බොරුකීම පස් පවින් එකක් බව සැබෑය. එහෙත් දේශපාලනයට එය අදාළ නැත. වෙනත් රටවලත් බොරුව සහ දේශපාලනය එකට යන අවස්ථා තිබේ. නමුත් එය ලංකාවේ තරම් “දියුණු” තලයක පවතින්නේදැයි පැවැසීම අපහසුය. ඊට හේතුව මේ රටේ තරම් කටේ තොලේ නොගැවී බොරු කියන්නට උපන් හපන්කම් දක්වන දේශපාලනඥයන් ඒ රට වලත් සිටීදැයි නොදන්නා බැවිනි.
බොරුව සාමාන්‍යයෙන් දේශපාලනයට සම්බන්ධ වන්නේ ඡන්දයක් තිබෙන වටපිටාවකය. ඡන්දය ජයගෙන ආණ්ඩුවක් පිහිටුවාගෙන වැඩට බැස්ස පසුව බොරුව අමතක කර කටයුතු කිරීම අවශ්‍යය. ඡන්ද කාලේ දේශපාලනඥයන් කියන දේ, ලබාදෙන පොරොන්දු පිළිබඳව බොහෝ දෙනා කනකට නොගන්නේ ඒවා බොහොමයක් අසත්‍ය බව දන්නා බැවිනි. එහෙත් ආණ්ඩුවක් පිහිටුවාගත් පසුව එහි ඇමැතිවරුන්ට බොරුකීමට කිසිම අයිතියක් නැත. ඔවුන් පවසන හැම කරැණකටම ඇත්තේ නිල පිළිගැනීමක් බවට ජනතාව විශ්වාස කරන බැවිනි.
එසේනම් ජනතාවගේ විශ්වාසය කඩවන ආකාරයට ඔහේ කටට එන ඕනෑම බේගලයක් ඇද බාන තත්ත්වයට ආණ්ඩුවක් පත් වන විට නම් එය විහිළුවකට ලක්වීම වැළැක්විය නොහැක. ඇමැතිවරැන් විසින් සිදුකෙරෙන කතාබහ සමාජගත වනවිට, ඒ ප්‍රකාශවලට ජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි නම් ඒවාට කිසිම වටිනාකමක් හිමිවන්නේ නැත. ඊටත් වඩා ජනතාවගේ සිනහවට ලක්වීම වැළැක්විය නොහැක.
අපි මේ අටුවාටීකා ටික සඳහන් කළේ පසුගිය දින කීපය තුළ රජයේ මැති ඇමැතිවරැන් කීපදෙනකු විසින් සිදුකරන ලද ප්‍රකාශ කීපයක් හේතුවෙනි. ඉන් එක් ප්‍රකාශයක් සිදුකරන ලද්දේ රජයේ සම කැබිනට් ප්‍රකාශක සෞඛය ඇමැති රාජිත සේනාරත්න මහතා විසිනි. සෞඛ්‍ය අමාත්‍යංශයේදී පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා මේ වසරේදී ජනමත විචාරණයක් පැවැත්වෙන බවය. මේ නිසා යහපාලන ආණ්ඩුව 2017 වසරේදී මුහුණ දෙන ප්‍රථම මැතිවරණය ජනමත විචාරණය වනු ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. නමුත් ඊට පසුදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ කුමක්ද? ඊට හාත්පසින්ම විරුද්ධ අදහසකි.
මහින්ද අමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ ජනමත විචාරණයක් පිළිබඳව ශ්‍රීලනිපය මේ වනතුරු කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බවය. මේ වසරේදී පවත්වන පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය මිස ජනමත විචාරණයක් නොවන බවය. දැන් ඇත්ත කියන්නේ රාජිත සේනාරත්න ඇමැතිවරයාද මහින්ද අමරවීර ඇමැතිවරයා ද කියා සොයාගැනීමට රටේ ජනතාවට සිදුවන්නේ අංජනම් එළි බැලීමට නොවේද? රටේ ජනතාව තණකොළ බුදින පිරිසක් බවට මේ මැති ඇමැතිවරුන් සිතාගෙන සිටිනවාද?
