2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 124

පාකිස්තාන වීරයා විස්තර කරන ප්‍රියන්තගේ අවසන් මොහොත

මලික් අද්නාන් පාකිස්තානයේ පුරවැසියකුට ලැබිය හැකි දෙවැනි ඉහළම සිවිල් සම්මානයෙන් පුදනු ලැබුවේ ඔහු තම ජීවිතය පරදුවට තබා ප්‍රියන්ත කුමාර දියවඩනගේ ජීවිතය බේරාගැනීමට කළ උත්සාහය හේතුවෙනි. ඔහුට සම්මානය ප්‍රදානය කරන ලද්දේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසිනි. ඔහුගේ කාර්යය අගය කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුට ලිපියක් ද ලබාදෙනු ලැබීය.

මේ අපූරු පුද්ගලයා සියාල්කොට්හි සිට ඩේලි එෆ්.ටී. පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණේ තමා ප්‍රියන්ත මහතාගේ බිරිය සහ පුතුන් දෙදෙනා හමුවීමට ගොස් සමස්ත පාකිස්තානුවන් වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කිරීමේ දිනය උදාවන තුරු බලා සිටින බවය. එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට ඇත්තේ මිශ්‍ර හැඟීමක් බවද ඔහු සඳහන් කරයි. සැබෑ මුස්ලිම් ජාතිකයකු වශයෙන් පාකිස්තානයේ මානුෂික ප්‍රතිරෑපය බේරාගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටට පත්වන නමුත් ප්‍රියන්තගේ ජීවිතය බේරාගැනීමට තමන් දැරෑ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වීම පිළිබඳව ඇත්තේ කනගාටුවක් බව ඔහු ප්‍රකාශ කරයි.

එක් සහෝදරයකු සහ සහෝදරියන් දෙදෙනකු සහිත සිව් දෙනකුගෙන් යුත් තම පවුල සියල්කොට් පළාතේ ඔෂාක් අවාන් නම් ගොවි ගම්මානයක පදිංචිකරුවන් බවද පවසන මලික් අද්නාන් තමන් මේ කම්හලේ සේවයට පැමිණ වසර 16ක් ගතවී ඇතැයිද කියයි. ඔහු රාජ්කෝ ආයතනයේ නියෝජ්‍ය කළමනාකරුවෙකි. පන්ජාබ් සරසවියේ උපාධිධරයකු වන ඔහු එම්.බී.ඒ. පශ්චාත් උපාධිධාරියෙකි.

ප්‍රියන්ත කුමාර මහතා මිනිසුන්ට ඉතා යහපත් පුද්ගලයකු වුවද රාජකාරියේදී ඔහු තදින් ක්‍රියා කරන බවද ඔහු ඉතා වෙහෙස මහන්සි වී සේවය කරන නිලධාරියකු වීම ඊට හේතුව බවද අද්නාන් කියයි.

තම සේවකයන්ද තමන් මෙන්ම මහන්සි වී සේවය කළ යුතු බව ඔහු නිතරම සිතුවා. සේවකයන් ඔහුට අවනත වී කටයුතු කළත් සමහරුන් අතර ආවේගාත්මක හැඟීම් තිබුණා. නමුත් ඒ බවක් සෙසු කළමනාකරුවන් ඉදිරියේ ඔවුන් පෙන්නුවේ නෑ. කම්හලේ සේවකයන් 2200ක්ද කළමනාකරුවන් 100ක්ද සේවයේ යෙදී සිටියා. යැයි පවසන ඔහු එදා සිද්ධිය මෙසේ විස්තර කරයි.

