බතික්, අත් යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර
කොහොමද ඇමැතිතුමා මේ දවස්වල වැඩ කටයුතු එහෙම?
වැඩ කරගෙන යනවා ඉතින් හොඳින්.
වැඩ කරගෙන යනවා කිව්වෙ මේ දවස්වල හොඳට වැඩ කරන්න පුළුවන්ද?
ඔව් ඉතින් අපි හැමදාම පොසිටිව් හිතන මිනිස්සුනෙ. හැමදේම අපි ධනාත්මකව හිතන නිසා ඒ හැමදේම අපි හොඳින් කරගෙන යනවා.
ඔබ පොසිටිව් තින්කින එකේ හිටියට රට පොසිටිව් නෑනෙ. රට යන්නෙ ප්‍රශ්න ගොඩකනෙ?
හැම ප්‍රශ්නෙකටම පොසිටිව් උත්තරත් නෑ. හැම ප්‍රශ්නෙකටම නෙගටිව් උත්තරත් නෑ. හැම ආණ්ඩුවකටම පොසිටිව් නෙගටිව් ප්‍රශ්න තියෙනවා. මේ ආණ්ඩුවට තියෙන ලොකුම අභියෝගය තමයි මේ කොරෝනා අර්බුදය. මොකද කිසිම ආණ්ඩුවක් මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නා කියලා මම ඉතිහාසයෙවත් අහලා නෑ. මොකද වසංගත තිබුණා ලෝකෙ හැම තැනම. හැබැයි අපේ රටට බලපාලා හතරවැනි රුල්ලක් පවා ඇවිල්ලා කවදා මේ ප්‍රශ්නෙ ඉවර වෙයිද කියලා හිතාගන්න බැරි තැනකට පත් වුණේ පළවෙනි වතාවට. ඒ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට.
ආණ්ඩුවට තියෙන හැම චෝදනාවකටම ආණ්ඩුවේ පැත්තෙන් ලැබෙන එකම පිළිතුර වන්නේ මේ කොවිඩ් අර්බුදය. ඇත්තටම සමහර ප්‍රශ්න ගනිද්දි කොවිඩ් සහ ඒ ප්‍රශ්න අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඇත්තටම ආණ්ඩුව දැන් ගැලවීමේ ප්‍රකාශයක් හැටියට කොවිඩ් රෝගයද අල්ලගෙන ඉන්නෙ?
මොනවද ඔයා හිතන්නෙ බලහත්කාරයෙන් දාගත්ත ප්‍රශ්න.
මම උදාහරණ දෙකක් හැටියට කිව්වොත් කොතලාවල පනතත් සහ හදිසියේ ගෙනා කාබනික පොහොර තීන්දුවත් ආණ්ඩුව විසින් බලෙන් දාගත්ත ප්‍රශ්න නෙමෙයිද?
කොතලාවල ප්‍රශ්නෙ ගත්තොත් ඒක බලාත්මක කරලා නීතිගත කරන එක අනිවාර් යෙන් කරන්න ඕනෙ. මොකද විශ්වවිද්‍යාලයක් හැටියට පත් කරන එක කාලෝචිත පියවරක්. ඒකෙදි සමහර කාරණා පිළිබඳ ප්‍රශ්න තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉවත් කිරීම, එතකොට මේ විශ්වවිද්‍යාලෙ පාලක මණ්ඩලය පත් කිරීම වගේ දේවල් ගැන මම ජනාධිපතිතුමත් එක්ක පෞද්ගලිකව පවා කතා කරලා තියෙනවා.
එතුමාට ඇත්තටම මේ දේවල් සම්බන්ධයෙන් මොකක්ද තියෙන අදහස?
සමහර කාරණා එතුමා පවා නොදැන ඇතුළු කරපුවා තියෙනවා. ඒ නිසා එතුමා මේ වෙනකොට තවදුරටත් සාකච්ඡා කරලා අවසන් තීන්දුවකට එන්න කාලය අරන් තියෙන්නෙ. මොකද ශ්‍රීලනිපය හැටියට අපි ඉදිරිපත් කරපු කරුණු එතුමා පිළිගත්තා. ඒක අනෙකුත් ආණ්ඩු එක්ක බලද්දි එහෙම කතා කිරීමේ ඉඩකඩ ජනාධිපතිතුමා විසින් අපිට ලබාදීලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ ගත්තා නම් අඩු ගානෙ කතා කරන්නවත් දෙන්නෙ නැහැ. මොකක් හරි යටිකූට්ටු වැඩක් කරලා ඒක සම්මත කර ගන්න හදන්නෙ.
