ලංකාවේ ආර්ථිකයට වෙච්ච දේ ගැන විස්සෝප නොවන කවරකුවත් නැත. ලොකුම ගැටලුව එහෙම නැත්නම් හැම ප්‍රශ්නයකම මුල ලංකාවේ ඩොලර් සංචිතය සිඳී යාමය. දැන් බඩු ගේන්න ඩොලර් නැත. කර්මාන්ත අරඹන්න ඩොලර් නැත. තෙල් ගේන්න ඩොලර් නැත. තියෙන ඩොලර් ටික අවශ්‍යම අයට ටික ටික දෙන්නේ කුණු ලෝබයෙක් සාක්කුවෙන් අරගෙන රුපියල් කිහිපයක් කෙනකුට දෙන ගාණටය.
ඩොලර් එකට ලංකාවේ අගය වැඩි වුණේ ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකය සමගිනි. ඒ වනතුරු ඩොලර් මේ තරම් වටිනා බවක් ලංකාවේ වැඩි දෙනකු දැන සිටියේ නැත. විවෘත ආර්ථිකය සමඟ ලංකාව පිටරටවල් සමඟ ගනුදෙනු පටන් ගත්තාට පසුව රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉහළ නැග්ගේ බලා සිටියදීමය. ඒ කාලේ රටට ආයෝජන ගලා ඒමත් රට ඇතුළේ ප්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපාර ආරම්භ කිරීමත් සමඟ විදේශ මුදල් රටට ආවේය.
ජේ.ආර්.ගේ විවෘත ආර්ථික ක්‍රමය පතුරු යවන කිසිවකුත් ඒ කාලේ වෙච්ච මේ ආර්ථික පෙරළිය ගැන වචනයක් කතා කරන්නේ නැත. ඒ කාලයේ මහවැලි ව්‍යාපාරය ඇතුළු ජලාශ ඉදිවීමත් කර්මාන්තපුර ආරම්භයත් රටේ ගුවන් තොටුපළ සාමාන්‍ය ජනතාවට ද විවෘත වී රට රස්සාවලට යන්න අවස්ථාව උදාවීමත් සමඟ රට ඇතුළට ඩොලර් ගැලීම වැඩි විය. සිරිමාවෝගේ සමගි පෙරමුණු ආණ්ඩුවේ ඩොලර් පවුම් ළඟ තබාගත් අයට හිරේ යාමට පවා සිදුවූ අතර ඩොලර් පවුම්වලින් ගනුදෙනු කිරීමට අවශ්‍ය වූ ව්‍යාපාරිකයන්ට ඒ සඳහා සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කෙරිණි. එම සහතිකය හැඳින්වුණේ විදේශ විනිමය හිමිකම් සහතිකය වශයෙනි. කෙටි යෙදුම විවිහිස විය. මේ විවිහිස ඒ කාලයේ ඉහළ පෙළේ ව්‍යාපාරික පැළැන්තියේ එකම ගැලවුම්කරු වී තිබිණි.
මේ කියන කාලයේ බංග්ලාදේශය ආසියාවේ දුප්පත්ම රටකි. ස්වභාවික විපත්වලින්ද බැටකමින් තිබූ බංග්ලාදේශයේ ප්‍රධානම අපනයන භාණ්ඩයක් වූයේ “හණ”ය. මේ “හණ” පිටරට යැවීම ඔවුන්ගේ ආර්ථිකයට කොතරම් වැදගත් වූවාද කිව්වොත් ජේ.ආර්.ගේ ආණ්ඩුව විවෘත ආර්ථික ක්‍රමය යටතේ හණ කර්මාන්ත සංස්ථාවක් පිහිටුවා මෙරට හණ සඳහා විදේශ පොළක් හදාගැනීමට කටයුතු කළ විට බංග්ලාදේශයේ මෙරට තානාපතිවරයා පැමිණ ජේ.ආර්. හමුවිය. ඔහු පැමිණ සිටියේ බංග්ලාදේශ රජයේ විශේෂ ඉල්ලීමක් ගැන දැනුම් දීමටය. ඉල්ලීම වූයේ තමන්ගේ රටේ ප්‍රධානම අපනයන භාණ්ඩ නිපදවන හණ කර්මාන්තයට පහර වදින නිසා ලංකාවේ ආරම්භ කළ හණ කර්මාන්ත සංස්ථාව ඈවර කරන්න කියාය. ජේ.ආර්. ඒ හඬට කන් දුන්නේය. ලංකාවේ හණ කර්මාන්ත සංස්ථාව ඒ සමඟ අභාවයට ගියේය.
