මෝදි බැසිල් හමුව අවලංගුයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එම අවස්ථාව අහිමි වී තිබේ. ගුජරාටයේ පැවැත්වීමට නියමිතව තිබූ ගෝලීය ආයෝජන සමුළුවේ දසවැනි අවස්ථාව ආරම්භ කරමින් මේ 10 සහ 11 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ උත්සවය කල් දමනු ලැබීම ඊට හේතුවය.
ගුජරාටයේ මෙම ආයෝජන සමුළුව කල් දමනු ලැබ ඇත්තේ කොවිඩ් ආසාදිතයන්ගේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙනි.
ඉන්දීය අගමැතිවරයාත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාත් අතර සාකච්ඡාව සැලසුම් කර තිබුණේ 10 වැනිදා මෙම සමුළුව පැවැත්වෙන අතරතුරදීය. සමුළුව විවෘත කිරීම ඉන්දීය අගමැතිවරයා අතින් සිදුකිරීමට නියමිත විය.
පසුගිය දෙසැම්බර් 1 වැනිදා සහ 2 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සිදුකළ නිල සංචාරයේදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් සහ විදේශ කටයුතු ඇමැති ජයිශංකර් සමඟ සාකච්ඡා පැවැත්විය. එසේම ජයිශංකර් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද බැසිල් රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබිණි. ඊට අමතරව ඉන්ධන සහ ස්වභාවික වායු ඇමැති හාර්දිප් සිං පූරි සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමඟ හමුවක්ද යෙදුණේය.
එම සාකච්ඡාවලදී දෙරට අතර සිව් වැදෑරැම් සහයෝගිතා වැඩපිළිවෙළක් සඳහා එකඟත්වය පළ කෙරිණි. හදිසි අවශ්‍යතා සේ සලකා ආහාර සහ සෞඛ්‍යාරක්ෂක සැපයුම්, බලශක්ති, ඉන්දීය ආයෝජන පහසුකම් සහ විනිමය අර්බුදයට ආධාර කිරීම සඳහා එම එකඟතා ඇතිකරගනු ලැබීය.
- ඩේලි මිරර්