2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 117

පොහොර නැවට ඩොලර් ගෙවන්නෙ කවුද?

චීන පොහොර නැව පිළිබඳ කතාව අවසන් වුණේ ඩොලර් ලක්ෂ 67ක් චීන කාබනික පොහොර සමාගමට ගෙවීමෙනි. ශ්‍රී ලංකාවට දැන් එම පොහොර තොගයත් නැත. ඩොලර් ලක්ෂ 67කුත් අහිමි විය. යළිත් එම සමාගම ශ්‍රී ලංකාවට පොහොර එවනු ඇති බවට සහතිකයක් ද නැත. වරායේ හිරවී තිබෙන කිරිපිටි මුදාගැනීමට ඩොලර් නැති රටක් කිසිදු භාණ්ඩයක් ලබාගැනීමකින් තොරව ඩොලර් ලක්ෂ 67ක් නිකම්ම ගෙවා දැමීමේ පාඩුව විඳගන්නේ කවුද යන්නත් පැහැදිලි නැත.

රජයේ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වී තිබුණේ නීතිපතිවරයාගේ උපදෙස් මත ඩොලර් ලක්ෂ 67ක මුදල ගෙවීමට තීරණය කර ඇති බවය. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ගිවිසුම්ගත කාර්යසාධක ඇපකරය සුරුකීමක් වශයෙන් තබාගනිමින් සහ ණයවර ලිපියේ හා දෙපාර්ශ්වයේ ගිවිසුම් කොන්දේසි අනුගමනය කරමින් පොහොර නැව ආපසු සිය සමාගම වෙත රුගෙන යාමට එකඟත්වය පළ කර ඇති බවය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හානියක් සිදු නොවන පරිදි කටයුතු කිරීමට ඇති අවශ්‍යතාව නිසා අධිකරණ සහ කෘෂිකර්ම අමාත්‍යාංශ දෙක මගින් පසුගිය 13 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පත්‍රිකා 02 සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත කටයුතු කරන ලෙසට අමාත්‍ය මණ්ඩලයේ අවසරය ලැබී ඇතැයි ද ප්‍රකාශ විය.

කෙසේ වුවද පොහොර තොගයේ ප්‍රමිතිය පිළිබඳ සහතිකයක් ශ්‍රී ලංකාවේ ආයතනවලින් ලබාගැනීමට පෙර ණයවර ලිපි විවෘත කර තිබීම හේතුවෙන් මෙසේ ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ 67ක් අහිමිවීම විශාල පාඩුවකි. එම ණයවර ලිපිවල කොන්දේසි සකස් කිරීමේදී කිසියම් අතපසුවීමක් සිදුවී ඇතැයි යන මතය ද බැහැර කළ නොහැකිය. මේ පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් දැඩි විරෝධයක් මුල සිටම ප්‍රකාශ වුවද රජය ඒ අවස්ථාවේදී දැඩිව කියා සිටියේ චීන කාබනික පොහොර සමාගමට කිසිදු ගෙවීමක් නොකරන බවය. මීට අදාළව ලංකා පොහොර සමාගම සහ කොමාර්ෂල් පොහොර සමාගම කොළඹ වාණිජ අධිකරණය හමුවේ නඩුවක් ද ගොනු කර තිබිණි.

මේ අතර ශ්‍රීලනිප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ චීන පොහොර නැව වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් ලක්ෂ 67 වරද කළ පුද්ගලයන්ගෙන් අයකර ගත යුතු බවය. එය රටේ ජනතාව විසින් ගෙවිය යුතු නැති බවද කීය. රට තුළ දැඩි ඩොලර් අර්බුදයක් තිබියදී මෙවැනි ගෙවීමක් කරන්නට සිදුවීම රටට විශාල පාඩුවක් බවත් ඔහු සඳහන් කර තිබිණි. වෙනත් රටක මෙවැනි දෙයක් සිදුවී නම් ඇමැතිවරුන් සහ නිලධාරීන් ඉල්ලා අස්වන බවද දයාසිරි කළ ප්‍රකාශයේ සඳහන් විය.

වගකීම් බාරගනිමින් ඉල්ලා අස්වන ඇමැතින් සහ නිලධාරීන් නම් මේ රටේ බොහෝ හිඟය. එසේ අස්වුණත් ඊළඟට විෂය මාරු වී වෙනත් ඇමැති පදවියකට පත් කිරීම සිදුවෙයි. නැතහොත් ඇමැති ධූරයෙන් අස්වීමට සිදු වුවද නිල නොවන වශයෙන් එහි රාජකාරි ඉටු කරයි. කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් අහිමි වන්නේ නැත.

