2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

බැසිල්ගේ මන්තරේ

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 129

රටේ තෙල් සහ විදුලිය ආණ්ඩු බලයට පත් කරන ආණ්ඩු වට්ටන මන්තරයක් බවට පත්වුණේ මෑත කාලයේය. පනස් ගණන්වල සිට ආණ්ඩු වැට්ටීමේ, අගමැතිවරුන්ට බලය අත්හැරීමට සිදුවීමේ අවස්ථාවලදී ප්‍රබලම මන්තරය වුණේ බඩු මිලය. එයට සහල් මිල ද පැත්තකින් එකතු විය. ^53 දී රටේ මිනිස්සු ඩඩ්ලිගේ ආණ්ඩුවට විරුද්ධව හර්තාලයක් කළේ සහල් මිල ගණන් ඉහළ යාම හේතුවෙනි. ඒ හර්තාලය පිටුපස හිටියේ වාමාංශික නායකයන් වූ ඇන්.ඇම්ලාය. මේ හර්තාලයෙන් පසු අගමැති ඩඩ්ලිට බඩේ අමාරුවක් හැදී තනතුර අතහැර ගෙදර යාමට සිදුවිය.

ඉන් පසුව පංච මහ බලවේගයේ සහාය ඇතිව වාමාංශික නායකයන්ගේ උරමතින් සිංහල භාෂාව රජ කරන මන්තරයෙන් බලයට පැමිණි බණ්ඩාරනායක ද වැඩිකල් නොගොස් ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න හදාගත්තේය. සිංහල - දෙමළ කෝලාහල පවා ඇතිවී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කෙරුණේ බණ්ඩාරනායක බලයට ගෙන ආ බලවේගවල හිත හොඳ කිරීමටය. හැබැයි ජාතිකත්වය පදනම් කරගත් මේ මන්තරයට බණ්ඩාරනායකගේ ආණ්ඩුව පමණක් නොව බණ්ඩාරනායකගේ ජීවිතය පවා බේරාගත නොහැකි විය. ^59 දී බණ්ඩාරනායක ඝාතනය වනවිට ඔහුගේ ආණ්ඩුව තිබුණේ හොඳටම පිරිහිලාය.

^65 දී ඩඩ්ලි හත් හවුල් ආණ්ඩුවක් පිහිටුවා රටේ වගා සංග්‍රාමයක් දියත් කළේ සහලින් රට ස්වයංපෝෂිත කිරීමේ මන්තරය ජප කරමිනි. ඒ කාලයේ ගුවන්විදුලි යන්ත්‍රවලින් කොතරම් මේ ගැන ප්‍රචාරයක් දුන්නාද කිව්වොත් මිනිස්සු කිව්වේ රේඩියෝ ඇතුළේ පවා ගොයම් පැළවෙන බවකි. ගොයම් ගස්වල මුල් ඇද ඇති බවකි. මේ වගා සංග්‍රාමය යද්දී ඩඩ්ලි සහල් සලාකයට එක සේරුවක් නොමිලේ ලබාදීමේ තීන්දුවක් ගත්තේය. හැබැයි ^70 මහ මැතිවරණයේදී ඒ සහල් නොමිලේ දීමේ මන්තරය වැඩ කළේ නැත. සිරිමාවෝගේ පක්ෂය ඡන්දය දිනුවේ තුනෙන් දෙකකිනි. යූ.එන්.පිය ආසන 17ට බැස්සේය.

