යුගදනවි රටට ලැබුණු විශිෂ්ට ආයෝජන අවස්ථාවක්
- ලංවිම නිලධාරීහු
යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම විකිණීම නිසා ලංවිම - වරාය සහ තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයට එරෙහිව අවි අමෝරාගෙන සටන් වැද සිටී. ඒ අතරවාරයේ ජනාධිපති මාධ්‍යස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවක් තබමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතාද ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් ප්‍රකාශ කළේ යුගදනවි - නිව්ෆෝට්‍රස් ගිවිසුම රටට ලැබුණු විශිෂ්ට ආයෝජන අවස්ථාවක් බවය.
අනාගතයේදී අඛණ්ඩ විදුලිය සැපයුමක් රටට ලබාදීම සහතික කිරීම සඳහා බලශක්ති උත්පාදන ක්‍රමවේද උසස් තත්ත්වයකට ගෙන ආ යුතු බවත් ඒ සඳහා නව සංකල්ප සහ නව තාක්ෂණය හඳුන්වා දිය යුතු බවත් ලංවිම සභාපතිවරයා එහිදී සඳහන් කළේය. ලෙකෝ සභාපති අතුලද සිල්වා ප්‍රකාශ කළේ යුගදනවි අයෝජන ව්‍යාපෘතිය දේශීය සහ විදේශීය කර්මාන්තකරුවන්ට අඩු පිරිවැයකට විදුලිය ලබාදීමට පහසුකම් සපයන බවය.
ලංවිම ඉහළ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ කාර්යක්ෂම බලශක්ති උත්පාදන ක්‍රමවේද යොදාගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් විදුලිය බිල ඉහළ යාම වළක්වා ගැනීමට කිසිදු හැකියාවක් නැතිවන බවය.
යුගදනවි බලාගාරය හරහා බලශක්තිය ලබාගැනීම රජයටත් රටේ ජනතාවටත් ලාබදායී ව්‍යාපෘතියක් බවද මේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
යුගදනවි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ට ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ලංවීම වෘත්තීය සමිති නියෝජිතයන්ට අවස්ථාව ලබාදුන්නේදැයි මාධ්‍යවේදීන් කළ විමසුමකදී ලංවිම සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා සඳහන් කළේ එවැනි සාකච්ඡාවක් සඳහා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බවය. මේ ව්‍යාපෘතියට විරෝධය පළකරන ඕනෑම පාර්ශ්වයකට ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියා පිළිවෙළ සහ එයින් ලැබෙන වාසි සම්බන්ධයෙන් විස්තර ලබාදීමට තමන් සූදානම් බවද ඔහු කීය
- ඩේලි එෆ්.ටී
කලකිරී සිටින කාදිනල්තුමන්ට රජයේ මන්ත්‍රීගෙන් නිහඬ පිළිතුරක්!
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ &සැබෑ මොළකරුවන්* සොයා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් රජය කතෝලික පල්ලියේ ප්‍රබල විවේචනයට ලක්වෙමින් සිටී. වසර දෙකකට ඉහතදී 300කට අධික පිරිසකට මරු කැඳවමින් සිදුවූ එම ප්‍රහාරයට ගොදුරු වූයේ පල්ලිවලට එදින පැමිණ සිටි කතෝලික බැතිමතුන්ය.
මෑත කාලයේදී මැල්කම් රන්ජිත් කාදිනල්තුමා ඒ පිළිබඳව තම බලවත් කලකිරීම අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළ අතර රජය තම පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් රජයට තමන්ගේ කනස්සල්ලද පළ කළේය.
පසුගිය සිකුරාදා දිනයක (29) කතෝලික රදගුරු සමුළුව කැඳවනු ලැබූ අතර රටපුරා රදගුරුතුමන්ලා 13 දෙනෙක් ඊට සහභාගි වී සිටියහ. එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම කතෝලික මන්ත්‍රීවරුද මේ සඳහා ඇරියුම් ලැබ සිටියහ. ඒ අනුව පැමිණ සිටි මන්ත්‍රීන් පිරිස 05 දෙනෙකු වූ අතර රජය නියෝජනය කරමින් සිටියේ දෙදෙනෙකු පමණි. ඉතිරි තිදෙනා විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු වූහ. රජය පාර්ශ්වයෙන් පැමිණි එක් මන්ත්‍රීවරයකු වූයේ රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාය.
