2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

පක්ෂ ඇතුළේ කචල් තියෙන්න ඕනෑ

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 62

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

  • ජනතාව බැන්නත් අංශක 180ක හැරවීමක් අද රටට අවශ්‍යයි
  • මට ඕනෑ ලොකු තැනක ලොකු ගේමක් දෙන්න
  • අවුරුදු හැටෙන් මම විශ්‍රාම යනවා
  • චමින්දයි - හේෂායි ඉන්න තැන තමයි මාත් ඉන්නේ
  • සජබ අලුත් වෙනසක් කළ හැකි පක්ෂයක්
  • අපි ඉල්ලනවා කිව්වොත් ආණ්ඩුව අද හෙට ඡන්දයක් තියන්නෙ නෑ
  • වාහන දාගෙන සිකුරිටි පුරෝගෙන යන ගමන තවදුරටත් ඕනෑ නෑ
  • ජනතාවගේ ඊළඟ තේරීම අපියි

 

 

 

 

 

ඔබ ජීවිතේ තීරණාත්මක සැත්කමකට පහුගිය කාලයේ මුහුණ දුන්නා. කොහොමද ඔබේ තත්ත්වය. දැන් හොඳයිද?

ජීවිතයේ කරපු විශාලතම ශල්‍යකර්මයක්. ජීවිතයේ වාසනාව තියෙනවා මාස පහක් ඇතුළත දෙවතාවක් එකම ශල්‍යකර්මයට මුහුණ දීලා හොඳින් ඉන්න. කොහොම වුණත් දැන් මගේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබිලා තියෙනවා.

අපි දැක්කා රෝහලේ ඉන්නකොට අමුතු අමුතු අදහස් ටිකක් මුහුණු පොතේ දාලා තිබුණා?

මට ඇත්තටම ඒ වෙලාවේ ඕන වෙලා තිබුණේ ජීවිතේ ගැන මිනිස්සුන්ට අරුතක් ලබාදෙන්න. ජීවිතේ සමහර කාලවලදී ජීවිතේ දැනෙන විදිහ වෙනස්. ජීවිතේ කියන්නේ අපිට අයිති දෙයක් නෙමෙයි. ඇතිවෙනවා නැතිවෙනවා. අපිට තනියම ඉන්නකොට ඒවා දැනෙනවා වැඩියි. ඒ වගේ   වෙලාවක තමයි ඒවා දැම්මේ.

දැන් ඔබට පුළුවන් වුණා පෞද්ගලික රෝහලකට වෙලා ප්‍රතිකාර ගන්න. ඔබ කිව්වා එහෙම තනිවෙලා ඉන්න වෙලාවේ ජීවිතේ ගැන ගොඩක් හිතුවා කියලා. ඔබට ජනතාව මතක් වුණේ නැද්ද?

ඇත්තටම ඒක ගැන හිතුවා. බදුල්ලෙදී මට මේ සිද්ධිය වුණා නම් මම මොකද කරන්නේ කියලා හිතුවා. මම 2015 මහ මැතිවරණයේදී මේ විෂයම කතා කළා. මම කිව්වා ඔබලට හාට් ඇටෑක් එකක් හැදුණොත් එක්කෝ කරාපිටියට, නැතිනම් නුවරට, එහෙමත් නැතිනම් කොළඹට ගේන්න ඕන. බදුල්ල රෝහලේ කළේ බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගහලා පෙත්තක් දිව යට තියාගන්න දුන්න එක විතරයි. කැත් ලැබ් එකක් බදුල්ලට තිබුණේ නෑ. ඌව පළාතේම නෑ. මම එදා පොරොන්දු වුණා ඒක ගේනවා කියලා. ඒ වගේම කිව්ව විදිහට 2018 දී මම බදුල්ලට ගෙනාවා ඒ පොරොන්දුව. ඒ විතරක් නෙමෙයි. මට ප්‍රතිකාර ගන්න රක්ෂණයක් තිබුණා තාත්තා දාලා. ඒත් සාමාන්‍ය මිනිහට නෑ ඒවා.

ඒවා ඔබලට ජනතාවට දෙන්න පුළුවන් දේවල්?

ඔව්. මම තීරණය කළා නැවත මට පර්මිට් එකක් ලැබුණොත් ඒක විකුණලා එන්ජිඕග්‍රෑම් කරන්න පදනමකට දාන්න. ඒවා මගේ ඉෂ්ඨ කරන පොරොන්දු. මගේ බලාපොරොත්තුව තමයි හැම රෝහලකටම කැත් ලැබ් එකක් ලැබෙන එක. ඒ වගේම රක්ෂණයක් දෙන එක. මේ දේවල් ගැන හිතලා මගේ ජීවිතේ මම ගොඩක් දේවල් වෙනස් කර ගත්තා.

