2021 ජුලි 10 වන සෙනසුරාදා

දයාසිරිගේ සිග්නල් එක

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 117

වත්මන් ආණ්ඩුව මේ වන විට මුහුණ දී සිටින්නේ සංකීර්ණ තත්ත්වයකටය. ආර්ථිකය, බඩු මිල, කොවිඩ්, පොහොර, ආනයනය, ඩොලර් හිඟය ආණ්ඩුව මුහුණ දී සිටින ගැටලු කිහිපයකි. ඒ මතුපිටින් පෙනෙන්න තිබෙන ප්‍රශ්නය. ඇතුළේත් දේශපාලන ප්‍රශ්න බොහොමයකි. මේ සියලු ගැටලු විසඳා ගැනීමට මාර්ගයක් වශයෙන් ආණ්ඩුවේ තේරීම වූ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දෙන විට පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ පාලනය පොහොට්ටුවෙන් ශ්‍රීලනිපයට මාරුවීම අභ්‍යන්තර ප්‍රශ්නවල ගැඹුර හොඳින් පෙන්වූ අවස්ථාවක් විය.

එහෙම වෙන්නේ ඒ වන විට බැසිල්ට ඍජුවම දේශපාලන වශයෙන් පහර එල්ල කරන ආණ්ඩුව තුළ තනි අශ්වයකු බවට පත්ව සිටින දයාසිරි ජයසේකරගේ ආසනය පඬුවස්නුවර වීම හේතුවෙනි. බැසිල් වෙනුවෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන විට සිංහ ලීලාවෙන් ගර්ජනය කළ විමල්ලා ගම්මන්පිලලා දැන් ඉන්නේ සද්ද වහගෙනය. ඔවුන් තුළ තිබූ බැසිල් විරෝධයට කුමක් වීදැයි දන්නේ ඒ අයම පමණි. එහෙත් ඒ කාලයේත් දේශපාලන කරුකුරුවක යෙදී සිටි දයාසිරිලා මහ මැතිවරණයට ආවේත් තමන්ගේ ඉල්ලීම් දිනාගත නොහැකි වූ තත්ත්වයක සිටිමිනි. නමුත් ඒ වන විට තිබුණේ ගෝඨාභය, මහින්ද සහ බැසිල් කෙරෙහි රටම බැඳී සිටි තත්ත්වයකි. ඒ හේතුවෙන් නහයෙන් අඬමින් මහ මැතිවරණයට ඇවිත් පොහොට්ටුවත් එක්කම තරග කරනු හැර දයාසිරිලාට වෙනත් විකල්පයක් තිබුණේ නැත.

දයාසිරි ශ්‍රීලනිපයේ මහලේකම්වරයාය. ඔහු මුල සිටම තම පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුවේ ලොකු අමාත්‍ය ධුරයක් ලැබිය යුතු බවට හඬක් නැගුවේය. හැබැයි මහ මැතිවරණය මෙහෙයවීමේ බර කරට ගෙන සිටි බැසිල් රට තුළ තම පක්ෂයට හිමිවීමට නියමිත වූ ජයග්‍රහණය පිළිබඳව සිටියේ පැහැදිලි තක්සේරුවකය. ඡන්දයට සතියකට පමණ පෙර බැසිල් මාධ්‍යයට ලබාදුන් සාකච්ඡාවකදී කිසිම පැකිලීමකින් තොරව කියා තිබුණේ තම පක්ෂය තනිව තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබාගන්නා බවය. ඒ කතාව බැසිල් දයාසිරිලා සමඟ සිදු කළ කේවල් කිරීමේ සාකච්ඡාවලදී නොකිව්වා නම් පුදුමය. මේ නිසා “දෑවැද්ද” පසුව ලබාදීමේ පොරොන්දුව මත “දීගය”ට යාම හැර ශ්‍රීලනිපයට ගත හැකි වෙනත් මගක් නොවීය.
විය යුතු පරිද්දෙන්ම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රීලනිපයට සිදුවූයේ ලද දෙයින් සතුටු වී ආණ්ඩුවට එකතු වී සිටීමය. බැසිල් පසුව කිව්වේ දීගය කෙරුණායින් පසුව දෑවැදි ගැන කතා කිරීමෙන් පළක් නැති බවය. ශ්‍රීලනිපයට වඩාත්ම සිත රිදෙන්න ඇත්තේ තම පක්ෂ නායකයා නිකම්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කොන් කර දමනු ලැබීමෙනි.

