2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 90

පැන්ඩෝරා පත්‍රිකා: බොරු නම් ගම් වැහි වහී

පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳ හෙළිදරව්වෙන් පසුව සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයේ වෙබ්අඩවිවල විවිධ පුද්ගලයන් එම පත්‍රිකාවලට සම්බන්ධ බවට සඳහන් කරමින් පළවන වාර්තාවලට පදනමක් නැතැයි එම හෙළිදරව්ව සිදු කළ අයි.සී.අයි.ජේ. ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංසදය ප්‍රකාශ කරයි. එම සංවිධානය මගින් තෝරාගත් මාධ්‍යවේදීන්ට සහ ආයතනවලට පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහසුකම් සලස්වා තිබුණත් ඊට අදාළ ලේඛන කිසිවක් මහජනතාවගේ පරිහරණය සඳහා නිකුත් කර නැත. මේ නිසා තම සංවිධානය මගින් හෙළිකර ඇති තිරුකුමාර් නඩේසන් යුවළගේ නම් හැර වෙනත් කිසිදු ශ්‍රී ලාංකිකයකුගේ නම් ප්‍රකාශයට පත් කර නැතැයි අයි.සී.අයි.ජේ. සඳහන් කරයි.

තම මාධ්‍යවේදී ජාලය මේ වසර අවසානය වන විට මීට අදාළ දත්ත යම් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරන බවත් එම තොරතුරු මහජනතාවගේ දත්ත තොරතුරු යාවත්කාලීන කිරීමට යොදවාගත හැකිවන බවත් සංසදය කියයි.

වට්ස්ඇප් ප්‍රධාන කර ගනිමින් විවිධ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන නම් අතරේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන්, සිවිල් සමාජ නායකයන්, අධ්‍යාපනඥයන්ගේ නම් පමණක් නොව පාතාල නායකයන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේත් ව්‍යාපාරිකයන්, නීතිඥයන්, සහ පූජ්‍ය පක්ෂයේත් නම් ගම් සඳහන් වෙයි. එසේම හිටපු ජනාධිපතිවරයකුගේ පුතකුගේ නමද මෙයට ඈඳා තිබේ. මේ කිසිදු නමක් ගමක් පැන්ඩෝරා පත්‍රිකා මගින් තහවුරු කර නැත.

- සන්ඩේ ටයිම්ස්

කෘෂි ඇමැති සහ පඹයෝ

මේ දිනවල රටේ වැඩිම වෛරයට සහ පහර ගැසීමට ලක්වන ඇමැතිවරයා වී සිටින්නේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාය. රට පුරා ගොවීන්ගේ කෝපය ඇවිස්සූ රසායනික පොහොර භාවිතය තහනම් කරමින් රජය මගින් ගනු ලැබූ මතභේදාත්මක තීන්දුවේ මතුපිට සිටින්නේ කෘෂිකර්ම ඇමැතිවරයා වීම ඊට හේතුව වී තිබේ.

ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළේ රට තුළ කිසිදු පොහොර හිඟයක් නැති බවය. එසේම පිටරටින් එක හාල් ඇටයක් හෝ ගෙන්වීමට අවශ්‍ය නැතැයිද කිව්වේය. මේ ප්‍රකාශ දෙකම ගොවීන්ගේ කෝපය ඉහළ දැමීමට හේතු විය. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය හමුවලදී කරන ප්‍රකාශවලට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් ගම් බිම් මට්ටමේ පවතින බව ගොවීහු පෙන්වා දෙති.

රජය මගින් දිගටම පවත්වාගෙන යන රසායනික පොහොර තහනම හේතුවෙන් රට පුරා පවතින ගොවි උද්ඝෝෂණ උත්සන්න වෙමින් පවතින අතර රජය මගින් පොරොන්දු වූ &කාබනික පොහොර* අවශ්‍ය තරම් ලබාදීමට අපොහොසත් වීමද එයට බලපා තිබේ. කාබනික පොහොර යොදා ගොවිතැන් කරන්නැයි රජය ප්‍රකාශ කළත් තමන්ට එම පොහොර හෝ නැතැයි ගොවියෝ තම උද්ඝෝෂණවලදී කියති.