මේ දේවල් 70 ගාණක දේශපාලනය තුළ වෙලා නෑ. ඔබලා හිටියත් වෙලා නෑ. හිතෙන්නේ නැද්ද ජනතාවගේ බොහෝ අඩුපාඩු මේ දේශපාලනයට මගහැරිලා කියලා?

ඇත්ත. මම බදුල්ලෙන් ගම්පහට ආවේ විශාල ජනතාවකට සේවය කරන්න. ඒ වෙනුවෙන් පොඩි ඇමැතිකමක් අරන් බෑ. මට යහපාලන ආණ්ඩුවේ හම්බවුණේ ජනතාවට සේවය කරන්න පුළුවන් අමාත්‍යංශයක් නෙමෙයි. මට ඇත්තටම කැපවීමක් තියෙනවා ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න. ඔබට තේරෙන්න ඇති මට සෞඛ්‍ය පැත්තෙන් කරන්න ඕන වුවමනාව කොච්චරද කියලා. හැබැයි මම හිතුවට වඩා ගොඩක් දේවල් ජනතාවට කරලා තියෙනවා. ඒවා මට මගේ ඇස්වලට පේනවා.

බදුල්ලේ මිනිස්සු අමතකද?

නෑ. හරීන් ගම්පහ ආවා කියලා බදුල්ලේ මිනිස්සු දුක් වෙන්න එපා. මට ඕන ලොකු තැනක ලොකු ගේමක් දෙන්න. ඒ ගේම ගැහුවම මම බදුල්ලේ ජනතාව බලාගන්නවා.

බදුල්ලේ ජනතාව දාලා හරීන් ගම්පහ එන්න ලොකුම හේතුවක් ඇතිනේ?

ගම්පහ කියන්නේ මේ රටේ මතයක් වෙනස් කරන්න පුළුවන් ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක්. ගම්පහ දිනන පක්ෂය රටේ ජයග්‍රහණය කරන පක්ෂය බවට ඉතිහාසයක් තියෙනවා. මට එදා ඉඳලා වුවමනාවක් තිබුණා බැසිල් රාජපක්ෂ වගේ අය ඉන්න පැත්තකට අභියෝග කරන්න. ලක්ෂ හයක ඡන්ද තියෙන පැත්තකට කොළඹ ඉඳලා යන්න පැය පහක් හයක් යනවා. ඒ දේවල් එක්ක මට ඊට වඩා මෙහෙයුමක් කරට වැටිලා තියෙන්නේ. මම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානියා වගේම උප සභාපති. ඒ නිසා මට වුවමනාවක් ආවා මගේ වයසත් එක්ක ගහනවා නම් හරි තැනකට ගේම ගහන්න ඕන කියලා. ලක්ෂ හයක් තියෙන බදුල්ලට වඩා ලක්ෂ 17 ක් ඉන්න ගම්පහ ඇතුළේ මට විශාල වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

ඒ කියන්නේ මේ එන්නේ ලොකූ ගමනක් යන්න?

මෙහෙමයි. ලොකූ බලාපොරොත්තු නෑ. මම කොහොමත් අවුරුදු 60න් විශ්‍රාම යනවා. ඒක මගේ පොරොන්දුවක්. මට එහෙම ඉන්න හීන නෑ.

ඇත්තද ගම්පහට ආවේ බස්නාහිර පළාතම අල්ලන්න කියන්නේ?

බස්නාහිර පළාත කියන්නේ රටේ වැඩිම ජනතාවක් ඉන්න පළාත. සියලු ප්‍රදේශවලට විතරක් නෙමෙයි රටටම හයිය දෙන්නේ බස්නාහිර පළාත. ගම්පහ දිස්ත්‍රික්කය බස්නාහිර පළාතට අහුවෙනවා. මම දන්නවා ඔබ අහන්න යන ප්‍රශ්නය.

ඔව්. මම අහන්නේ මහ ඇමැති අපේක්ෂක නේද?

දැනට ඒක ඔළුවේ තියෙනවා. බස්නාහිර පළාතට යම් නායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒකට මම කිසිම පසුබටවීමක් වෙන්නේ නෑ. හැබැයි අපි ඉල්ලනවා කිව්වොත් එයාලා අද හෙට ඡන්දය තියන්නෙත් නෑ.

හරීන් කියන්නේ හරියට නිකම් හෙන ගහද්දී එළියට දාන යකඩේ වගේ නේද? බලෙන් දානවද? කැමැත්තෙන් එනවද එළියට?