මේ සමුළුව පැවැත්වූයේ සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සී.අයි.ඩී.යට කැඳවූ දිනට පසුදිනයේය. රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී විසින් පියතුමන්ට එරෙහිව කරන ලද පැමිණිල්ලක් මත මේ කැඳවීම සිදුකර තිබිණි.
රදගුරු සමුළුව අවධානය යොමුකළ ප්‍රධාන කරුණු 03ක් තිබිණි. &එක රටක් - එක නීතියක්* සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම, පාස්කු ප්‍රහාරය විමර්ශනය සඳහා පත්කෙරුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ මීගමුව තෙත් බිම් කලාපය වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉවත්කොට ජනාධිපති යටතේ පවතින විෂයක් වන නාගරික අධිකාරිය යටතට පවරා ගත් ගැසට් නිවේදනය පිළිබඳව සාකච්ඡා කිරීම එම කරුණු තුන විය.
එහිදී ඒකමතිකව තීන්දු කෙරුණේ ඥානසාර හිමියන්ගේ පත් කිරීම නොපිළිගැනීමටත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ අතරින් තෝරාගත් කිහිපයක් පමණක් ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සියලු නිර්දේශ ක්‍රියාත්මක කළයුතු බවත්ය. එහි එක් නිර්දේශයක් වන්නේ මුස්ලිම් තරුණයන් අන්තවාදී ස්ථාවරයකට තල්ලු කිරීමට අනුබලයක් ලැබෙන සේ කටයුතු කිරීමේ වරදට අපරාධ චෝදනා යටතේ ඥාණසාර හිමියන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවය.
මීගමුව තෙත්බිම් යළිත් වනජීවී දෙපාර්තමේන්තුව යටතට පත් කරන්නැයි ඉල්ලීමක් කිරීමටද තීරණය විය. මීළඟට ගතයුතු පියවර පිළිබඳ ප්‍රශ්න කෙරුණු අවස්ථාවේ එක් යෝජනාවක් වූයේ මේ පිළිබඳව විරෝධය පළකර ජනාධිපතිවරයාට ලිපියක් යොමුකළ යුතු බවය. එහෙත් කාදිනල්තුමා පැවසුවේ ජනාධිපතිවරයාට ලිපි යැවීමෙන් තමන් වෙහෙසට පත්වී සිටින බවය. ඇතැම් ලිපි ලැබුණු බවට හෝ දැනුම් දීමක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට නොලැබුණු බවද කාදිනල්තුමෝ සඳහන් කළහ. තමන් මෙතෙක් යවා ඇති ලිපි එකතුකර පොතක් සම්පාදනය කළ හැකි බවද කාදිනල්තුමා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සියලු සාකච්ඡාවලට කන් දී සිටි රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා සඳහන් කළේ කතෝලික පූජ්‍ය පක්ෂයේ අවශ්‍යතා පිළිබඳව තමන්ට අවබෝධයක් තිබුණත් අතිගරු ජනාධිපතිතුමන් ගන්නා තීන්දුවලට හෝ ලබාදෙන නියෝගවලට හෝ තමන්ට විරුද්ධ විය නොහැකි බවය. ඔහු එහිදී ඉඟිකළේ තමන්ට මේ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ නොහැකි බවය.
කාදිනල්තුමන් එහිදී ලාන්සා ඇමැතිවරයාගෙන් විමසුවේ මේ කරුණු පිළිබඳව රජය සමඟ සාකච්ඡා කර ඔවුන් දැනුවත් නොකිරීම තමන්ට ඡන්දය ලබාදී පාර්ලිමේන්තුවට පත්කළ තම ආසනයේ ජනතාවට පිටුපෑමක් නොවේද කියාය. රාජ්‍ය ඇමැතිවරයාගේ පිළිතුර වූයේ දැඩි නිහඬතාවක් පමණි.
- සන්ඩේ ටයිම්ස්