2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

හොරා කාපු ධනය අපේ ආණ්ඩුවකින් පවරා ගන්නවා

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 145

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති  - කේ.ඩී. ලාල්කාන්ත

  • විපක්ෂය හදිසි වුණොත් මර්දනයට ලේසියි
  • චම්පිකල වෙනම ඡන්දෙ ඉල්ලන්නයි හදන්නෙ
  • අලුත් බලවේගයක විලිරුදාව ජනතාවට දැනෙනවා
  • සජිත්ගෙ සැලැස්මත් අඩාල වුණා
  • අපට අවුරුදු පහක් දීල බලන්න
  • මම ඇමැති කාලෙ කිසි කෙනෙක් හොරකම් කළේ නැහැ

විපක්ෂයට විවිධ භූමිකා තියෙනවා. සමහර අය පාරට එනවා. සමහර අය පාර්ලිමේන්තුවේදී වාග් ප්‍රහාර එල්ල කරනවා. ඒ හැමදෙයක්ම ජනතාව වෙනුවෙන්. ඒත් ඉතිහාසයේ කවදාවත් නැතුව මේ ආණ්ඩුව විවිධ අඩුපාඩු මැද යනකොට විපක්ෂය ඊට ප්‍රහාරාත්මක වෙන්න ශක්තියක් නෑ වගේ පේනවා ඒ ඇයි?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට එන්නේ ජනතාවට දේශපාලනඥයෝ එපාවෙලා තියෙන මොහොතක. ඒ නිසා තමයි සිවිල් පුරවැසියෝ කීපදෙනෙක් ඒ වතාවේ ඉල්ලුවේ. අවසානයේ ගෝඨාභය මහත්තයා දින්නා ලොකුවට. එතකොට ඒ දින්නයින් පස්සේ  විපක්ෂයේ භූමිකාව පටන් ගන්න ටිකක් කල් යනවා. ආණ්ඩුව සමඟ කලකිරීමෙන්. ඒ නිසා විපක්ෂයේ අරගලය ඉක්මන් වුණොත් ආණ්ඩුවට මර්දනය කරන්න ලේසියි. ගෝඨාභය රාජපක්ෂටත් ඒ කාලය දෙන්න ඕනමයි.

එතකොට තවම කාලය උදාවෙලා නැද්ද විපක්ෂයේ භූමිකාවට?

මේ වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහත්තය තුළින් ජනතාව බලාපොරොත්තු වුණ දේ මුලුමනින්ම බිඳ වැටිලා තියෙන්නේ. ඔහුව බලයට ගේන්න උදව් කළ ස්වාමින් වහන්සේලා විද්වතුන් පවා දැන් ඉවත් වෙලා යනවා. දැන් ඒ බලවේග නෑ. ඒ සියලු දෙනාම ආණ්ඩුව විසින් ගොඩනගපු හැම ප්‍රශ්නයකට එරෙහිව පවා හිටගත්තා ජනතාව එක්ක. දැන් ඒ සියලු දේවල් වැටීගෙන යනවා. එවැනි තත්ත්වයක් තුළ දේශපාලන ක්‍රියකාරකම් අවශ්‍ය නෑ. ඒවා ඉදිරියට එන්න ඕනත් නෑ.

හැබැයි මොනදේ කිව්වත් විපක්ෂයට ඊළඟ බලය ලබා ගැනීමේ සැලැස්මක් පේන්න නෑනේ ජනතාවට?

සජිත් එජාපය කඩාගෙන ජනාධිපතිවරණයෙන් පස්සෙ එළියට ආවට ඔහු ගෙනාපු සැලැස්ම සම්පූර්ණයෙන් අඩාල වුණා. සජිත් හිටියේ ජනාධිපතිවරණයෙන් පස්සේ මුළු එජාපයම තමන්ගේ අතට ගන්න පුළුවන් වෙයි කියන අදහසක. එය පරාද වුණා වගේම ඒ සැලැස්මත් මුළුමනින්ම අඩලා වුණා. ඒ නිසා සජිත්ගේ අසාර්ථකත්වය ඇතුළේ නිල විපක්ෂයේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අසාර්ථක වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි එයාලගෙම කට්ටියක් වෙච්ච චම්පිකලා වගේ අයගේ අරමුණ ඊළඟ මැතිවරණයේදී වෙනම ඉල්ලන්න.

ඔබලාගේ පැත්ත ගැන හිතුවොත්?