මම කැමැත්තෙන් එළියට බහින්නේ. මොකද මම දේශපාලනය කරන්න ඕන කාලය ගැන තීරණ අරන් ඉන්නේ. එතනින් එහාට කරන්නේ නෑ. ඒක මේ කාටවත් අපහාසයක් නෙමෙයි. ඒ නිසා මම එන එන අභියෝගවලට මුහුණ දෙනවා. මොකද අද අපි හිතන්න ඕන 1990 මෙහාට ඉපදුණු තරුණයන්ගේ සිතුම් පැතුම්. ඒ අය තමයි මේ රට ඉදිරියට අරන් යන්නේ. ලංකාව ගැන ඉදිරියේ තීරණ ගන්නේ. ඒ නිසා කොච්චර හොඳ දේශපාලකයෙක් වුණත් නියමිත කාලයෙදී ගෙදර යන්න ඕන. නමුත් දැන් වෙන්නේ ඉන්න එකා ගෙදර යවාගන්න බෑ. ඒ නිසයි පක්ෂ ව්‍යවස්ථාව කොහොම වුණත් මම ඒ වෙනුවෙන් තීරණයක් ගත්තේ.

අපි දන්නවා වත්තල ආසනය කියන්නේ ජෝන් අමරතුංග මහත්තයගේ නිජභූමිය. ඔබත් එජාප‍යෙන් එළියට ඇවිත් එජාපයේම බහුතර ජනතාවකගේ නියෝජනය කිරීමක්. ඔබට හිතෙනවද එජාපයේ ජෝන් අමරතුංග එක්ක ලේසි වෙයි කියලා වත්තල දිනන්න?

ජෝන් අමරතුංග මහත්තයා ඉදිරියට දේශපාලනය කරයිද නැද්ද කියලා මට විශ්වාසයක් නෑ. හැබැයි ජෝන් අමරතුංග මහත්තයගේ අවුරුදු 42ක දේශපාලන ජීවිතේ තුළ වත්තල ආසනයට කාර්යාලයක්වත් තිබිලා නෑ. එතුමා පාර්ලිමේන්තු එන්නේ 1978. වත්තල ආසනයේ වැඩ බාරගන්නේ මගේ උපන් දවසෙදී. ඔක්තෝබර් 28. එහෙම බලද්දී අද අවුරුදු 42කට පස්සේ තමයි අවුරුදු 42 මිනිහෙක්ට වත්තල ආසනය ලැබෙන්නේ. මමත් වයසට යනකල් හිටියොත් කාටවත් ඔතනින් උඩට එන්න වෙන්නේ නෑ. කොහොම වුණත් මට වත්තල ආසනයේ අයිතියක් තියෙනවා. ඒ මගේ සීයා බොනිපස් ප්‍රනාන්දු ව්‍යාපාරිකයෙක් හැටියට එජාපයට උදව් කළ කෙනෙක්. ඔහු මිය යන්නේ 42 දී හෘදයාබාධයකින්.

ඔබට තියෙනවා හීන ලෝකයක්. ඒත් ඔබ නියෝජනය කරන්නේ සාම්‍ප්‍රදායික පක්ෂ දේශපාලනය. ඔබේ හීනයයි, මේ පක්ෂ දේශපාලනයයි එකට ගෙනියන්න පුළුවන්ද?

ඒකට කාලය විසින් උත්තර ලබා දෙයි. මම සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක කතා කළා. මම කිව්වා ඔහුට ජනතාව බලාපොරොත්තු වෙන වෙනස. ඒකට මිනිස්සු බණින්න පුළුවන්. ඒත් අවශ්‍යයි අංශක 180ක හැරීමක්. වෙනස් වූ දර්ශනයක් මේ තරුණ තරුණියන් බලාපොරොත්තු වෙනවා. ඒ අදහස් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා කිසිදු විටෙක ගැටිලා නෑ. කොහොමත් සජබය කියන්නේ අලුත් වෙනසක් කරන්න පුළුවන් පක්ෂයක්. අලුත් කණ්ඩායමක් ඉන්න පක්ෂ‍යක්.

එතුමා එක්ක ගැටුමක් ඇත්තෙම නෑ?

තියෙනවා. ඒ එක එක මතවාද එක්ක. විශේෂයෙන් අපි කියන්නේ ජනතාවට නිකම් බඩු දෙන ක්‍රමය ගැලපෙන්නේ නෑ කියලා. කොහොම වුණත් සජිත් ප්‍රේමදාසට විරුද්ධව යෝජනාවක් සම්මත වුණත් එතුමා කවදාවත් ඒකට විරුද්ධව කතා කරලා නෑ.

ඔය බලාපොරොත්තු වෙන දේවල් කරන්න පුළුවන්ද? ඒ පොරොන්දු ඉෂ්ඨ කරනවද?

