2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

සකුරා මල් එක්ක සතියක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 257

පසුගිය මාසය ජපානයේ සකුරා මල් පිපෙන කාලයයි. ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකම මෙන් මෙම ස්වභාවික සිද්ධියද ජපන් ජාතිකයින් විසින් කලාත්මක අවස්ථාවක් බවට පත්කර ගෙන තිබේ. ගිය මාසයේ ජපානයේ නිල සංචාරයක යෙදුන මට මේ වනෝත්සවය දැක ගැනීමට ලැබීම වාසනාවක් ලෙස සලකමි. විසි සැරයක් විතර මීට පෙර ජපානයට ගොස් ඇති මට හරියටම සකුරා මල් පිපෙන සතියේම ටෝකියෝ නුවර රැඳී  සිටීමට පුළුවන් වූ පළමුවැනි වතාවයි එය.

මුලින්ම කිව යුත්තේ ජපන් ජනතාව සකුරා මල් පිපීම දකින්නේ ස්වභාව ධර්මයේ ආශ්චර්යක් ලෙස බවයි. නගරය පුරා ඇති ගස්වල තරගයට මල් පිපී තිබීම නිසා පාර දෙපස ලා රෝස පාට පලස් එලා ඇතුවා සේ පෙනේ. එම සතිය තුළ ජපනුන් බොහෝ විට පවුල් පිටින් සකුරා මල් නරඹමින් වීදි සංචාරය කරති. අපේ ජපන් මිතුරන් කීවේ ලස්සනටම සකුරා මල් පිපී ඇත්තේ ජපන් අධිරාජයාගේ මාළිගාව අවට ඇති ගස්වල බවයි. උවැනෝ නැමති ප්‍රදේශයේ තුන් පැත්තකින් දිය අගලකින් වට වූ පැරැණි ජපන් ගෘහ නිර්මාණය අනුව තනා ඇති රජ මාළිගාව ජපන් සංස්කෘතියේ සංකේතයක් බඳුය. ජපන් ජනතාව සිය අධිරාජයා සලකන්නේ විශාල භක්තියකිනි.  ජපන් ඉතිහාසය පිළිබඳ  පර්යේෂණ අනුව දෙවැනි ලෝක සංග්‍රාමයට හා ආක්‍රමණකාරී ජපන් යුද මානසිකත්වයට නායකත්වය දුන්නේ එකල විසූ හිරෝහිතෝ අධිරාජ්‍යයාය. ඔහු යුදවාදී ජපන් රදළ නායකයින්ව  උසිගැන්වූවා පමණක් නොව තමාද එම යුධ මානසිකත්වයේ  සංකේතයක් බවට පත්කර ගත්තේය. යුද වදින ජපන් සොල්දාදුවන් අධිරාජයාට පක්ෂපාති සටන් පාඨ කියමින් දිවි දෙවැනි කොට යුද බිමට ඇතුළු වූවෝය. වෙසෙසින්ම සිය අහස් යානා සතුරු නැව්වලට කඩා වැටෙන බෝම්බ හැටියට පැදවූ මරාගෙන මැරෙන  කමිකසේ තරුණ ගුවන් නැවියෝ මන්තරයක් ලෙස ජප කළේ අධිරාජයාගේ නියෝග හා සුබ පැතුම්ය. 

අමෙරිකාව විසින් නාගසාකි හා හිරොෂිමා නගරවලට පරමාණු බෝම්බ හෙළුවායින් පසුව ජපන් රජය පරාජය පිළිගත්තේය. දෙවැනි ලෝක යුද්ධයේ සිය ප්‍රධාන සතුරා ලෙස ජපානය ඉලක්ක කරගත් අමෙරිකානුවන් තමන් විසින් නතු කර ගන්නා ලද  ජපන් රටේ පාලන බලය සියතට ගත්තෝය. ජපාන යුද කැබිනෙට්ටුවේ සාමාජිකයන් වූ රදළයින් සියලු දෙනාම අමෙරිකානුවන් විසින් එල්ලා මරන ලදී. ඒ සමගම ජපන් යුද සෙනෙවියන්ටද මරණීය දණ්ඩනය හිමි විය. එහෙත් යුද අපරාධකරුවෙක් හැටියට මුලින් හඳුන්වන ලද අධිරාජයාට ඔවුන් සමාව දුන්නා පමණක් නොව ජපන් රටේ සමගියේ සංකේතයක් හැටියට නැවත වරක් රටේ මුල් තැන ලබා දුන්නේය. එහෙත් අධිරාජයාට පෙර මෙන් අසීමිත බලයක් නව ව්‍යවස්ථාව තුළින් ලැබුණේ නැත. ඔහු වෙනුවෙන් එංගලගන්තයේ රජ පවුලේ අයට ලැබෙන බල රහිත නාමික අද්විතීය බවක් නිර්මාණය කරන ලදී. යුදවාදී හිරෝහිතෝ ජීවිතයේ අග භාගය ගත කළේ ගොලුබෙල්ලන් වැනි සතුන් ගැන විද්‍යාත්මක පර්යේෂණ කරමිනි. ඔහුගේ පුතා හා ඉන්පසුව මුණුබුරාද අසීමිත භක්තියට ලක් වුවද ඔවුන්ට රාජ්‍ය බලයක්  හිමිවූයේ නැත.

