2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

මේ කඳවුර සහ ඒ කඳවුර

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

 

දින 40ක ලොක්ඩවුන් කාලසීමාව සිකුරාදා (01)යින් අවසන් විය. අවසන් වීමට පෙර සිටම ජනතාවට ප්‍රශ්නයක් වී තිබුණේ රට ලොක්ඩවුන් කළ නිරෝධායන ඇඳිරි නීතිය සැබෑ ලෙසම ක්‍රියාත්මක වූවාද යන්නය. පාරවල්වල නොගියේ බස් රථ පමණි. බොහොමයක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විවෘතව තිබිණි. පාරවල්වල ධාවනය වූ රථවාහනවල අඩුවක් නොවීය. සාප්පු සංකීර්ණ හැර කඩ සාප්පු බොහොමයක් විවෘත වී තිබිණි. ප්‍රධාන නගරවල ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ සිටීම සුලබ දසුනක් විය. ස්වයංරැකියාවල නියුතුවූවන්ට සහ එදිනෙදා සුළු වැඩපළ කර ජීවත් වූ අයටද සීමිත වශයෙන් හෝ ආදායම් උපයා ගැනීමට හැකි වූ බවද පෙනෙන්නට තිබුණේය.

එය එහෙම වුණත් මේ කාලය තුළදී කොවිඩ් ව්‍යාප්තිය සෑහෙන දුරකට පාලනය වී තිබිණි. ආසාදිතයන්ගේ සංඛ්‍යාව සෑහෙන දුරකට පහළ බැස්ස අතර මරණ සංඛ්‍යාව අඩුවීම කාගේත් සිත් සැනසිල්ලට හේතු විය. මේ අතරවාරයේ එන්නත්කරණයද කාර්යක්ෂමව සිදුවෙමින් පැවැතීමත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහනයක් ලැබෙමින් රෝහල් තුළ තදබදය අඩුවීමත් යහපත් ප්‍රවණතා විය. එසේ වුවත් නිරෝධායන ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක වූවා නම් මෙයටත් වඩා යහපත් ප්‍රතිඵල ගත හැකිව තිබූ බව පැහැදිලිය.

කොවිඩ් ව්‍යාප්තිය මේ තරමින් හෝ පාලනය වීම රජයේ සැනසිල්ලට හේතුවන බව සැබෑය. නමුත් රජය මුහුණ දී සිටින සෙසු ප්‍රශ්න සම්බන්ධයෙන් නම් පවතින්නේ අර්බුදකාරී තත්ත්වයකි. එහිදී සහල් ප්‍රශ්නය රජය මහත් අසීරැවකට ඇද දැමුවේය. වැරදි උපදෙස් මත පදනම් වෙමින් තීරණ ගැනීම අනපේක්ෂිත ප්‍රතිඵල අත්කර දෙන බවට එය ප්‍රබල උදාහරණයක් සපයා තිබේ. සහල් මිල පාලනය කරමින් ගැසට් නිකුත් කරන විටම එය තවදුරටත් ප්‍රායෝගික නොවන පැරණි ක්‍රමයක් බව ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පිරිස් පෙන්වා දී තිබුණත් ආණ්ඩුව පිළිගත් බව පෙනෙන්නේ ඊට පටහැණිව ලබාදුන් උපදෙස්ය.

ඊළඟට හදිසි නීතිය යොදවාගෙන ගබඩාවල තිබූ සහල් තොග රජයේ භාරයට ගෙන සතොස සහ සමූපකාර වෙළෙඳසල් හරහා බෙදා දීමේ වැඩපිළිවෙළකට යන විට එහි ප්‍රතිඵලද ඉතා අමිහිරි විය හැකි බවට සමහරැන් පෙන්වා දුන්නත් රජය එය පිළිගත්තේ නැත. එම ක්‍රියාව මාධ්‍ය සංදර්ශන බවට පත්වී තාවකාලික වින්දනයක් වන විට රජයටද යම් සැහැල්ලුවක් දැනෙන්නට ඇත. එහෙත් ඒ මාර්ගයේ යා හැක්කේ කෙටි දුරක් බව සහල් මුදලාලිලා දැන සිටියහ. ගැසට් රිවර්ස් වී සහල් මිල පාලනය අහෝසි වී මිල නියම කිරීම මුදලාලිලා අතට පත්වීම එහි ප්‍රතිඵලය විය.