ඔව්. ඒ වෙනුවෙන් හරීන් පෙනී ඉන්නවා. වාහන දාගෙන සිකුරිටි පුරෝගෙන දඟලන මෝඩ සංස්කෘතියක් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ දේවල්වලින් පවා වෙනස් වෙන්න ඕන.

ඒවා කර ගන්න බැරි වුණොත්?

මම හිතනවා පුළුවන් වෙයි කියලා. බැරිම වුණොත් මගේ මතය තියෙන කණ්ඩායමක් එක්ක ඉස්සරහට යනවා.

දැන් ඔබ ඔය කියන පක්ෂ වෙනස තමයි පහුගිය ටිකේ හේෂා විතානත්, චමින්ද විජේසිරිත් කතා කළේ. අවසානයේ පක්ෂයේ තනතුරුවලින් පවා ඉවත් වුණා. මේක අවසානයේ ඡන්දදායකයට යන්නේ පක්ෂ ඇතුළේ කචල් කියලා. ඇත්තටම පක්ෂය ඇතුළේ අවුල් නේද?

පක්ෂ ඇතුළේ කචල් තියෙන්න ඕන. එහෙම නැතුව බෑ. කියන හැමදේටම යස් සර්, නෝ සර් කියන සංස්කෘතියක් ඕන නෑ. දැන් ඔය පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රී කෙනෙක්ට පුළුවන්ද ජනාධිපතිට කතා කරලා දෙයක් වෙනස් කරන්න කියන්න. බෑ. චූ යනවා. එහෙම නායකයෝ ඕන නෑ. අඩුම ගානෙ පක්ෂ ඇතුළේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ නම, පළාතවත් දන්නේ නැතුව ඇති වර්තමාන ජනාධිපති. ඒ නිසා චමින්ද සහ හේෂා ඉන්න තැන තමයි මමත් ඉන්නේ.

ඔවුන් දෙන්නා වැරදි නැද්ද?

මම ඒ දෙන්නට වැරදි කියන්නේ නෑ. ඔවුන් දෙදෙනා තරුණ ඉතාම දක්ෂ දෙන්නෙක්. ප්‍රහාරාත්මක දෙන්නෙක්. අපේ පක්ෂයේ පොඩි අවුලක් තියෙනවා සමහර ප්‍රශ්න සමහර මන්ත්‍රීවරු අතරට යන්නේ නෑ කියලා. ඒ නිසා නායකතුමාට යම් යම් දේවල් මන්ත්‍රීවරු එක්ක කතා කිරීමේ අවස්ථා මග ඇරෙනවා. අන්න ඒ අතපසුවීම වෙන්න පුළුවන් මේ දේත්. ඔවුන් දෙන්නට දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයකුත් තිබුණා. ඒකත් වෙන්න ඇති මේ ප්‍රශ්නයට. කොහොම වුණත් ඔවුන් දෙන්නා පක්ෂය අතඇරලා යන දෙන්නෙක් නෙමෙයි. ඒ වගේම මේ ප්‍රශ්නය විසඳන්න නායකතුමා මැදිහත් වෙයි.

දැන් සාමාන්‍යයෙන් ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්න ජනතාවට විකල්පයක් හැටියට විපක්ෂය තෝරගෙන ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවද?

මෙහෙමයි. ආණ්ඩුවට ඡන්දය දුන්න මිනිස්සුන්ට අමුතු අමුතු හැඟීම් ඉස්මතු වෙන්න පුළුවන් දැන්. ලජ්ජාව, එපාවීම, ඔවුන් කළ වරද නිසා රටට වෙලා තියෙන දේ ගැන එහෙම කලකිරිලා ඇති. ඒ අය දැන් කියන්නෙ අපිට ඔය දෙගොල්ලොම එපා කියලා. ඒ අර තුන්වැනි පාර්ශ්වයේ ප්‍රචාරණයක්. හැබැයි අපි දන්නවා ඡන්දයකදී තුන්වැනි පාර්ශ්වයට ලැබෙන ඡන්ද අඩුයි. ඒ නිසා ඔය එහෙම කියන අයගේ ප්‍රධාන හේතුව තමයි එක පාර පක්ෂය මාරු කර ගන්න බැරි අවුල. ඒ නිසයි තුන්වැනි පාර්ශ්වයක් ගැන කියන්නේ. හැබැයි ඒවා වැඩක් නෑ ලෝකයට යන්න. ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්න හැකියාව තියෙන්නෙ ප්‍රධාන පක්ෂ දෙකට විතරයි. ඒ නිසා ජනතාව දැන් තෝරගන්න ඕන හොඳම කණ්ඩායම අපි.

 ගයාන් ගාල්ලගේ