අපි ගත්තමත් අපේ පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ක අපිට ලැබුණේ 3%යි. නමුත් සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ දුර්වල නිසා නිල විපක්ෂයත් සම්පුර්ණයෙන් දුර්වල වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාවට ඒ විපක්ෂයේ නැගී සිටීම දැනෙන්නේ නෑ. ඒත් පසුව වර්තමානය වෙනකොට පාර්ලිමේන්තුවෙන් පිට විපක්ෂය නොවන ආණ්ඩුවට එරෙහි නැගිටීමක් දකින්න තිබුණා. ආණ්ඩුව විසින් ඇතිකළ විවිධ ප්‍රශ්නවලදී. උදාහරණ හැටියට නැගෙනහිර ජැටිය, ගුරු අරගලය, ගොවි ප්‍රශ්න මේ සියල්ලට පක්ෂ විපක්ෂ නැගිටීමක් තිබ්බේ. නිල පක්ෂ දේශපාලනයේ මෙහෙයවීමක් නෑ. තිබ්බේ ආශිර්වාදයක් විතරයි. ඒවා ජනතා නැගිටිවීම්. ඒ නිසා සමස්ථයක් හැටියට ගත්තම විපක්ෂයේ පිබිදීම අඩුයි.

ආයේ ඇහුවොත් විපක්ෂයට සැලැස්මක් නැත්තේ ඒ නිසාද?

ඇත්තටම ගත්තොත් විපක්ෂයට සැලැස්මක් තියෙන්න ඕන දැන්. මම උඩ කිව්ව හේතු එක්ක ගත්තම විපක්ෂයට සැලැස්මක් ක්‍රියාත්මක කරන්න බෑ. ක්‍රියාත්මක කරන්න ඉඩක් නෑ. දැන් තමයි විපක්ෂයේ සැලැස්මක් ඕන පසුබිම රටතුළ නිර්මාණය වෙලා තියෙන්නේ.

ඒ කියන්නේ දැන් වතුර බොරයිනේ, නේද?

වතුර බොරවුණා කියන එකට වඩා හොඳ රට දැවැන්ත ආර්ථික අවුලකට, දේශපාලන අවුලකට පත්වෙලා. සමාජය කඩා වැටිලා. කොරෝනා තත්ත්වයත් මේකට උත්තේජනයක් වෙලා තියෙන්නේ. ආණ්ඩුකරණය දුර්වල වෙලා. ඒ නිසා ජනතා අප්‍රසාදය සමනල කන්දටත් වැඩියි. මෙන්න මේ අවස්ථාවක තමයි අවශ්‍ය වෙන්නේ ආණ්ඩුව පෙරළලා ප්‍රගතිශීලී ආණ්ඩුවක් බිහිකරන්න අවශ්‍ය සැලසුම දක්වාම ඇදන් ‍යන්න ඕන.

අපි දන්නවා රටේ බහුතරයක් දේශපාලන කලකිරීමක ඉන්නේ. යහපාලන ආණ්ඩුව බලයට ගේන්න ඡන්දය දුන්න 62 ලක්ෂය වගේම වර්තමාන ආණ්ඩුව බලයට ගේන්න ඡන්දය දුන්න 69 ලක්ෂයත් එහෙමයි. දැන් එතනදී 3% ඔබේ කණ්ඩායමට ඒ කලකිරීම නෑ. දැන් ඒ අය කොහොමද අර පිරිස ළං කරගන්නේ ඔබලගේ පැත්තට?

ඔයාගේ ප්‍රශ්නය තුළ තියෙන මතය ඉතාම නිවැරදියි. ඒ වගේම 3% පිරිසිදු බලවේගයක් ඉතුරු වීමම තමයි දැන් ජනතාවට ඉතුරුවෙලා තියෙන්නේ. යහපාලන ආණ්ඩුවෙනුත්, වර්තමාන ආණ්ඩුවෙනුත් සජිත්ගෙනුත් බැටකාලා ඉන්න ජනතාව අලුත් දෙයක් හොයනවා. අන්න ඒ හොයද්දී හම්බවෙන අලුත්ම දේ තමයි ජනතා විමුක්ති පෙරමුණ ගාවත් ජාතික ජනබල වේගය තුළත් තියෙන්නේ.

ඒක ඔය කියන තරම්ම ශක්තිමත්ද?

අනිවාර්යෙන්ම. ඒකේ කිසිම අප්සට් එකක් නෑ. කවුරු හරි කියන්න ඊට වඩා හොඳ උත්තරයක් තියෙනවද කියලා මමත් ඒකට එනවා ඒකට. කවුරු හරි කියන්න මම එනවා.