මෛත්‍රීපාල සිරිසේනලා සමඟ බැසිල්ලාට ලොකු කොක්කක් තිබෙන බව රහසක් නොවේ. 2015 දී රාජපක්ෂ ආණ්ඩුව පැරදුණේ මෛත්‍රීපාල මහතා යූ.එන්.පිය සහ චන්ද්‍රිකා සමඟ එකතු වී ගහපු ගේම් එක නිසා බව රාජපක්ෂවරුන් කවදාවත් අමතක කරන්නේ නැත. එළියේ කොතරම් සුහදව කතා කළත් තිරය පිටුපස කතාව වෙනස්ය. මේ නිසා බලවත් ආණ්ඩුවක් තුළ හොඳ හිත රුකගෙන ඉන්නවා ඇරෙන්න කළ හැකි කිසිවක් ශ්‍රීලනිපයට නොතිබුණි. එහෙත් හතරවටෙන්ම ආණ්ඩුව ගැටලුවලට මැදිවෙනකොට දයාසිරිලාගේත් කට ඇරුණේය. බැසිල් ඇතුළට එනවාට මුල සිටම විරෝධය දැක්වූ විමල්, ගම්මන්පිල, වාසුදේව තමන්ගේ විරෝධය හකුලාගෙන වෙන දේ බලාගෙන සිටියේද මේ වෙලාවේ ආණ්ඩුව තමන්ගේ ගැලවුම්කාරයා හැටියට දකින බැසිල්ට එරෙහි වී බෙල්ල කපාගන්නවාට වඩා එය හොඳ බැවින් විය යුතුය. එහෙත් දයාසිරිට නැතිවෙන්න දෙයක් තිබුණොත් ඒ තමන්ගේ රාජ්‍ය ඇමැති පට්ටම පමණි. ඔහු බැසිල්ට ගහන්න භාවිත කළේද එම රාජ්‍ය ඇමැති පට්ටමය.
තමන් ඇතුළු රාජ්‍ය ඇමැතින් බොහොමයකට විහිළු ඇමැති පදවි ලබාදුන්නේ බැසිල් බව දයාසිරි කිව්වේ ප්‍රසිද්ධියේය. ඒ සියලු තීරණ ගත් බැසිල් රාජපක්ෂ ආණ්ඩුවට එකතුවීම මහ ලොකු පියවරක් හැටියට දයාසිරි හැඳින්වූයේ නැත. ශ්‍රීලනිපයට කෙනෙහිලිකම් කළේද බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාවට බවද ඔහු කිව්වේය. එහෙම කියා ඔහු නිකම් සිටියේ නැත.

බැසිල් ආණ්ඩුවට එන විට දයාසිරි පඬුවස්නුවර තම ආසනයේ ප්‍රාදේශීය සභාව වැට්ටුවේය. එහි සභාපති පදවියට ශ්‍රීලනිපය - එජාප සහයෝගයෙන් තමන්ගේ මන්ත්‍රීවරයා පත්කර ගැනීමට දයාසිරි ගහපු ගේම් එක පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට දිරවාගැනීම අපහසු වන්නට ඇත. එහෙත් ඔවුන් ඒ බවක් පෙන්නුවේ නැත. දිගින් දිගටම දයාසිරිට පහර දුන් ඔවුන් තමන්ට තිබෙන්නේ විහිළු ඇමැති පදවියක් නම් එය අතහැර නොදමන්නේ ඇයිදැයි අසා තිබුණි. ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම වැරදි බව පොහොට්ටු මන්ත්‍රීවරුන් කියද්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ තමන්ගේ පක්ෂයේ සැලුන් දොර හැර දමා තිබෙන බවය. අවශ්‍ය කෙනකුට ඕනෑම මොහොතක එයින් පිට වී යා හැකි බවත් කැමැති අයට ඇතුළට ආ හැකි බවත් අගමැති කිව්වේ කාගේවත් නමක් සඳහන් නොකරමිනි. එහෙත් ඒක ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට දැනෙන ප්‍රකාශයක් විය.

මේ අවුල හේතුවෙන් ශ්‍රීලනිපයට හදිසි රැස්වීමක් කැඳවා තීන්දු තීරණ ගැනීමට සිදුවිය. කෙසේ වුවත් ශ්‍රීලනිපය තුළ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තදින්ම බැඳී සිටින ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු හේතුවෙන් දයාසිරිට දොස් අසන්න සිදුවිය. ඔවුන්ගේ ස්ථාවරය වී තිබුණේද බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුව ඇතුළේ සිටින පොහොට්ටු මැති ඇමැතිවරුන්ගේම ස්ථාවරයයි. ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුව විවේචනය නොකළ යුතු බව ඔවුන්ද කියා තිබුණි. ඒකට දයාසිරිට උත්තරයක් තිබුණේය.

