2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්ද එදයි අදයි

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 75

සාමාන්‍යයෙන් රාජපක්ෂ ආණ්ඩු ඡන්ද තියන්න බයක් නැත. 2005දී මහින්ද බලයට පැමිණීමෙන් පසුව ජනාධිපතිවරණ, මහ මැතිවරණ පමණක් නොව පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද වලින් රාජපක්ෂ ආණ්ඩු හැමදාම දිනුවේය. 2005 ජනාධිපතිවරණය මහින්ද දිනාගත්තේ යන්තම් දශම ගාණකින් වුවත් ඉන්පසුව හැම ඡන්දයක්ම ඔවුන්ට දේශපාලන සැණකෙළියක් විය. තමන්ගේ පාලන කාලය තුළදී පැවැත්වූ හැම පළාත් සභා සහ පළාත් පාලන ඡන්දයක්ම ඔවුන් දිනාගත්තේ විපක්ෂයේ එවකට ප්‍රධාන පක්ෂය වූ යූ.එන්.පී.යට තරු පෙන්වමිනි. මේ නිසා ඒ කාලයේ ඡන්දයක් ගැන කතා කරන හැම අවස්ථාවක්ම යූ.එන්.පී.යට නරක හීනයක් විය.

ඒ කාලයේ ඡන්ද කෙරුවාවට රාජපක්ෂවරුන් කොතරම් කැමැත්තෙන් හිටියාදැයි කිව්වොත් පළාත් සභා ඡන්ද ඔවුන් පැවැත්වූයේ කඩින්කඩය. එය විපක්ෂයට ලොකුම හිසරදය විය. ආණ්ඩුවේ සම්පත් පමණක් නොව මැතිවරණ නීති පවා තමන්ට අවශ්‍ය පරිදි නවාගෙන සිදුකළ එම ඡන්ද රාජපක්ෂවරුන්ගේ පාලනය හැමවිටම ශක්තිමත් කළේය. 2008 වසරේ අගෝස්තුවේදී උතුරුමැද පළාත් සභා ඡන්දය පැවැත්වීමට මහින්ද තීරණයක් ගත්විට එම තීරණයට විරුද්ධ වූ එවකට සිටි මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක කොළඹට පැමිණ මහින්ද හමුවී උතුරුමැද පළාතේ ඒ වනවිට තිබූ තත්ත්වය පැහැදිලි කර දැන් ඡන්දය තිබ්බොත් එය දිනාගැනීම අපහසු වනු ඇතැයි කිව්වේය.

බර්ටි උතුරුමැද පළාත් සභා ඡන්දයට ඒ වෙලාවේ එපා කිව්වේ හේතු ඇතිවය. ඒ වනවිට තනිකරම කාෂිකාර්මික ආර්ථිකයක් මත යැපුණු උතුරු මැද ගොවි ජනතාව හිටියේ ආණ්ඩුවට එරෙහිවන තත්ත්වයකිනි. දැඩි නියඟය හේතුවෙන් වගා පාළු වී තිබුණි. පොහොර ගැටලු හේතුවෙන් ගොවීන් සිටියේ ආණ්ඩුවට එරෙහිව පාරට බසින තත්ත්වයකය. ඔවුන්ගේ වී විකුණා ගැනීම මහත් ගැටලුවක් වී තිබුණි. එසේම යුද්ධය උපරිම තලයට යාම හේතුවෙන් මායිම් ගම්මානවල ජනතාව සිටියේ දැඩි පීඩනයකය.
හැබැයි මහින්ද ඒ වෙලාවේ බර්ටි කිව්ව දේ ඇහුවේ නැත. මහින්ද කිව්වේ ජනතාවගේ සැබෑ මතය කුමක්දැයි උරගා බැලීමට මෙය හොඳම අවස්ථාවක් බවය. ජනතාව සැපෙන් සතුටින් ඉන්න කාලෙදි දිනාගත හැකි ඡන්දයකට වඩා ජනතාව විවිධ ගැටලු හේතුවෙන් පීඩා විඳින විට පවත්වන ඡන්දයකින් ලැබෙන ප්‍රතිඵලය ආණ්ඩුවකට වඩාත් වැදගත් වන බව මහින්ද බර්ටිට පැහැදිලි කර දුන්නේය. එයට එකඟ වෙනවා හැර බර්ටිට ගතහැකි වෙනත් ක්‍රියාමාර්ගයක් තිබුණේ නැත.

ජනතාව කොයිතරම් පීඩනයකින් සිටියත් තමන්ගේ ආණ්ඩු උතුරුමැද ලොකුම ඡන්ද පදනම වන ගොවි ජනතාවගේ ලොකුම බලාපොරොත්තුව බව මහින්ද හොඳින්ම දැන සිටියේය. ඔවුන්ගේ කැමැත්ත දිනා ගැනීමට තමන් මූලිකත්වය ගෙන සිදුකරන කැම්පේන් එක හොඳටම ප්‍රමාණවත් වනු ඇතැයි යන්න මහින්දගේ තක්සේරුව විය. උතුරු මැද පළාතේ රජයේ සේවකයන්ද තම රජයට දැඩිව සහාය දක්වන පිරිසක් බවද මහින්දගේ විශ්වාසය විය.

