2022 ජනවාරි 01 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 110

පිරිසුදු ආණ්ඩුවකට ලී ක්වාන් යූ ගේ පාඩම්!

ලංකාව තම සංවර්ධනයේ පූර්වාදර්ශය බවට සිංගප්පූරුව පත් කරගත්තේ බොහොම කාලයකට පෙරදීය. ජේ.ආර්. ජයවර්ධන යුගයේදීත් ප්‍රකාශ වුණේ ලංකාව සිංගප්පූරුවක් කරන බවය. ඒ වුණත් ලංකාවට තවමත් සිංගප්පූරුව අසලටවත් පැමිණීමට හැකියාවක් ලැබුණේ නැත.

සිංගප්පූරුවේ දියුණුව පසුපස සිටි අයෝමය නායකයා වූ ලී ක්වාන් යූ තුන්වැනි ලෝකයේ නොදියුණු, අකාර්යක්ෂම, දූෂිත රටක්ව තිබූ සිංගප්පූරුව ලෝකයේ අංක එකේ රටක් බවට පත්කළ කතාව වරින්වර ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරින් From Third World to First – The Singapore Story – 1965-2000 පොත කැපී පෙනේ. දූෂණයෙන් තොර පිරිසුදු ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ රහස ඔහු එයින් පෙන්වා දෙයි. ලී ක්වාන් යූ ගේ මතකය ඇසුරින් රචිත එම පොතේ ලංකාවටද ආදර්ශයක් ගත හැකි බොහෝ කරුණු අඩංගුය. එහි එක් පරිච්ඡේදයකින් උපුටාගත් කරුණු කිහිපයක් මෙහි දක්වමු.

අප සියලු දෙනාගේම ඇඳුම සුදු කමිස සහ සුදු කලිසම් විය. අපගේ පෞද්ගලික හැසිරීම් තුළ සහ පොදු ජීවිතයේදී පවත්වාගත යුතු පාරිශුද්ධත්වය සහ අවංකකම සංකේතවත් කිරීම එයින් අරමුණු කෙරිණි. මහජනතාව අපෙන් ඒ දේ අපේක්ෂා කළහ. එම අපේක්ෂා ඉටුකර දීමට අපි අදිටන් කරගෙන සිටියෙමු.

මගේ සියලු අමාත්‍යවරුන් අතුරින් එක් අයකු හැර සෙසු සියලුදෙනා විශ්වවිද්‍යාල උපාධිධාරයෝ වූහ. රට නිවැරදිව පාලනය කරගත හැකි බවට අප තුළ දැඩි විශ්වාසයක් තිබිණි. මා වැනි වෘත්තීය නිපුණත්වයක් තිබූ හැමදෙනා තුළම ඒ සියලු බලාපොරොත්තු රැඳී තිබිණි.

අමාත්‍යවරුන් මහජනතාවගේ ගෞරවය සහ විශ්වාසය ලබාගන්නා විට රජයේ නිලධාරීන්ට හිස කෙළින් තබාගෙන විශ්වාසයෙන් යුතුව තීන්දු තීරණ ගැනීමට හැකියාව ලැබේ.

1959 ජූනි මාසයේදී අපි රජයේ පාලනය බාරගත් දවසේ පටන් රජයේ ආදායම් වශයෙන් ලැබෙන සෑම ඩොලරයක්ම නිසි ලෙස ගිණුම්ගත කිරීමටත් එම ආදායම බිම් මට්ටමේ සිටින සියලු ප්‍රතිලාභී ජනතාවට එක ඩොලරයක් හෝ අපතේ නොහැර ලැබෙන තැනටත් වග බලාගත්තෙමු.

බ්‍රිතාන්‍යයන් විසින් 1952 වසරේදී දූෂණ ක්‍රියා විමර්ශන කාර්යාංශය පිහිටුවා තිබුණේ සිංගප්පූරුවේ උත්සන්න වෙමින් පැවැති දූෂණ ක්‍රියා මැඩපැවැත්වීම සඳහාය. පොලිසියේ මැදි සහ පහළ මට්ටමේ නිලධාරීන් අතරත්, ව්‍යාපාර කටයුතු පරීක්ෂකවරුන් සහ ඉඩම් නිලධාරීන් අතරත් දූෂණ ක්‍රියා බෙහෙවින් පැතිර තිබිණි. ඒ බොහෝ දෙනෙක් නීති කැඩූ අතර ඔවුන්ට එරෙහිව පියවර ගැනීම අවශ්‍ය වී තිබිණි. ඔවුහු අල්ලස් ගැනීමට පුරුදුව සිටියහ. වඩාත් දූෂිත ඉහළ පෙළේ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීමට දැඩි අවධානයක් යොමුකළ යුතු බවට තීරණය කළ අපේ රජය ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි දූෂණ ක්‍රියා විමර්ශන ඒකකයට දැනුම් දුන්නෙමු. රජයේ ප්‍රමුඛතා පිළිබඳව එම ඒකකය දැනුවත් කිරීමටද කටයුතු කළෙමු.

