2022 ජනවාරි 22 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනපතිතුමාට ගන්න වෙනවා

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 120

- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

♦ කලින් කළ යුතුදේ අපි නොකළොත් අපේ ආණ්ඩුවත් නැති කරාවි
♦ 
ජනතාව අමාරුවේ දාන වාත්තීය අරගල කරන්න එපා
♦ 
මේ වෙලා තියෙන දේට හිටපු ආණ්ඩුත් වගකියන්න ඕනෑ
♦ මේ වසරේ මැද වෙනකොට තෙල් ප්‍රශ්නය විසඳේවි
♦ නාමල් ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි වැඩ ගොඩක් කරනවා
♦ තව තව දේශපාලන කුමන්ත්‍රණ ළඟදීම හෙළිවේවි
♦ විපක්ෂය ඉතිං හැමදාම ඔහොම හීන දකිනවා

සාමාන්‍යයෙන් ආණ්ඩුවකට තියෙන ලොකුම අභියෝගය තමයි රටේ ජනතාව වෙනුවෙන් වැඩකරන ගමන් ජනතාවගේ හිත් දිනාගන්න එක. ඒත් වර්තමාන ආණ්ඩුවට මේ සියල්ලට වඩා දැන් වෙලා තියෙන්නේ ඇතුළේ ප්‍රශ්න විසඳගන්න වෙන එක. දැන් ආණ්ඩුවේ එකම ප්‍රශ්නය ඇතුළේ ප්‍රශ්නද?

සන්ධානයක් එක්ක ආණ්ඩු කරද්දී මේ රටේ අනෙක් සන්ධාන මුහුණ දුන්න අභියෝගවලට තමයි අපිත් මුහුණ දෙමින් ඉන්නේ. මම පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ පක්ෂවල නායකයන්ගෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ වගකීමෙන් වැඩ කරන්න. කිසිම විදිහකින් ප්‍රශ්න ඇති කරන්න එපා. ජනතාවට අවශ්‍ය ඔවුන් වෙනුවෙන් අපි මොකද කරන්නේ කියලා මිසක් අපේ ප්‍රශ්න නෙමෙයි. ඒ නිසා ඔය හැමෝටම වඩා අපි වගේ පසුපෙළ තරුණ මන්ත්‍රීවරු හිතන විදිහ වෙනස්. ඔය කෑගහන අපේ සන්ධානයේ නායකයන්ට වඩා අපි ප්‍රශ්න දිහා පරිණතව බලන්නේ.

සන්ධානයක හැටි එහෙම තමයි කිව්වට පොහොට්ටුවත් ශ්‍රීලනිපයත් අතර රණ්ඩුව පටන් ගන්නේ මේ ආණ්ඩුව පිහිටෙව්ව මොහොතේ ඉඳලා. මොකක්ද මේකට හේතුව?

අපිත් ඒක දැක්කා. අපි මුල ඉඳලම කිව්වා ආණ්ඩුවෙයි විපක්ෂයෙයි දෙකේම ඉන්න බෑ කියලා. ඒ මතය ඉස්සෙල්ලම අරන් ගියේ අපි. ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුවේ ඉන්න ඕන. විපක්ෂයේ ඉන්නවා නම් විපක්ෂයේ ඉන්න ඕන. අපි දන්නවා මේ කොවිඩ් අර්බුදය එක්කමයි අපේ ආණ්ඩුව පටන් ගන්නේ. ඒ සියල්ල හමුවේ තමයි අමාරුවෙන් මේ රට අරගෙන යන්නේ. ඇත්තටම මේ වෙන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක්. මේක තමන් බලාපොරොත්තු වුණු වගකීම් ඉක්මණින් ඉෂ්ට කරගන්න බැරිවීම නිසා වෙන දෙයක්.

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු තමයි ශ්‍රීලනිපයට වැඩියෙන්ම ගහන්නේ. ශ්‍රීලනිපයේ අය කියන්නේ මේ කෑගහන මන්ත්‍රීවරු කිසිදෙයක් දන්නේ නෑ. නමුත් ඒ අය ප්‍රශ්නයක් ඇති කරන්න සූදානම් වෙනවා කියලා? ඇත්තද?