මහින්දගේ තක්සේරුව සහ විශ්වාසය නිවැරදි විය. උතුරුමැද පළාත් සභා ඡන්දයෙන් මහින්ද නායකත්වය දුන් එජනිස ජය ලැබුවේය. බර්ටි යළිත් මහඇමැති විය. ඒ පළාතේ රජයේ සේවකයන්ගේ ගොවීන්ගේ ගැටලු කොතරම් තිබුණත් ඔවුන් තමන්ගේ නායකත්වයට ගරුකරන බවත් තමන්ගේ රජය කෙරෙහි විශ්වාසය තබන පිරිසක් බවත් මහින්දට යළිත් වරක් තහවුරු විය. ඉතා දුෂ්කර තත්ත්වයක් යටතේ එම ඡන්දය එදා ජයග්‍රහණය කළ රාජපක්ෂ ආණ්ඩුව 2022 පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දයටත් එවැනිම විශ්වාසයකින් යා හැකි තත්ත්වයක සිටිනවාද?

පෙනෙන්නට තිබෙන අන්දමට නම් ආණ්ඩුවේ ඇතුළේ ඒ ගැන කඹ ඇදිල්ලක් තිබේ. පසුපෙළ මන්ත්‍රිවරුන්ද මේ පාර කියන්නේ එදා බර්ටි කිව්ව කතාවමය. වෙනසකට ඇත්තේ දැන් මහින්ද ජනාධිපති නොවීම පමණි. උතුරුමැද ආණ්ඩුවේ දේශපාලන නායකයා වන ඇමැති ඒ.එම්. චන්ද්‍රසේන පළාත් සභා ඡන්දය ගැන දරණ අදහස කුමක්දැයි තවම පැහැදිලි නැත. එසේම ඊළඟ පළාත් සභා ඡන්දය පැවැත්වෙන්නේ කඩින් කඩ නොව පළාත් 09ටම එකවර වීමද රාජපක්ෂවරුන්ට අනුව අලුත් දේශපාලන අත්දැකීමකි.

පළාත් සභා හෝ වෙනත් ඡන්දයක් ගැන පසුගිය කාලය තුළ රටේ ලොකු කතිකාවක් තිබුණේ නැත. විපක්ෂනායක සජිත් පසුගියදා ඡන්දයක් පවත්වන ලෙසට ආණ්ඩුවට කළ අභියෝගයට ආණ්ඩුව සිනාවිය. ආණ්ඩුව ඇතුළේ කසකාරයෝ සජිත්ට එම කතාව අල්ලා දිගට හරහට බැටදුන්හ. කොවිඩ් වසංගතය මැද ඡන්දයක් ඉල්ලීම අවසානයේ විහිලුවක් බවට පත්කෙරුණි.

දැන් ආණ්ඩුවට සිදුවී ඇත්තේ එහෙම විහිලුවක් කරගත් ඡන්දයකට ලබන අලුත් අවුරුද්දට පෙර මුහුණදීමටය. එය සිදුවූයේ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ උවමනාවට නොවන බවද පැහැදිලිය. ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් පසුව පළාත් සභා ඡන්ද කතාව එළියට පැමිණි බව ආණ්ඩුව වසන් කරන්නට හැදුවත් එය සාර්ථක වූයේ නැත. සජිත් කියන්නේ තමන් ඕනෑම ඡන්දයකට සූදානම් වුණත් වෙනත් රටවල අවශ්‍යතා ඉටුකිරීමට පළාත් සභා ඡන්දය පවත්වනවාට විරුද්ධ බවය.

එහෙම කිව්වත් පළාත් සභා ඡන්දය පැවැත්වීමට තිබෙන නීතිමය බාධා ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන එන පනත සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබාදීමට තමන්ගේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදීමට සජිත් එකඟ විය. එයට ටී.එන්.ඒ. සහාය ලබාදෙන බව සම්පන්දන්ද කියා තිබිණි. පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඇති නීතිමය බාධාවන් ඉවත් කිරීමටද දැන් ආණ්ඩුවට තුනෙන් දෙක ප්‍රශ්නයක් නැත.

හැබැයි තුනෙන් දෙකේ බලය ලබා ගැනීමේදී ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ ගණනාවක් සහ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක්ද ඊට සහාය නොදෙන තත්ත්වයක් උද්ගත විය හැකි බවටද සැකයක් පවතී. එයට හේතුව මේ වෙලාවේ පළාත් සභා ඡන්දයකට යාම දැඩි දේශපාලන අවදානමක් ගැනීමක් බවට ඔවුන් තුළ පවතින අදහස හේතුවෙනි. රටපුරා ඇවිල යන ගොවි විරෝධතා, ගුරු විදුහල්පති වර්ජනය, රාජ්‍ය සම්පත් විකුණන බවට ආණ්ඩුව ඇතුළේ හවුල්කාර පක්ෂවලින් නැගෙන චෝදනා, රජයට එල්ලවන මහා පරිමාණ වංචා සහ දූෂණ චෝදනා අවාසිදායක ලෙස බලපෑ හැකි බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසකගේ අදහස වී තිබේ.

