2022 ජනවාරි 29 වන සෙනසුරාදා

අස්වීම් සහ අස්කිරීම්

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 133

රාජ්‍ය ආයතන ප්‍රධානීන් අස්කිරීම්, වෙනස් කිරීම් සහ ඉල්ලා අස්වීම් දිගින් දිගටම සිදුවෙමින් පවතී. එහි අලුත්ම වින්දිතයා බවට පත්වූයේ ලංවිම සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතාය. පෞද්ගලික හේතූන් මත තමන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වන්නේ යැයි ආරංචි මාර්ගවල සඳහන් විය. ලංවිම සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් ඔහු දැරූ තනතුර පෙබරවාරි මස 01 වැනිදා සිට අහෝසි වීමට නියමිතය.

ප්‍රදිනාන්දු මහතාට සමීප ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වූයේ ලංවිම සාමාන්‍යාධිකාරී වශයෙන් ඉංජිනේරු ආචාර්ය ඩී.සී. රොහාන්ත අබේසේකර මහතා පත් කරනු ලැබීමෙන් පසුව ලංවිම සභාපති ධූරය දැරීමට තමන්ට නොහැකි බව ඔහු සඳහන් කර ඇති බවය.

රොහාන්ත අබේසේකර මහතා සාමාන්‍යාධිකාරී තනතුරට පත්වූයේ වැඩබලන සාමාන්‍යාධිකාරී වශයෙන් තාවකාලිකව කටයුතු කළ ආචාර්ය සුසන්ත පෙරේරාගේ ඉවත් වීමෙනි. ඔහු වැඩබලන සාමාන්‍යාධිකාරී වශයෙන් පත්වූයේ හිටපු සාමාන්‍යාධිකාරීවරයා වයස 60 සම්පූර්ණ වී විශ්‍රාම ලැබීම හේතුවෙනි. කෙසේ වුවද සුසන්ත පෙරේරා මහතා පත් කරනු ලැබූ දිනයේ පටන් ලංවිම වෘත්තීය සමිති එම පත්වීමට එරෙහිව දැඩි විරෝධයක් පළ කළේය. ලංවිම ඉංජිනේරු සංගමය මගින් සභාපති ප්‍රදිනාන්දු මහතා සමඟ සහයෝගයෙන් ක්‍රියා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගනු ලැබීය. ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ ප්‍රදිනාන්දු මහතා සභාපති ධුරයෙන් ඉවත් විය යුතු බවය. සුසන්ත පෙරේරා මහතා ඉවත් කරනු ලැබීමත් ප්‍රදිනාන්දු මහතා ඉවත් වීමත් සිදුවූයේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියටය.

විශ්‍රාමලත් රජයේ නිලධාරියකු වන එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා ලංවිම සභාපති වශයෙන් පත් කරනු ලැබුවේ පසුගිය ජූලි මාසයේ 19 වැනිදාය. අමෙරිකානු බලශක්ති ආයතනයක් වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹීමේදී එම පත්වීම සිදු කෙරිණි. මෙම ගිවිසුමට එරෙහිව සැප්තැම්බර් 17 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩු පවරනු ලැබීය. එම ගිවිසුමට මුදල් අමාත්‍යාංශයේ උපදේශක වශයෙන් ප්‍රදිනාන්දු මහතා අත්සන් තබා තිබිණි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල මාන්නප්පෙරුම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් වූ සුමේධ පෙරේරා, රවීන්ද්‍ර හේවාවිතාරණ, රෝහණ පුෂ්පකුමාර සහ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා, මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ, ස්වාධීන රූපවාහිනියේ සුදත් රෝහණ, රූපවාහිනී සභාපතිවරැන් වූ වෛද්‍ය නිහාල් ජයතිලක සහ රෙජිනෝල්ඩ් කුරේ, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල පසුගිය කාලය තුළදී ඉල්ලා අස්වූ සහ අස් කරන ලද සභාපතිවරැ අතර වෙති.

සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනයේ නව පිම්මක්

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මාසයක් තුළදී ලක්ෂයක් ඉක්මවා යාමේ ඉලක්කය සපුරාගත නොහැකි වනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ලොව පුරා පැතිර යන ඔමික්‍රෝන් වසංගතය එයට හේතු වී තිබේ. පසුගිය 26 වැනිදා වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටි සංචාරකයන්ගේ සංඛ්‍යාව 65,000ක් පමණ වූ බවත් මේ මාසය තුළදී අපේක්ෂිත ලක්ෂයත් එක්ලක්ෂ විසිපන්දහසත් අතර සංඛ්‍යාව සපුරාගත නොහැකි බවත් අමාත්‍යවරයා කියා තිබිණි. “මීළඟ දින කිහිපය තුළදී වැඩිම වුණොත් 10,000ක් පැමිණේවි” ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ඉදිරි පියවරක් තබමින් එක් ඉල්ලුම් පත්‍රයක් හරහා ආයෝජන සඳහා අනුමැතිය ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන ආයතන 08ක් සමඟ පසුගිය 26 වැනිදා (බදාදා) ගිවිසුම් ගත විය. මෙය එම අධිකාරිය සෙසු කණ්ඩායම් සමඟ වසර දෙකහමාරක් තිස්සේ පැවැත්වූ සාකච්ඡා සහ සැලසුම් කිරීම්වලින් ලබාගත් සාමූහික ප්‍රතිඵලයකි.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය සහ වනජීවී සංරක්ෂණ, කෘෂිකර්ම සංවර්ධන, වාරිමාර්ග, ජාතික ඉදිකිරීම් පර්යේෂණ සංවිධාන, වන සංරක්ෂණ, පුරාවිද්‍යා සහ ධීවර ජලජ සම්පත් යන දෙපාර්තමේන්තු සමඟ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අවබෝධතා ගිවිසුම්වලට එළඹී තිබේ. මීට පෙර ආයෝජන මණ්ඩලය, වෙරළ සංරක්ෂණ සහ නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ද අධිකාරිය ගිවිසුම්වලට එළඹෙනු ලැබීය.

- ඩේලි එෆ්.ටී.