කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අග්ග මහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි
මේ වෙනකොට රට ඉතාම තීරණාත්මක මොහොතක තියෙන්නේ. ලෝක වසංගතය හමුවේ රට තව තවත් හිරවෙලා. වැඩිම පීඩනයකට ලක්වෙලා ඉන්නේ පුරවැසියා. මේ මොහොතේ පුරවැසියාට තියෙන වගකීම මොනවගේ කියලද ඔබවහන්සේ හිතන්නේ?
පුරවැසියා ඇත්තටම රටේ තියෙන තත්ත්වය මධ්‍යස්ථව අවබෝධ කරගන්න ඕන. අපේ රට ගත්තම දැනුම කියන එක ටිකක් පැතිරිලා ගිය එකක්. සාක්ෂරතාවයත් ඉහළ තත්ත්වයක තියෙන රටක්. ඒ නිසා කොහේ ගියත් කොතන ගියත් යම් කෑල්ලක් අල්ලගෙන උඩට ගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. කොහේ ගියත් දැන් කතා කරන්නේ දේශපාලන ප්‍රශ්න. විවිධ දේවල් ඔලුවේ තියාගෙන කතා කළාම ඒවා සමාජගත වෙලා එතනත් ප්‍රශ්න. සමාජයේ තියෙන ඇත්ත නැත්ත කනපිට හැරිලා අවුල් සහගත තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. මේ අපි එක තැනක නැවතිලා විචාරශීලිව හිතන්න ඕන තත්ත්වයකට ඇවිල්ලා ඉන්නේ. අපේ රටේ මිනිස්සු සමස්තය දේශපාලන මතිමතාන්තරවලින් හිරවෙන්න අවශ්‍ය නෑ. තමන්ට සිදුවෙච්ච අසාධාරණයක් මුල්කරගෙන සමස්තයම එකම විදිහෙන් මනින්න ඕන නෑ. ඒ නිසා රටවැසියෝ මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන. ඒ විතරක් නෙමෙයි පුරවැසියා හිතන්න ඕන තමන්ගේ යුතුකම තමන් හරියට කරනවද කියලා.
ඔබවහන්සේ හිතන්නේ යුතුකම පුරවැසියාගෙන් මග ඇරිල කියලද?
උදාහරණයක් හැටියට ගත්තොත් ආයතනයක් බලන්න. තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්නේ කීයෙන් කී දෙනාද? අකමැත්තෙන් වුණත් කියන්න ඕන ගොඩක් අය ඉන්නේ නිකම්. අපි වර්තමානයේ තීරණාත්මක මොහොතක ඉන්න වෙලාවක යුතුකම හරියට හඳුනගන්න ඕන. හැමෝටම තියෙනවා වගකීමක්. හැම ක්ෂේත්‍රයේම තියෙනවා ඒ වගකීම.
රටේ පුරවැසියගේ බාරකාරයා පාලකයා. ඔහුව හෝ පක්ෂය හෝ උඩට ගේන්නේ ජනතාව. එහෙම පාලකයන්ට මොනවගේ යුතුකමක්ද මේ වෙලාවේ තියෙන්නේ?
දේශපාලන නායකයන්ට නම් ලොකු වගකීමක් තියෙනවා. අපේ රට 1948දී නිදහස් කරගන්න කලින් තිබ්බ තත්ත්වයෙනුත් පල්ලෙහාට වැටිලා කියලයි මට තේරෙන්නේ. රටක් හැටියට අපිට තිබුණු නීතිය කඩා වැටුණා. ඒ කඩා වැටුණේ මේ පක්ෂ දේශපාලනය නිසා. පක්ෂ දේශපාලනය හැමදාම කළේ තමන්ගේ අයට සලකනවා. අනික් අයට නොසලකනවා. සමස්තය ගත්තම වුණේ මේක. ඒක එදත් වෙනවා අදත් වෙනවා. ඒකට හේතුව සුදුස්සාට සුදුසු තැන නොදීම. විශේෂයෙන් මේ රාජ්‍ය සේවය බරපතළ විදිහට කඩා වැටීම නිසයි මේක වුණේ.