පොහොර ගැන එතුමා ගත්ත ස්ථාවරය ගැන ඔබගේ අදහස මොකක්ද?
ඇත්තටම ඒ ගත්ත තීන්දුව හරියටම හරි. නමුත් සෞභාග්‍යයේ දැක්ම තියෙන්නෙ ඉදිරි දශකය තුළ ජනතාව රසායනික පොහොරවලින් ඉවත් කරලා කාබනික පොහොරවලට හුරු කරනවා කියලා. නමුත් මෙතන ප්‍රශ්නෙ ඇතිවුණේ මේක එක කන්නෙකින් කරන්න ගිය එක. ඒ වැඩේට මහින්දානන්ද ඇමැතිතුමා සෑහෙන්න කැපකිරීමක් කරනවා. හැබැයි එතුමා ටිකක් දරදඬුයි. ඒ නිසා මම එතුමාටත් කියන්නෙ මේකෙ සත්‍ය තත්ත්වය තේරුම් අරන් වැඩ කරන්න කියලා. ජනාධිපතිතුමා කිව්ව දේම ඇමැතිවරයා කරන්න යාම තුළ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මොකද ඒ අර්බුද ඒ ප්‍රදේශයේ ජීවත් වන ඇමැතිවරු හැටියට අපිට තේරෙනවා. අපි පක්ෂයක් හැටියට කරපු සාකච්ඡාවලදි ජනාධිපතිතුමා ඒ දේවල් පිළිගත්තා. සමහර විශේෂඥයන් දෙන තොරතුරු සහ පරීක්ෂණවලට අනුව ඒවා මහපොළොවෙ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා නෙමෙයි.
ඔබ මේ වක්‍රාකාරයෙන් කියන්නෙ ජනාධිපතිවරයාට වැරදි තොරතුරු ලබා දෙනවා කියලද?
අපෝ ඔව්. හැම ජනාධිපති කෙනෙක්ටම එහෙම අය ඉන්නවා. එක එක විද්වත්තු ඇවිල්ලා ලබාදෙන උපදෙස් මහපොළොවෙ ක්‍රියාත්මක කරන්න ගියාම ප්‍රශ්න ඇතිවෙනවා. මොකද විද්වත් අය යථාර්ථය කල්පනා කරන්නෙ නැහැ.
විපක්ෂය නම් කියන්නෙ පොහොර ප්‍රශ්නය හදිසියේ ගෙනාවෙ ආණ්ඩුවට ඇතිවෙලා තියෙන ඩොලර් හිඟය කියලා?
මුදල් නැතිකම ආණ්ඩුවට විතරක් නෙමෙයි රටටම තියෙන ප්‍රශ්නයක් දැන්. අපේ ආර්ථිකය ඩොලර් බිලියන 84ක ආර්ථිකයක්. ඉතින් මේ කුඩා ආර්ථිකය නිසා විශාල වශයෙන් ඇතැම් දේවල් බලපානවා. 2019 ඉඳලා සල්ලි බෙදී යාම යම් ආකාරයකට ගැටලු සහගත තත්ත්වයක් ඇතිවුණා. ඒ නිසා ආර්ථික ගැටලුවක් එන්න ගත්තා. මේ නිසා ජනාධිපතිතුමා විශාල වශයෙන් බදු අඩු කිරීමට තීරණය කළා. ඒ නිසා අපිට රුපියල් බිලියන 600ක් නැති වුණා. හැබැයි ජනාධිපතිතුමා හිතුවෙ මේ බදු අය නොකිරීම නිසා ඒ අහිමි වෙච්ච මුදල රටට එකතු වෙයි කියලා. නමුත් ඒක වුණේ නෑ කොවිඩ් අර්බුදයත් එක්ක. ඒ වගේම ඩොලර් බිලියන 4.5ක් එන්න තිබුණා සංචාරක ව්‍යාපාරයෙන්. ඒකත් අහිමි වුණා. බිලියනයක් විතර එන්න තිබුණා විදේශ ආයෝජනවලින්. ඒකත් නැති වුණා. ඒ නිසා දරුණු තැනකට පත්වෙලා.
ඇමැතිතුමා ඒකට උත්තරේ දරන්න බැරි තරම් මුදල් අච්චු ගහන එකද?
