2021 ජුලි 10 වන සෙනසුරාදා

ඉවසලා හිටියොත් ‌ගොඩගන්න පුළුවන්

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

 

- සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග

අද ජනතාව අතේ සල්ලි නැති බව අපි පිළිගන්නවා

ජනතාව ආණ්ඩුවට බැන්නා කියලා විපක්ෂයට බලය ගන්න බෑ

විමල්-උදය ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙලා නෑ

හැදෙන ගාණයි මැරෙන ගාණයි කියන තරමට සජිත්ලා කැමතියි

බැසිල් මහත්තයා සක්කරයා නොවෙයි

සංචාරක ක්ෂේත්‍රය නග්ගන එක ලේසි නෑ

මේක ආණ්ඩුවට ඉතාම අභියෝගාත්මක කාලයක්. ප්‍රශ්න එකපිට එක. හැබැයි මොනම කාරණය වුණත් ආණ්‘ඩුව ගේන එකම උත්තරය තමයි කොවිඩ් ප්‍රශ්නය. කොහෙන් ගියත් හැමෝම කියන්නෙ ඒක. ඇත්තටම ආණ්ඩුවට තියෙන එකම ප්‍රශ්නය කොවිඩ්ද?
ජනාධිපතිතුමා බලයට පත්වුණාට පස්සෙ ඉස්සෙල්ලාම කළේ මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න සැලැස්ම හදපු එක. ඒ නිසා විශාල වශයෙන් බදු සහන දීලා අලුතින් ව්‍යාපාර ආරම්භ කරන්න දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න එතුමා කටයුතු කරමින් යන්නෙ. හැබැයි අවාසනාවකට මේ කොවිඩ් ගැටලුවත් එක්ක අපි බලාපොරොත්තු වූ ඉලක්කයට යන්න හම්බවුණේ නෑ. මොකද රට වහලා තිබීම නිසා විශාල අභියෝගයක් වගේම ඒක අපිට විශාල පාඩුවක්. ඒ නිසාම තමයි එතුමා මේ කොවිඩ් ප්‍රශ්නයට මූලිකත්වය දීලා වැඩ කටයුතු කරමින් යන්නෙ

හැබැයි ආණ්ඩුවට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ආදායම් අඩුවීම. එක පැත්තකින් ආනයනය සීමා කරලා ගොඩක් ව්‍යාපාර කඩාවැටිලා තියෙනවා. අනිත් කට්ටිය කොවිඩ් නිසා කඩාවැටිලා තියෙනවා. හැබැයි මේ ආනයනය සීමා කිරීම ආණ්ඩුව දාගත්ත අමතර ප්‍රශ්නයක් නෙමෙයිද?
අපි රට බාරගන්නකොටත් මේ රටේ විදෙස් සංචිතවල විශාල අඩුවක් තිබුණා. විශාල ව්‍යාපෘති සඳහා අරගෙන ගිය වැඩපිළිවෙළවල් සම්පූර්ණයෙන්ම නතරවෙලා තිබුණෙ. ඒ වගේම අනවශ්‍ය දේවල් සඳහා විදේශ විනිමය වැයවීම අපි නැවැත්වුවා. ඒ හරහා උත්සාහ කළේ දේශීය ව්‍යාපාරය, දේශීය ආර්ථිකය නංවන්න. මේක 77 විවෘත ආර්ථිකයත් එක්ක ගත්ත විශාල අභියෝගයක්. ඒ නිසා යම් තාක් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒකට හේතුව අපි ගත්ත ක්‍රියාමාර්ගත් එක්ක ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පරිසරය මේ කොවිඩ් වෛරසයත් සමඟ ලැබුණෙ නෑ. ඒ නිසයි එහෙම ආදායම් අහිමිවීමක් සිද්ධ වුණේ. 

කොවිඩ් ප්‍රශ්නෙත් තියෙනවා නම් ආදායමත් අඩු නම් විවිධ බාධාවනුත් තියෙනවා නම් ඇයි මේ ආණ්ඩුව ක්‍රමානුකූලව විසඳන්න ඕන රසායනික පොහොර ගැටලුව හදිසියේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා නැති ප්‍රශ්නයක් දාගත්තෙ. දැන් ගොවියො පාරට බහින තැනට පත්වෙලානෙ?
මතක තියාගන්න යහපාලන රජයේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් මේ රසායන පොහොර නවත්වන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. හැබැයි එදත් ඔය රසායන පොහොර ජාවාරම්කාරයො මේ වගේම ප්‍රශ්න ඇතිකළා. බලන්න මේ රටේ අනුරාධපුර පොළොන්නරුව පැතිවල වකුගඩු ඉස්පිරිතාල හදන තත්ත්වයට පත්වෙලා. ඒ තරමට වකුගඩු රෝගීන්ගෙ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේම ගම්පහ වගේ ප්‍රදේශවලත් එන්න එන්නම වකුගඩු රෝගීන් වැඩි වෙනවා. දැන් සියලුම දේවල් හයිබ්‍රිඩ්. ගෙඩියක ඇටයක් නැති තැනටම පත්වෙලා. පොළොව හාරනකොට ගැඩවිලෙක් හොයාගන්න විදිහක් නෑ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වෙ අපිට බැරි වුණත් අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ තීන්දුව ගන්න ඕනෙ කියලා. ඒ නිසා මේ තරම් 2/3 බලයක් තියාගෙන අපිට කරන්න බැරි වුණොත් අනාගතයෙ කිසිම ආණ්ඩුවකට මේක කරන්න බෑ. එහෙම නොවුණොත් වෙන්නෙ මේ රට කාන්තාරයක් වෙන එක. 