අස්වීම් වෙනුවට මේ රටේ දේශපාලනය තුළ සිදුවෙන්නේ ජනතාව මුලාවේ දමමින් අල්ලේ පැලවෙන බොරු කීමය. චීන පොහොර නැවට සතයක්වත් නොගෙවන බව ප්‍රකාශ කර ඊළඟට ඩොලර් ලක්ෂ 67ක් ගෙවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද කිව යුත්තේ එය පමණි. පොහොරවල මිල නොගෙව්වොත් චීනය ශ්‍රී ලංකාවේ බැංකුවක් ද අසාදු ලේඛනගත කරන බවද කීය. එහෙත් ශ්‍රී ලංකාව අදාළ චීන කාබනික පොහොර සමාගම අසාදු ලේඛනගත කළේ නැත. ඒ වෙනුවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ එම සමාගමෙන් ඉදිරියටත් කාබනික පොහොර ගෙන්වන බවය. එම පොහොර තොගවලද අහිතකර බැක්ටීරියා සිටියොත් සිදුවිය හැක්කේ කුමක්ද? තවත් ඩොලර් මිලියන ගණනක් ගෙවා දැමීම පමණි.

කෙසේ වුවද රටට මෙතරම් බරපතළ පාඩුවක් සිදු කිරීමට වගකිව යුතු අයගෙන් අදාළ මුදල ලබාගත යුතු බවට සිදුකෙරෙන ඉල්ලීම්වලට රටේ සැබෑ දේශප්‍රේමීන්ට විරුද්ධ විය නොහැකි බව පැහැදිලිය.

රාජ්‍ය ඇමැති රත්වත්තේ සිද්ධියට මාස 03යි: පරීක්ෂණ එහෙ මෙහෙ

අනුරාධපුර බන්ධනාගාරයේදී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සිරකරුවන් දෙදෙනකු අතර ඇතිවූ සිද්ධියට දැන් මාස 03ක් ගත වී තිබේ. එහෙත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් දියත් කෙරුණු විමර්ශන සහ පරීක්ෂණවල වාර්තා තවමත් ලබා දී නැත.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුවෙමින් තිබේ. මෙහි චෝදනාව වී තිබුණේ රාජ්‍ය අමාත්‍යවරයා එම සිරකරුවන් දෙදෙනාගේ හිසට ගිනිඅවියක් තබා ඔවුන් මරා දමන බවට තර්ජනය කළ බවය.

සිරකරුවන්ගේ අයිතීන් සුරකින කමිටු සභාපති නීතිඥ සේනක පෙරේරා මේ ගැන පැමිණිල්ලක් කර තිබේ. &ඒ වුණත් අපේ පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන මේ වනතුරු අපට දැනුම්දීමක් කර නැහැ ඔහු කියයි. මේ ගැන විමර්ශනය කිරීම වැදගත්. එය කාලය සමඟ සංවේදී වෙනවා. මේ සිරකරුවන් දෙදෙනා සහ නිලධාරීන් වෙනත් බන්ධනාගාරවලට මාරු කරන්න පුළුවන්. එහෙම වුණොත් සාක්ෂි අතුරුදන් වේවි. මේ ගැන පියවර ගැනීමට අසමත් වෙනවා කියන්නේ ඉදිරියේදීත් මෙවැනි සිදුවීම් යළි යළිත් සිදුවිය හැකි බවයි.* යනුවෙන් ඔහු අනතුරු අඟවයි.

බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කු මහතා විසින් සිදු කළ විමර්ශනයේ අතරමැදි වාර්තාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට බාර දී ඇති බවය. උපුල්දෙණිය මහතා තමන්ට එම වාර්තාව ලැබුණු බව සනාථ කළ අතර අවසන් වාර්තාව තවම සම්පූර්ණ කර නැති බවද පොලීසිය සහ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් සිදු කරන විමර්ශන තොරතුරු ලැබෙන තුරු සිටින බවද කීය.

ඇතැම් සිරකරුවන් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ඇත්තේ පොලීසියට පමණි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සිදු කරන විමර්ශනය සම්බන්ධයෙන් විශ්වාසයක් නැතිවීම ඊට හේතුව බව සඳහන්ය. 
අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා සඳහන් කළේ විශ්‍රාමික විනිසුරු වීරවර්ධන මහත්මියගේ අවසන් වාර්තාව තමන්ට ලැබී ඇති බවය. එය දැන් ජනාධිපති අතට පත්ව තිබෙන අතර කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කරයි. කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබෙන තුරු එම වාර්තාව ප්‍රසිද්ධ කළ නොහැකි බවද ඇමැතිවරයා කියයි.

රාජ්‍ය ඇමැති රත්වත්තේ මහතා අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. දැනට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග ඊට හේතුවය.

- සන්ඩේ ටයිම්ස්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00