ඔබවහන්සේ කියන ආකාරයට අද වෙද්දී රාජ්‍ය සේවය බරපතළ විවේචනයට ලක්වෙලා. ඇයි මේ එවැනි වටිනා සේවයක්, ඒ වගේම විශාල තීරණාත්මක තීන්දු තීරණ ගන්න පුළුවන් සේවයක් විනාශ වෙලා තියෙන්නේ?
මම හිතන්නේ මේ දේශපාලනය නිසා. අපිට ඉහළ මට්ටමේ රාජ්‍ය සේවයක් තිබ්බ රටක්. මෙතන අපි කතා කරන්න ඕන පරිපාලනය. ඔය පරිපාලනය ක්ෂේත්‍රයේ හිටිය ඉහළ නිලධාරීන්ගේ මානසික මට්ට්ම කඩා වැටුණා. හිතන්න කැම්පස් ගිහිල්ලා අමාරුවෙන් ඉගෙන ගෙන උඩට ආපුවම ඉහළම පුටුවට යද්දී කොහෙන්ද ආපු කෙනෙක් ඒ පුටුවේ වාඩිවෙලා. ඕකනේ දැන් වෙන්නේ. ඒක එදත් වෙනවා... අදත් වෙනවා. අද රටේ ගොඩක් ක්ෂේත්‍රවල සුදුසුකම් තියෙන අය ඉන්නේ පහළ. සුදුසුකම් නැති අය ඉහළ ඉන්නේ. ඒත් බලන්නකෝ ඉන්දියාව වගේ රටක් ගත්තම. කවදාවත් එහෙම වෙන්නේ නෑ.
ගොඩක් වෙලාවට චෝදනා එල්ලවෙනවා රාජ්‍ය සේවකයා දේශපාලනීකරණයට වෙලා කියලා. ඒ නිසාද හාමුදුරුවනේ රාජ්‍ය සේවය මේ වගේ තැනකට වැටුණේ?
මේ හැමදේටම දේශපාලනය අදාළයි. දේශපාලනය විසින් මේ රාජ්‍ය සේවයට බලපෑම් වෙනවා. ඉන්දියාව වගේ ගත්තම කිසිම දේශපාලන තර්ජනයක් රාජ්‍ය සේවයට නෑ. ඉන්දියාව ගත්තම බලය තියෙන්නේ ඇමැතිට නෙමෙයි ලේකම්ට. ලේකම් තමයි චක්‍රලේඛන ප්‍රතිපත්ති අනුව අදාළ දේවල් ක්‍රියාත්මක කරන්නේ. ඒකට අපේ රටේ. අමාත්‍යංශ ලේකම්ට කතා කරන්නේ උඹ බං බොලන් කියලා. සමහර රූ ඉන්න ලේකම්වරයා උදේ එද්දි අස්කරලා. ඇත්තටම ඇමැතිට තියෙන බලය මොකක්ද? එහෙම බලයක් තියෙනවා නම් ඒක නැති කරන්න ඕන. තරහා වෙන්න එපා මෙහෙම කිව්වට මේ දේශපාලනයට බැහැලා ඉන්න වැඩි දෙනෙක් සුදුස්සෝ නෙමෙයිනේ. එහෙම අයගෙන් අර වගේ දෙයක් වුණාම අර වගේ ඉගෙන ගත්ත රාජ්‍ය සේවකයන්ට ඇතිවෙන හැඟීම මොකක්ද? මේ නිසා අපේ රටේ පරිපාලන ක්ෂේත්‍රය අතිශයින්ම බිඳ වැටුණා. මේක සමහර රජයන් අඩුවෙන් කළා. සමහර අය වැඩියෙන් කළා. දැන්නම් මේ තත්ත්වය ටිකක් දරුණුවෙලා තියෙන්නේ. මොකද රාජ්‍ය සේවකයාට සුදුසු තැන ලැබුණේ නෑ.