වෙලාව උදේ 10යි. සේවකයන් පෝස්ටර් වගයක් අලවා තිබුණා. කම්හලේ ශාලාවේ සිට ප්‍රියන්ත මහතා තම කාර්යාලයට පැමිණෙමින් සිටියා. හදිසියේම සේවකයන් අතර නොසන්සුන්තාවක් හටගත්තා. තම ආගමික ඇදහීම් ඔහු නොසලකා හැරිය බවට ඔවුන් චෝදනා කළා. එම සේවකයන් කෑගසමින් ඔහු පසුපසින් කාර්යාලයට ගියා. ඒ වෙලාවේ ප්‍රියන්ත මහතා රෑෆ්ටොප් එකට නැග්ගා. ඒත් සේවකයන් ඔහුට කෑගසමින් එතනටත් ගියා. පෝස්ටර්වල තිබුණේ මොනවද කියා මට විස්තර කරන්න බෑ. ඒත් ප්‍රියන්තට උර්දු භාෂාව ලියන්න හෝ කියවන්න බෑ. ලියා තිබූ දේ ඔහුට තේරුම් ගියේ නෑ. ඒ වුණත් මිනිස්සු ඔහුට විරෝධය පළ කළා. 

මම ඔහු සමඟ දුවගියේ ඔහුව බේරාගන්න අවශ්‍ය නිසා. මේ වෙලාවේ අනෙක් ගේට්ටුවෙනුත් මිනිස්සු ඇතුළට ආවා. ගම්වාසීන් වගේම වෙනත් කම්හලක සේවකයනුත් එතන හිටියා. කෝපයට පත්ව සිටි විශාල පිරිසක් ඔහුට පහරදෙන්න පටන් ගත්තා. ඔවුන්ට කරුණු පැහැදිලි කර දී ප්‍රියන්තව බේරාගන්න මම ගත් උත්සාහය හරි ගියේ නෑ. කියන දේ අහන්නවත් ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නවත් ඔවුන් සූදානමකින් හිටියේ නෑ. මටත් පහර වැදී තුවාල සිදු වුණා. අවාසනාවකට වගේ මට ඔහු බේරාගන්න බැරි වුණා. මුලින් හිටියේ 50ක් 100ක් වගේ පිරිසක්. මාත් එක්ක එකතු වූ තවත් පුද්ගලයෙක් හිටියා. ඔහුත් කලබල කළ පිරිසට ආයාචනා කළා ප්‍රියන්තට හානියක් කරන්න එපා කියලා. ඒ වුණත් ඔවුන් ඒකට කන් දුන්නෙ නෑ.

මට අවශ්‍ය වුණේ මනුෂ්‍ය ජීවිතයක් බේරාගන්නයි. ඔහු හොඳ නායකයෙක්. හොඳ ආත්මයක් තිබුණු අයෙක්. හොඳ මිත්‍රයෙක්. මා විසින් ඔහු රුකගත යුතුව තිබුණා. මා සමඟ බොහෝ කාලයක් සේවය කළ ඔහු මගේ බොස්. ඔහුගේ ජීවිතය බේරාගන්නයි මට ඕනෑ වුණේ.

පාකිස්තානු ජනතාව සැබෑ ඉස්ලාම් වටිනාකම් මුලින්ම තේරුම්ගත යුතුයි. කවුරුන් හෝ වැරුද්දක් කර තිබේ නම් පාකිස්තාන් නීතිය අනුගමනය කළ යුතුයි.

ශ්‍රී ලාංකික ජනතාව මේ සිදුවීම හේතුවෙන් පාකිස්තානු ජනතාව සමඟ පවත්වන මිත්‍රත්වය විනාශ කරගත යුතු නෑ. මේ සිදුවීම නිසා අපි සියලු දෙනා දැඩි ලෙස කම්පනයට සහ කනගාටුවට පත්වෙලා ඉන්නේ. මෙහෙම දෙයක් යළිත් කවදාවත් සිදුවිය යුතු නෑ. ඊළඟ පරම්පරා තුළදීත් එය විය යුතු නෑ.

නිර්භයව කටයුතු කිරීම ගැන සම්මානය හිමිවීම ගැන මට සතුටක් දැනෙනවා. මේ නිසා මට හැකිවී තිබෙනවා මුළු ලෝකෙටම පණිවුඩයක් දෙන්න සමස්ත පාකිස්තාන ජාතිකයන්ගේ ප්‍රතිරෑපය රුකදීම සඳහා එක් පාකිස්තානුවකු තම ජීවිතය පරදුවට තබා මනුෂ්‍යත්වයේ නාමයෙන් කටයුතු කළ බව. මට ලැබුණු සම්මානය ප්‍රියන්තගේ පුතුන් දෙදෙනා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කැප කිරීමට මා කැමතියි.

