අමරපුර ධම්මරක්ඛිත නිකායේ මහා නායක, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ත්‍රිකුණාමලේ ආනන්ද මහ නා හිමි සමඟ 14 වැනි ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වීම ඇතුළු වෙනත් කාරණා පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවයි මේ
ජාත්‍යන්තර මට්ටමේ අවධානය ලැබුණු වෙසක් පොහොය දවසක් හැටියට මෙවර වෙසක් පොහොය දිනය පත්වෙන්නේ කුමන හේතුවක් මතද නායක හාමුදුරුවනේ?
හේතුව තමයි අපගේ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, සම්බුද්ධත්වය හා පරිනිර්වාණය යන කුරණු මේ දිනයේ සිදුවීම. ඒ නිසා අතිඋත්තම පොහොය ලෙස වෙසක් පොහොය සලකනවා. සාමාන්‍යයෙන් හැම වෙසක් පොහොයක්ම ශ්‍රී ලාංකීය බෞද්ධයන්ට විශේෂයි.
මෙවර වෙසක් උත්සවය ගැන ජනතාවගේ පැත්තෙන් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ආණ්ඩුවත් ලොකු කාර්යයක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මෙවර වෙසක් උත්සවයේ විශේෂත්වය කුමක්ද?
මෙවර ශ්‍රී ලංකාවට වෙසක් පොහොය විශේෂත්වයක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වශයෙන් පවත්වන වෙසක් උත්සව සැමරුමේ 14 වැනි සැමරුම් උළෙල ශ්‍රී ලංකාවට ලබා දී තිබීමයි. පහුගිය අවුරුද්දේ බැංකොක්වල පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේදී බුද්ධ ශාසන අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. අන්තර්ජාතික වශයෙන් බෞද්ධ ජනතාවට යම් අවධියක් ඇතිකරලීමේ අවස්ථාවක් මේ තුළින් ලැබෙන නිසා මෙය සුවිශේෂී අවස්ථාවක්.
ජාත්‍යන්තර වශයෙන් වෙසක් උත්සවයට ලොකු ගරුත්වයක් තිබෙනවා. ඒ සඳහා පසුබිම සැකසුණේ කොහොමද?
අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයට ජාත්‍යන්තර වෙසක් උත්සව යෝජනාව 1998 දී ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවයි. නිව්යෝර්ක් විහාරයේ විහාරාධිපති කුරුණෑගල පියතිස්ස නායක හාමුදුරුවන් අදහසක් ලෙස පළ කළ මෙම යෝජනාව අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයට ගෙන ගියේ සිංහල බෞද්ධයෙක් නොවන හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් විසින්. එම සම්මේලනය එම යෝජනාව පිළිගත්තා.
වෙසක් කියන කොට මේ කාලේ අපිට එකපාරටම මතක් වෙන්නේ සැරසිලි, තොරණ, දන්සල් වගේ දේවල්. මේවා අපේ සංස්කෘතිය අලංකාර කරන දේවල්. ඒ වුණාට හාමුදුරුවනේ වෙසක් උත්සවයේ සැබෑ අර්ථය මේ දේවල්වලින් පිළිඹිබු වෙනවද?
සම්පූර්ණ අර්ථය පිළිඹිබු නොවන බව ඇත්ත. වෙසක් උත්සව කරන්නන් වාලේ කිරීම නිසා එහි ගුරැ අරුත බොහෝ සෙයින් සැහැල්ලුවට පත්ව තිබෙනවා. සංස්කෘතික වශයෙන් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන එන දේවල් තමයි භක්ති ගීත, තොරණ, දන්සල් වගේ දේවල්. මේවා ප්‍රතිපත්තිමය වශයෙන් ගනිද්දි වැදගත්කමක් තිබෙනවා. ඒත් හුදු ප්‍රදර්ශනාත්මකව පමණක් නිරූපණය කිරීමෙන් බලාපොරොත්තු වන වෙසක්වල අරුත මතුවන්නේ නෑ. එබැවින් සංස්කෘතිය කියන කාරණය හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩයකට වඩා අපේ සභ්‍යත්වය, ගුණාංගයන් දියුණු කිරීමේ මාධ්‍යයක් හැටියට පත්කර ගැනීමට කල්පනාකාරී විය යුතුයි.