ඒ කියන්නේ දේශපාලනයයි, රාජ්‍ය සේවයයි ඈත්වෙන්න ඕන කියලද?
නෑ. දෙක බද්ධ වෙන්න ඕන. බද්ධ වුණාට මේක දෙකක්. මොකද රාජ්‍ය සේවකයා කියන්නේ මේ රටේ ප්‍රතිපත්තිකට අනුව වැඩකරන කෙනෙක්. ඔහු වැඩ කරන්නේ නියමිත පටිපාටියකට අනුව. ඒත් දේශපාලනඥයා ගත්තම කලින් කලට එනවා යනවා. ඒ අය ඇවිත් හම්බ කරනවා. යනවා. නැත්නම් නැති කරලම යනවා.
ඔබවහන්සේ කියන ආකාරයට රටේ ජනතාව වගේම ජනතාව පත්කළ පාලකයන් පවා කියන්නේ මේ රටට නිසි ප්‍රතිපත්තියක් නෑ කියලා. ප්‍රතිපත්තියක් තිබුණා නම් සියල්ල හරි කියලා. ඇත්තටම එහෙම වුණොත් මේ ප්‍රශ්නය හරියයිද?
ඒක නම් හැමෝගෙම හදවතින් එන යෝජනාවක්. ඒකේ මාත් ඉන්නවා. උදාහරණයක් ගත්තම විදේශ ප්‍රතිපත්තිය. එක රජයක් ඇවිල්ලා විදේශ ප්‍රතිපත්තියක් හදපුවම තව රජයක් ඇවිල්ලා ඒක වෙනස් කරනවා. ඒකනේ වෙන්නේ සාමාන්‍යයෙන්. දැන් විදේශ ප්‍රතිපත්තිය තුළ ඉන්නේ කට හයියෙන් පාව්ච්චි කරලා සමාජය හොඳ මඟට හෝ නොමඟට යොමුකරන අය. වැඩිපුර ඉන්නෙම නොමඟට යොමුකරන අය. ඕක හැම තැනම එහෙමයි. රටකට ඕන යම් ස්ථීර පරිණත ප්‍රතිපත්තියක්.
ඇයි අපිට එහෙම ප්‍රතිපත්තියක් හදාගන්න බැරි?
ඒකට හේතුව මේ ප්‍රතිපත්ති හදන අය දුර්වලයි. මේ ප්‍රතිපත්ති හදන අය සුදුස්සෝ නෙමෙයි. ප්‍රතිපත්ති හදනවා නම් හදන්න ඕන එක පක්ෂයකින් නෙමෙයි, හැමෝම එකතුවෙලා. සමස්ත රටම නියෝජනය කරලා හදන්න ඕන. එහෙම හදන්න අපේ රටේ හොඳ උගත්තු ඉන්නවා. ඒ අය තමයි මේ රට දාලා දැන් යන්නේ. ඒ අයගෙන් නෙමෙයි උපදෙස් ගන්නේ. ඒ නිසා මේ හදන ප්‍රතිපත්ති සියල්ල ඒ අයගේ වාසියට හදාගන්නේ. ඇත්තටම දිගට යන ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයයි.
ඔබවහන්සේ විද්වතුන් ගැන කිව්වට අද ඒ නමත් දේශපාලනය වෙලා නේද හැම පක්ෂයකම?
ඔය මොන නමකින් ඒ අය හැඳින්වුවත් ඔය කියන තැන්වල වියත්තු ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. වියත් නොවුණත් වුණත් රටක් පාලනය කරන්න උගත්තුන්ටම බෑ. රටට හොඳ වැඩක් කරන්න පුළුවන් අය නිසි තැන්වලට දාලා හරියට වැඩගන්න එක තමයි වියත්තුන්ගේ යුතුකම. උදාහරණයක් හැටියට ගත්තොත් කෘෂිකර්මය ගැන දන්න කෙනෙක් අධ්‍යාපන ක්ෂේත්‍රයට වැටුණම හරියනවද? වියතුන්ගෙන් විතරක්ම මේ රට පාලනය කරන්න බෑ. හැබැයි ඔය පරිපාලනය ක්ෂේත්‍රයේ අය වෙනස්. මොකද ඒ අයගේ උගත්කම විතරක් නෙමෙයි වෘත්තීමය පළපුරුද්ද ඒ අයට තියෙනවා. විද්වත්තු යම් ක්ෂේත්‍රයකට පමණක් සීමා වුණ අය. මොකද ඒ අයට දේශපාලන පරිපාලනය බැරි වෙන්න පුළුවන්.
