විදෙස් ණය බර පසුබිමේ සිදු කළ මුදල් ඇමැතිගේ අයවැය කතාව
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කලින්ම ප්‍රකාශ කළ පරිදි 2022 අයවැය සභාගත කෙරුණේ ආර්ථිකය බරපතළ පිරිහීමක, අඳුරු අනාගතයක සහ විදෙස් ණය ගෙවාගැනීමේ අධික අවදානමකට ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බවට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් දැඩි ලෙස අනතුරු අඟවා සිටින පසුබිමකය.
අමාත්‍ය බැසිල් එදින තම ප්‍රථම අයවැය කියවීම ආරම්භ කරන විට සභාගැබ තුළ කැපීපෙනුණු සිදුවීම් කිහිපයක්ම තිබිණි. කර්මාන්ත ඇමැති විමල් වීරවංශ සභාගැබේ සිටියේ නැත. ඔහු විදෙස්ගතව සිටි බව සඳහන් වුවද ජනාධිපතිවරයා විසින් කලින්ම නියෝග ලබා දී තිබුණේ ආණ්ඩු පක්ෂයේ සෑම මන්ත්‍රීවරයකුම අයවැය දිනවලදී විදෙස්ගත වීමෙන් වැළකී සිටිය යුතු බවටය. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැමිණියේ ප්‍රමාද වීය. එසේ පැමිණ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉදිරිපෙළ ආසනයක වාඩි විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ ද අයවැය ප්‍රකාශය අරඹන විට සභාගැබේ නොසිටියහ.
පස්වරු 3.25 පමණ වන විට වෙහෙසට පත්වූ බවක් පෙන්නුම් කළ මුදල් අමාත්‍යවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා සිටියේ වාඩි වී කතාව කරගෙන යාමට ඉඩ දෙන ලෙසටය. ඔහුගේ ආසනයට යාබද ආසනයේ සිටි ප්‍රවාහන ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි නිතරම තම මුවවැස්ම ඉවත් කර නාසය පිසදමමින් සහ වතුර බොමින් සිටි බව දැකගත හැකි විය. මුදල් අමාත්‍යවරයා විඳින දුෂ්කර තත්ත්වය දැකගත් කතානායකවරයා විනාඩි 10ක කෙටි විරාමයක් ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යවරයාගේ අයවැය කතාව පැය දෙකකට අධික කාලයක් පැවැති අතර ඒ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තොරවය. එය පසුව සභාගත කරන බව මුදල් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට පැමිණි සියලුම රජයේ නිලධාරීන්ට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ මාධ්‍යවේදීන්ට අයවැය කතාව ආරම්භයට පෙර ඇන්ටිජන් ටෙස්ට්වලට පෙනී සිටින ලෙසට උපදෙස් ලබා දී තිබිණි. මහජන ගැලරියේ අසුන් ගැනීමට අවසර ලබා දී තිබුණේ විදෙස් තානාපතිවරුන්ට පමණි. රටේ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මේ පියවර ගෙන තිබිණි.
අයවැය කතාවකදී පළමුවරට සංඥා භාෂාවෙන් කතා කරන භාෂා පරිවර්තකයකුගේ සේවය ලබා දී තිබීමද කැපී පෙනිණි. එය ශ්‍රවණ ආබාධවලින් පෙළෙන ප්‍රජාවගේ යහපත සඳහා හැකි සෑම අවස්ථාවකදීම මෙම පියවර ගැනීමට ජනවාරි මාසයේදී රජය ගත් තීරණයක යහපත් ප්‍රතිඵලයක් විය.
බන්දුලගේ මැදමුලන කතාව විහිළුවක්ද?
මේ අතර ඊට පසුදින වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී රට මුහුණදෙමින් සිටින ආර්ථික දුෂ්කරතා රාශියක් පිළිබඳ දැඩිව අදහස් දැක්වීය. ඔහු එහිදී ප්‍රකාශ කළේ ණය බර කළමනාකරණය කිරීමටත් ආදායම් මාර්ග වැඩිපුර ඇතිකර ගැනීමටත් කටයුතු කර ජනතාවට වඩාත් සහන ලබාදිය යුතු බවය. තම කතාව වඩාත් විචිත්‍ර ලෙස කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවුලේ උපන් ගම ද ඔහු උදාහරණයකට ගත්තේය.