සහල් මිල මීට කලින්ද නියම කළේ මහා පරිමාණ මෝල් හිමියන් මිස ආණ්ඩුව හෝ නිලධාරීන් හෝ නොවේ. වෙනසකට තිබුණේ වෙනදා මිල නියම කිරීම් සද්ද බද්ද නැතුව සිදුවීමත් මෙවර මාධ්‍ය සාකච්ඡා තබා ප්‍රසිද්ධියේ රටට ප්‍රකාශ කර මිල නියම කිරීමත්ය. මේ මිල නියමය පාරිභෝගික ජනතාවට අතිරේක බරක් වන බව රජය නොදන්නවා විය නොහැක. එහෙම වුණත් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම නතර වී මෝල්වල ගබඩා කෙරුණු වී තොග සහල් බවට පත් කිරීම මන්දගාමීව සිදුවුණොත් නිසැකවම ඉදිරි දිනවලදී විශාල සහල් හිඟයක් රට තුළ නිර්මාණය වන බවට රජයට තොරතුරු ලැබෙන්න ඇත. ගැසට් ඉවත් කරගෙන වෙළෙඳපොළ තුළ සහල් මිල නියම වීමට රජය ඉඩ දුන්නේ ඒ නිසා විය යුතුය.

සහල් මිලේ ගැටලුව මෙතැනින් ඉවර වෙන්නේ නැත. රසායනික පොහොර භාවිත නොවීම හේතුවෙන් අස්වැන්නට සිදුවන බලපෑම ඉදිරි කන්නයේදී පෙනෙනු ඇත. වී අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් අඩු වුවහොත් සහල් මිල දෙගුණයක් තරමට ඉහළ යාමටද ඉඩ තිබේ. ඉක්මනින් පොහොර ගෙන්වා දීමට රජය පියවර ගනිමින් සිටින බව දැනගන්නට ලැබුණද එසේ ගෙන්වන්නේ කාබනික පොහොරද රසායනික පොහොරද යන්න පැහැදිලි නැත. ටෙන්ඩර් කැඳවීමකින් තොරව චීනයෙන් ගෙන්වා ගැනීමට සැලසුම් කළ කාබනික පොහොර තොගයද එහි සාම්පලවල මෙරට පසට අහිතකර බැක්ටීරියා අඩංගු බවට සනාථ වීම නිසා අත්හැර දමා තිබේ. පොහොර ගෙන්වීම පිළිබඳ තීන්දු තීරණ ගන්නේ කවුදැයි කෙසේදැයි තවමත් පැහැදිලි නැත. කාබනික පොහොර පමණක් යොදා ගනිමින් වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බවට රජයට උපදෙස් දුන් විශේෂඥයන් ඒ සම්බන්ධයෙන් දැන් සම්පූර්ණයෙන් මුනිවත රැකීම කැපී පෙනෙයි.

ආණ්ඩුව පසුගිය කාලය තුළදී නිකුත් කළ ගැසට් 09ක් මේ වන විට හකුලාගෙන තිබේ. එසේ තිබියදීත් සහල් මිල වැඩිවන අතර ගෑස්, කිරිපිටි හිඟයකටද රට මුහුණ දී සිටී. කිරිපිටි හිඟයට පිළියමක් වශයෙන් වරායේ හිරවී තිබෙන කන්ටේනර් මුදාහැරීමට රජය තීන්දු කළත්, බ්‍රහස්පතින්දා (30) දැනගන්නට ලැබුණේ කිරිපිටි මෙට්‍රික් ටොන් 360ක් මුදාගැනීමට ඩොලර් නොලැබීම නිසා එම තොගය බංග්ලාදේශයට හරවා යැවීමට ආනයනකරුවන් සැලසුම් කර තිබෙන බවය. කිරිපිටි නිදහස් කර ගැනීමට තමන්ට එක ඩොලරයක්වත් මහ බැංකුවෙන් නිකුත් නොකළ බව ආනයනකරුවන් කියා තිබිණි. ඉදිරි සතියේදී පැමිණීමට නියමිත කිරිපිටි නැව්ද නැවැත්වීමට කටයුතු කරන බවද එහි ප්‍රකාශකයෙක් සඳහන් කර තිබිණි. එහෙත් මහ බැංකුව ප්‍රකාශ කරන්නේ තමන් ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකට ඇතිතරම් මුදල් ලබාදී ඇති බවත් එයින් අවශ්‍ය ඩොලර් නිදහස් කරගන්නා ලෙස දැනුම් දුන් බවත්ය.

තත්ත්වය එසේ නම් ඉදිරියේදී තදබල කිරිපිටි හිඟයකට මුහුණ දීමට සිදුවීම නියතයකි. කිරිපිටි හිඟවීමද සහල් හිඟවීම තරම්ම බරපතළ ප්‍රශ්නයක් වන්නේ රටේ බොහෝ දෙනා තම දූ දරුවන්ට අතිරේක ආහාරයක් වශයෙන් කිරිපිටි ලබාදෙන බැවිනි. රට තුළ නිෂ්පාදනය වන කිරිපිටි ප්‍රමාණයට වෙළෙඳපොළ අවශ්‍යතාවෙන් 40ක්වත් සපුරා දීමට හැකියාවක් නැත. රට විවෘත වී ඉදිරියට යන විට මේ ගැටලු තවදුරටත් බැරූරැම් වන බව පැහැදිලිය. දැනට පෙනෙන තෙක් මානයක මේ ගැටලුවට ස්ථිර විසඳුමක් නැත.