වෙසක් උත්සවයට ළමුන්, තරුණයන් සහභාගී කරවගන්න කුමන ආකාරයේ දේවල්ද කළ යුත්තේ. එහිදී දෙමාපියන්ගේ කාර්යභාරය කුමක් විය යුතුයි කියලද ඔබවහන්සේ හිතන්නේ?
2600 සම්බුද්ධත්ව ජයන්තියේ ප්‍රධාන තේමාව වුයේ “පිළිවෙතින් පෙළ ගැසෙමු”. එහි දිගුවක් ලෙස වෙසක් උත්සවයත් පවත්වන්න පුළුවන් නම් ලොකු සමාජ පරිවර්තනයක් සමාජයේ දකින්න පුළුවන්. ඒ වගේම වෙසක් සැමරුමේදී පහන් පත්තු කිරීමෙන් හා සිල් සමාදන් වීමෙන් පමණක් සෑහීමකට පත් නොවී මේ උත්සවයේදී අප රටේ ජීවත් වන අනෙකුත් ජාතිකයන් හවුල් කරගැනීමත් වැදගත්. එලෙස වෙසක් උත්සවය සංහිඳියාවට හා ජාතික සමගියට ධර්මය පදනම් කරගත් ශාන්තිධර මාවතක් කරගන්න පුළුවන්.
වෙසක් උත්සවය සාර්ථක කරගැනීමට රජයේ වගකීම කුමක්ද?
රජයේ අනුග්‍රහය වගේම පාලකයන්ගේ ප්‍රතිපත්තිගරුක ස්වභාවයක් මතුවිය යුතුයි. කටින් කියන දේ ක්‍රියාවෙනුත් සිදුකළ යුතුයි.
ඒ කියන්නේ පාලකයන් හරි හැටි තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැද්ද?
වර්තමානයේ සමාජයේ සමාජ ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ ජනතා ප්‍රශ්න සානුකම්පිතව කරැණාවන්තභාවයකින් බලා පිළියම් යෙදීම පාලකයන්ගේ යුතුකම්. ඒ වෙනුවට තාවකාලික අන්දමින් ප්‍රශ්න දැක පැලැස්තර විසඳුම් යෙදීමෙන් සෑහීමකට පත්වෙන්න බෑ.
සමාජයේ මතුවන හැම ගැටලුවකටම විසඳුම් ලබාදිය යුත්තේ ආණ්ඩුව විතරමද?
රජය විතරක්ම නෙවෙයි. මේ කාරණාවලදී, සමාජ සංවිධාන, ආයතනයන් හා මහජනතාව තමන්ගේ කාර්යයන් කරනවානම් සානුකම්පිතව සෑම දෙයක්ම දකිනවානම් බොහෝ ප්‍රශ්න, සමාජ අසාධාරණකම්, පීඩන අවම කරගන්න පුළුවන්. අපි හැමදෙයක්ම බලාපොරොත්තු වෙනවා දේශපාලනඥයෝ කළ යුතුය, ආණ්ඩුව කළ යුතුය කියා. රජයකින් හැමදෙයක්ම කරන්න බැහැ. එම නිසා පක්ෂ පාට භේද ඉවතලා හැමෝම එකට වැඩ කිරීම තමයි වෙසක් පණිවුඩය ලෙස ලබාදෙන්න පුළුවන්.
රට පුරාම ලෙඩරෝග බියක් ඇතිවෙලා තිබෙනවා. උද්ඝෝෂණ වැඩවර්ජන මාලාවක්ම නිර්මාණය වෙලා තිබෙනවා. මේවාට කොහොමද බුද්ධකාලීන විසඳුම් වෙසක් පණිවුඩයකින් දෙන්නේ?
