2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

මම කොන්දක් තියෙන මිනිහෙක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 264

පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දඹුල්ල හිටපු සංවිධායක ජනක බණ්ඩාර තෙන්නකෝන්

මේ වනකොට ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දඹුල්ල සංවිධායක කමින් ඉවත් කරලා. දැන් මොකක්ද ඊළඟ පියවර?

හොඳ ගමනක් තියෙනවා දැන්. මේ ඉවත්කළා කියන එක ලොකු පසුබෑමක් නෙවෙයි. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් කියනවද කියලා. පක්ෂය මගේ හදවත වගේ.

 ශ්‍රීලනිපයේ ලේකම් වෙන්න දුමින්දට තියෙන සුදුසුකම මොකක්ද? 

මොකක්ද ඔය තෙන්නකෝන්ලට තියෙන ශ්‍රීලනිප උරුමය?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක කැඳවුම්කරුවෙක් තමයි අපේ අප්පච්චි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්ධන පන්තියේ පක්ෂයක් කියන්න තිබිච්ච සංකේතය තමයි මගේ අප්පච්චි. කවිකොළ විකුණපු දුප්පත් මනුස්සයෙක්. කවියෙන් සමාජය ජයගත්ත මනුස්සයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආභරණයක් වෙච්ච මනුස්සයෙක්. එතුමගේ ආදර්ශය අරගෙන තමයි අපි ශ්‍රී ලංකා එකට බැඳුණේ. මගේ අප්පච්චි පක්ෂයේ සම ලේකම් කෙනෙක්. මගේ අයියා නියෝජ්‍ය ලේකම් වුණා. මම ජ්‍යෙෂ්ඨ උප සභාපති වුණා. දැන් හිතලා බලන්න අපි මේ පක්ෂයේ කොච්චර ඉහළ තැනක හිටිය මිනිස්සුද කියලා. 

ඒ නිසා තෙන්නකෝන්ලා මොනවා කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියාගන්න ඕනද?

දැන් බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට වික්කා. අපි ඒ නිසා කලකිරිලා හිටියේ. අපිට තිබුණා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරයක් හැඟීමක් දැන් ඉන්න අයට නෑ. මම ඒක නිර්භයව කියනවා. එහෙම හැඟීමක් තිබ්බා නම් අපිට මෙහෙම කරන්නේ නෑ.

 මේ ආණ්ඩුව අදවෙනකල් දඹුල්ලට කරපු දෙයක් නෑ 

 

බ හිතන හැටියට මෙහෙම දෙයක් වෙන්න ඇත්ත හේතුව කුමක්ද?

ඒක මටත් හිතාගන්න බෑ. නරක වෙලාව ආපුවම මිනිස්සු නරක දේවල් කරනවා. දැන් බලන්න මාව අයින් කරපු එකෙන් රටේ කැළඹීමක් ඇති වුණා. මමවත් හිතුවේ නෑ. දැන් මිනිස්සු කතා කර කර කියන්නේ මොකක්ද “අපි ඉන්නවා ඔබතුමා එක්ක” කියලා. දැන් බලන්න මාව අයින් කළාට එක ශ්‍රී ලංකා කාරයෙක් සතුටු වෙන්නේ නෑ. එත් බලන්න මම අයින් කළා කිව්වම රෑ 10 ප්‍රවෘත්ති බලලා රංජිත් අලුවිහාරගේ ගෙදර රතිඤ්ඤා දැම්මා. ඒකෙන් පේනවානේ කවුද සන්තෝෂ වෙන්නේ කියලා. ඒත් මට එජාපයේ දඹුල්ල ආසන සංවිධායක කතා කළා. ඔහු කතා කරලා කිව්වා “සර් අපිට හරි කනගාටුයි” කියලා. ඒ මිනිහත් කනගාටු වෙනවා.

ශ්‍රීලනිප අලුත් සංවිධායකතුමා කතාකළේ නැද්ද?

දිස්ත්‍රික් සංවිධායකතුමා. කතා කළා මමයි ඔහුව දේශපාලනයට ගෙනාවේ. ඔහු කතා කරලා කිව්වා “සර් අපි ඉන්නේ සර් එක්ක” කියලා. මම කිව්වා එහෙම නෑ කියලා. එහෙත් ඔහු කියනවා ඒ වුණාට සර්නේ අපිව ගෙනාවේ. කියලා. ඒ නිසා මා එක්ක ඉන්නවා කිව්වා ඒ නිසා මට තේරෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇනගත්තා. ඒවගේම නාගත්තා කියලා. 