මේ වෙද්දි ජනතාවට ජීවන බර දරාගන්න බැරි තරමට ඇවිල්ලා තියෙන්නෙ. එක පැත්තකින් තෙල් මිල ඉහළ දාලා. ඇත්තටම ඇයි මේ ආණ්ඩුවට ජනතාවගෙ ජීවන බර ගැන දැනෙන්නෙ නැත්තෙ?
මතක තියාගන්න මීට වඩා අමාරු කාලවල ඉන්ධන මිල වැඩිවුණු අවස්ථා තියෙනවා. ජනතාවට බඩුවල ගණන් වැඩි වුණාට කමක් නෑ සල්ලි තිබුණානම්. අද ජනතාවගෙ අතේ සල්ලි නැති ප්‍රශ්නෙ තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒකට හේතුව තමයි මේ ලෝක වසංගතයත් එක්ක ඇතිවෙලා තියෙන තත්ත්වය. ඒ නිසා තමයි ජනාධිපතිතුමා උත්සාහ කරන්නෙ අලුතින් ව්‍යාපාර ආරම්භ කරලා ජනතාවගෙ අතේ මුදල් ගැවසෙන ක්‍රමයක් හදන්න. ඒක කළොත් මේ වැඩේ හරි. 

ඔබට ජනතාව කියන්නෙ නැද්ද ඇත්තටම මේ ජීවන බර දරාගන්න අමාරුයි කියලා?
අනිවාර්යයෙන්ම කියනවා. ගොඩක් අය හිතන්නෙ මිනිසුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් අපි සංවේදී නෑ කියලා. හොඳම උදාහරණය තමයි මම සංචාරක ඇමැති හැටියට මගේ ක්ෂේත්‍රය පැත්තෙන් මුහුණදෙන ගැටලු. මේ ක්ෂේත්‍රයෙ හිටිය ගොඩක් අයට මේ වෙනකොට ආදායම් අහිමිවෙලා තියෙනවා. මොකද මේ ක්ෂේත්‍රය ශක්තිමත් වුණේ පෞද්ගලික ව්‍යවසායකයන් නිසා. නමුත් මේ පාස්කු ප්‍රහාරයත් කොවිඩ් වසංගතයත් නිසා සියල්ල අඩපණ වෙලා තියෙන්නෙ. නැවත මේවා ගොඩනගන්න විශාල මුදලක් යයි. ගොවියගෙ ප්‍රශ්නෙත් ඒ වගේමයි.

මේ රටට ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණු සංචාරක ක්ෂේත්‍රය බාරව ඉන්නෙ ඔබ. ඒත් මේ වන විට ඉතාම දරුණු ලෙස කඩාවැටිලා ඉවරයි. නැවත සංචාරක ක්ෂේත්‍රය ගොඩනගන්න පුළුවන් වෙයි කියලා ඔබ විශ්වාස කරනවද?
ඒක ලේසි වැඩක් නෙමේ. මොකද සංචරණ සීමා දාලා තියෙන්නෙ දේශීය වශයෙන් විතරක් නෙමෙයි. ජාත්‍යන්තර වශයෙනුත් සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා. මේ සංචාරක ක්ෂේත්‍රය සුපුරුදු පරිදි කරගන්න අමාරු තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ. දැන් ඉදිරි මාස දෙක ඇතුළත එන්නත්කරණය සාර්ථක වීමත් එක්ක අපිට සුපුරුදු විදිහට රට විවෘත කරන්න පුළුවන් වෙයි. ඒ නිසා කොහොම වුණත් එන සංචාරකයන්ට පවා දැනෙන්න ඕනෙ රට සෞඛ්‍යාරක්ෂිතයි කියන එක. ඒ වගේම මේ වෙනකොට අපි සහන පැකේජයන් කිහිපයකුත් හඳුන්වා දෙමින් යනවා. නමුත් මේ වෙලාවේ සියල්ල ක්‍රියාත්මක කරන්න බෑ. හේතුව සංචාරකයන් පැමිණීම නතරවෙලා තියෙන නිසා. මේවා දියුණු කරන්න යනකොට විපක්ෂයෙන් කියනවා අපි සංචාරකයන් ගෙනල්ලා කොවිඩ් බෝ කරන්න යනවා කියලා. හැබැයි මම වගකීමෙන් කියනවා කිසිම සංචාරකයෙක් නිසා කොවිඩ් ව්‍යාප්තියක් සිදුවෙලා නෑ. 