රජය මීළඟට මුහුණ දී සිටින්නේ යුගදනවි බලාගාරයේ කොටස් 40ක් අමෙරිකානු සමාගමකට විකිණීම හේතුවෙන් ආණ්ඩුව තුළ පැන නැගී ඇති අර්බුදයටය. යුගදනවි බලාගාරයේ කොටස් විකිණීම පිළිබඳ ගිවිසුමට මහ රෑ 12.06ට අත්සන් තැබීම පවා මහත් ආන්දෝලනයකට ලක් විය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විමසා තිබුණේ මහ රෑ ගිවිසුම් අත්සන් කළේ බකමූණන්ද කියාය.

කෙසේ වුවද රජයේ ඇතැම් කැබිනට් ඇමැතිවරැන් පවා යුගදනවි බලාගාර කොටස් විකිණීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව නොදැන සිටි බවද පෙනෙන්නට තිබිණි. කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී එවැනි ගිවිසුමක් නොමැති බවත් ඇත්තේ සංකල්පීය එකඟත්වයක් පමණක් බවත් ඇමැතිවරැන් ප්‍රකාශ කරද්දී අමෙරිකානු සමාගම කියා තිබුණේ තමන් කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ එල්.එන්.ජී. ව්‍යාපෘතියේ කොටස් 40ක් මිලදී ගත් බවය. දැන් ඇමැතිවරැන් පිරිසක් එම ගිවිසුමේ ඇතැම් කොන්දේසි රටට ඉතා අහිතකර බව ප්‍රකාශ කරමින් ඒ සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කරමින් සිටිති. එහෙත් රජයේ බලධාරීන් එවැනි සාකච්ඡාවකට සූදානම් බවක් පෙන්වා නැත. රජය ක්‍රියා කරන්නේ එම ගිවිසුම අත්සන් කර අවසන් වී ඇති පරිදිය.

යුගදනවි අර්බුදයේ උණුසුම පහවී යාමටත් පෙර ආණ්ඩුව කොළඹ වරායේ බටහිර ජැටියේ 51ක් ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමේ ගිවිසුමට අත්සන් කළේය. නැගෙනහිර ජැටිය සම්බන්ධව අත්සන් කිරීමට සූදානම් වූ ගිවිසුමට එරෙහිව වරායේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වී රටේ සෙසු සමිතිද එකතු කරගෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය අතර ආණ්ඩුව එයින් පසුව එම ගිවිසුම හකුලා ගත්තේ බටහිර ජැටිය ලබාදෙන බවට ඉන්දියාවට ප්‍රතිඥාවක් දෙමිනි. බටහිර ජැටිය ලබාදීමට සූදානම් වුවොත් එයට එරෙහිවද දැඩි විරෝධයක් ගොඩනංවා එය වළක්වන බව කියූ වෘත්තීය සමිති මෙවර ගිවිසුම අත්සන් කරන තුරු එයට එරෙහිව හඬක් නොනැගීම කැපී පෙනෙයි. ඉදිරියේදී එසේ කරන බවක් පෙනෙන්නටද නැත.

මේ අතර ආණ්ඩුව ඇතුළේ පමණක් නොව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබ ඇතුළේද ඉරි තැලීම් පටන්ගෙන තිබේ. කාලයක සිට අළු යට ගිනි පුපුරැ මෙන් තිබූ මේ ඉරිතැලීම් පසුගියදා එළියට පැන්නේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරිගෙනි. විපක්ෂය ලෙස සමගි ජන බලවේගය මේ මොහොතේ ආණ්ඩුවේ වැරදි පෙන්වමින් එය තමන්ගේ දේශපාලන ගමන යැයි සිතන්නේ නම් එය විපක්ෂයේ වැටීම බවත් රට ගොඩනැගීමට නම් අවශ්‍ය ආර්ථික දැක්ම, වසංගතයට එරෙහි වැඩපිළිවෙළ රට හමුවේ කිවයුතු බවත් එසේ නොවී මළමිනී මතින්, කොරෝනා මතින්, මේ ආණ්ඩුවේ හොරකම් ජඩකම් මතින් බලය ගන්න හදනවා නම් ඒ කඳවුරේ හිටගන්න අප සූදානම් නැති බවත් ඔහු කියා තිබිණි.

මෙය කෙළින්ම සජිත්ගේ නායකත්වයට එල්ල කරන ලද වාග් ප්‍රහාරයක් බව පැහැදිලිය. එවැනි කතා තමන් පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොසලකන බව සජිත් කියා තිබුණත් චමින්ද විජේසිරි කියන ඒ කඳවුර සහ අපි කවුදැයි සජිත් සොයා නොබැලුවොත් පුදුමය.

- ශශීන්ද්‍ර