නමුත් ශ්‍රීලනිප ලේකම්වරයා නම් කිව්වේ මේ ඉවත්කරන්නේ දුර්වල සංවිධායකවරු කියලා?

මම දුර්වලනම් එයා කොච්චර දුර්වල වෙන්න ඕනද? මම පුතා කියලා කතා කරන්නේ එයා මට අන්කල් කියලා කියන්නේ. අවංකවම තරහක් හිතේ නැතුව මේ අහන්නේ දුමින්ද දිසානායක පක්ෂයේ මහලේකම්කමට සුදුසුද? එතුමා කව්ද? වයස කීයද? මොන අත්දැකීමක්ද එතුමට තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මහා වෘක්ෂයක්. දෙයිහාමුදුරුවනේ මේ පක්ෂයේ කවුද හිටිය ලේකම්වරු. රත්නසිරි වික්‍රමනායක, අපේ අප්පච්චි, ධර්මසිරි සේනානායක. බලන්නකෝ ඒ චරිත. මම එතුමට අපහාස කරනවා නෙමෙයි. ඒත් තමන් දැනගන්න ඕන තමන්ගෙ සයිස් එක. තමන්ට බැරි දෙයක් දුන්නොත් බෑ කියන්න ඕන.

 මහින්ද මහත්තයා රත්තරන් මනුස්සයා 

ඔබ ඉවත් කළ දවසේ කිව්වා අප්පච්චි හිටියා නම් අද තමයි මැරෙන්නේ කියලා. මොකක්ද ඒ කතාව?

අවංකවම ඇත්ත. අපි පක්ෂයට ආදරය කරපු මිනිස්සු. මගේ මන්ත්‍රීකම නැතිවුණත් අප්පච්චි දුකක් නෑ . පණ යන්නේ නෑ. හැබැයි මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකකම නැතිකිරීම ගැන අප්පච්චි හිටියා නම් අප්පච්චිට වාවන්නේ නෑ.

එතකොට දඹුල්ලේ රජ කරන්න ඕන තෙන්නකෝන්ලා විතරමද?

අපි එහෙම කියන්නේ නෑ. මිනිස්සුනේ තෝරන්නේ. අනික තෙන්නකෝන්ලා තමයි දඹුල්ලට යමක් කළේ. ඒ දවස්වල දඹුල්ලට කියන්නේ ගොම හන්දිය කියලා. ගොමවලින් පිරිලා තිබුණේ. දඹුල්ල නොනිදන පුරවරය කළේ මම. මම හදපු මාර්කට් එකේ වෙළෙඳ සංගමයේ සභාපති තමයි දැන් සංවිධායක. දෛවය කොතරම් හාස්කම් මෙන්ම සමච්චල් කරනවද කියලා බලන්න. තෙන්නකෝන්ලා බලෙන් දඹුල්ල අල්ලගෙන නෑ. දඹුල්ලේ ජනතාව තෙන්නකෝන්ලට ආදරෙයි. දැන් බලන්න අවුරුදු දෙකක් මේ ආණ්ඩුව පත්වෙලා. අද වෙනකල් දඹුල්ලට කරපු දෙයක් නෑ. එහෙම වෙනකොට ඉඳලා වැඩකුත් නෑ අපි.

පුතා ප්‍රමිතටත් අයින් වෙන්න කිව්වේ ඔබද?

මම කොහොමද එහෙම කරන්නේ. එයා වැඩිහිටියෙක්නේ. අද කාලේ හුඟාක් දරුවෝ මවුපියන්ට සලකන්නේ නැති කාලයක්. ඒත් තමුන්ගේ තාත්තගේ සංවිධායකකම අයින් කළාම ඒ උතුම් පුත්‍රයා ඇමැතිකමෙන් අයින් වුණා. මම මගේ අප්පච්චිට සැලකුවා වගේ මගේ පුතා මට සලකනවා.

 පක්ෂය මාව අස්කරලා ඇනගත්තා... නාගත්තා 

දැන් ඔබ මේ දේශපාලනය තුළ ගහන්න ඕන පිමි ගහලා ඉවරයි. ඒත් දේශපාලනය ආරම්භ කරපු ඔබේ පුතාගේ මෙවැනි තීරණ නිසා ඔහුගේ දේශපාලන අනාගතය විනාශ වෙයි කියලා හිතෙන්නේ නැද්ද?