මම ඉතාම අවබෝධයෙන් කියන්නේ අපේ සන්ධානයේ ඉන්න කිසිම පක්ෂයකට අපි වෙනස්කමක් කරලා නෑ. අඩුම තරමේ වෙනම කණ්ඩායම් රුස්වීමක්වත් ගත්තේ නෑ පහුගිය දෙසැම්බර් වෙනකල්. හැමදාම තිබ්බේ කණ්ඩායමත් එක්ක. නමුත් අනෙක් පක්ෂ වෙන වෙනම දේවල් කළා. රජයේ සියලුම මන්ත්‍රීවරුන්ට සලකන විදිහට තමයි සැලකුවේ. දේශපාලනයේදී හිත් රිදවීම් වෙනවා කියන කරන වචන නිසා. හැබැයි එහෙම කියලා, ඒ නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ කියලා කියනවා නම් ඒක වැරදියි.

ශ්‍රීලනිපයේ මහලේකම් දයාසිරි ජයසේකර කිව්වා පාස්කු සිදුවීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒක ඇත්තද?

මෙහෙමයි, අපි යථාර්ථයට මුහුණ දෙමුකෝ. පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ නායකයා, සේනාධිනායකයා, ආරක්ෂක ඇමති, නීතිය හා සාමය බාර ඇමති හැටියට කටයුතු කළේ කවුද? මමද? නැහැනේ. ඒකේ දශමයක හරි වගකීමක් නායකයාට යන්නේ නැද්ද? පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී පැහැදිලිවම තියෙනවා, කලින් ගහනවා කියලා දැනන් හිටියා කියලා. ඉන්දියාව විසින් ගහන්නේ මෙන්න මේ අය කියලා නම් පිටින් පවා දුන්නා කියලා තියෙනවා. එතකොට ඒ වගකීමෙන් පැනලා දුවන්න පුළුවන්ද? ඒ වගකීමෙන් පැනලා දුවන්නෙ කොහොමද? ඒ වගකීම එතුමා ගන්නම ඕන. අපිට ඇඟිල්ල දික් කරලා පැනලා යන්න බෑ.

එතුමා වගකීම ගන්නම ඕන කියන්නේ මේ සිදුවීමට එතුමා ඇතුළට යන්නම ඕනද?

රටේ සිදුවීමක් දැන දැන සිදුවුණා. ඒ සිදුවීමේ වගකීම ඒ ආණ්ඩුවේ නායකයා ගන්න ඕන නැද්ද? එතුමාට ඒක ගන්න කියන්න. එතුමාට ගන්න වෙනවා. එතුමාගේ දේශපාලන ජීවිතේ බලන්න. ඇමැති කාලේ කියනවා ජනාධිපති වැඩකරන්න දුන්නේ නෑ කියලා. ජනාධිපති වුණාම කියනවා ඇමැතිවරු වැඩ කරන්න දුන්නේ නෑ කියලා. දැන් එතුමා මොකක්ද කරන්නේ. දැන් එතුමා කරන්නේ අපේ ජනාධිපතුමාගේ කකුලෙන් අදින එක. ඒක හරිද? හැබැයි අපේ ජනාධිපතිතුමා කිසිවෙලාවක කියන්නේ නෑ මෛත්‍රී කකුලෙන් අදිනවා කියලා. මොකද එතුමා වැඩකරගෙන යනවා. මෛත්‍රී හිටපු ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරය විතරක් නෙමෙයි සියල්ල එක එක්කෙනාගේ කරේ පටවනවා. එහෙම පටවන ගමන් ලැජ්ජ නැතුව ආයේ බලය ඉල්ලනවා.

දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා ආණ්ඩුවට වක්‍රාකාරව. මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා ඇතැම් අය කියනවා. මොකක්ද මේකේ ඇත්ත?

ආණ්ඩුවක් හැටියට අපි මේකට ඇති තරම් ප්‍රතිචාර දක්වලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසම පත්කරන්නේ හිටපු ජනාධිපතිතුමා. ඒ කොමිසම තමයි මෛත්‍රීපාල මහත්තයටත් අත දික්කරන්නේ. අපිට බලය ගන්න විපක්ෂයේ ඉඳලා මෙහෙම කුමන්ත්‍රණ කරන්නේ කොහොමද? අපේද ආණ්ඩුව? එයාලගේ ආණ්ඩුව. එයාලට තොරතුරු පවා ලැබුණානේ. ඒවා හොයන්න තිබ්බනේ. සහරාන් කියන්නේ ඉස්ලාම් අන්තවාදියෙක්. අන්තවාදියෙක් එක්ක ඡන්ද කරන්න පුළුවන්ද? මොන බොළඳ කතාවක්ද? එහෙම කරන්න පුළුවන්ද? අපේ රටේ අවාසනාව කියන්නේ සියල්ල ඉක්මනින් දේශපාලනීකරණය කරනවා. ඔය කියන දේවල් කියන්නේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවෙලා. අනික අපි 2018 ඉඳලා ඡන්ද දිනුවා. මේක වෙන්නේ 2019දී. ඒ නිසා මේක වුණේ යහපාලන ආණ්ඩුවේ අදූරදර්ශනය නිසා. ඒකට ආණ්ඩුව වගකියන්න ඕන.