සම්පූර්ණ දේශීය ආර්ථිකයක් මත පදනම් වන රටක් යන්න සිරිමාවෝගේ ^70 සමගි පෙරමුණු ආණ්ඩුවේ මන්තරය විය. හඳෙන් හෝ හාල් ගෙනැත් දෙන, දේශීය කර්මාන්ත, සහලින් රට ස්වයංපෝෂිත කිරීම, මේ වැනි පොරොන්දු බොහොමයක් ඒ මන්තරය ඇතුළේ තිබිණි. මේ මන්තරය ජප කරමින් රට කරන්න ගිය සිරිමාවෝගේ ආණ්ඩුව හත්පොළේ ගා ගත්තේය. ^71 දී ජවිපෙ කැරුල්ල ද දියත් විය. ජනතාවට හැම අතින්ම ජීවත්වීම අමාරු විය. කන්න බොන්න ආහාර හිඟ විය. සතියකට දින දෙකක් බත් කෑම තහනම් වීම, මිරිස් සහ හාල් පොලු, භූමිතෙල් ගඳ ගසන රෙදි, බයිසිකල් ටයර් එකක් ගන්නත් මන්ත්‍රීගෙන් ලියුමක් අවශ්‍ය වීම වැනි හේතූන් නිසා මිනිසුන්ට ආණ්ඩුව එපා විය. ඔක්කොටම වඩා ආහාර අහේනිය තදින්ම බලපෑවේය. සිරිමාවෝගේ දේශීය ආර්ථික මන්තරය අවසානයේ ආණ්ඩුවට එරෙහි වස් කවියක් වී මහ මැතිවරණයේදී ජේ.ආර්.ට හයෙන් පහක බලයක් ලැබුණේය. සිරිමාවෝට ප්‍රජා අයිතියත් අහිමි වී ශ්‍රීලනිපය සී.සී.කඩ විය.

ජේ.ආර්. බලයට ආවේත් ආහාර අහේනියට පිළිතුර හැටියට ධාන්‍ය රාත්තල් අටේ මන්තරය ජප කරමිනි. ඊට අමතරව ධර්ම චක්‍රය, නිදහස් ආර්ථිකය වැනි අතිරේක මන්තරද ජනතාව හමුවේ ජප කළ අතර ඒවා ජනතාවට හොඳට අල්ලලා ගියේය. හැබැයි පමණට වැඩි අසීමිත බලයක් ලබාගනිමින් රටේ සාමාන්‍ය ජනතාවගෙන් ඈත්වූ ජේ.ආර්.ගේ රජය දකුණේත් උතුරේත් ඇවිලෙමින් තිබූ ගින්න තේරුම් ගත්තේ අඩු තක්සේරුවකිනි. අවසානයේ ජේ.ආර්.ට සිදුවුණේ අසීමිත බලය සහිත මන්තරය සාක්කුවේ දාගෙන වෝඩ් පෙදෙසේ ගෙදරට සීමා වූ ආණ්ඩුවක් පවත්වාගෙන යාමටය.

ඊළඟට ප්‍රේමදාස ජනාධිපතිවරයා දුප්පත්කම නැති කිරීමට සෑම දුප්පත් පවුලකටම රුපියල් 2500ක් මාසිකව ලබාදෙන ජනසවිය මන්තරය ජප කරමින් බලය ගත්තේය. ඔහුගේ පාලන කාලය තුළදී ඒ මන්තරයෙන් වැඩගත් නමුත් පක්ෂය අභ්‍යන්තරයේ බරපතළ ප්‍රශ්න හටගත්තේය. ලලිත්ලා ගාමිණීලාගේ දෝෂාභියෝගයත් සමඟ අවසානයේ පක්ෂය දෙකඩ විය. මහා දැවැන්ත පක්ෂයක් වූ යූ.එන්.පියට ඊට පස්සේ කවදාවත් තනිවම බලයට පැමිණීමට නොහැකි විය.

චන්ද්‍රිකා ජප කළේ තුනයි පනහට පාන් ගෙඩියක් ලබාදෙන මන්තරයයි. ඒක ඇතුළේ තිබුණේ රටේ ජීවන වියදම පිළිබඳව උද්ගතව තිබූ බරපතළ ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන බවට වූ පොරොන්දුවය. ප්‍රේමදාස සහ ලලිත් ඇතුලත්මුදලි ඝාතනවලින් කම්පනයට පත්ව සිටි රටේ ජනතාවට චන්ද්‍රිකාගේ ආකර්ශනීය සිනහවත් රෑපකායත් හේතුවෙන් ඇය ජප කරන ඕනෑම මන්තරයකට වශීවන තත්ත්වයක් උදා වී තිබිණි. ඇය තම ධූර කාල දෙකම ගියේ මේ මන්තරයත්, කොටි බෝම්බයෙන් නූලෙන් දිවි ගලවාගැනීම හේතුවෙන් රට තුළ ඇතිවූ සානුකම්පිත ඡන්දවලත් බල මහිමයෙනි. ඒ පාලනය අවසන් වනවිට මහින්දට මහ බලගතු මන්තරයක් ඉබේම පහළ වී තිබුණි. මහින්ද දෝතින්ම ඒ මන්තරය බදාගත්තේය.