ඔහු කිව්වේ එහෙම නම් තමන් රාජ්‍ය ඇමැති පදවිය අත්හැරීමට සූදානම් බවය. කිසිදු තනතුරක් නොදරා පක්ෂ මහලේකම් පදවියේ වගකීම් තමන්ට ඉටුකළ හැකි බවද කියා තිබූ දයාසිරි තමන් මේ ප්‍රකාශ කරන්නේ තමන්ගේ පාක්ෂිකයන්ගේ අදහස් බවද පක්ෂයට දැනුම් දුන්නේය. යළිත් ඔවුන්ගේ ඡන්දය ලබාගන්න නම් ඔවුන්ගේ අදහස්වලට කන් දිය යුතු බව දයාසිරිගේ ස්ථාවරය විය.

මේ ප්‍රශ්නයේ කෙළවර කුමක්දැයි තවම පැවසීම අමාරුය. එහෙත් රජය දැන් පැටලී සිටින ගැටලු ගොඩේ හැටියට ශ්‍රීලනිපයත් සමඟ අවුලක් හදාගැනීම දේශපාලන අනතුරකට අත වැනීමකි. මේ රටේ ආණ්ඩු වැඩි හරියක් කඩා වැටුණේ ආණ්ඩු පක්ෂය ඇතුළේ සිටින හවුල්කාර පක්ෂ එකක් හෝ කිහිපයක් කඩාගෙන යාම හේතුවෙන් බව රාජපක්ෂවරුන් නොදන්නවා විය නොහැක. එහෙම කඩාගෙන යන දවසට බැසිල්ගේ ආගමනය හේතුවෙන් හිත යටින් අමනාපව සිටින තවත් පිරිසකගේ සහාය ලැබෙන්නත් බැරි නැත.

හැත්තෑවේ පිහිටවූ සිරිමාවෝ මැතිනිගේ සමගි පෙරමුණු තුනෙන් දෙකේ ආණ්ඩුව කැඩී බිඳී යාමට ඇන්.ඇම්ලා කොල්වින්ලා ඉවත් කිරීම හේතු විය. ඊළඟට ජේ.ආර්.ගේ කාලයේ පක්ෂ තහනම් කිරීම හේතුවෙන් උතුරේත් දකුණේත් තරුණයෝ අවිගත් සටන්වලට යොමු වූහ. ආර්. ප්‍රේමදාසගේ රජය එහි ඇතුළතින් පැමිණි ලලිත් - ගාමිණී කැරැල්ල හේතුවෙන් අස්ථාවර විය. ඊට පසුව බලයට පත් චන්ද්‍රිකාගේ රජයද දෙවැනි ධුර කාලයේදී හකීම් - බන්දුල ගුණවර්ධන වැනි පිරිසක් කඩාගෙන යාමෙන් අස්ථාවර විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙවැනි ධුර කාලයේ වසර 4ක් ගතවන විට අස්ථාවර වී පක්ෂ මහලේකම් විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් විය.

මේ හැම අවස්ථාවේම ඊළඟට පැවැති මහ මැතිවරණවලින් පැවැති ආණ්ඩුව පරාජය විය. ඒ හැම අවස්ථාවකම විපක්ෂයේ සිටි නායකයා ප්‍රබල චරිතයක් නොවන බව ඉතිහාසය පිරික්සන විට පෙනී යයි. පවතින ආණ්ඩුව දුර්වල වන විට ආණ්ඩුවේ කොටසක් කැඩී ගියොත් එයින් නිතැතින්ම ශක්තිමත් වන්නේ විපක්ෂයයි.

අද පවතින විපක්ෂයද ආණ්ඩුවට එරෙහිව පාරට බසිමින් සටන් කරමින් සිටියි. ඒ සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්ව පාර කපා දී ඇත්තේද ආණ්ඩුවයි. ජනතාව මත පීඩනය වැඩිවෙද්දී ඔවුන් විපක්ෂය දෙසට නැඹුරුවීම වළක්වාගත නොහැකිය. ආණ්ඩුව බැසිල්ගේ ආගමනයත් සමඟ තමන් තවත් ශක්තිමත් යැයි හිතා දයාසිරිලාගේ සිග්නල් ගණන් නොගත්තොත් ඊළඟ පොදු අපේක්ෂකයා එතැනින් බිහිවීමටද ඉඩ තිබේ.

 ශශීන්ද්‍

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00