දැන් මේ සියලු ආර්ථික ප්‍රශ්නවලට එකම යෝජනාව වෙන්නෙ බැසිල් රාජපක්ෂ මහත්තයගෙ ආගමනය. ඔබ හිතනවද මේ සියලුම ප්‍රශ්නවලට එතුමා ළඟ විසඳුම් තියෙයි කියලා?
මම හැම තිස්සෙම කියන දෙයක් තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නෙ සක්කරයා නෙමෙයි. එතුමාට සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන්කමක් නෑ. නමුත් එතුමා හොඳ සංවිධායකයෙක්. එතුමාට හොඳ වැඩපිළිවෙළක් තියෙනවා. මම එය අත්දැකීමෙන් දන්නෙ 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරවන්න ඒ මැතිවරණ සටන මෙහෙයවුව ආකාරයයි. ඊට පස්සෙ ඔහු ජයග්‍රහණය කරවලා පැත්තකට වෙලා හිටියා. පසුව යුද්ධය ජයග්‍රහණයත් එක්ක ඒ ආර්ථික සැලසුම හදන්න එතුමා විශාල වැඩ කොටසක් ඉටු කළා. අනිත් එක ජනතාවගෙ ප්‍රශ්න ගැන ජනතාවගෙ පැත්තෙ ඉඳලා විසඳුම් හොයන්න පුළුවන් පුද්ගලයෙක්. එතුමා පාර්ලිමේන්තු එනවා කියන්නෙ අපිට ලොකු හයියක්. ජනාධිපතිතුමාට ලොකුම හයියක්. එතුමාගෙ පැමිණීමත් එක්ක ආණ්ඩුවෙ ඉලක්කවලට යන්න හැකියාවක් තියෙනවා.

ඔබ ඔහොම කිව්වට සමහර ඇමැතිවරු එතුමගෙ ආගමනයට කැමැත්තක් නෑ නේද?
සමහර අභියෝගවලට බය ඇමැතිවරු ඉන්නවා. මම දන්න තරමින් එහෙම අය නම් තවම නැහැ. හැබැයි ඉතින් යටි හිතේ තියාගෙන ඉන්න අය ඉන්න පුළුවන්. 

ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ තමයි එතුමා ආවයින් පස්සෙ සියලු අමාත්‍යංශවලට අත දානවා කියලා. ඒක ඇත්තද?
මම පළාත් සභාවෙ මහ ඇමැතිවෙලා ඉන්නකොට එතුමා ආර්ථික ඇමැති. ඒ වගේමයි මගේ දිස්ත්‍රික් නායක. හැබැයි කවදාවත් එතුමා මගේ වැඩවලටවත් පළාත් සභාවෙ වැඩවලටවත් බලපෑමක් හෝ මැදිහත්වීමක් කරලා නෑ. එතුමා හැබැයි මට හැමදාම පළාත් සභාවෙ වැඩවලට උදව් කළා. එතුමා පාර්ලිමේන්තු ඇවිල්ලා මේ සංචාරක ක්ෂේත්‍රයෙ නියැලිලා ඉන්න අය මුහුණදෙන ගැටලුවලට විසඳුම් හොයන්න මැදිහත් වෙනවා නම් මම ඔක්කොටම වඩා කැමැතියි.

හැබැයි ශ්‍රීලනිපයේ මහලේකම්වරයා කියනවා මේ විහිළු ඇමැති ධුර හැදුවෙ එතුමා කියලා. ඒක බරපතළ චෝදනාවක්?
මම නම් එච්චර ඒක ගණන් ගන්නෙ නෑ. මොකද එතුමා ඔය කියන විහිළු ඇමැතිකම බාරගත්ත කෙනෙක්නෙ. මට එතුමා පේන්නෙ කවටයෙක් හැටියට. හැබැයි එතුමගෙ පෞද්ගලික අදහස මිසක් ඒක ශ්‍රීලනිපයෙ අදහස නෙමෙයි. එතුමා යහපාලන කාලෙ ප්‍රබල ඇමැතිවරයෙක්නෙ. මීට වඩා දෙයක් එහෙනම් කරලා පෙන්නන්න එපායැ. එහෙම දේවල් තියෙද්දි අර වගේ ප්‍රකාශ කරනවා කියන්නෙ නටන්න බැරි මිනිහට පොළොව ඇදයි වගේ එකක්. 