&මම යුද්ධය ඉවර කරනවා* යන මන්තරය මහින්දට තිබුණේ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම පමණි. චන්ද්‍රිකාගේ පාලනයේ අවසාන අවුරුදු දෙකේ රනිල්ගේ ආණ්ඩුවක් බිහිවී තිබුණු අතර රනිල් ඒ බලය ලබාගත්තේ රටට සාමය උදාකරන බවට වූ මන්තරය ජප කරමිනි. හැබැයි අවුරුදු දෙකක් යන විට රනිල් පොරොන්දු වූ සාමයේ මන්තරය ජනතාවට තිත්ත වී තිබිණි. තිත්ත වුණාට වඩා එය තිත්ත කරවීමට චන්ද්‍රිකාගේ වටේ සිටි මංගලලා සමත්වීම කැපී පෙනුණි. මේ නිසා මහින්දගේ මන්තරය හොඳට වැඩ කළේය. මන්තරය ජප කළා පමණක් නොව එය සැබෑවක් කර ගැනීමටද මහින්ද සමත් විය. වෙනත් හැම කාලවලටම වඩා වෙනස් මන්තරයක් ජප කරගෙන බලයට පැමිණි මහින්ද තම ධූරට කාල දෙකම සාර්ථක, ජනප්‍රිය නායකයෙක් වශයෙන් ගෙන ගියේය.

හැබැයි මහින්ද වරද්දාගත් තැනක් තිබුණි. ඒ පමණට වඩා තමන්ගේ පවුල ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමය. 2015 ජනාධිපතිවරණයේදී බලයේ සිටියදීම පරාජය වුණු ජනාධිපතිවරයා වීමේ අමිහිරි අත්දැකීමට මහින්ද මුහුණ දුන් අතර ඊට එය එක් ප්‍රධාන හේතුවක් විය.

ඒ වෙලාවේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජප කළේ පවුල් පාලනයෙන් තොර සංහිඳියාව සහිත නිදහස් පාලන රටාවක් පිළිබඳ මන්තරයයි. ගොවීන්ට පොහොර ලබාදීම, ජීවන වියදම අඩුකිරීම ඒ සමඟ වූ පොරොන්දු විය. හැබැයි තෙල්, විදුලිය හෝ ආර්ථිකය ගැන විශේෂ මන්තරයක් ජප කිරීමට මෛත්‍රීපාලට සිදුවුණේ නැත. එහෙම තත්ත්වයක් ඒ කාලයේ නොතිබුණු නිසාය. මහින්ද පැරදුණත් ඒ වනවිට රට සහලින් ස්වයංපෝෂිත වී තිබුණු බව අද වැඩි දෙනකුට මතක නැත.

2019 දී ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිට ඉතා බලගතු මන්තරයක් නිර්මාණය වී තිබුණි. පාස්කු ප්‍රහාරය හේතුවෙන් කරකවා අතහැරුණු තත්ත්වයකට පත්ව සිටි රටේ ජනතාව රට ආරක්ෂා කර දෙන බවට ගෝඨාභය ජප කළ මන්තරයට වශී විය. පාස්කු ප්‍රහාරයට පෙර සිටම සිදුවූ මහ බැංකු මගඩියත්, යහපාලන ආණ්ඩුව ඇතුළේ මෛත්‍රීපාල - රනිල් අතර හටගත් බරපතළ ගැටුම් නිසාත් රටේ ආරක්ෂාව අනතුරට වැටී ඇති බවට රාජපක්ෂවරුන් ප්‍රමුඛව ගෙන ගිය ප්‍රචාරය හේතුවෙන් ජනතාව යහපාලන ආණ්ඩුව කෙරේ සිටියේ ඇවිලී යන කෝපයකින් යුතුවය. පාස්කු ප්‍රහාරය එහෙම ඇවිලෙමින් තිබූ ගින්නට පෙට්‍රල් වත්කිරීමක් විය. මන්තරය හරි ගියේය. ගෝඨාභයට විශිෂ්ට ජයකුත්, තුනෙන් දෙකක ආණ්ඩුවකුත් ලැබුණේය. ඊට පස්සේ වුණේ මොකක්ද?

