සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු
ඔබ තමයි මේ ආණ්ඩුවට ලොකුවටම වාග් ප්‍රහාර එල්ල කළේ. අසනීප තත්ත්වයත් එක්ක යම්තාක් දේශපාලනයෙන් ඈත්වුණු ඔබ තවමත් වැඩිය කරළියේ පේන්න නෑ. මොකද ආණ්ඩුවට බයද? නැත්නම් කලකිරීමක් නිසා කට වැහිලද?
මගේ ශල්‍යකර්මය අවසන් වුණේ ඔක්තෝබර් මාසයේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට සහභාගි වුණේ නෑ. ඒ වගේම පාර්ලිමේන්තුව දෙසැම්බර් නිවාඩු දුන්නා. ඒ වෙනකොට රටේ තිබුණු කොවිඩ් තත්ත්වයත් එක්කයි මාව දකින්න හම්බවෙන්න නැතුව ඇත්තේ. දැන් මගේ ශල්‍යකර්මය කරලා මාස තුනක් නිසා දැන් පොඩ්ඩ පොඩ්ඩ දේශපාලනයට ඇතුළු වෙමින් ඉන්නේ. කොහොම වුණත් අර ටිකක් ඈත්වෙලා හිටිය කාලේ රටේ දේශපාලනයත් පක්ෂ දේශපාලනයත් ගැන මෙනෙහි කරන්න මට අවස්ථාවක් ලැබුණා. රටේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන ආකාරය, ඒ වගේම පක්ෂය වෙනස් විය යුතු ආකාරය ගැන මම යම් යම් අධ්‍යයන සිදු කළා. කොහොම වුණත් රටේ සහ පක්ෂයේ අනාගත වැඩපිළිවෙළ ගැන පක්ෂයේ කණ්ඩායමත් එක්ක මම මේ වෙද්දි තිරය පිටුපස ඉඳලා කටයුතු කරමින් ඉන්නවා.
ඔය මෙනෙහි කරද්දී හිතුණද මම විතරයි කෑගහන්නේ. අනිත් අය කෑගහන්නේ නෑ. මට පොලීසි ගාණේ යන්නත් වෙනවා. ඒ නිසා ටිකක් කට වහගෙන ඉන්නවා කියලා?
සමහර ප්‍රශ්නවලදි අපි තනිවෙනවා. මොකද ඒ ප්‍රශ්නවලට අපි පක්ෂයක් හැටියටත් විපක්ෂයක් හැටියටත් මුහුණ දෙන්නේ නෑ කියලා මට හිතෙනවා. හැබැයි ආණ්ඩුවේ කෙටි කාලයක් තුළදී ආණ්ඩුවට විරුද්ධ සමාජ මතයක් හදන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒ නිසා මම අභියෝගයට පවා ලක් වුණා. මාව සිරගත කරන්න විශාල උත්සාහයක් ගත්තා. හැබැයි ඒ හැම වෙලාවෙම නායකතුමා හිටියා. ඔහු නිතර රාත්‍රියේ විනාඩි 10-15ක් මා එක්ක කතා කරනවා. හැබැයි මම හිතනවා අපේ වෙනස් විය යුතු තැන් තියෙනවා. අන්න ඒ වෙනස්වීම් සිදුවිය යුතුයි.
ඔය මොන දේ කිව්වත් මට හිතෙන්නේ ඔබ නිශ්ශබ්ද වෙන්න හේතුව තමයි අර රහස් පොලීසියෙන් පන්නපු වෙලාවේ ඔබ තනිවුණා වගේ කියලා. ඒ සිදුවීමත් එක්ක හරීන් පොඩ්ඩක් නිශ්ශබ්ද වුණා කියලා කිව්වොත් වැරදිද?
ඇත්තටම ඒ සිදුවීමත් එක්ක උඩ ඉන්න දෙවියෝ බැලුවා වගේ මට පුළුවන් වුණා මට දරුණු අසනීප තත්ත්වයක් තියෙනවා කියලා හොයාගන්න. ඇත්තටම මම පොලීසියට ස්තූතිවන්ත වෙනවා, ඒ වෙලාවේ ඒ අය පස්සෙන් ආපු නිසයි මට ඒක හොයාගන්න පුළුවන් වුණේ. ඒ වගේම ඒ කාලය තුළ මගේ පවුලේ අය ගැන, දරුවෝ ගැන හිතන්න මට කාලයක් ලැබුණා.
