මෙරට මාධ්‍ය නිදහසට රතු එළියක් දල්වමින් සී.අයි.ඩී.ය මාධ්‍යවේදීන් හඹායාම පසුගිය සතියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. සතොස තුළ සිදුවූ බවට චෝදනා එල්ල වී තිබෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා විසින් ලබාදෙන ලද සම්මුඛ සාකච්ඡාව, එම වංචාව පිළිබඳව පළවූ ප්‍රවෘත්ති සහ කතුවැකි හේතුවෙන් ලංකාදීප ප්‍රධාන කර්තෘ ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනකුටද දිවයින කර්තෘවරයාටද දි අයිලන්ඩ් කර්තෘවරයාට සහ එහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුටද සී.අයි.ඩී.යට පැමිණ ප්‍රකාශ ලබාදෙන්නැයි ලිඛිතව දැනුම් දීමක් ලැබිණි. ඉන්පසුව එය වෙනස් වී සී.අයි.ඩී.ය ලංකාදීප කාර්යාලයට පැමිණියේ ප්‍රකාශ සටහන් කර ගැනීමට සූදානමිනි. එහෙත් ඒ අවස්ථාවේ ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් නැතැයි ලංකාදීප කර්තෘවරයා කළ දැනුම්දීමට අනුව එම නිලධාරීන් ආපසු ගියේ ඉදිරි දිනකදී පැමිණෙන බව සඳහන් කරමිනි. පිටත්ව යාමට පෙර දිවයින කර්තෘවරයා සිටින්නේදැයි විමසීම එම නිලධාරීන් වැටී සිටි තත්ත්වයට කදිම උදාහරණයක් විය.
මාධ්‍යවේදීන්ගෙන් හෝ කර්තෘවරැන්ගෙන් හෝ ප්‍රශ්න කිරීමට සී.අයි.ඩී.යට අයිතියක් නැතැයි කවුරැත් කියන්නේ නැත. මීට පෙරද විවිධ ආණ්ඩු යටතේ කතුවරැන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම් සහ පැමිණිලි විභාග කිරීම් සිදුව තිබේ. ඇතැම් අවස්ථාවලදී නඩු පැවරීම්ද සිදුවිය. එහෙත් අමාත්‍යංශයකට අයත් රාජ්‍ය ආයතනයක සිදුවූ බවට සඳහන් මහා වංචාවක් සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා, සම්මුඛ සාකච්ඡා සහ කතුවැකි හේතුවෙන් අදාළ අමාත්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට කර්තෘවරැන් සහ මාධ්‍යවේදීන් සී.අයි.ඩී.යට කැඳවූ බවත් නම් අප මීට පෙර අසා නැත. වඩාත්ම හාස්‍යජනක කාරණය වන්නේ මාධ්‍ය මගින් හෙළිකළ එම වංචාවට සම්බන්ධ පාර්ශ්වවලින් ඒ ගැන ප්‍රශ්න කරනවා වෙනුවට වාර්තා පළකළ තෝරාගත් මාධ්‍ය ආයතන කිහිපයක් පසුපසින් පැන්නීමට පොලීසිය ක්‍රියා කිරීමය. අඩුම තරමින් මෙම වංචාව හෙළිකළ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් මේ වනතුරැ ප්‍රකාශයක් ලබාගෙන නැත. අදාළ වංචාව පිළිබඳ සියලු තොරතුරැ හෙළි කිරීමට තමන් සූදානමින් සිටින බව ඒ මහතා ප්‍රකාශ කර තිබුණද සී.අයි.ඩී.ය ඒ පිළිබඳව උනන්දුවක් දක්වන බව පෙනෙන්නට නැත.
අදාළ සිද්ධිය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමින් ශ්‍රී ලංකා කර්තෘ සංසදය නිවේදනයක් නිකුත් කළේය. (එය වෙනම පළවෙයි) මාධ්‍ය සංවිධාන එකමුතුවද නිවේදනයක් නිකුත් කරමින් මේ සිද්ධිය දැඩිව හෙළා දැක තිබිණි. රජයේම මැති ඇමැතින් කිහිප දෙනෙකුද නිල නොවන මට්ටමින් මේ ක්‍රියාව හෙළා දැක තිබුණු අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් සී.අයි.ඩී.යට කැඳවීමෙන් වළකින්නැයි ඉල්ලීමක්ද කර තිබිණි. එහෙත් සී.අයි.ඩී.ය ලංකාදීප කාර්යාලයට පැමිණීම එලෙසම ක්‍රියාත්මක විය. තමන් මේ පිළිබඳව කනගාටුව පළකරන බව පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. එසේම පුවත්පත් කතුවරැන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියෝග දුන් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබේ. එම නිලධාරීන්ගේ ක්‍රියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීමය භාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව හා නොසැලකිලිමත්ව සිදුවී ඇතිදැයි එහිදී සොයා බැලීමට නියමිතය. පොලිස්පතිවරයාද කනගාටුව පළකරන ප්‍රකාශයක් නිකුත් කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ යුතුව තිබුණේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් තුෂාන් ගුණවර්ධන මහතා මාධ්‍යයට කළ හෙළිදරව්ව හේතුවෙන් තමන්ට අපහාසයක් සිදුවී නම් ඒ පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමය. අදාළ සිද්ධිය පුවත්පත්වල පළවීම තමන්ට අපහාසයක් බව අමාත්‍යවරයා තීරණය කිරීම හේතුවෙන් මේ අර්බුදය පැන නැගී ඇති බව පැහැදිලිය. එහෙත් සතොස සිදුවූ වංචාවක් මාධ්‍යවල පළවීම තමන්ට සිදුවූ අපහාසයක් වශයෙන් අමාත්‍යවරයා සලකන්නේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි නැත. මෙහිදී පොලීසිය කළ යුතුව තිබුණේ අදාළ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට තමන් සහාය දක්වන බව මාධ්‍ය හරහා ප්‍රකාශ කළ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් තොරතුරැ විමසීමය. ඔහු මාධ්‍යවලට ලබාදුන් තොරතුරැ සනාථ කළ නොහැකි නම් අමාත්‍යවරයාට ඒ බව වාර්තා කර ඉදිරි පියවර ගැනීම පොලිසියේ රාජකාරිය බව පැහැදිලිය. එහෙත් ඒ වෙනුවට අදාළ පුවත පළකළ මාධ්‍යවේදීන් සහ කතුවරැන් කැඳවීමට පොලිසීයට තීරණය කළේය. ඒ සඳහා බලපෑම් කළේ කවුරුන්දැයි දැනගන්නට නැත.
දේශපාලනඥයන්ගේ අතකොලු බවට පත්වෙමින් දේශපාලන හෙංචයියන් සිදුකරන වංචා සහ දූෂණ වසා දැමීමේ කාර්යය පොලීසිය බාරගත යුතු නැත. වංචාවක් සිදුවී නම් ඒ සම්බන්ධව සැබෑ ලෙස විමර්ශනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමය. අදාළ සිද්ධිය අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ කීර්ති නාමයටද හානියක් බව පැහැදිලි වන්නේ ඇමැතිවරැන් කිහිප දෙනෙකුද එම ක්‍රියාව අසාධාරණ සහ හෙළාදැකිය යුතු බව සඳහන් කර තිබීමෙනි. මේ බව පොලීසිය අවබෝධ කර ගැනීම, ඔවුන් දේශපාලනඥයන්ගේ ක්‍රියා හේතුවෙන් අමාරැවට වැටීමෙන් වළක්වා ගනු ඇත.