පසුගිය කාලෙ ඔබලගෙ පසුපෙළ මන්ත්‍රීවරු මේ ආණ්ඩුව ගොඩනගන්න වැඩ කරපු විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයන්ට ප්‍රහාර එල්ල කළා. දැන් ඔවුන් වැඩක් නැද්ද, නැත්නම් මේවා මෙහෙයවන වැඩද?
නෑ නෑ. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. පක්ෂ අතර ඒ ඒ අයගෙ අනන්‍යතාවය වෙනුවෙන් විවිධ ප්‍රකාශ කරනවා. විමල් සහ උදය ඒ අයගෙ පක්ෂ වෙනුවෙන් කතා කරනවා වගේම තමයි අපේ අය අපේ පක්ෂය වෙනුවෙන් කතා කරනවා. හැබැයි ඒක ආණ්ඩුවෙ පාලනයට ප්‍රශ්නයක් වෙලා නෑ. 

විපක්ෂයෙන් ගේන චෝදනාව තමයි දැන් නිරෝධායන නීතිය යටතේ ඔබලා ජනතාව මර්දනයකට යනවා කියලා. ඇත්තටම ඇයි එවැනි දෙයක් ඔබලා කරන්නෙ?
ඇත්තටම වැරදියිනෙ මේ කතාව. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ජනතා රුස්වීම් තියන්න ගිහිල්ලා තමයි කොවිඩ් රෝගය වැළඳගත්තෙ. මේක රටේ විතරක් නෙමෙයි ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. අඩුම ගාණෙ මේ මාස දෙක ඉවසාගෙන ඉන්න කියන්න මේ එන්නත් ටික ගහනකම්. හැමෝටම ව්‍යවස්ථානුකූල අයිතිය තියෙනවා උද්ඝෝෂණ කරන්න. ඒ වගේම තමයි ජනතාවට නිදහසේ ජීවත්වීම සඳහා පරිසරය සකසා දීමත්. ඒ නිසා එතුමාව අපි තේරුම් ගන්න ඕනෙ. එතුමාලා කැමැතියි හැදෙන ගාණයි මැරෙන ගාණයි කිය කිය ඉන්න. 

හැබැයි ඇමැතිතුමා නීති දෙකක් නේද ක්‍රියාත්මක වෙන්නෙ. පසුගිය බ්‍රහසපතින්දා උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගත්තා. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් පාර පුරා සතුට සමරලා කිරිබතුත් කෑවා. ඒ අයට කිසිම විරුද්ධත්වයක් නෑනෙ. ඒක නීතිය කැඩීමක් නෙමෙයිද?
මගේ මතය කවුරු වැරුද්ද කළත් වැරුද්ද වැරුද්දමයි. තියෙනවනෙ රටේ සෞඛ්‍ය නිරෝධායන පනතක්. ඒකට අනුව ඕන කෙනෙක්ට කටයුතු කරන්න පුළුවන්. 

හැබැයි දැන් විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවට එරෙහිව විරෝධතා රුල්ලක් ආරම්භ කරන්න යනවා. මේක ආණ්ඩුවකට විශාල අභියෝගයක් නේද?
අනේ නෑ. පාර්ලිමේන්තුවෙ කී දෙනාද අපිත් එක්ක ඉන්නෙ. ජනතාවගෙ ප්‍රශ්නවලට අපි ඇහුම්කන් දීලා නිවැරදි පිළිතුරු දුන්නොත් ජනතාව අපිත් එක්ක ඉඳීයි. ඒ වගේ විපක්ෂයත් දැනගන්න ඕනෙ ආණ්ඩුවට එරෙහිව මිනිස්සු බැන්නත් මිනිස්සු කොයි වෙලාවකවත් විපක්ෂය පත් කරගන්න සූදානමක් නෑ. ජනතාව ආණ්ඩුව වෙනුවෙන් කරන ඒ විවේචන අපි ඉතාම ආදරයෙන් බාරගන්නවා. 

අවසාන වශයෙන් ඔබගෙන් අහන්නෙ රට සාමාන්‍ය පරිදි විවෘත කරන්න තව කොච්චර කාලයක් යයිද?
මම හිතනවා එළඹෙන මාස දෙකේ එන්නත්කරණය ඉතා ඉක්මනින් සිදුවුණොත් දෙසැම්බර් වෙනකොට රට විවෘත කරන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා අවුරුදු දෙකක් විතරයි. ඒ නිසා එතුමාට තව වැඩ කරන්න කාලයක් අවශ්‍යයි මේ කොරෝනා තත්ත්වයත් එක්ක. ඒ නිසා මේ කාලය ඉවසලා හිටියොත් අපිට රටක් හැටියට ජය ගන්න පුළුවන්.

 ගයාන් ගාල්ලගේ