ජවිපෙ කොහොමද ආණ්ඩුවක් ගන්නේ? පාර්ලිමේන්තුවේ තුන්දෙනෙකුයි. 3%කුයි තියාගෙන කොහොමද බලය ගන්නේ?

ඒකට උත්තරය දේශපාලන ශාක්ෂරතාවය තියෙන මිනිස්සු ලෝකය දිහා බලන විදිහෙන් වෙනස් වෙනවා. ලෝකය දිහා බලන්න. පාර්ලිමේන්තුවේ කිසිකෙනෙක් නැතුව, එළියේ පේන්න කිසිම දෙයක් නොකර අලුත් ආණ්ඩු සහ බලවේග බිහිකරලා තියෙනවා. මෙතන අවශ්‍ය අවංක, මේ රට හදන්න පුළුවන් කියලා විශ්වාස කරන, නැවත රට ගොඩනගන්න කැපවීමක් කරන්න පුළුවන් පිරිස. ඒ වෙන කවුරුවත් නෙමෙයි ඒ අපි. ඔබ අහලා ඇති අසංවිධානාත්මක දහසකට වඩා සංවිධානාත්මක දහයක් බලවත්. හැබැයි ඒක බලවත් වෙන්නේ අර අසංවිධානාත්මක පිරිසගේ සහයෝගයත් මේ සංවිධානාත්මක පිරිසේ දහදෙනාට ලැබෙනකොට. අසංවිධානාත්මක අය ගියාගේ රනිල්, සජිත්, ගෝඨා, මහින්ද පිටිපස්සේ. අන්තිමේ සංවිධානාත්මක අපි විතරයි ඉතුරු වුණේ. අන්න ඒ අපි එක්ක හැමෝම එකතු වුණොත් ආණ්ඩු පෙරළන්නත් පුළුවන් ආණ්ඩු හදන්නත් පුළුවන්.

ඒ සංවිධානාත්මක ඔබලා සමඟ එකතුවෙන අවස්ථාව දැන් රටේ උදාවෙලාද තියෙන්නේ?

රට කාලා විනාශ කරලා වංචා දූෂණ කරපු කණ්ඩායම් එපාවෙලා වෙනත්ම බලවේගයක විලිරුදාව ජනතාවට දැනෙන්න පටන් අරන් තියෙනවා. ඇත්තටම දැන් මේක ගැබ් බරවෙලා තියෙන්නේ.

ජනතාවට දැන් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. වගේම ඒ අය බලාපොරොත්තු වෙනවා ලිබරල් ජීවිතයක්. ඒත් ඔබේ තියෙන්නේ වාමාංෂික මුහුණුවරක්. විශේෂයෙන් ඔබේ කණ්ඩායම පවා ජනතාව ඉදිරියේ ඔවුන්ගේ ජීවිත ඕපන් කරන්න හොරයි. 

ඔබලගේ ක්‍රමවේදය ගැන ජනතාව තුළ ගැස්මක් තියෙනවා?

එක්තරා පක්ෂයක තියෙන විනය සංස්කෘතිය එළියේ කතාකළාම ජනතාව හිතනවා ඒ විනය සමාජයටත් බලපායිද කියලා. උදාහරණයක් ගත්තම භික්ෂු සමාජයේ විනය ගිහි සමාජයට අදාළ වෙන්නේ නෑ. සමාජ දෙකක් නිසා. ඒ නිසා සංවිධානයට අභ්‍යන්තර විනය සමාජයට ගියාම ඒ සමාජය බයවෙන එක සධාරණයි. එහෙම වෙන්නත් අපෙනුත් යම් යම් බලපෑම් වෙලා තියෙනවා. ඔබ කියනවා වගේ ඕපන් වෙන්න ඕන අපි නෙමෙයි අපි බලයට ආපුවම රටට මොකක්ද කරන්නේ කියලා. අපි මිනිස්සුන්ගේ සතුට නිදහස අයිතිවාසිකම සමානාත්මතාවය රකිනවා සහ ඉඩ දෙනවා. ඒක අපි හදලා දෙනවා. දැනට නෑනේ.

ඔබේ ආණ්ඩුවක් කොහොමද රට හදන්නේ?