එදා තමන්ගේ හණ කර්මාන්තය රුකගැනීමට ලංකාවේ නායකයා ළඟ බැගෑපත් වූ බංග්ලාදේශයෙන් අද ලංකාව ඩොලර් ඉල්ලන තත්ත්වයට ඇදවැටෙද්දී බංග්ලාදේශය ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය පෙන්නුම් කරන රටක් බවට පත්ව සිටියි. ලංකාව ඩොලර් හම්බකිරීමේ වටිනාකම අමතක කර තනිකරම දේශීය ආර්ථිකයකින් ගොඩයාමේ සිහින දකිද්දී දේශීය ආර්ථිකය ඡන්ද ලබාගැනීමේ සටන් පාඨයක් කර ගනිද්දී බංග්ලාදේශය ඩොලර් හම්බකිරීමේ වටිනාකම දැනගෙන ඩොලර් ඉපැයීම සඳහා තමන්ගේ අනාගත ආර්ථිකය සැලසුම් කර ගත්තේය. ඒ සඳහා රටේ ඉහළම පෙළේ ආර්ථික විශේෂඥයන්ගේ සහාය ලබාගනු ලැබීය. ඩොලර් උපයන සැලසුමට දේශපාලනය මිශ්‍ර කර නොගැනීමෙන් බංග්ලාදේශය ඉහළම ප්‍රතිඵල නෙලා ගත්තේය. ඒ කාලයේ අපෙන් ආර්ථික උපදෙස් ගත් බංග්ලාදේශය අද ලංකාවේ ආර්ථිකය වරද්දාගත් හැටි ගැන උපදෙස් දෙන මට්ටමට පත් වී සිටින්නේ ඒ හේතුවෙනි.
පසුගිය දිනක බංග්ලාදේශයේ ඉංග්‍රීසි භාෂාවෙන් පළකෙරෙන පුවත්පතක ප්‍රධාන ලිපියක මාතෘකාව වී තිබුණේ “How Sri Lanka became the Island of a thousand errors” යන්නයි. එම ලිපිය මෙරට ආර්ථිකය ගැන කිසියම් හෝ හැදෑරීමක් කරන අයකුට වැදගත් වනු ඇත.
සිරස්තලයෙන් කියන තරමට නැතත් මේ ලිපිය ලංකාව තමන්ගේ ආර්ථිකය වරද්දාගත් හැටි කරුණු කිහිපයකින් පෙන්වා දී තිබේ. මීට වඩා කරුණු පෙන්වා දුන් ලිපි ලංකාවේ ආර්ථික විශ්ලේෂකයන් විසින් ද වරින්වර පළකෙරෙන නමුත් ඒවාට දේශපාලනඥයන්ගෙන් ලැබෙන්නේ අවර ගණයේ ප්‍රතිචාර පමණි. තමන් ඔක්කොම දන්නවා යැයි හිතන දේශපාලන බලවතුන් මේ විශේෂඥ උපදෙස් තුට්ටුවකට මායිම් කරන්නේ නැත. අද රට වැටී සිටින ආර්ථිකයට ඒ විදියට සිතන සියලු දේශපාලනඥයන් වගකිව යුතුය.
ජාත්‍යන්තර ආර්ථිකය මෙහෙයවන ආකාරය පිළිබඳව ලංකාවේ ආණ්ඩුවට තිබෙන දැනුම ඉතාම අල්ප බව මේ ලිපිය සම්පාදනය කර ඇති ටිම් වර්ස්ටෝල් නම් ලියුම්කරු සඳහන් කරයි. ඔහු ලන්ඩන්හි ඇඩම් ස්මිත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්වතකු වන අතර “ධකා ට්‍රිබියුන්” පුවත්පතේ ව්‍යාපාරික ලිපියක් ලියමින් ඔහු මේ කරුණු පෙන්වා දී තිබේ.
එපමණක් නොව දේශීය ආර්ථිකයක් ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන පවා ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුමක් නැති බවද ඔහු කියයි. එහි මෙසේද සඳහන් වෙයි.
“උදාහරණයකට මුළු රටේම කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් කාබනික විය යුතු බවට ආණ්ඩුව තීරණයක් ගත්තේය. වරදක් නැත. එය කළ හැකිය. එහෙත් ඔවුන් ඊළඟට දැඩි ලෙස විමතියට පත්වූයේ නිෂ්පාදනය අඩුවනු ඇති බවට අදහස් පළවීමත් සමඟිනි. පොහොර සහ ඉඩම් එකිනෙකට ආදේශක වශයෙන් ක්‍රියා කරන බව ඔවුන් අවබෝධ කර ගත්තේ නැත. අවශ්‍ය තරමට ආහාර නිපැයුම සඳහා ඔබට අවශ්‍ය නම් විශාල ඉඩම් ප්‍රමාණයක් සහ පොහොර අඩු ප්‍රමාණයක් හෝ එය අනෙක් අතට හෝ භාවිත කළ හැකිය. ඔබ පොහොර අඩුවෙන් යෙදුවත් තවත් ඉඩම් නැතිනම් ආහාර නිපැයුම අඩුවෙයි.