දැන් ඔබලගේ ආණ්ඩුවෙත් හම්බවෙන්නේ පල්ලිවලට බෝම්බ තියලා? ඒකට කවුද වගකියන්න ඕන?

අපි යහපාලන ආණ්ඩුව වගේ නෙමෙයි. හැමදේම පරීක්ෂණ කරලා ඒ ප්‍රශ්න විසඳනවා. දැන් මේ පල්ලියේ බෝම්බ සිදුවීම ගැන මහ මොළකාරයගේ ඉඳලා හොයාගෙන ඉවරයි. දැන් ඒ අය කවුද? ඒ අය හිටියේ කොහෙද? ඒ අයගේ දේශපාලන පසුබිම් කොහොමද කියන එක තහවුරුයි. ඒ නිසා කලබල වෙන්න එපා. ඉවසන් ඉමු. තව තව දේශපාලන කුමන්ත්‍රණ හෙළිවෙයි ළඟදීම.

විපක්ෂය කියන්නේ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් රටේ ආර්ථිකය කඩලා විනාශ කළා කියලා?

නෑ. කොවිඩ් ව්සංගතය හමුවේ මුළු ලෝකෙම ආර්ථික අවපාතයකට ගියා. සමහර ප්‍රබල රටවල් ඒ රටවල ඉතිහාසයේ පළවෙනි වතාවට ආර්ථිකය කඩා වැටුණේ. ඒ නිසා අපිට මේකට චෝදනා කරන්න බෑ. විශේෂයෙන් සමහර දේවල් තියෙනවා අපිට පාලනය කරන්න බෑ. ඒවා නිසා රටේ ආර්ථිකය සම්පුර්ණයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට තෙල් ප්‍රශ්නය ගත්තොත් එක අපිට විසඳන්න පාලනය කරන්න බෑ. ඒක තීරණය වෙන්නේ ලෝක වෙළඳපොළ එක්ක. හැබැයි ආණ්ඩුවක් හැටියට අපි කරන්න ඕන හැමදේම කරනවා සහ කරමින් ඉන්නේ. මේ තත්ත්වය මේ වසර මැද භාගය වෙනකොට සමනය වෙයි.

තෙල් අර්බුදයත් එක්ක දැන් විශාල ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ. විදුලි කප්පාදුව පවා සිද්ධ වෙනවා. ඉස්සරහට මේ තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන් නේද ඩොලර් හිඟයත් එක්ක?

මට දැනට තියෙන තොරතුරු අනුව වගකිවයුතු සියලු දෙනාම එකතුවෙලා මේ ප්‍රශ්නය විසඳන්න සියල්ල සකසමින් ඉන්නේ. මම හිතන්නේ ජනතාවට පීඩනයක් දෙන්න ආණ්ඩුව කිසිම වෙලාවක සූදානමක් නෑ. හැබැයි මේ වගේ ප්‍රශ්නවලට හිටපු රජයන් පවා සූදානම් වීමක් තියෙන්න ඕන. අවාසනාවකට එවැනි දෙයක් හිටපු රජයන් කරලා නෑ. ඒ ගැන තැකීමක් කරලා නෑ.

දැන් හිටපු ආණ්ඩුද වගකියන්න ඕන?

නෑ.. නෑ... මම ඒ අයගේ ඇඟට ප්‍රශ්නය දාලා බේරෙන්න යනවා නෙමෙයි. මේ අර්බුදයට රජය විසඳුම් දෙන්න ඕන. ඒක රජයේ වගකීම. මම හිතනවා එවැනි අර්බුදයක් රටේ ඇති නොවෙයි කියලා.

මේ වෙද්දී සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානයක වැනි අය ගමින් ගමට යනවා. ඔවුන් කියන්නේ පොහොට්ටුවේ ආයු කාලය මෙතනින් පස්සේ ඉවරයි කියලා?