ලස්සනම සකුරා බැලීමට නම් ටෝකියෝ නුවර අකසකාවලට යා යුතුය. අකසකාවල පාර දෙපස හැතැක්ම ගණනක් සකුරා ගස් පැල කර තිබේ. ඒවායේ මල් පිපෙන කල මුළු ප්‍රදේශයම උත්සව සිරියෙන් ඇලලෙයි. පාර දෙපස කුඩා කඩ දමාගත් වෙළෙන්දෝය. ඔවුන්ගෙන් කෑම බීම, කඩචෝරු, සෙල්ලම් බඩු ආදිය මිලදී ගන්නා ජපන්නු දවස පුරා සකුරා මල් නරඹමින් පාර දිගේ සක්මන් කරන්නේය. මිතුරන්ගේ ඇවටිලි නිසා පොද වැස්සද නොතකා මම අකසකාවල සකුරා මල් නැරඹූවෙමි. වැස්ස සකුරාවලට හානිදායකය. මෙවර සකුරා සමයේ දිගටම පොද වැස්ස ඇද හැළුන නිසා සතියක් තුළ මල් ටික පරවී පහතට වැටෙන්නේ යැයි අපේ මිතුරෝ කීවෝය. සුන්දර සකුරා මල් ඉතා සුළු කලකින් පරවී වැටීම තුළින් ජීවිතයේ සුන්දරත්වය තුළ අනිස්ථිරත්වයද රැඳී තිබෙන බව  බුදුදහම ජපනුන්ට කියා දෙයි. 

ජපන් ජීවිතයත් සකුරා මල් පිළිබඳවත් අප තුළ කුතුහලයක් මුලින්ම ඇති වුණේ සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ කියවීමෙනි. ජපානයේ කලක් ජීවත්වන ලාංකික කලාකරුවෙක් වන දෙවොන්දරා සාං හා ඔහු ඇලුම් කරන නොරිකෝ නැමති ජපන් යුවතිය පිළිබඳ පෙම් කතාවකි මළගිය ඇත්තෝ. සරච්චන්ද්‍ර මේ නව කතාව ලීවේ ජපානයේ අවුරුද්දක් ගතකොට පේරාදෙණියට පෙරළා පැමිණි අවදියේයි. එකල ඔහු පදිංචිව සිටියේ අරැනාචලම් ශාලාවේයි. එම ශාලාවේම ශිෂ්‍යයෙක් වූ මට එක් දිග නිවාඩු සමයක මෙම නව කතාවේ අත් පිටපත කියැවීමට අවස්ථාව හිමිවිය. සාම්ප්‍රදායික සිංහල නව කතාවලට ඇබ්බැහි වූ අපට සරච්චන්ද්‍රගේ එම චම්පු කාව්‍යය නැවුම් අත්දැකීමක් විය. මේ නව කතාව එකල තරැණ සාහිත්‍යධරයන් අතර කොතෙක් ජනප්‍රිය වූවාදැයි කීවහොත් සමහර අය සිය ගෑනු දරුවන් නොරිකෝ යැයි නම් කළෝය. මා මිත්‍ර තිස්ස අබේසේකරද එවැනි රසිකයෙක් විය.

මළගිය ඇත්තෝ හා  මළවුන්ගේ අවුරුදු දා පළවූ කාලයේ ලාංකිකයින් හා ජපානය අතර එතරම් සම්බන්ධයක් නොතිබු‍ණේය. එහෙත් ඉන් පසු ඉගෙනීමටත්, වෙළහෙලඳම් කිරීමටත් ලාංකිකයෝ ජපානයට සංක්‍රමණය වූහ. ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් තරැණයින් වූයෙන් ඔවුන් ජපන් තරුණියන්ට පෙම් බැඳ විවාහ කර ගත්තෝය. බටහිර කාන්තාවන්ට වඩා ජපන් කාන්තාවන් තුළ විනීතකම හා ආචාරශීලී බව පෙනෙන්නට තිබුණි. එසේ ජපන් කාන්තාවන් විවාහ කරගත් ලාංකිකයින්ට සමාජයේ ඉහළට නැගීමට ඔවුන්ගේ භාර්යාවෝ මහෝපකාරී වූහ. දැන් අප රටේ ප්‍රධාන ව්‍යාපාරිකයින් කීප දෙනෙකුගේ මව්තුමියන් ජපන් ජාතික වීම කාටත් දැකගත හැකි ලකුණකි. 

මේ සැරේ ටෝකියෝවේදී එහි පදිංචි ලාංකිකයින් කීප දෙනෙක්ම මට හමුවිය. ඔවුන් මනා ලෙස ජපන් ජීවිතයට හැඩගැසී ඇත. අපට දිවා සංග්‍රහ භෝජනයක් පිරිනැමූ ජපන් මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් කීවේ ඔවුන්ගේ ඡන්ද කොට්ටාස තුළ ලාංකිකයින් රැඳී සිටින බවත් ඔවුන් ජපානයට සුවිශේෂ සේවයක් කරන බවත්ය. ඒ පුවත ඇසූ අප සැමට සතුටක් හා ආඩම්බරයක් ඇති විය.