2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 61

පළාත් සභා ටී.එන්.ඒ. සහ රජයේ තීරණය

රටේ මැතිවරණ සිතියමට අනුව මේ වන විට පළාත් සභා ඡන්දය පවත්වා අවසන් වී තිබිය යුතුය. හරි නම් එය සිදුවිය යුතුව තිබුණේ යහපාලන රජය කාලේ අවසන් භාගයේදීය. එහෙත් බලයට පැමිණ වසරක් ඉක්ම යාමටත් පෙර සිටම දැඩි මැතිවරණ භීතිකාවකින් පෙළුණු යහපාලන රජය පළාත් පාලන මැතිවරණය පමණක් නොව පළාත් සභා මැතිවරණද කල් දමාගත්තේ මැතිවරණ දෙකටම අදාළ අණ පනත්වලට සංශෝධන ගෙන ඒමට මුවා වෙමිනි.

පළාත් සභා ඡන්දය මේ රජය මුලින්ම මුහුණදිය යුතු වන අන්තර්කාලීන මැතිවරණය බවට පත්වූයේ යහපාලනය එම මැතිවරණය පැවැත්වීමට බිය වීම හේතුවෙනි. 2017 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ගෙන එනු ලැබුවේ එම ඡන්දය පැවැත්වීමට වඩා එය නොපැවැත්වීම අරමුණු කරගෙන බව පැහැදිලිව පෙනිණි. එහෙත් ඒ බව දැන දැනම එවකට යහපාලනය සමඟ &යහන්ගතව* සිටි ටී.එන්.ඒ. සහ ජවිපෙ මන්ත්‍රීවරු එම පනතට සහාය දැක්වූහ. ඒ වන විට විපක්ෂය වශයෙන් පෙනී සිටි එම පක්ෂ දෙකම එකී පනත ගෙන එන අවස්ථාවේදී රජයට සහාය දුන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොව නොපැවැත්වීමටය. මෙහිදී ටී.එන්.ඒ. ගත් පියවර දැඩිව විවේචනයට ලක්වූයේ පළාත් සභා ඡන්දය ඔවුන්ගේ &ජාතික ගැටලුව* විසඳා ගැනීමේ ලොකුම ප්‍රජාතන්ත්‍රික ක්‍රියාමාර්ගය වූ බැවිනි. එහෙත් පළාත් සභා දින නියමයක් නොමැතිව කල් දමාගැනීමේ දේශපාලන පාපකර්මයට ටී.එන්.ඒ. හවුල් වීම මෙරට දේශපාලන ඉතිහාසයේ සරදමක් විය.

පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත් සභා මැතිවරණය වත්මන් තත්ත්වය යටතේ පැවැත්විය හැකි යැයි තමන් විශ්වාස නොකරන බව ප්‍රකාශ කළේ මේ පසුබිමේය. මේ සම්බන්ධයෙන් නුදුරු දිනයකදී සියලු පාර්ශ්ව එකතු වී තීරණයක් ගනු ඇතැයිද ඇමැතිවරයා කියා තිබිණි. එය රජයේද ස්ථාවරය බව පැහැදිලිය.

රජය පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් තම ස්ථාවරය එසේ ප්‍රකාශ කළේ ඉන්දීය රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා සමඟ සාකච්ඡාවල පූර්විකාවක් වශයෙනි. පළාත් සභා ඡන්දය අප්‍රමාදව පැවැත්විය යුතු බවට ඉන්දීය රජය දැඩිව බලපෑම් කරන බව රජය දැන සිටී. නමුත් යහපාලන රජය යටතේ විපක්ෂයේ සිටිමින් පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු බවට දැඩි හඬක් නැගූ වත්මන් රාජපක්ෂ රජය එකී ඡන්දය දින නියමයකින් තොරව කල් දැමීමට උත්සාහ දැරීම දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් ආපසු හැරීමකි.

මෙහිදී ටී.එන්.ඒ. නායකයන්ට සිදුවී ඇත්තේද ආපසු හැරීමටය. එදා යහපාලනය සමඟ එකතු වී පළාත් සභා ඡන්දය නොපැවැත්වීමට සියලු සහයෝගය දුන් ටී.එන්.ඒ. නායකයන් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් හමුවේ දැඩිව අවධාරණය කර තිබුණේ පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙසටය. එදා නොතිබූ අවශ්‍යතාවක් අද ඇතිවූයේ කෙසේද යන්නට ටී.එන්.ඒ. පිළිතුරු දිය යුතුය.

ටී.එන්.ඒ. එසේ හැසිරෙන විට මෙරට දේශපාලනය තුළ ජාතිකත්ව බලවේග නියෝජනය කරන නායකයකු වන දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා පළාත් සභා ඡන්දය ප්‍රමාදයකින් තොරව පැවැත්විය යුතු බවට මතයක් දැරීම කැපී පෙනෙයි. මැතිවරණ නීති සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පිහිටුවා ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති වශයෙන් ක්‍රියා කරන දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ අප්‍රමාදව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගත යුතු බවය.

පළාත් සභා ඡන්දය කල් දැමිය යුතු බවට එදා තම දෑතම ඔසවා සහාය දුන් ටී.එන්.ඒ. අද ඡන්දය ඉල්ලා සිටීමත් පළාත් සභා ඡන්දය අවශ්‍ය නැති බවට එදා හඬක් නැගූ දිනේෂ් ගුණවර්ධන වැනි නායකයන් හැකි ඉක්මනින් පළාත් සභා පැවැත්වීමට නීති උපදෙස් පැතීමත් මේ රටේ දේශපාලනයේ හරස්කඩක් පෙන්වන බව පැහැදිලිය.

ලංකාවට චීනයෙන් ණයට තෙල්!

දීර්ඝ කාලීන ණය පහසුකම් යටතේ තෙල් මිලදී ගැනීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි. තෙල් ආනයනය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ බරපතළ අර්බුදයට විසඳුමක් වශයෙන් මේ පියවර ගැනීමට සිදුව තිබේ.
බටහිර ආසියානු රටවල් සමඟ සහනදායී මිල ගණන් යටතේ තෙල් මිලදී ගැනීම සඳහා සාකච්ඡා කිරීමට එම රටවල සංචාරයක නිරතව සිටි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ තෙල් මිලදී ගැනීම සඳහා මෙරට චීන තානාපති කාර්යාලය හරහා චීන රජය සමඟ සාකච්ඡා කළ බවය. හය මසක කාලයක් සඳහා රජය මගින් නිකුත් කරන ජාත්‍යන්තර බැඳුම්කර මේ සඳහා උපයෝගී කරගනු ඇත.

ඩීසල් සහ පෙට්රල් මිලදී ගැනීම සඳහා දැනට පවතින ගිවිසුම් පිළිවෙළින් නොවැම්බර් සහ ජනවාරි මාසවලදී අවසන් වන අතර ඒවා ඉදිරි හය මාසයක කාලයක් සඳහා දීර්ඝ කර ගන්නා බවද අමාත්‍යවරයා කියයි.

චීනයේ සීමාසහිත පෙට්රෝ - චයිනා සමාගම සමඟ මිලදී ගැනීමේ ගිවිසුම් සකස් කර ගැනීම සඳහා මෙරට චීන තානාපතිවරයා සමඟින් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ඔහු කියයි. පෙට්රෝ චයිනා සමාගම චීනයේ රාජ්‍ය ආයතනයක් වන ජාතික තෙල් සංස්ථාවේ අනුබද්ධ සමාගමකි.

- සන්ඩේ ටයිම්ස්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00