විපක්ෂය ඔය වගේ හීන දකිනවා. ඒවා ඉතිං අපිට වැඩක් නෑ. ඒවා බොළඳ කතා. විපක්ෂයේ කාර්යභාරය කියන්නේ ඕක නෙමෙයි. මට කියන්න ලෝකේ කොහෙද රටවල් තියෙන්නේ මේ කොවිඩ් අස්සේ උද්ඝෝෂණ කරපු, වැඩවර්ජන කරපු. එහෙම කරන්න නිදහස දුන්න රටකුත් නෑ. සමහර රටවල් මිනිස්සු පාරට ආපුවම ගහලා එලෙව්වා. නිලධාරියකුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත්තමත් වර්ජනය කරනවා. මේක තමයි අපේ රටේ තියෙන අවාසනාව. මම ඉල්ලන්නේ වගකිවයුතු පුරවැසියන්ගෙන්. දේශපාලනය පැත්තකින් තියමු. පොඩ්ඩක් මේ රට වෙනුවෙන් වැඩකරමු.

රටේ සමහර ආයතනය එකවර වෘත්තීය අරගලවලට යනවා. ඊටපස්සේ ජනතාව අසරණ වෙනවා. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිචාරය එච්චර පේන්නේ නෑ. ගාණක් නෑ වගේ ඉන්නවා කියලා හිතෙන්නේ?

නෑ එහෙම නෑ. ආණ්ඩුව ඉක්මණින් ප්‍රතිචාර දක්වනවා. නමුත් වෙලා තියෙන්නේ මේ රටේ ක්‍රමවේද ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කළාම මේ වෙන දේවල් වැරදියි කියලා පේනවා. මේකට දේශපාලඥයා, රාජ්‍ය සේවය සහ ජනමාධ්‍ය වගකියන්න ඕන. ඒ නිසා මම කියන්නේ මේ තුන හරියට හැදුණොත් මේ ප්‍රශ්න ඉවරයි. එහෙම නැතිවුණොත් තව තව මේ ප්‍රශ්නය වැඩිවෙනවා. මම ඉල්ලන්නේ වෘත්තීය සමිති වලින් ජනතාව අපහසුතාවයට ලක්කරලා වෘත්තීය අරගල කරන්න එපා. ඒක වැරදියි.

හැබැයි අද තරුණ ප්‍රජාව දේශපාලනයෙන් ඈත්වෙලා. ආණ්ඩුව පවා තරුණ ප්‍රජාව වෙනුවෙන් කිසිම දෙයක් කරන පාටක් නෑ?

අපි තරම් තරුණ ප්‍රජාවට දේවල් කළ කවුරුත් නෑ. උතුරේ තරුණයාගේ අතේ තිබ්බ ගිනි අවිය බිම තිබ්බෙත්, දකුණේ තරුණයන් මැරුණු එක නතර කළෙත් අපි. ඒ ඇති හොඳටම මේ තරුණ ප්‍රජාවට දුන්න වටිනාකම. කොහොම වුණත් අපේ ආණ්ඩුව නාමල් රාජපක්ෂ ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩ ගොඩක් කරගෙන යනවා. තාක්ෂණය, ක්‍රීඩා හැමදෙයින්ම පිරිපුන් තරුණ ප්‍රජාවක් හදන්න.

දැන් සිස්ටම් වෙනස් කරනවා කිව්වට ඔබලාගේ ආණ්ඩුවත් සමහර හිටපු මැති ඇමැතිවරුන්ට තවම පොලිස් ආරක්ෂාව ලබාදෙනවා. මේවා මහජන ධනය. ඇයි නවත්තන්න බැරි?

මම සරත් වීරසේකර ඇමතිතුමාටත් ඔය ගැන කිව්වා. වැඩිම ප්‍රභූ ආරක්ෂාවක් ගන්නේ ශ්‍රීලනිප හිටපු අය. ඒ අයගේ දරුවෝ එක්කයි නෝනලා එක්කයි මේ ආරක්ෂක අය යනවා. මේක වැරදියි. මේක කොහෙත්ම වෙන්න බෑ. හේතුව, එහෙම අයිතියක් නෑ.

ඒක ඔබලාගේ රජයේ වරදක්නේ. ඇයි ඒවා නවත්තන්න බැරි?

නෑ. ඒ සම්බන්ධයෙන් මම සරත් වීරසේකර ඇමතිතුමාව දැනුවත් කළා. මම කියන්නේ එහෙම දෙන්න අවශ්‍ය නෑ.

අවසාන වශයෙන් අහන්නේ ඔබලා අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළාද ශ්‍රීලනිප ඉවත් කරන්න කියලා?

නෑ. අපි එහෙම හම්බවෙලා ඉල්ලීම් කරලා නෑ. ඒත් අපිට පේනව වෙන්න යන දේ. ඒ නිසා ඊට කලින් කරන්න ඕන දේවල් කළ යුතුයි. නැත්නම් වෙන්නේ අපේ ආණ්ඩුවත් නැති කරන එක.

 ගයාන් ගාල්ලගේ