මුදල් අච්චු ගැසීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. හැබැයි මේ වෙලාවෙ තියෙන ප්‍රශ්නයට විසඳුම හොයන්න ඕනෙ ලෝකයේ අනෙකුත් රටවල් ගත්ත තීන්දු තීරණත් එක්ක. ඒක තීරණය කරන්නෙ දේශපාලනඥයො නෙමෙයි. ආර්ථික විශේෂඥයො. ලෝකෙ අනෙකුත් රටවල් එක්ක බලද්දි ඔවුන් කියන්නෙ මේ ආර්ථික අර්බුදයෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය මුදල් අච්චු ගැසීම කියලා. එහෙම නොවුණොත් මිනිස්සු දේපළවලට හානි කරන්න ගන්නවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් බිලියන පන්සීයක් අච්චු ගැහුවා. ජෝ බයිඩ්න් ආවයින් පස්සෙ ට්‍රිලියන 1.5ක් ඩොලර් අච්චු ගැහුවා. ඒවා මිනිස්සු අතරෙ සල්ලි ගැවසෙනවා. ඒ නිසා මේක වැඩි වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
ඇමැතිතුමා එතකොට උද්ධමනය ඇතිවෙන එක නවත්තන්නෙ කොහොමද?
උද්ධමනය අපි පාලනය කරන්න වැඩපිළිවෙළක් සකසනවා. මේක වැඩි වුණා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
ඔබ මොන දේ කිව්වත් රටේ ඇතිවෙලා තියෙන්නෙ ඩොලර් හිඟයක්. ඩොලර් හිඟයට රුපියලේ කොළ අච්චු ගහලා උත්තර හොයන්න බැහැ නේද?
ඇත්තටම වෙලා තියෙන්නෙ මුදල් සංසරණය අඩු වීම. ඒක වැඩි කරන්න ඕනෙ ලංකාව ඇතුළින්. ඩොලර් අඩුවෙන්න හේතුව තමයි සංචාරක ව්‍යාපාරය සහ ආයෝජනය අඩු වීම. ඩොලර් බිලියන හයක අඩුවක් තියෙනවා. ඩොලර් බිලියන අසූ ගාණක ආර්ථිකයට ඩොලර් බිලියන හයක් අඩු වෙනවා කියන්නෙ බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසා අපි කියන්නෙ එන්නත්කරණය ඉවර වුණු ගමන් වහාම සංචාරක ක්ෂේත්‍රය අරඹන්න ඕන. ඒ වගේම වරාය නගරය අවසන් වෙලා නිසා ආයෝජකයො ගෙන්වන්නත් අපි කටයුතු කරන්න ඕනෙ. ඒ වගේම අපනයනය වැඩි කිරීමේ ක්‍රියාවලියකටත් අපි ඉක්මනින් යා යුතුයි.
ආණ්ඩුව ඩොලර් හිඟය ඇතිවීම වළක්වන්න ගෙනාපු ඉක්මන්ම තීරණය තමයි ආනයනය සීමා කිරීම. හැබැයි මේ සීමා කිරීම් ඇතුළෙ අවසානයෙ ඩොලර් හිඟය අඩු වුණා විතරක් නෙමෙයි භාණ්ඩ හිඟයකුත් රටේ ඇතිවෙලා තියෙනවා. දැන් කොතනද ප්‍රශ්නෙ විසඳිලා තියෙන්නෙ?
ආනයනය සීමා කිරීම කියන්නෙ එක කාරණයක් විතරයි. ලෝකෙ හැම රටක්ම ආනයනය මේ වෙද්දි සීමා කරලා තියෙන්නෙ. එහෙම අඩු කරලා අපනයනය වැඩි කරලා තියෙනවා. මම කියන්නෙ මේ විදිහට වැඩ ටික කරගෙන ගියොත් ඉක්මනින්ම ආර්ථිකය ගොඩදාගන්න පුළුවන්. අපි හැම තිස්සෙම පොසිටිව් තින්කින් එකක ඉන්නෙ.
අපි දැන් ආර්ථිකය පැත්තකින් තියලා එමු දේශපාලන අවුල ගැන කතා කරන්න. පසුගිය දවසක ජනාධිපතිතුමාව හම්බවුණා නේද? දැන් නොහොඳ නෝක්කාඩු ඉවරද? ජනාධිපති විසඳුමක් දුන්නද?
ඔව්. ඉතාම සාර්ථක සාකච්ඡාවක් තිබුණා. අපි කතා කළේ අපේ සංවිධායකවරු, කොට්ඨාස මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගැන. ඇත්තටම පාර්ලිමේන්තුවෙ අපේ දාහතර දෙනාගෙ ප්‍රශ්නෙ ගැන නෙමෙයි කතා කළේ.