ඇත්තටම හරීන් බය වුණේ නැද්ද?
නෑ. මතක තියාගන්න එදා මම කිව්ව දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. අති උතුම් කාදිනල් හිමිපාණන් පවා මට මුල් කාලයේ විවිධ දේ කිව්වත් අද උන්වහන්සේ පවා පිළිගෙන තියෙනවා මම කිව්ව දේවල්. මට හිතෙනවා මම විපක්ෂයේ ඉඳලා මේ ආණ්ඩුව ගැන පූර්ව දැනුවත් කිරීමක් ජනතාව වෙනුවෙන් කළ කෙනා කියලා. මම තනිවුණාද නැද්ද කියන එකට වඩා මම කැමැති කණ්ඩායම් හැඟීමෙන් හැමදේම කරන්න. සමහර තැන්වල අපි විපක්ෂයක් හැටියට යම් යම් අඩුපාඩු තියෙනවා කියලා දැකලා තියෙනවා. ඒත් අපි මේ අවුරුද්දේ සියල්ල හදාගන්නවා.
ඔබත් තනිවුණු නිසාද වැලිකඩ තනිවෙලා ඉන්න රන්ජන්ව නිතර නිතර බලන්න යන්නේ?
ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා. රන්ජන් ආණ්ඩුවේ ඉන්නකොට ආණ්ඩුවට ගහපු ලොකුම ප්‍රහාරවලින් වැඩියෙන්ම බැටකෑවේ මම. මොකද මම ලාබාල ඇමැතිවරයා නිසා. ඒ නිසා මට නොයෙකුත් අනු නාම එකතු කරන්න විපක්ෂයේ අයට හැකිවුණා. ඒක ගැන හිතලා මම රන්ජන්ට වෛර කළේ නෑ. මම හිතන්නේ රන්ජන් විඳින දුක දැක්කම ඒක හතුරකුටවත් නොවිය යුතු දෙයක්. මේ ගැන ඇත්තටම මම කනගාටු වෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔහුට සාධාරණයක් වෙයි කියලා. මොකද ඔහු දැන් අවුරුද්දක කාලයක් සිරගත වෙලා හිටියා. එතුමා දාලා තිබුණේ ඉතාම අප්‍රසන්න සිරමැදිරියක. ඔහුව වැසිකිළි හෝදන්න පවා දාලා තිබුණා. ඒ නිසා මම හිතනවා තනිවෙනකොට තමයි මිනිහෙක්ට උදව් කරන්න ඕන කියලා. හැබැයි මම තනිවෙලා නෑ. මට මන්ත්‍රීවරු දහයක් පහළොවක් ඉන්නවා, අපි කණ්ඩායමක් හැටියට වැඩ කරනවා.
රන්ජන්ව බලන්න යනවා. කේක් අරන් යනවා. අරක මේක හැමදේම කරනවා. ඒත් රන්ජන්ව එළියට ගන්න මෙහෙයුමක් නෑ තවම ඔබේ පක්ෂයට?
ඇත්තටම ඒක පොඩි මතභේදාත්මක තැනක්. විපක්ෂ නායකතුමා ආණ්ඩුවෙන් කිහිප වතාවක් ඉල්ලීම් කරලා තියෙනවා රන්ජන්ව නිදහස් කර ගන්න. ඒ නිසා වෙන්න ඇති ආණ්ඩුවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයකට නොයන්නේ. කොහොම වුණත් ජනාධිපතිතුමා ගොඩක් අයට නිදහස දුන්න එකේ රන්ජන් වගේ කෙනෙක්ට නිදහස දෙන්න බැරිකමක් නෑ. ඒත් මම තීරණය කළා දෙසැම්බර් 25 වැනිදා ඉඳලා රන්ජන්ව බේරාගන්න රට වටේ යන්න. ඒක මම නායකතුමාටත් කිව්වා. එතුමා ජනවාරි 1 වැනිදා රන්ජන් බලලා එනකොට මාධ්‍යයට කිව්වා, තරුණ මන්ත්‍රීවරුන්ට ඒ සටන බාර දෙනවා කියලා. මම හිතනවා ඒ වැඩපිළිවෙළ මට බාර දෙයි කියලා. මම හිතනවා මේ ගෙවුණු අවුරුද්ද තුළ ලොකූ දෙයක් කරන්න තිබුණා. නමුත් නායකතුමාගේ දාගත්ත වැඩ නිසා අතපසුවීම් වුණා.