අපි කැමැතියි රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වර්ධකයක් ලබා දෙන්න. ඒ වුණත් අපි කොහෙන්ද ඒකට මුදල් සොයා ගන්නේ. අපට මැදමුලනෙන් මුදල් අරන් ඒ අයට දෙන්න පුළුවන්ද? බැහැ. ඒක අපට කරන්න බෑ. අපි වෙනත් ආදායම් මාර්ග සොයාගත යුතු වෙනවා. ඔහු කීය.
ඔහුගේ එම උපහාසාත්මක ප්‍රකාශය එතැන සිටි පිරිසට එතරම් දිරෙව්වේ නැත.
- සන්ඩේ ටයිම්ස්
රසකැවිලි නිපැයුම්කරුවෝ රට හැර යාමේ සූදානමක!
නිෂ්පාදන වියදම් දැරිය නොහැකි ආකාරයට ඉහළ යාම හේතුවෙන් මෙරට රසකැවිලි නිෂ්පාදකයෝ විදෙස් රටවලට තම නිෂ්පාදනාගාර රුගෙන යාමට සැලසුම් කරමින් සිටිති. අධික පිරිවැය පමණක් නොව අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා ද මේ තීන්දුවට හේතු වී තිබේ. එසේම තම ගැටලුවලට 2022 අයවැය යෝජනා තුළින් ද විසඳුමක් නොලැබීමද මේ තීන්දුවට තවත් හේතුවකි.
ශ්‍රී ලංකාවේ රසකැවිලි නිපැයුම් කර්මාන්තය වාර්ෂිකව ඩොලර් මිලියන 150 – 200ක ආදායමක් උපයයි. තමන්ට කොතරම් ඇනවුම් ලැබුණත් ජාත්‍යන්තර වෙළෙඳපොළට තම නිපැයුම් සඳහා තරගකාරී මිලක් ලබාදීම ඉතා දුෂ්කර වී ඇතැයි නිෂ්පාදකයෝ කියති. මාස 06ක් තුළදී අමුද්‍රව්‍ය මිල ගණන් 10 – 20%ක ප්‍රමාණයකින් ඉහළ යාම ඒ සඳහා දැඩි බලපෑමක් එල්ල කර තිබේ. තම මිල ගණන් සම්බන්ධයෙන් ගැනුම්කරුවන්ට තවදුරටත් හෙට්ටු කිරීම කළ නොහැකි බවද පවතින තත්ත්වයන් යටතේ තම මිල ගණන්වලට වඩා අඩු මිලකට රසකැවිලි ලබාදීමට සැපයුම්කරුවන් ජාත්‍යන්තරයේ සිටින බවද ඔවුහු පෙන්වා දෙති. ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එස්.ඩී. සූරියකුමාර් මේ තොරතුරු හෙළි කළේය.
දේශීය නිපැයුම් නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් අපනයන ඇනවුම් ලබාගැනීම අහිමිවන තත්ත්වයක් උදා වී තිබේ. මේ හේතුවෙන් මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය සහ බංග්ලාදේශය වැනි රටවල්වලට තම නිෂ්පාදනාගාර ගෙන යාම සම්බන්ධයෙන් ඔවුහු සලකා බලමින් සිටිති. එසේ වුවහොත් එම කර්මාන්තයෙන් යැපෙන 5,50,000කට පමණ තම ජීවනෝපායන් අහිමිවීම වැළැක්විය නොහැකි වනු ඇත.
අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් දැනට සිදුකෙරෙන නිපැයුම් බොහොමයක් නිෂ්පාදනයෙන් ඉවත් කිරීමටද එම සමාගම් සලකා බලමින් සිටී.
- ඩේලි එෆ්.ටී.