්මුඛ සාකච්ඡාවකින් කියන්න පුළුවන්.
දැන් ආණ්ඩුවට 2/3ක් තියෙද්දි මේ වගේ දෙයක් සම්මත වුණොත් මොකක්ද කරන්නෙ. විපක්ෂෙට කරන්න පුළුවන් දේ මොකක්ද?
අපිට කරන්න පුළුවන් දේ පාර්ලිමේන්තුවෙදි උපරිම කරනවා වගේම ජනතාව පෙළගස්වන්න පුළුවන්. ඊට එහා ලොකු දෙයක් කරන්න බෑ. ජනතාව අපිට දීලා තියෙන බලතල ප්‍රමාණය මෙච්චරයිනෙ. ජනතාව බලය දීලා තියෙන්නෙ ආණ්ඩුවට පෝට්සිටි දෙන්න කියලා නම් ඉතින් ඒ ජනතාවගේ තීන්දුව අනුව ජනතා බලය බලහත්කාරකමින් පාවිච්චි කරනවාමයි.
ඔබලගෙ ආණ්ඩුවක් ආවොත් ඒක නිවැරදි කරනවද?
යම්කිසි වෙනසක් කරන්න තියෙනවා නම් රටට අහිතකර දේවල් සම්බන්ධයෙන් අපි අවශ්‍ය පියවර ඒ අවස්ථාවෙදි ගන්නවා. හැබැයි මතක තියාගන්න එදා සින්නක්කර ලියපු පෝට්සිටි එක යහපාලන ආණ්ඩුවෙන් තමයි නැවත අපේ රටට පවරා ගත්තෙ.
ගයාන් ගාල්ලගේ