හොඳ හොඳ මන්තර ජපකර බලයට පැමිණි බොහොමයක් ආණ්ඩුවලට සිදුවූ දේමය. වැඩිකල් නොගොස් කොවිඩ් වසංගතය පැමිණීම කොරේ පිටට මරේ වැනි විය. වසංගතය කළමනාකරණය කර ගත්තත් ඒ සමඟ පැටළුණ ආර්ථිකය බැලන්ස් කර ගැනීමේදී ආණ්ඩුවට උත්තර නැති විය. වැඩිකල් නොගොස් මහ මැතිවරණය පැවැත්වීමත් ඒ වෙනුවෙන්ද සුබසාධන වැඩ ක්‍රියාත්මක කිරීමට සිදුවීමත් නිසා රටේ ආර්ථිකය බලා සිටියදීම වළපල්ලට ගියේය. ආනයන සීමාකිරීම් හරහා විදේශ විනිමය වැයවීම නවතාගත්තත් ඒ හේතුවෙන් රට තුළ ඇතිවූ වෙනස තේරුම් ගැනීමට ආණ්ඩුවට නොහැකි විය. විදේශයන් සමඟ බිස්නස් කළ ආයතන බොහොමයක් වැසී ගියේය. වාහන ගෙන්වීම නැවැත්වීම තුළ පමණක් තරුණ තරුණියන් බොහෝ දෙනකුට රස්සා නැති විය. ඒ අතර සංචාරක ව්‍යාපාරය බින්දුවට වැටීමෙන් ඩොලර් බිලියන තුන හතරක් අහිමි විය. මේ ගැටලු එකිනෙක ගොඩනැගෙද්දී ඒවාට පිළිතුරු හොයන්න මන්තරයක් ආණ්ඩුව අතේ තිබුණේ නැත.

එහෙම වුණත් රටේ මිනිසුන්ගේ ප්‍රශ්න එන්න එන්නම වැඩි විය. කොවිඩ් වසංගතය හේතුවෙන් කඩාවැටුණු රටවල් බොහොමයක් අමාරුවෙන් ඔලුව උස්සන හැටි රටේ මිනිස්සු මාධ්‍ය හරහා දැකබලා ගත්හ. ඒ ඒ රටවලට ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට ක්‍රම සහ විධි තිබිණි. ජනාධිපතිවරයාගේම වචනවලින් කිව්වොත් &ටූල්ස්* තිබිණි. වරායට ආ බඩු ගොඩබාගන්න අවශ්‍ය තරම්වත් ඩොලර් නැතිවන විට රට මුහුණ දී තිබෙන ආර්ථික කඩාවැටීමේ තරම මිනිසුන්ට තේරුම් ගියේය. ආණ්ඩුවට කියන්න පුළුවන් වුණේ තිබෙන ඩොලර් ප්‍රමාණය රුකගත යුතු නිසා අමාරුවෙන් ඉදිරියට යා යුතු බවය. එහෙත් ඩොලර් උපයන අලුත් ක්‍රම ගැන ආණ්ඩුවට නිසි දැක්මක් තිබුණේ නැත. මේ නිසා ඩොලර් හිඟය ඊළඟට තෙල් සහ විදුලියට බලපෑම් කරන්න පටන් ගත්තේය. විදුලිය කප්පාදුව, තෙල් හිඟකම මේ ඔක්කොම ප්‍රශ්න එක ළඟ ගොඩ ගැසුණේය.