පසුපෙළ මන්ත්‍රීවරුන් එසේ කිව්වත් දැනට ආණ්ඩුවේ බලවත් ඇමැතිවරයා ලෙස සැලකෙන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පිහිටුවා ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී පසුගියදා ප්‍රකාශ කර තිබුණේ 2022 මුල් කාර්තුවේදී පළාත් සභා ඡන්දය සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පවත්වන බවය. බැසිල් පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කළ 2022 අයවැය විසර්ජන පනතින්ද මේ කතාව තවදුරටත් සනාථ වී තිබුණි. අමාත්‍යංශවලට මුදල් වෙන් කිරීමේදී දෙවැනි ස්ථානයට ඇත්තේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයටය. එය දෙවැනි වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට පමණි. ආරක්ෂක අමාත්‍යංශය රුපියල් බිලියන 373ක් වෙන්කරන විට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයට බිලියන 329ක් වෙන්කර තිබේ.

බැසිල් මෙහෙම මුදල් වෙන්කර ඇත්තේ පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන්ට විමධ්‍යගත අරමුදල් වශයෙන් ලබාදීමට බව විපක්ෂය චෝදනා කරයි. ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ට වැඩිපුර ලැබෙන සේ මේ මුදල් ලබාදීමට විශේෂ ව්‍යාපෘති සඳහා එම අරමුදල් වෙන්කරන බව ආණ්ඩුව කියනු ඇත. එසේ බෙදාදෙන මුදල් 2022 පළාත් සභා මැතිවරණයේදී තුරුම්පුවක් කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කරන බව පැහැදිලිය. 2008දී මහින්ද තමන්ගේ නායකත්වය කෙරෙහි විශ්වාසය තබා ඡන්දය කළත් මේ පාර මුදල් පෙන්වා ඡන්දයට ඉදිරිපත් වීම රජයේ බලාපොරොත්තුව බව පෙනේ.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ඡන්ද කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව නියතයකි. මේ ක්‍රමය අනුව එහිදී ආණ්ඩුවේ අපේක්ෂකයන් නිසැකවම ඉදිරියෙන් සිටිනු ඇත. ඒ හැර ආණ්ඩුවට වෙනත් ප්ලස් පොයින්ට් නම් පෙනෙන තෙක් මානයක නැත. ගොවීන්, ගුරු-විදුහල්පතීන්, රාජ්‍ය සේවකයෝ, දූෂණ චෝදනා හේතුවෙන් ආණ්ඩුවට එරෙහි විරෝධයක් දැල්වෙමින් සිටින අවස්ථාවට පළාත් සභා ඡන්දයට යාමට සිදුවීම ආණ්ඩුව මුහුණ දෙන බරපතළම අභියෝගය වන බවට සැකයක් නැත. 

මේ වනවිට ආණ්ඩුවේ ප්‍රබලම හවුල්කාර පක්ෂය වන ශ්‍රීලනිපයේ දයාසිරි තමන් වයඹ මහඇමැති ධුරයට තරග කරන බව කල්තබාම ප්‍රකාශ කර තිබීමත් යෝෂිත හෝ රෝහිත හෝ තමන්ට අභියෝගයක් නොවන බවත් කියන්නේ කට කහනවාට විය නොහැකිය. දයාසිරි මේ අභියෝග කරන්නේ රාජපක්ෂලාටය. එහි අනෙක් අර්ථය පළාත් සභා ඡන්දයේදී එකඟත්වයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රීලනිපය වෙනම තරග කිරීමට ලොකු ඉඩක් පවතින බවය. එහෙම වුණොත් ආණ්ඩුව ලොකු අර්බුදයකට යනු ඇත.

එදා මහින්ද තමන්ට අවාසිදායක තත්ත්වයක සිට බය නැතුව උතුරුමැද පළාත් සභා ඡන්දය තියා එය දිනාගෙන රටටම පෙන්නුවේ රාජපක්ෂලාගේ පාලනයේ තිබෙන දේශපාලන හයියයි. එදා විපක්ෂයේ සිටියේ යූ.එන්.පී.යයි. මෙදා මහින්ද නැත. ඒ වෙනුවට ඉන්නේ ගෝඨාභය සහ බැසිල්ය. මෙදා විපක්ෂයේ රනිල්ගේ යූ.එන්.පී.ය නැත. ඒ වෙනුවට ඉන්නේ සජිත්ගේ ස.ජ.බ.ය. එදා මහින්ද කරල පෙන්නූ දේ මෙදා බැසිල්ලා කරලා පෙන්වා සජිත්ලාට තරු පෙන්වයිද යන්න පැවැසීමට තවම වේලාසන වැඩිය.

- ශශීන්ද්‍ර