වර්තමානයේ භික්ෂූන්වහන්සේලා දේශපාලන පක්ෂවල ගොදුරක් වෙලා තියෙනවා කියලා සමහර අය කියනවා. ඔබවහන්සේ ඒවා දකින්නේ කොහොමද?
භික්ෂූන්වහන්සේලා හැටියට අපි පක්ෂ දේශපාලනයෙන් ඈත්වෙන්න ඕන. පක්ෂ දේශපාලනයට හිර වුණොත් අපේ භික්ෂූත්වයට විවිධ බාධා ඇතිවෙනවා. වෙනම පැත්තකට තල්ලු වෙනවා. මගේ අදහස අනුව භික්ෂුවකට දේශපාලනයට සහාය වෙන්න පුළුවන්. රට අමාරුවක වැටුණු වෙලාවට, වැරදි මඟක යන වෙලාවට භික්ෂුවට පුළුවන් වෙන්න ඕන නිවැරදි උපදෙස් දෙන්න. තමන්ගේ පැත්තේ ඒ අනුශාසනා කරන්න පුළුවන්. හැබැයි පක්ෂ දේශපාලනයේ යෙදුණොත් භික්ෂුවට ඒක කරන්න බෑනේ. මොකද එයාගේ පක්ෂය නෙමෙයි නම් එයා උපදෙස් දෙන්නේ වැරදි පාරක යන්න.
මේ වෙලාවේ භික්ෂුන්වහන්සේලාගේ වගකීම මොකක්ද?
අපෙත් යම් යම් බෙදීම් ගැටුම් තියෙනවා නම් ඒවා දැන් ජීවත් වෙන කාලයත් එක්ක බලලා ඒවා අවම කරගන්න ඕන. ඒවා අවම කරගෙන අපි සියලු දෙනා සමගි වෙන්න ඕන. භික්ෂුන්වහන්සේලා හැටියට අපිට පුළුවන් වෙන්න ඕන එක මතයකට එන්න. ඒ මතය රටට දෙන්න පුළුවන් වෙන්න ඕන එක මතයක් හැටියට. ඒත් අවසානාවකට වගේ තවම ඒ මතය ක්‍රියාත්මක කරගන්න බෑ. අපි කෙතරම් මහනායක පදවි දරන් හිටියත් පහුගිය කාලයේ ඇතැම් සිද්ධි නිසා භික්ෂුවගේ චරිතය දුර්වල වෙලා තියෙනවා. භික්ෂුවට වෙලා තියෙන්නේ තනි තනිව තනි මතයට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. එහෙම කරන්න බෑ. භික්ෂුව තමන්ගේ පෞද්ගලික මතය පැත්තකින් දාන්න ඕන. අපේ නිකායවල්, පාර්ශ්ව වෙන වෙනම තියාගමු. ඒත් එක මතයකට එමු.
අපි අවුරුදු 2500ක ඉතිහාසයක් තියන අය කිය කියා වංසේ කබල් ගෑවා ඇති දැන්, බෞද්ධ රට, අපේ ආගම කිය කියා හිටියට වැඩක් නෑ. අතීතයේ දේවල් වැඩක් නෑ. අපිට තියෙන්නේ යුගයේ වගකීම සපුරන එක. ඒක භික්ෂු සමාජයටත් පෙන්නන්න ඕන.
ඒ සඳහා භික්ෂුන්වහන්සේලා එකතුවෙයිද?