තාත්තා වෙනුවෙන් පුතා කරපු පරිත්‍යාගය නිසා එයා ආපසු කැරකිලා නවතින්නේ කොතනද කියලා මම දන්නවා. ඒත් ඒක මම දැන්ම කියන්නේ නෑ. 

මෙතනින් පස්සේ තෙන්නකෝන්ලගෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙයි ඇයි හොඳයිය ඉවරද?

තියාගන්න බෑනේ. කොහොමද තියාගන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකකම නෑ කියන්නේ සාමාජිකත්වය නෑ කියන එකනේ. ඊට පහුවැනිදා දඹුල්ලේ ගෙදරට එවලා මැයි රැළියට එන පාස් එක. ඒත් ඒ වෙනකොට මම පක්ෂයෙන් ඉවත් කරලා. කිසිම සංවිධානයක් නැති පක්ෂයක් කියලා තේරෙනවානේ. ප්‍රධාන ලේකම් එවන්නේ මේ දේවල් දැන් මෙහෙම ජෝකර්ලනේ ඉන්නේ මේ පක්ෂයේ. කාටද කියන්නේ. 

ඔබ මේ යහපාලනය ගේන්න තිරය පිටුපස හිටිය කෙනෙක්. මුල්ම සාකච්ඡා තිබ්බේ ඔබේ නි‍ෙවසේ. එහෙම කළ ඔබට ඇයි මෙහෙම වුණේ?

මම කවදාවත් යහපාලනය ගේන්න යෝජනා කරලා නෑ. ප්‍රසිද්ධියේ කියන්නේ. හැබැයි මම කොන්දක් තියෙන මනුස්සයෙක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ තිබ්බ වැරදි දූෂණ මම කොන්දක් තියාගෙන කිව්වා. එහෙම පෙන්නන එක වැරැද්දක් නෙමෙයිනේ. මම එදා පෙන්නලා කිව්වා සර් මෙහෙම යන්න බෑ, අපි පරදිනවා කියලා. මොකද මම පොලිස්කාරයෙක්. මම හිතන විදිය අනිත් අය හිතනවාට වඩා වෙනස්. දැන් මහින්ද ගාව එදා හිටිය අය කෝ. ඒ නිසා අපි වැඩියෙන් උදව් කළ අය තමා අපිට වැඩිපුර ගහන්නේ.

ඔබ කියන විදිහට රාජපක්ෂ පාලනයේ වැරදි පෙන්වලා දුන්න කෙනෙක්. එහෙව් ඔබ කොහොමද නැවත රාජපක්ෂලා විශ්වාස කරගෙන වැඩ කරන්නේ?

එහෙම හිටිය මහින්ද රාජපක්ෂ තමයි දැන් හැදිලා ජනතාව අතර ඉන්නේ. එයාටත් එහෙම සිදුවුන නිසා තමයි හැදිලා ඉන්නේ කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම මේ රටේ ඉන්න ජනප්‍රියම නායකයා මහින්ද රාජපක්ෂ. ඒ විතරක් නෙවෙයි දැන් ඉන්න අය එක්ක බලද්දී එතුමා වටිනවා. දැන් මිනිස්සුත් කියන්නේ මහින්ද මහත්තයා හොඳයි කියලා. ඒ නිසා මහින්ද මහත්තයා රත්තරන් මනුස්සයා. ඒ වටිනාකම තවත් වැඩිවෙනවා දැන් ඉන්න පාලකයෝ නිසා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන ඔබ ඊළඟ දේශපාලන පියවර ගන්නේ මොන පක්ෂයෙන්ද? 

අපි ඉතින් මහින්ද මහත්තයා එක්ක තමයි ඉන්නේ. එයා ඉන්නේ මොකේද අපි එතන. කොයි වෙලේ හරි එතුමවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරනවා. ආයි ඉල්ලන්නේ වෙන පක්ෂයකින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එතුමා ඉඳියි කියලා හිතනවද මේ අය ඉන්නකන්. කවදාවත් නෑ.

 අද ශ්‍රීලනිපය එජාපයට විකුණලා 

ඔබ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ වැඩ කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟත් වැඩ කළා. ඇයි මේ මෛත්‍රිපාල මහත්තයා එක්ක විතරක් එකට ඉන්න බැරි?