මීළඟට ඔවුහු විදේශ විනිමය හිඟය ගැන මැසිවිලි නගති. මෙය සිදුවිය නොහැකි දෙයකි. මිල ගණනට අනුව විදේශ විනිමයේ අඩුවක් සිදුවිය හැක. එයට විසඳුම මිල වෙනසක් සිදුකිරීමය. විදේශ විනිමයේ අඩුවක් විය හැක්කේ අදාළ විනිමයේ මිල නියම කිරීමට කරන උත්සාහයේදීය.
මේ වැනි කරුණු නොදන්නා රටක් ණය අර්බුදයක පැටලීම විමතියට කරුණක් නොවේ. තමන්ට ගෙවාගත නොහැකි මට්ටමට පැවති ආණ්ඩු සහ වත්මන් ආණ්ඩුව ණය ගෙන තිබේ. තවදුරටත් ලංකාවට ණය දීමට වෙනත් රටවල් අකැමැති වීම තේරුම් ගැනීම කිසිසේත්ම අපහසු නැත.
අප මේ ගැන දැන සිටියද ශ්‍රී ලංකා ආණ්ඩුව ඒ බව දැන නොසිටින බව පෙනී යයි. ශ්‍රී ලංකා ආණ්ඩුවට වඩා ලංකාව පාලනය කිරීමට අපට වැඩි සුදුසුකම් තිබෙන බව එයින් පැහැදිලි වෙයි. නමුත් අවාසනාවකට මෙන් ජාත්‍යන්තරයේ කටයුතු කෙරෙන්නේ ඒ ආකාරයට නොවේ.
කෙසේ වුවද එහි තරමක් තේරුම් ගැනීමට අපහසු කරුණු ද තිබේ. තමන්ට එරෙහිව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන කටයුතු කිරීම රට තවදුරටත් අසීරුවට පත් කිරීමට හේතු වී ඇතැයි ශ්‍රී ලංකාව චෝදනා කරයි. ශ්‍රී ලංකා රජය එම ආයතන මගින් ලබාදෙන පුරෝකථන වැරදියට ගන්නා බව පෙනේ. ඇතැම් ආයෝජන අරමුදල් මෙවැනි අවස්ථාවල ආයෝජනයට නොපැමිණියත් නිවැරදි ලෙස මිල නියම කිරීම සිදුවන්නේ නම් ආයෝජකයන් සොයා ගැනීම අපහසු නැත. මෙම ණය ශ්‍රේණිගත කරන ආයතන වෙළෙඳපොළ පදනම් කර ගනිමින් පුරෝකථන සිදු කරනවා මිස ඒවායේ ඉදිරියෙන්ම සිටින්නන් පිළිබඳ වද වෙන්නේ නැත. එම ආයතනයක් ශ්‍රී ලංකාව ශ්‍රේණියෙන් පහළ දැමීම ශ්‍රී ලංකාවට ණය ලබාගැනීම වළක්වන බාධකයක් නොවේ.”
ඔහු අවසානයේ කියන්නේ ශ්‍රී ලංකාවේ ගැටලු ඇතිකළේ ණය ශ්‍රේණිගත කරන ආයතන නොවන බවය. ඔවුන් කරන්නේ තිබෙන ගැටලු ගැන දැනුම් දීමක් පමණි. ඔවුන් ඒ තොරතුරු විකාශනය කරනවාද විය හැක. නමුත් එම ආයතන ගැටලු නිර්මාණය කරන්නේ නැත. එම සියලු ගැටලු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්ම තම ආර්ථික ප්‍රතිපත්ති මගින් ඇතිකරගත් ඒවාය. වැරුද්ද පෙන්වා දෙන අයට චෝදනා නැගීම පරිණතභාවය පෙන්නුම් නොකරයි. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව කරන්නේ ඒකමය.
මේ එම ලිපියේ සංක්ෂිප්ත කරුණුය. මේ කරුණුම මීට වඩා ලංකාවට ගැලපෙන ආකාරයට ලංකාවේ ආර්ථික විශ්ලේෂකයන් විසින් මීට පෙර පෙන්වා දී තිබේ. දැනුත් පෙන්වා දෙමින් සිටිති. එහෙත් වගකිව යුතු බලධාරීන් කිසිවකුත් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැත. රටේ විවිධ තනතුරු දැරූ බොහොමයක් විද්වතුන් දැන් ආණ්ඩුව හැර ගොස් තිබේ. නැතහොත් ඔවුන් අස්කර තිබේ. එසේ සිදුවෙද්දී පසුගිය දශක ගණනාවක් තිස්සේම තමන්ගේ සටන් පාඨයක් වන “දේශීය ආර්ථිකයෙන් ගොඩ යමු” කියමින් රටට ඩොලර් සොයාගත හැකිය කියන සිහිනයේ නායකයෝ රැඳී සිටිති. එසේ සිටිමින් බංග්ලාදේශයෙන් ඩොලර් ඉල්ලති.
ශශීන්ද්‍ර