කල් ඉකුත් වී තිබූ දූෂණ විරෝධී පැරණි නීති වෙනස් කිරීමට පියවර ගත් අතර දූෂණ ක්‍රියාවලට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට වැඩි බලය ලබාදීමද එයින් සිදුකෙරිණි.

වඩාත්ම ප්‍රබල වෙනස සිදුකළේ 1960දීය. තමන්ට ලැබෙන ආදායමට වඩා වියදම් කරන පුද්ගලයන්ට සහ ලබාගත් ආකාරය පිළිබඳ හේතු දැක්වීමට අපොහොසත් දේපළ අයිතිකරුවන්ට අල්ලස් සහ දූෂණ චෝදනා ගොනු කිරීමට උසාවිවලට බලය ලබාදීම එයින් සිදුවිය. එම ක්‍රියාවන් අල්ලස් ලබාගත් බවට සාක්ෂියක් වශයෙන් පිළිගැනීමට නීති සකස් විය. රජයේ සියලු ඇමැතිවරුන් සහ නිලධාරීන් පිළිබඳව විමර්ශනය කිරීමට බලය ලබාදීමත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සූක්ෂම ලෙස සොයාබැලීමට කටයුතු යෙදීමත් හේතුවෙන් දූෂණ විරෝධී කාර්යාංශයට ඉමහත් කීර්තියක් දිනාගැනීමට හැකිවිය. එම කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට සිය රාජකාරි ඉටුකළ අතර මහජන විශ්වාසය කඩකරන සියලුදෙනා තම දැලට හසුකර ගැනීමට එම කාර්යාංශය සමත් විය.

මහජනතාවට රුකියා ලබාදීම, පාසල්, ප්‍රජා මධ්‍යස්ථාන, රෝහල් ගොඩනැගීම සහ වඩාත් වැදගත් වූ තමන්ටම අයිති නිවෙසක් ලබාදීම හරහා යළි යළිත් ඔවුන්ගේ ඡන්දය අපට ලබාගැනීම සඳහා අපි ක්‍රියා කළෙමු.

එසේම සිංගප්පූරුව ලොවට පෙන්වා දුන්නේ පිරිසුදු පාලනයක් සහ මැතිවරණ එතරම් නොමැතිවීම අවංක ආණ්ඩුවක පැවැත්මට උදව් වන බවය. නමුත් සිංගප්පූරුව පිරිසුදු සහ අවංක රටක් වශයෙන් පවතිනු ඇත්තේ අවංක, හැකියාව ඇති පුද්ගලයන් පමණක් මැතිවරණයට ඉදිරිපත් වී තරගකර ආණ්ඩුවට එකතු වීමෙන් පමණි. හැකියාවන්ට සහ අවංක කැපවීමට අනුව ඕනෑම විශාල සමූහ සමාගමක නිලධාරීන්ට එසේත් නැත්නම් නීති ක්ෂේත්‍රයේ හෝ වෙනත් එවැනි වෘත්තීමය ක්ෂේත්‍රයක නිලධාරීන්ට ලැබෙන වැටුප හා ගැලපෙන වැටුපක් අපගේ මහජන නියෝජිතයන්ටද ලබාදිය යුතුය. පසුගිය දශක දෙක තුළ සිංගප්පූරුව පෙන්වා ඇති 8% සිට 9% දක්වා වන වාර්ෂික ආර්ථික වර්ධනය එලෙසම කළමනාකරණය කරගැනීම ඔවුන් අතින් ඉටුවිය යුතුය. ලෝක බැංකුව 1995දී පෙන්වා දුන් පරිදි ලෝකයේ 9 වැනි ස්ථානයේ පසුවන ඒකපුද්ගල ආදායමට හිමිකම් කියන සිංගප්පූරු වැසියන්ට ඒ තත්ත්වය දිගටම හිමිකර දිය යුතුය.

අවංක බව නායකත්වය සමඟ බැඳී තිබීම පුරුද්දක් බවට පත්ව තිබේ.

මගේ භාවිතය වූයේ අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සියලු ප්‍රතිලාභ එක මිටකට ලබාදී ඒවා වියදම් කළයුතු ආකාරය පිළිබඳ තීන්දු ඔවුන්ට ලබාගැනීමට ඉඩ හැරීමය.

මහජන සහායෙන් බලයට පත් කෙරෙන ආණ්ඩුවකට නීතියක් වශයෙන්ම ඇමැතිවරුන්ට නිල වශයෙන් ගෙවන්න සිදුවන්නේ අඩු වැටුපකි. එහෙත් නිවාස, වියදම් දීමනා, වාහනයක්, ගමන් දීමනා, ඉන්ධන, දුරකතන බිල්, විදුලි බිල්, විදෙස් ගමන් දීමනා වැනි අර්ධ වශයෙන් සැඟවුණු වරප්‍රසාද සඳහා වැටුපට වැඩි මුදලක් ආණ්ඩුව වැය කරයි.

මහජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රතිඵල පෙන්වන හොඳ, අවංක, පිරිසුදු ආණ්ඩුවකි.