ඔය දාහතර දෙනාට ප්‍රශ්නයක් නෑනෙ?
අපිටත් ප්‍රශ්න තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් අපි කතා කළේ අපේ පහළ මන්ත්‍රීවරු ගැන. ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් හොඳ විසඳුම් කීපයක් දුන්නා. ඒ වෙනුවෙන් ලලිත් වීරතුංග මැතිතුමා හරහා වෙනම වැඩපිළිවෙළකුත් අපි ආරම්භ කරලා තියෙනවා.
ඔබ ඔහොම කිව්වට එදා කිව්වෙ අපිට දුන්න ඇමැති ධූර අඩුයි. ආණ්ඩුකාර තනතුරු අපිට හමුවුණෙත් නෑ. සංස්ථා සභාපතිකම් දුන්නෙත් නෑ කියලා. දැන් ඒ කිව්ව ප්‍රශ්නවලට විසඳුම් හොයාගත්තද?
ඒ සියල්ල අපි කතා කළා එතුමත් එක්ක. අනාගතයේ ඒවාට විසඳුම් හම්බවෙයි. හැබැයි ඇමැති ධූර ගැන නම් අපි කතා කරන්න ගියෙ නෑ.
ඒ කියන්නෙ ඇමැති හීනෙත් ඉවරයි?
නෑ නෑ එහෙම එකක් නැහැ. ඒක අනාගතයේ තීරණය වෙයි. ලැබෙන්න දෙයක් තියෙනවා නම් අපිට ලැබෙයි.
අපි දැක්කා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කරලා තියෙනවා කියලා ඊළඟ 2024 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහත්තයට තරග කරන්න කියලා යෝජනා කරන්න කියලා. මේ වැඩෙන් ආණ්ඩුව අවුල් වෙන්න පුළුවන් නේද?
ඇත්තටම ඒ වැරදි ප්‍රවෘත්තියක් පළ කරලා තියෙන්නෙ. යම්කිසි පිරිසක් විසින් සංවිධානාත්මකව කරපු වැඩක් ඒක. ඒ අයට ඕනවෙලා තියෙන්නෙ අපිව භේදබින්න කරන්න. ඒක වැරදි තොරතුරක්. එහෙම යෝජනාවකුත් නැහැ. එහෙම තීන්දුවකුත් නැහැ. අපිට තියෙන ප්‍රශ්න ජනාධිපතිතුමා එක්ක කතා කරලා විසඳගන්න පුළුවන් කියන මට්ටමක අපි තවම ඉන්නවා.
මේ වෙද්දි ගුරුවරු, විදුහල්පතිවරු දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරගෙන යනවා ඔවුන්ගේ හිඟ වැටුප් ඉල්ලලා. ආණ්ඩුවට තවම ඒ ගැන විසඳුමක් ලබා දෙන්න බැහැ. මේ ගැන ශ්‍රීලනිපයේ ස්ථාවරය මොන වගේද?
අවුරුදු විසි හතරකට පස්සෙ තමයි ගුරුවරුන් මෙහෙම පාරට බැහැලා තියෙන්නෙ. මේක අතීතයේ සියලුම ආණ්ඩු මගහැරපු කාරණයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විතරක් ඒක දාන්න බැහැ. අපි පිළිගන්නවා ඔවුන්ගේ ඉල්ලීම සාධාරණයි කියලා. ඒ නිසා අපි ඔවුන්ට නිවැරදි පිළිතුරක් ලබා දෙන්න ඕන. අපි පක්ෂයක් හැටියට ඒ සඳහා සහයෝගය දෙනවා. අපි ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා.
හැබැයි ආණ්ඩුවෙ සමහර අමාත්‍යවරු ගුරුවරුන්ට කාලකන්නි අරක මේක කියලා චෝදනා එල්ල කරනවා. මේ වචන නිසා තව තවත් වැඩේ දික් ගැස්සෙනවා නේද? ඔබලා අනුමත කරනවද?
මම කියන්නෙ අපහාස කරන කට්ටියට අනාගතයේ දවසක ඒ අපහාසයේ වගකීම බාරගන්න වෙනවා.
මේ සියලු උද්ඝෝෂණ, විරෝධතා පිටුපස සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය පහුගිය දවසක ශ්‍රීලනිපය සමඟ දේශපාලන සාකච්ඡාවක් තිබුණා. ඔවුන් කියන්නෙ වාමාංශික පක්ෂ නැවත එකතු කරන්න හදන්නෙ කියලා. මොකක්ද මේ අලුත් සාකච්ඡාව?