එක තමයි මේ රටේ මහා පරිමාණයෙන් නිලධාරීන් සහ දේශපාලනඥයන් විසින් සිදුකරන දූෂණ වංචා නවත්තනන්න ඕන. ඒ වගේම මෙතෙක් මේ රටේ පාලකයෝ නිලධාරීන් ලබාගත්ත අයථා ධනය අපි නැවත ලබාගන්නවාමයි. ඒක අපි කරනවා. ලෝකේ එහෙම කරලා තියෙනවා. අපේ රටත් ඒ ලැයිස්තුවට ඇතුළත් කරනවා. මේ රටට මේ තත්ත්වය ඇති වුණේ ඔය මිනිස්සු නිසා.

දූෂණ වංචාවට එරෙහිව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඉඳලා පොරොන්දුවක් හැටියට එනවා. ඔබලා කොහොමද ඒක නවත්තන්නේ?

පළවෙනි දේ තමයි තමන් නොකර සිටීම. අන්න ඒකට අදාළ වෙන්නේ අපේ පක්ෂයේ විනය. මොකද අපේ පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ට දඬුවම් දුන්නේ අධිකරණවලින් නෙමෙයි අපිමයි දඬුවම් දීලා රටට ආදර්ශය දුන්නේ. අපිත් ඇවිල්ලා දූෂණ ආණ්ඩුවක් හදන්න නම් බලය ගන්නේ මොකටද? තියෙන ආණ්ඩුවලට ඉන්නම දෙනවනේ.

දූෂිත නිලධාරීන් ඉන්නවා නම් ඔබලා ඇවිල්ලා කොහොමද ඔවුන් එක්ක දූෂණය නවත්තන්නේ?

පුළුවන්. උදාහරණයක් කියන්නම් මම කැබිනට් ඇමති කෙනෙක් වුණාට පස්සේ මගේ අමාත්‍යංශයේ මමත් ඇතුළු මට හම්බවුණ අමාත්‍යංශ ලේකම්ගේ සිට පහළ නිලධාරියා දක්වා කිසිම හොරකමක් කළේ නෑ කියලා රටම දන්නවා. ඒ නිසා මේ හැමදේකටම මහ එකා හරියට ඉන්නේ. මුන් යමක් කරන්න හදන්නේ කියලා දැනෙන්න ඕන. දැන් මුදුනටම හෙන ගහලා තියෙන්නේ. කතාවක් තියෙනවා මහ අය හිටගෙන කරන දේ පොඩි උන් දුව දුව කරනවා කියලා.

ජනතාවට අහන්න පුළුවන් දැන් තියෙන අවුල් සියල්ල කනපිට හරවලා ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්ද මිනිස්සු සිතු පැතූ සම්පත් පහළ කරන්න. එක්කෝ තවත් කාලයක් ඉවසන්න වෙයිද කියලා?

අනිවාර්යෙන්ම අපි හරි ගස්සන්න පටන් ගන්නවා. පියවර සීයක් යන්න ඕන පළවෙනි පියවර තියලා. එතකොට පේනවා මූ යන්නේ හරියටද නැද්ද කියලා. අපිට පුළුවන් ආර්ථිකය හදන්න. අපිට පුළුවන් දේශපාලනය හදන්න. දේශපාලනය හදනකල් ආර්ථිකය හදන්න බෑ. ඒක අපි කරනවා. ඒ දේශපාලනය වෙනස් වීම තුළ තමයි රටක් වෙනස් වෙනවා. අපිට ඒක පුළුවන්.

ඒ දේශපාලන වෙනස කරන්නේ බොහෝ දෙනා පාක්ෂිකයට බැනලා බයියෝ, ටොයියෝ, ජෙප්පෝ කියලා බෙදාගෙන. පාලකයෝ පවා බෙදනවා. පුළුවන්ද එහෙම කරන්න?

පොදු ජනයාට බැනලා වැඩක් නෑ. ඔය එක එක්කෙනාගේ සාහිත්‍ය වැඩක් නෑ. ගන්න ඕන ඇතුළේ හරය. මෙතන ජනතාවගේ ගෞරවය නෙමෙයි ජනතාවට ගෞරවයක් දෙන්න බැරි පාලකයෝ පස්සෙන් ගියාම වෙන දේ.‍ රටේ පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාව තුළ. ඒ ගෞරවය ලැබෙන්න ගෞරවය දෙන්න පුලුවන් පිරිසක් පාලනය කරන්න ඕන රට.

ඒක ජවිපෙට තියෙනවද?

ඔව් තියෙනවා. අපිට දෙන්න අවුරුදු පහක්. අපි රටේත් ජනතාවගෙත් ගෞරවය රකිනවා.

 ගයාන් ගාල්ලගේ