ආණ්ඩුවට තවත් එක විකල්පයක් ඉතිරි වී තිබිණි. ඒ දේශපාලනයේ අති දක්ෂ සංවිධායකවරයකු වන බැසිල් මුදල් අමාත්‍ය ධූරයට පත්කර ගැනීමය. එය ආණ්ඩුවේ වුවමනාවට වඩා බැසිල්ගේ වුවමනාවක් බවද පෙනී ගොස් තිබිණි. කොහොම වුණත් කෙටි කලකින් නව පක්ෂයක් හදා ආණ්ඩුවක් පරාජය කර නොහිතපු ජයග්‍රහණයක් ආපසු රාජපක්ෂවරුන්ට අත්කර දුන් බැසිල් සතු &මන්තරය* ගැන ආණ්ඩුවේ වැඩිදෙනා විශ්වාසය තැබූ බව පෙනී ගියේය.

හැබැයි මුදල් ඇමැති වුණත් ආණ්ඩුව බලයට ගේන්න බැසිල් ජප කළ මන්තරය නම් රටේ ආර්ථිකයට වැඩ කරන බවක් පෙනෙන්නේ නැත. රට පුරා පෝලිම් යුගයක් නිර්මාණය වී බඩු මිලද ඉහළ ගොස් දැඩි භාණ්ඩ හිඟයක් ද ඇතිවිය. මේ වනවිට රසායනික පොහොර, කාබනික පොහොර පළහිලව්වෙන් සමස්ත ගොවි ජනතාවම දැඩි අර්බුදයකට වැටී ආණ්ඩුවට එරෙහිව යුද ප්‍රකාශ කරන තත්ත්වයට වැටී සිටී. විදුලිය දෙනවාද නැද්ද යන්න හෙට දවසේ ලැබෙන තෙල් ප්‍රමාණය අනුව තීරණය වන තැනකට රට පත්ව තිබේ. මෙහෙම තියෙද්දී බැසිල් කියන්නෙ මොකක්ද?

පොහොට්ටු පක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බවය. හැකි ඉක්මනින් ඡන්දයකට යාම තමන්ගේ අපේක්ෂාව බවය. ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති බවත් පළාත් සභා මැතිවරණය ගැටලු ගණනාවකට මුහුණ දී තිබෙන නිසාත් ඉක්මනින් තියන්න වෙන්නේ පළාත් පාලන මැතිවරණය බවත් බැසිල් කියා තිබුණි. ලබන 09 වැනිදා අනුරාධපුරයේදී පොහොට්ටු පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රුස්වීම පවත්වන බවද කියා තිබූ බැසිල් තම පක්ෂයේ කාන්තා සමිති ගම් මට්ටමින් ශක්තිමත් කරන වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ප්‍රකාශ කර තිබිණි. මුදල් ඇමැති හැටියට ඔහු කියා තිබුණේ මූල්‍ය අරමුදලින් තාක්ෂණික සහායක් ලබාගැනීමට සැලසුම් කර ඇති බවය.

බැසිල් මේ හදන්නේ තමන් හැමදාමත් කප් ගසන පුංචි ඡන්දය මුලින් තබා ඒක දිනාගෙන ඊළඟ ඡන්දවලට යාමදැයි කියන්න දන්නේ නැත. ඒ වුණත් ගමේ නගරේ බිම් මට්ටමේ පවතින සැබෑ තත්ත්වය ගැන සොයා නොබලා පුංචි ඡන්දයට යාම අතුරේ ගමනක් බව නම් බැලූ බැල්මට පෙනෙන්න තිබේ. සමහරවිට ඡන්ද තියන කතාව රටේ දැන් පවතින ප්‍රශ්න ජනතාවට අමතක කිරීමට යොදන බැසිල් ජිමික් එකක් වෙන්නත් ඉඩ තිබේ. පුංචි ඡන්දයකට යාමේදී ආණ්ඩුවකට අවාසි සහගත සියලු දේවල් ඇස් පනාපිට පේන්න තිබියදී බැසිල් පුංචි ඡන්දයක් ගැන කතා කරන්නේ අලුත් &මන්තරයක්*වත් ජප කරන්න බලාගෙනදැයි කියන්නත් බැරිය. හැබැයි ඒ මන්තරය එදා මෙදාතුර ඉතිහාසයේ බලගතුම මන්තරය විය යුතු බවට නම් කතා දෙකක් නැත.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00