මේ ධර්මයේම තමයි විසඳුම තියෙන්නේ. පුද්ගලවාදීව, කණ්ඩායම්වාදීව, පක්ෂපාතීව පෞද්ගලික බල තුලනයත් එක්ක විසඳුම් සොයා යාම නිසා තමයි ජනතා ගැටලු තවම පවතින්නේ. පොදුවේ රටේ සංවර්ධනය බලාපොරෙත්තු වෙන්නන් හැටියට ආණ්ඩුව විතරක් නෙවෙයි විපක්ෂයේ භූමිකාව ගැන වුණත් සෑහීමකට පත්වීමට අපහසුයි.
ආණ්ඩුව වගේම විපක්ෂය තමන්ගේ වගකීම් තේරුම්ගෙන ඉටුකරන්නෙ නැහැ කියන මතය ඔබවහන්සේත් දරනවාද?
විපක්ෂය කඩාකප්පල් කරන පිරිසක් ලෙස මිසක සාධනීය කාරණවලදී සමගිවත් විවේචන කළ යුතු තැන්වලදී විවේචන කිරීමත් දක්නට අපහසුයි. කරන විවේචන බොහොම වියළි ශුෂ්ක ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. මැයි දිනයේ මැයි රැලිවල වේදිකාවට නැගපු හැම නායකයෙක්ම සාමාන්‍ය කම්කරුවාට අගය කරන්න, ගරු කරන්න තිබ්බ දවසේ කතා කළේ ද්වේෂයෙන් හා වෛරයෙන්, ඒ ඒ දේශපාලන විරුද්ධ මතධාරීන්ට එරෙහිව තර්ක කරමින් බැණගනිමින් විවේචන කරමින්. ඒකෙන් පේනවා ඒ සම්පූර්ණ දවසම අසාර්ථක දවසක්. මේ කාරණාවලින් මහජනයාට සිදුවන සෙත කුමක්ද? කම්කරැවන්ට ලැබෙන සහනය මොකද්ද?
ජාත්‍යන්තර වෙසක් උත්සවයට ඉන්දීය අගමැතිවරයා පැමිණීම සම්බන්ධයෙන් දේශපාලනයට සම්බන්ධ හිමිනමක් කියා තිබුණා විදෙස් නායකයෝ මෙරටට ගෙන්වා බාල් නැටීමෙන් බුදු දහම ආරක්ෂා වෙන්නෙ නෑ කියලා. ඔබවහන්සේ මේ අදහස දකින්නේ කොහොමද?
විදේශ නායකයෙක් පැමිණීමෙන්ම බුදු දහමට හානියක් වෙනවා කියන්න බැහැ. රජයක් අන්තර්ජාතික වශයෙන් ආර්ථික දේශපාලන සම්බන්ධතා පැවැත්වීමේදී එසේ කිරීම වරදක් නෑ. භාරතය කියන්නෙ බුදුරජාණන් වහන්සේ පහළ වූ රට. දැන් ඉන්දියාවේ විශාල ප්‍රබෝධයක් බුදුදහම කෙරෙහි තිබෙනවා. අගමැති මෝදී සාමකාමී ඇසකින් බුදු දහම දකින්නෙක්. එම නිසා අසල්වැසියෙක් ලෙස සාකච්ඡා කරගෙන ඉන්දියාව ළංකරගැනීම වරදක් නැහැ. එහෙත් අනවශ්‍ය ලෙස ළංකරගැනීම හෝ වෙන වෙන යම් යම් අරමුණ ඉටු කරගන්න ඉඩදීම නොකළ යුතුයි.
නායක හාමුදුරුවනේ දැන් ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් අප රටේ විවිධ කතාබහ ඇතිවෙලා තිබෙනවා. විවිධ අර්ථකථන ඉදිරිපත් වෙනවා. ඔබවහන්සේ කියන්නේ අපේ රටට අවශ්‍ය ජාතික සංහිඳියාව මොන වගේ විය යුතුයි කියලද?