ප්‍රියන්තගේ පවුලේ සාමාජිකයන්ට ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන අප සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමඟ එකතු වීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා.

- ඩේලි එෆ්.ටී.

පාර්ලිමන්ට් ජෝක්ස්

ගෑස් කුකර් ගිනි ගැනීම්වලින් බියට පත්ව සිටින්නේ සාමාන්‍ය මහජනතාව පමණක් නොවේ. ඇමැති සහ මන්ත්‍රීලාද එම ඉරණමට මුහුණ දී සිටිති.

මේ බව මුලින්ම කිව්වේ මාධ්‍ය ඇමැති ඩලස්ය. ඔහු කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේදී සඳහන් කළේ තම බිරියද ගෑස් කුකර් එක භාවිත කරන්නේ බියකින් යුතුව බවය. ගෑස් සිලින්ඩර් පුපුරා යාම පිළිබඳ කතා ඊට හේතු වී ඇති බවය.
මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් මාධ්‍යවේදියකු කළ විමසීමේදී ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. ජනතාව විතරක් නෙවෙයි බයවෙලා ඉන්නේ. අපිත් ඉන්නෙ බයෙන්. අපේ ගෙවල්වල උයන්නෙත් ගෑස් කුකර්වලින්.*
රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මේ අතර ප්‍රකාශ කළේ තමන් උදෑසන 3.00ට අවදි වන බවය.

මම තමයි උදේම නැගිටලා තේ හදන්නේ. දැන් කුස්සියට ගිහින් ගෑස් කුකර් එක පත්තු කරන්නෙ බයෙන්. ඒක මට එහෙම නම් ජනතාව ඉන්නෙ කොයි තරම් බයකින්ද කියලා මට හිතාගන්න පුළුවන්.

මේ අතර සජබ මන්ත්‍රී පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබුණේ පාර්ලිමේන්තුවේ ගෑස් සිලින්ඩර තැන්පත් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ කැන්ටිම ආසන්නයේ ස්ථානයක බැවින් ඒ ගැන අවධානය යොමුකරන ලෙසටය.
මේ අතර පැය ගණනාවක් රටම අඳුරේ ගිල්වා තැබූ විදුලිය බිඳවැටීමද පාර්ලිමේන්තුවේ මාතෘකාවක් බවට පත්ව තිබිණි. විදුලිය නැතිවෙන අවස්ථාවේ විවාදයට ගනිමින් සිටියේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂයි. පාර්ලිමේන්තුවේ විදුලිය අඛණ්ඩව ලබා දී තිබුණේ ජෙනරේටර් මාර්ගයෙනි. කෙසේ වුවද ජෙනරේටරය නැවතුණු වහාම සභාගැබ තිබුණේ මඳ අඳුරේය. 

පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විදුලිය සැපයුම මෙහෙයවීම තෙවැනි පාර්ශ්වයකට බාර නොදිය යුතු බවය. මේ සඳහා පාර්ලිමේන්තුව විසින්ම විදුලි ඉංජිනේරුවරයකුගේ සේවය ලබාගනිමින් විදුලිය අඛණ්ඩව සපයා ගැනීමට වගබලාගත යුතු බවය.

පාර්ලිමේන්තු සැසිවාර ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට මෙය කනට වැටිණි. එක් අයකු ප්‍රකාශ කළේ රටේ පුරවැසියන්ද පාර්ලිමේන්තුව අනුව යමින් ලංවිම පිළිබඳ විශ්වාසය තබනවාට වඩා තමන්ගේම ජෙනරේටරයක් භාවිතයට ගැනීම සුදුසු බවය. තවත් අයෙක් ප්‍රකාශ කළේ මේ දිනවල වෙළෙඳපොළේ ජෙනරේටර් හිඟයක් පවතින බවය. තිබෙන ටිකත් අලෙවි කරන්නේ ඉතා ඉහළ මිලකට බවද ඔහු ප්‍රකාශ කළේ උපහාසාත්මකවය.

- සන්ඩේ ටයිම්ස්