මේ ගොවි උද්ඝෝෂණ බොහොමයක් මහින්දානන්ද ගමගේ ඇමැතිවරයාගේ පඹයකුට ගිනි තැබීමකින් හෝ පහරදීමකින් හෝ තොරව අවසන් නොවේ. සමහර උද්ඝෝෂණවලදී මේ දෙකම සිදුවෙයි. ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන නියෝජිතයන් සමඟ ඇමැතිවරයා ඉකුත් දිනක පැවැත්වූ සාකච්ඡාවේදී ඔහු තමන්ට එරෙහිව ගොවීන්ගේ කෝපය එල්ල වී තිබෙන බව ව්‍යාංගයෙන් පිළිගෙන තිබිණි. එසේ වුවද ඔහු තම ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවද දැඩිව කියා සිටියේ මෙසේය. මම ඉතිහාසයේ වැඩිම උදහසට ලක්වූ කෘෂිකර්ම ඇමැතිවරයා බවට පත්වෙලා ඉන්නවා. මගේ පඹයන් කොච්චර පිච්චුවත්, කොපමණ තඩිබෑවත් කමක් නෑ. මම මගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. මගේ අරමුණ ගොවීන්ගේ වකුගඩු ආරක්ෂා කර දීමයි.

චන්න ජයසුමන පත් කළ කමිටුව ජයසුමනගේ නම නිර්දේශ කරයි

ඖෂධ නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරකම් සොයා බැලීම සඳහා පත් කරන ලද පංච පුද්ගල කමිටුව මගින් එකී අධිකාරියේ පූර්ණ පාලන බලතල චන්න ජයසුමන යටතට පත් කළ යුතු බවට නිර්දේශ කර තිබේ. වර්තමානයේ ඖෂධ නියාමන අධිකාරිය පවතින්නේ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යටතේය.

චන්න ජයසුමන විසින්ම තෝරාගන්නා ලද එම කමිටුවේ අන්තර්කාලීන වාර්තාව සඳහන් කර ඇත්තේ ගැසට් නිවේදනවල පරස්පරතා පවතින බවත් විෂයන් සහ කාර්යභාරයන් ඉංග්‍රීසි පිටපතේ පැහැදිලිව සඳහන්ව තිබුණත් සිංහල පිටපතේ ඇතැම් කොටස් මඟහැර ඇති බවත්ය. ඉංග්‍රීසි සහ සිංහල පිටපත්වල පරස්පරතා පවතිද්දී පිළිගනු ලබන්නේ සිංහල පිටපත බවද පෙන්වා දී ඇති එම වාර්තාව එම පරස්පරතා මගහැරීම සඳහා සිංහල පිටපත සංශෝධනය කළ යුතු බවද පෙන්වා දී තිබේ. එය තවදුරටත් නිර්දේශ කර ඇත්තේ 2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව එම විෂයන් භාර රාජකාරි රාජ්‍ය ඇමැතිවරයා විසින් ඉටුකළ යුතු බවය. කෙසේ වුවද එම පනතේ 146 වැනි වගන්තියේ අර්ථකථනය අනුව ඇමැතිවරයාට සෞඛ්‍ය විෂයයන් භාර අතර අමාත්‍යාංශය යනු සෞඛ්‍ය අමාත්‍යාංශයයි.

පංච පුද්ගල කමිටුවට අයත් වූයේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන (සභාපතිනිය), මහාචාර්ය මනික් හෙට්ටිහේවා, ආචාර්ය උදය ශ්‍රී කාරියවසම්, ඒ.එච්. ගමගේ සහ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේය.

රාජ්‍ය ඇමැති චන්න ජයසුමන විසින් මේ කමිටුව පත් කරනු ලැබුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ හෙළිදරව්වෙන් පසුවය. අධිකාරියේ පරිපාලන ව්‍යුහය අප්‍රමාදව වෙනස් කළ යුතු බවද ඒ සඳහා පනත සංශෝධනය කර එම අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා රාජ්‍ය ඇමැතිවරයාට බලතල පැවරිය යුතු බවටද එම කමිටුව නිර්දේශ කර තිබේ.

- සන්ඩේ ටයිම්ස්