මේ පරස්පර කතාව අසන්නට ලැබී පැය විසිහතරක් ගත වුණේ නැත. සරත් ෆොන්සේකා මහතාට ඇමැති ධූරයෙන් ඉවත් වී යළි යුදහමුදාපති ධූරය හෝ සියලු හමුදාවල ප්‍රධානී තනතුරක් බාරගන්නැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී යෝජනා කළ බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඔහු මේ ප්‍රකාශය කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි. මේ නිසා එම ප්‍රකාශය ගැන කිසිවකුත් සැකයක් හිතන්නේ නැත.
ඉහත සඳහන් මෙම ප්‍රකාශයටත් වැඩි ආයුෂක් තිබුණේ නැත. ඊට පසු දින මාධ්‍ය සාකච්ඡාවක් තබමින් එස්.බී. දිසානායක ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ එම ප්‍රකාශය ජනාධිපතිවරයා විහිළුවට කළ ප්‍රකාශයක් මිස ගැඹුරින් සිතාමතා කළ ප්‍රකාශයක් නොවන බවය. නමුත් ඔහු සමඟ එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ විජිත් විජයමුණි සොයිසා ඇමැතිවරයා දැරූ අදහස ඊට වෙනස් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ජනතාව විශ්වාස කළ යුත්තේ රාජිත ඇමැතිවරයා කියන කතාවද? එස්.බී. ඇමැතිවරයා කියන කතාවද? විජිත් විජයමුණි ඇමැතිවරයා කියන කතාවද?
මීට කාලයකට පෙර සිටම අසන්නට ලැබුණු තවත් ප්‍රසිද්ධ කතාවක් වී තිබුණේ පළාත් පාලන ඡන්දය අහවල් දින පවත්වනවා යන්නය. එක් ඇමැතිවරයකු ඡන්දය පවත්වන බව කියන විට විෂය භාර ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේ සීමා නිර්ණය ගැටලුව අවසන් වනතුරු ඡන්දය පැවැත්විය නොහැකි බවය. මෙවැනි අපභ්‍රංස කතා කන වැකෙන විට රටේ මහජනතාව තමන් බලයට පත් කරගෙන සිටින්නේ විහිළු කාරයන් පිරිසක් යැයි කිව්වොත් ඒ ගැන පුදුම වන්නට දෙයක් නැත. නමුත් මේ විහිළුවේත් සීමාවක් තිබිය යුතු බව මැති ඇමැතිවරුන් සියලු දෙනාම තේරුම් ගැනීම අවශ්‍යය.
තමන්ගේ පාලකයන් තමන් රවටන බව තමන්ට විහිළුකරන බව මහජනතාවගේ සිතට කා වැදුණොත් එය ආපසු හරවා ගැනීම පහසු නැත. මෙවැනි පරස්පර මතවාද කළඑළියට එන විට ඒ ගැන විමසූවිට ඕනෑම ඇමැතිවරයකු පවසන්නේ පක්ෂ දෙකක් එක් වී ආණ්ඩුවක් හදාගත් විට එවැනි මතගැටුම් මතුවීම සාමාන්‍ය දෙයක් බවය. තවත් සමහරු කියන්නේ මත ගැටුම සිදුවන්නේ සැබෑ යහපාලනය නිසා වගය. එහි යම් තාක් දුරකට සත්‍යයක් තිබිය හැකිය. විශේෂයෙන්ම පක්ෂ දෙකේ ප්‍රතිපත්ති ගැටෙන අවස්ථා තිබිය හැකිය. එහෙත් කැබිනට් ප්‍රකාශකයකු කළ සඳහනක් පැය විසි හතරක් ගත වීමටත් මත්තෙන් තමන්ගේ පක්ෂයේ ඇමැති සගයකු අතින් ප්‍රතික්ෂේප වන්නේ නම් එහි කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය. එවැනි වැරැදි වලට හැමදාම ජනතාවගෙන් සමාවක් ලැබෙනු ඇතැයි සිතාගෙන කටයුතු කිරීම තරම් මෝඩකමක් තවත් නැත.