අපි හැම පක්ෂයක් එක්කම කතා කරනවා. ඒක නතර වෙන්නෙ නැහැ. අපිට එකඟ විය හැකි සහ වැඩ කළ හැකි පක්ෂ විතරක් නෙමෙයි අපේ මතයට විරුද්ධ පක්ෂ සමඟත් අපි කතා කරනවා.
අපි දැක්කා පසුගිය කාලයේ ආණ්ඩුව ඇතුළෙ තිබුණු යම් යම් හැලහැප්පිලිවලට ශ්‍රීලනිපයත් සමහර අවස්ථාවල පෙනී හිටියා. විශේෂයෙන් විමල් ගම්මන්පිල ප්‍රශ්නෙදි. ආණ්ඩුවේ ඉන්න කෙනෙක් හැටියට දැන් මේ ප්‍රශ්න ඉවරද?
ඕනම පක්ෂෙක ප්‍රශ්න තියෙනවා. ඒක සාමාන්‍යයි. අපි හැම තිස්සෙම උත්සාහ කරන්නෙ අපි හදපු ආණ්ඩුව බේරගන්න. විශේෂයෙන් ඒ ආණ්ඩුව බිහි කරන්න වැඩ කරපු මිනිස්සුන් වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුවක් අපි බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම සැබෑ ශ්‍රීලනිපය තියෙන්නෙ ඩාලි පාරෙද? නැත්නම් කුමාර වෙල්ගම මහත්තයා ගාවද?
වෙල්ගම මහත්තයා කියන්නෙ ශ්‍රීලනිප පාක්ෂිකයෙක්. හැබැයි එතුමා තමයි 2015 න් පස්සෙ ශ්‍රීලනිපය දෙකට කඩලා පොහොට්ටුව හදන්න මූලිකත්වය ගත්තෙ. එදා යූ.ඇන්.පියත් එක්ක ගන්න හදපු තීන්දුවට වෙල්ගම මහත්තයා තමයි ඍජුවම විරුද්ධ වෙච්ච එකම මනුස්සයා. ඒ ගෞරවය තියෙනවා. හැබැයි එතුමා ඊට පස්සෙ මොකද කළේ? රාජපක්ෂලට වැඩ කරලා ගෝඨාභය රාජපක්ෂ එනකොට ආයෙ පොහොට්ටුව කඩාගෙන යන්න ගියා. ගියේ යූ.ඇන්.පියට. ඊට පස්සෙ සමගි ජන බලවේගයේ උප සභාපති වුණා. දැන් බලන්න එතුමා මොනවද කරලා තියෙන්නෙ කියලා. එතුමාට දැන් තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. එතුමා හඳහන් බලන්න ගියාම කවුරු හරි කියලා තියෙනවා එතුමා මේ රටේ නායකයා වෙනවා කියලා. ඒ නිසයි එයා කණ්ඩායම් හදාගෙන ඉස්සරහට යන්න හදන්නෙ.
ශ්‍රීලනිපයේ සැලුන් දොරින් ඇතුළට එන්න බැරිද එතුමට?
අපේ සැලුන් දොරවල් නෑ. ආවොත් ආවා. ගියොත් ගියා. හැබැයි එතුමාට මම අදටත් ආරාධනා කරනවා නැවතත් පක්ෂය එක්ක එකතු වෙන්න කියලා. හැබැයි පක්ෂෙට එන්න දෙන්න පුළුවන් වුණාට එතුමාට නායකත්වය දෙන්න ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න අපි සූදානම් නැහැ. ශ්‍රීලනිපය දුර්වල කළේ එතුමා.
දයාසිරි ජයසේකර පහුගිය කාලෙ ටිකක් සැරට කතා කළා. දැන් ටිකක් සැර අඩුවෙලා තියෙන්නෙ සැර බැහැලද? නැත්නම් සැර බස්සලද?
අපෝ අඩු කරලා නැහැ. මම ඕන වෙලාවට මම කතා කරනවා.
අර ලේකම් තනතුර වෙනුවෙන් පක්ෂය ඇතුළෙ කැරලි ගහපු කැරලිකරුවො දැන් නැද්ද?
අපොයි ඉන්නවා. මම ඒවා ගණන් ගන්නෙ නෑ. තාමත් කකුලෙන් අදින අය ඉන්නවා. මම මගේ ගමන යනවා.
ගයාන් ගාල්ලගේ