ඒ කියන්නේ කට්ටියගේ හැම වැඩේම ලොකුයි රන්ජන් එළියට ගන්න එක ඇරෙන්න?
මට එක වෙලාවකට හිතෙනවා විපක්ෂයක් හැටියට රන්ජන්ගේ වටිනාකම තේරිලා නැද්ද මන්දා කියලා. රන්ජන්ගේ සිද්ධිය ඇති මේ ආණ්ඩුව පෙරළන්න. මොකද රන්ජන් සිරගත වීමට හැමෝම විරුද්ධ වුණා. ඒ විරුද්ධ වීමට විපක්ෂය ප්‍රයෝජන ගත්තේ නැද්ද කියලත් මම හිතුවා. මම දන්නවා නායකතුමා පැහැදිලිවම ඉන්නේ රන්ජන් බේරගත යුතුයි කියන මතයේ. එතුමා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඒත් දේශපාලන කෝණයෙන් බැලුවම මට හිතෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා වැරදි කරපු මිනිස්සු බේරගන්න දුන්න සටන එක්ක බලද්දි ලොකු වැරුද්දක් නොකරපු රන්ජන්ව බේරගන්න අපි මීට වඩා මහන්සි වෙන්න ඕන කියලා.
සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙයින් ගෙට, ගමෙන් ගමට යනවා. සාමාන්‍යයෙන් ඡන්දයක් තියෙනකොට කරන දේවල් එතුමා දැන් කරනවා. එහෙම ගිහිල්ලා ජනතාවගේ දුක් අඳෝනාවලට එතුමා දෙන උත්තරය තමයි අපේ ආණ්ඩුවකදි කරන්නම් කියන එක. ඒක කියන්නද ඔබලා මේ යන්නේ?
නෑ. ඒකේ දෙපැත්තක් තියෙනවා. දැන් බලන්න සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වෙද්දි ඉන්නේ උතුරේ සති දෙකක් ඉඳලා. මම හිතන්නේ විපක්ෂ නායක කෙනෙක් එච්චර කාලයක් උතුරේ හිටියමයි. අඩුම පක්ෂ නායකයෙක්වත් ඉඳලා නෑ. ඇත්තටම එතුමාට මොන විවේචන තිබුණත් එතුමා මේ කරන දේවල් එක්ක කාටවත් හැරෙන්න බෑ. මොකද එතුමා සුබසාධන නායකයෙක්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වගේ. ඉතින් මේ පුංචි ප්‍රේමදාස යන්නෙත් ඒ පාරේ කියලා පේනවා. මතක තියාගන්න සමගි ජන බලවේගය කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි, කණ්ඩායමක්. එතුමා අපේ ආණ්ඩුවක් කියලා සඳහන් කරන්නේ ඒ නිසා.
එතුමා ඔබලා කියන දේ අහනවද?
ඇත්තටම එතුමා අපි කියන දේ අහනවා. කවදාවත් එතුමා තනි තීරණයකට ගිහින් නෑ. අපේ පොඩි අඩුපාඩුවක් තියෙනවා කණ්ඩායම් වැඩවලට අපි තවම ගිහිල්ලා නෑ.
තවම විපක්ෂයේ සන්ධානයක් නෑ, වෘත්තීය සමිති, සංවිධාන එකතුවකුත් නෑ, අඩුම ගාණේ රට ගැන ඔවුන්ට අනන්‍ය ප්‍රතිපත්ති මාලාවකුත් නෑ. ඒත් ඒ සියල්ල නැතුව රට වටේ යනවා?
මේ වෙද්දි අපි කතා වේගෙන යනවා පොදු වේදිකාවක් සම්බන්ධයෙන්. ප්‍රතිපත්ති මූලික කර ගත්ත පොදු වේදිකාවක්. ඒ වේදිකාවේ සජබය මූලිකත්වය ගන්න ඕන කියලා මම විශ්වාස කරනවා. අපිට තියෙන්නේ ඒ සඳහා පාර හදන්න. මොකද මේක තමයි ලංකාවේ පළවෙනිම ආණ්ඩුව ඉක්මනින් ජනතා අප්‍රසාදයට ලක්වුණ. ඒ නිසා විපක්ෂය ඉන්න ඕන ඊට වඩා ශක්තිමත්ව. ඉතින් මම පිළිගන්නවා ඉදිරි දැක්මේ ප්‍රතිපත්තිය හදන්න ඕන විපක්ෂය හැටියට අපි. ඒක විනිවිදභාවයකින් යුක්ත වෙන්න ඕන. එවැනි ප්‍රතිපත්තියක් හැදුවම නායකයා කවුරු වුණත් කමක් නෑ.