එකතුවෙන්න ඕන. අපේ යුගයේ කාර්ය ඉටුකරන්න. දේශපලන පක්ෂත් එහෙමයි. පක්ෂ අයින් කරලා එන්න ඕන රට වෙනුවෙන් එකතුවෙලා. මොනව කරන්නත් රටක් තියෙන්න එපැයි.
ඔබවහන්සේ එහෙම කිව්වට පක්ෂ දැන්මම හොයනව ඊළඟට රට භාරදෙන්න ඉන්න සුදුස්සා කවුද කියලා?
මම නම් හිතන්නේ නෑ මේ මොහොතේ ඊළඟ සුදුස්සෙක් ගැන කතා කරන්න ඕන කියලා. රටක් වුණාම සුදුස්සෝ හැදිලා හැදිලා තේරිලා බේරිලා ඉදිරියට එන්න ඕන.. ජනතාවට හිතෙන්න ඕන මේ රට පාලනය කරන්න මේ කෙනා සුදුසුයි කියලා. වර්තමානයේ කනගාටුම කරුණ තමයි මේ ඉන්න අයගෙන් පස්සෙ කවුද නායකයෝ කියලා හොයන්න නෑ. ඒ තත්ත්වය නැතිවෙලා. ඒක හැදෙන්න ඕන. දැන් වෙලා තියෙන්නේ සත්‍ය දේ නැතිවෙලා අසත්‍ය දේ ඇතිවෙලා ප්‍රචාරය වන ස්වභාවයක් තියෙනවා. ඒක වැරදියි. රටේ බලය බලහත්කාරයෙන් අල්ලන එකට අපි කැමති නෑ. අපි කැමති ප්‍රජාතන්ත්‍රවාදය සමඟ රට යනවට.
අපි හැමෝටම තියෙන එකම ආණ්ඩුව මේ දැන් තියෙන ආණ්ඩුව. ඒ ආණ්ඩුව සම්බන්ධයෙන් ඔබවහන්සේගේ මතය මොකක්ද?
මේ කාරණා මම කිව්වේ පොදුවේ. වර්තමාන අණ්ඩුවේ හරි වැරදි ව්වේචන කියන්න මේ වෙලාවේ මම ලෑස්ති නෑ. හැබැයි යම් වරදක් ඇත්නම් ඒක කියන්නත් අපි බය නෑ. කොහොම වුණත් මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෝක වසංගතය හමුවේ ජනතාවට ඉක්මනින් එන්නත්කරණය කරපු එක ගැන ඇත්තටම අගය කරන්න ඕන. ඒක නිසා ලොකු ව්‍යවසනයක් නතර වුණා.
අවසාන වශයෙන් ඔබවහන්සේට මේ රටේ පාලකයන්ට ජනතාවට නව වසර වෙනුවෙන් දෙන්න පුළුවන් අනුශාසනාව මොකක්ද?
ඇත්තටම මේ විදිහට ගියොත් රට ආර්ථිකමය වශයෙන් විශාල පිරිහීමකට ලක්වෙනවා. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි පහුගිය ආණ්ඩුත් වගකියන්න ඕන. අපි හැමදාම ණය අරගෙන වැඩේ කරගෙන ගියාට අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ක්‍රමයක් අපිට තවම බැරි වුණා. ඒ නිසා එක්කෙනෙක්ට දොස් කියලා වැඩක් නෑ. ඒ නිසා මේ වර්තමාන බරපතල තත්ත්වයෙන් මිදෙන්න සියලු ආගම්වල එකතුවෙන්, සියලුම ජනතාවගේ එකතුවෙන් කටයුතු කරන්න ඕන.ඊට පස්සේ ප්‍රතිපත්ති හදලා අපි මෙතනින් පස්සේ මේ ප්‍රතිපත්ති කරගෙන යමු කියලා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕන .හැමෝම ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන.එහෙම කරලා හරියට රට දිව්වොත් කාටත් අනාගතයේ ජනාධිපති වෙන්න අගමැති වෙන්න පුළුවන්.
ගයාන් ගාල්ලගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