ජාතික සංහිඳියාවක් අවශ්‍යයි. සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා නැමැති මූලික සිද්ධාන්තය සහිත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදහන ථෙරවාදී ආගමක් තියන අපේ රටේ සියලු සත්වයන් සියලු ජාතිකයන් සියලු ආගමිකයන් කෙරෙහි සුහද ආකල්පයක් දැක්විය යුතුයි. 1960 දශකයේදී මගේ මහානායක හාමුදුරුවෝ පැවැසුවේ “සිංහලයනි සමගි වව් සමගි වව් සමගි වව්. සිංහල සමගිය ජාතික සමගියයි.” එම නිසා සිංහල දෙමළ මුස්ලිම් සමගිය ජාතික සමගියයි, එහි පදනම සිංහලයාගේ සමගියයි. හැබැයි ජාතික සංහිඳියාව මුවාවෙන් වෙනත් පටු අරමුණු න්‍යාය පත්‍ර සමඟ කටයුතු කිරීම පිළිබඳවත් සාවධානයෙන් සිටිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ සෑමදෙනාට මෛත්‍රී කිරීමට දේශනා කළ ධර්මයේ ශ්‍රාවකයන් වශයෙන් හැමදෙනාම කෙරේම මෛත්‍රියෙන් බැලීම හා අන්‍යෝන්‍ය අවබෝධයක් ලැබීම අතිශය වැදගත්.
ඒ එක්කම හාමුදුරුවනේ ජාතික ගැටලුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා විවිධ පාර්ශ්ව සඳහන් කරනවා. රජයත් ඒ අදහසම කියනවා. එයට දැඩි ලෙස විරුද්ධ වන දේශපාලන පක්ෂත් තිබෙනවා. ඔබවහන්සේ අනුශාසනා කරන්නේ මොනවගේ දේකටද?
දැනට තිබෙන ව්‍යවස්ථාව මේ පාලන ක්‍රමයට හොඳටම ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. අලුත් ව්‍යවස්ථාවේ වුවමනාවක් මතුව තිබෙන්නේ බාහිර යම් යම් පිරිසකගේ ඇතැම් බලපෑම් සමඟ. දැනට තිබෙන ප්‍රතිසංශෝධනවලින් පේනවා අපේ මූලික වුවමනාවන්ට වඩා යම් යම් කණ්ඩායම්වල, රාජ්‍ය නොවන සංවිධානවල හා දේශපාලන කඳවුරුවල වුවමනාවට තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදෙන්නේ.
එතකොට මේ අවුල විසඳගන්න ඔබවහන්සේ දකින විසඳුම කුමක්ද?
මේ ආණ්ඩුව ව්‍යවස්ථාව අනවශ්‍ය අවුලක් කරගෙන ලොකු පටලැවිල්ලක ඉන්නවා. තිබෙන ව්‍යවස්ථාවට අවශ්‍ය කරන සංශෝධන කරගන්න අපිට පුළුවන් නම් එකදු අවුලක්වත් මතුවන්නේ නැහැ. අපිත් සමඟ ජනාධිපතිතුමා කිහිපවරකදී කළ සාකච්ඡාවේදී කියවුණේත් එතුමාට අලුත් ව්‍යවස්ථාවක වුවමනාවක් නැති බවයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහජන කළහයකට හේතුවන නිසා අවශ්‍ය සංශෝධන කරගැනීමෙන් මේ අවුල් අඩු කරගන්න පුළුවන්.
මතුපිටින් අපට පෙනෙ දෙයක් තමයි මහා සංඝරත්නයේ ඇතැම් හිමිවරුන් දේශපාලනයට වැඩිපුර සම්බන්ධ වෙන ප්‍රවණතාවක් තිබෙන බව. ඔබවහන්සේ මේ තත්ත්වය කොහොමද දකින්නේ?
භික්ෂූන් වහන්සේලාට පෞද්ගලිකව දේශපාලනයක් තිබෙන්න පුළුවන්. එය අයිතියක්. ඒ වුණත් භික්ෂූන් වහන්සේලා කියන්නේ පොදු කණ්ඩායමක්. ඒ නිසා භික්ෂූන් මධ්‍යස්ථව සිටිය යුතුය. භික්ෂූන් වහන්සේලාගේ භූමිකාව දේශපාලන භූමිකාව නෙවෙයි. දේශපාලනය තුළ අනුශාසක භූමිකාව තමයි භික්ෂූන් වහන්සේලා දැරිය යුත්තේ.
සකීෆ් සාම් තන්වීරි
ෙස්යාරුව I සුමුදු හේවාපතිරණ