අද තරුණ ප්‍රජාව එක හෙළා ප්‍රතික්ෂේප කරනවා රටේ දේශපාලනය. ඔවුන් හැමෝටම 225 එපා වෙලා ඉන්නේ. දැන් ඔය ගමින් ගමට යන කිසිම නායකයෙක්ට ඒ තරුණ ප්‍රජාවගේ දේශපාලන ප්රබෝධය ඇතිකර ගන්න බැරි වුණා නේද තවම?
ඇත්තටම නෑ. මට හිතෙනවා මේ රටේ වසරකට විශාල වශයෙන් බුද්ධි ගලනයක් වෙන්නේ හරි ප්‍රතිපත්තියක් නැති නිසා. ඒ ප්‍රතිපත්තිය තමයි වැදගත්. මේ රට වෙනස් වෙන්න ඕන. තරුණයන්ට කතා කරන්න, රට ගැන, දේශපාලනය ගැන, මේ සියල්ල සඳහා නිදහස දෙන්න ඕන. මම පිළිගන්නවා තරුණයන්ට විශ්වාසයක් නෑ. ඒ වගේම ඒ තරුණ හිත් දිනාගන්න කිසිම පක්ෂයටකට හැකිවෙලා නෑ. මම ඒක පිළිගන්නවා. විශේෂයෙන්ම මේ ආරක්ෂකයන් පිරිවරාගෙන දේශපාලනඥයන් ගමන් කිරීම තමයි හැම කෙනාම දේශපාලනඥයන්ගෙන් ඈත්වෙන්න ප්‍රධාන හේතුව. ජනතාවගෙන් පත්වෙන දේශපාලනඥයන්ට ජනතාවගෙන් හිරිහැරයක් නෑ.
ඒ වගේම ජනතාවත් රවට්ටනවා. ඔබලා පේන්න මරාගත්තට ඇතුළෙන් එකතුයි. ජනතාව කොහොමද ඔබලගේ රුවටීමෙන් බේරෙන්නේ?
අර යල්පැන ගිය පවුල් දේශපාලනයට තිතක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අලුත් කණ්ඩායමක් ඕන. විශේෂයෙන් අලුත් කණ්ඩායමක් කිව්වම මේ ආණ්ඩුවේ ඉන්න වියත්තු නෙමෙයි. ඒ වගේම කියන්න ඕන මේ රටේ නිලධාරිවාදය. ඒකත් මේ සියල්ලට හේතු වෙලා. ඒ නිසා මම කියන්නේ ජනතාව රුවටෙන්නේ දේශපාලනඥයන් නිසා නෙමෙයි. ජනතාව තමයි ඒ දේශපාලනඥයන් අරගෙන යන්නේ උඩට. ඡන්දය දෙන්නේ ජනතාව. ඒ නිසා ජනතාව දැනගන්න ඕන තමන් වෙනුවෙන් ඉන්න දේශපාලනඥයා කවුද කියලා තීරණය කරන්න. ඒ වගේම මගේ අදහස තමයි මේ සියලු පක්ෂ අවුරුදු දහයක් දැන් කරන මේ කුණුහරුප දේශපාලනය නවත්වන්න ඕන. ඊට පස්සේ රට හදන සැලැස්මක් වෙනුවෙන් වැඩ කරන්න ඕන.
මේ ඔක්කොම කතා කරන හරීන්ට රටේ ලොකු තැනට යන්න ආසාවක් නැද්ද?
නෑ. මට තියෙන්නේ රට කරන්න නෙමෙයි, රට කරන කෙනාගේ ළඟින් ඉන්න. ළඟින් ඉඳන් ප්‍රතිපත්ති ටික හදන්න. මට තනතුරු ඕන නෑ. මට වාහන ඕන නෑ. මට එස්ටීඑෆ් ඕන නෑ. මට ඕන වැඩ කරන්න. මට ඕන ප්‍රතිපත්තිගරුක රටක ජනාධිපති සහ අගමැති ළඟ ඉඳලා රට කරවන පුද්ගලයෙක් වෙන්න.
ගයාන් ගාල්ලගේ