මෛත්‍රි ශ්‍රී ලංකා එකත් එක්කද ඉන්නේ. මෛත්‍රි ඉන්නේ රනිල් එක්ක. අපිට කලිසමක් ඇඳගෙන එතෙන්ට යන්න පුළුවන්ද? අපිට ගැලපෙනවද. අපි යූ.එන්.පී. විරෝධි අයනේ.

හැබැයි මහින්ද මහත්තයා යූ.ඇන්.පිය සමඟ හවුල් ආණ්ඩුවකට ගිවිසුම් ගහද්දී ඔය විරෝධතාව ආවේ නෑනේ?

එත් ඒ ආපු අය ශ්‍රී ලංකා වුණානේ.

ඔබ ඇතුළු මේ ඒකාබද්ධ පිරිස ඊළඟ පාර එන්නේ මොන පක්ෂයෙන්ද ජනතාව අතරට?

ඒක රහසක්. දැන්ම කියන්න බෑ. එදාට බලමු.

මේ වෙනකොට ශ්‍රීලනිපයේ පිරිසක් මහින්ද මහත්තයත් මෛත්‍රි ජනාධිපතිවරයත් එක්කරන්න කටයුතු කරනවා. මේ දෙන්නා එකතු වුණොත් මොකද කරන්නේ?

මහින්ද මහත්තයට එකතු වෙන්න කියලා අපි නිකන් ඉන්නවා. එදාට ජනක බණ්ඩාර තෙන්නකෝන් නෑ. 

ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න හැදුවත් එකතු වෙන්නෙ නැද්ද?

එක්සත් ජාතික පක්ෂය අත ඇරලා ආවොත් සලකා බලන්න පුළුවන්. යූ.ඇන්.පිය එක්ක ඉන්නකල් අපි නෑ. 

මේ මෛත්‍රි අවුලක් නෙමෙයි තියෙන්නේ යූ.ඇන්.පී අවුලක්ද? 

ඔව් අපි යූ.ඇන්.පී. විරෝධිනේ. 

රටක් හදන්න සියලු පක්ෂ එකතු වෙන එක අකැපද?

ඔය හදනවා පේනවනේ. ඔය එකතු වෙලා හදන්නේ. මොනවද හදන්නෙ කියලා මට කියන්න.

ඔබලා අත උස්සලා සම්මත කරගන්න 18 වැනි සංශෝධනය නතර කළ එකම මදිද?

ඔව් ජනතාව ඒකට දඬුවම් කළානේ. මම කියන්නේ ඒකයි මේ හැමදේටම වඩා ජනතාව බලවත්. මොන බලවතාට වුණත් දඬුවම් දෙනවා. ඒක තමා එදා වුණේ. මම එදා මහින්ද මහත්තයට කිව්වා මේ රටේ නෙල්සන් මැන්ඩලා වෙන්න තිබ්බා කියලා. නමුත් අපි කියන දේවල් ඇහුවේ නෑ. සමහර දේවල් නිසා වැරදුනා.

ඔබ පිළිගන්නවා මේ කළකම් පල දෙන්නේ කියලා? 

තොප්පිය හරිනම් දාගන්න කවුරු වුණත්

ඔබට හිතෙන්නේ නැද්ද ශ්‍රීලනිපයටත් වෙලා තියෙන්නේ ඒක කියලා?

හිතෙනවා. දැන්නම් ඊටත් වඩා කර්මයක් පල දීලා තියෙන්නේ.

ඒ කියන්නේ ඔබලා එදා පක්ෂ කැඩුවා. අද ශ්‍රීලනිපය කඩලා ගියා නේද?

ඔයා ඔක්කොම කුණු මගේ ඇඟේ දාන්නනේ හදන්නේ. අපි කොහෙ ඒවා කළේ.

නෑ මම අහන්නේ ඒවා කරපු අයටවත් කියන්න ගියේ නැද්ද?

මෙහෙමයි. අපි කියනදේ අහනවා නම් කිව්වා. නැත්නම් නොකියා හිටියා. 

පිළිගන්න හරි නොපිළිගන්න හරි ජනක බණ්ඩාරට මෛත්‍රි මහත්තයට කියන්න තියෙන්නේ මොනවද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තා නම් ඒක හරියට කරන්න. මිනිස්සුන්ගේ වටිනාකම් අඳුනාගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. 

♦ ගයාන් ගාල්ලගේ
    සේයාරුව I සුමුදු හේවාපතිරණ