2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 121

බැසිල් සහ අයි.එම්.එෆ්.

අන්තර්ජාතික මුල්‍ය අරමුදලින් (අයි.එම්.එෆ්.) තාක්ෂණික සහාය ලබාගැනීමට සහ ඔවුන්ගේ දූත පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කරමින් රජය ලිඛිත ඉල්ලීමක් කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා (02) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. &අයි.එම්.එෆ්. කියන්නේ තහනම් වචනයක්. නිල වශයෙන් අපි සාකච්ඡාවකට ගියේ නැහැ. නමුත් ඔවුන්ගෙන් සහාය සහ විශේෂඥ දැනුම ලබාදෙන්නැයි ඉල්ලීමක් කරමින් ලිපියක් යැව්වා. අර්බුදවලට මුහුණදෙන අපි වගේ රටවල්වලට උපදෙස් ලබාදීමට තමයි අයි.එම්.එෆ්. ජාත්‍යන්තර ආයතනය පිහිටුවා තිබෙන්නේ. ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියා කරනවද නැද්ද කියන එක මට විතරක් තනිවම තීරණය කරන්න බෑ. අපි මුලින්ම බලාගෙන ඉන්න ඕනෑ වෙන්නෙ මොකක්ද කියලා. ඔවුන්ගේ විශේෂඥ දැනුම අපි ලබාගන්නවා. ඒ ක්‍රියාදාමය අපි ආරම්භ කරලා තියෙන්නේ* ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහ ණය ආපසු ගෙවීමේ ගැටලුව සඳහා අයි.එම්.එෆ්. සහාය ගැනීමේ ආරම්භයක් වශයෙන් මේ පියවර ගත්තේදැයි සඳහන් කිරීමෙන් ඔහු වැළකී සිටියේය. ඔහු මේ ප්‍රකාශය කළේ වැඩ ලක්ෂයක්* වැඩසටහන පිළිබඳව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.

කෙසේ වුවද මුදල් අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය මුල්‍ය සහ ව්‍යාපාරික අංශවල දැඩි කසුකුසුවකට හේතු වී තිබිණි. රජය අවසානයේදී අයි.එම්.එෆ්. සහාය ලබාගැනීම සඳහා නැඹුරු වී ඇතැයි ඔවුන්ගේ මතය විය. එහෙත් ඒ මතයට එතරම් ආයුෂ නොතිබිණි. ඊට පසු දිනම අයි.එම්.එෆ්. මුල්‍ය කටයුතු අධ්‍යක්ෂ වික්ටර් ගැස්පා විසින් නිකුත් කෙරුණු ලිපියක් සංසරණය විය. ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වන බවට එයින් තහවුරු වූ අතර මුදල් අමාත්‍යාංශයේ අලුතින්ම පිහිටුවා ඇති &මහා පරිමාණ - මුල්‍ය ඒකකය*ට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා අයි.එම්.එෆ්. ඉදිරිපත් වන බවද එහි සඳහන් විය. කෙසේ වුවද ණය ආපසු ගෙවීමේ සහ ඊට සම්බන්ධ වෙනත් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නැති අතරම අයි.එම්.එෆ්. වෙතින්ද වෙනත් කිසිදු උපකාරයක් ප්‍රදානය කෙරෙන බවක් ද සඳහන් වී නොමැති බවද දැනගන්නට තිබේ. කෙසේ වුවද ප්‍රංශ පුවත් සේවය මගින් වොෂින්ටන් හිදී නිකුත් කරන ලද නිවේදනයකින් අයි.එම්.එෆ්. ප්‍රධානී මසාහිරෝ නොසාකිගේ ප්‍රකාශයක් උපුටා දක්වා තිබුණු අතර ශ්‍රී ලංකා රජය මුල්‍යාධාර පිළිබඳ ඉල්ලීමක් කළහොත් ඒ ගැන ගත හැකි පියවර ගැන සාකච්ඡා කිරීමට තම නිලධාරීන් සූදානම් බව එහි පෙන්වා දී තිබිණි. එහෙත් මේ දක්වා ශ්‍රී ලංකා රජය එවැනි ඉල්ලීමක් කර නැතැයි ද එහි දක්වා තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අයි.එම්.එෆ්. සහාය ලබාගැනීමට දැඩි ලෙස විරුද්ධය. ඔහු තැබූ ට්විටර් පණිවුඩයක සඳහන් වූයේ මෙය අයි.එම්.එෆ්. වෙතින් ලැබෙන තාක්ෂණික සහාය පිළිබඳ වැඩසටහනක් පමණක් බවය. අපට විකල්ප ක්‍රියාමාර්ග තිබියදී සහන අවශ්‍ය නැති බවට අදහසක්ද ඔහු ඉදිරිපත් කර තිබිණි.

පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදා සිට මේ වසරේ ජනවාරි 01 වැනිදා දක්වා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරත වූ අතර එහිදී වොෂින්ටන් හි ජ්‍යෙෂ්ඨ අයි.එම්.එෆ්. නිලධාරීන් සමඟ සම්බන්ධතා පැවැත්විය. මෙරට රාජ්‍ය සේවයේ නියුතුවූවන්ට රුපියල් 5,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙනු ලැබුවේ එම සංචාරයෙන් පසුවය. පසුගිය දෙසැම්බර් 07 සිට 20 වැනිදා දක්වා වාර්ෂික ආර්ථික ඇස්තමේන්තු ඇගයීම සඳහා අයි.එම්.එෆ්. නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටියහ. එය අයි.එම්.එෆ්. සාමාජික රටක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක සාමාන්‍ය වැඩපිළිවෙළකි.

අයි.එම්.එෆ්. වෙතින් තාක්ෂණික සහාය ඉල්ලූ බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ණය ලබාගැනීමේ ගිවිසුමට අත්සන් තැබීමෙන් හෝරා කිහිපයකට පසුවය. එමගින් තෙල් ගෙන්වීමට කෙටිකාලීන ණයක් වශයෙන් ඩොලර් මිලියන 500ක් ලැබේ.

- සන්ඩේ ටයිම්ස්

එක්සත් රටක් පිළිබඳව ඉන්දියාව මතක් කරයි

එක්සත් රටක් තුළ දෙමළ ජනතාවට සමානව, සාධාරණව, සාමකාමීව සහ ගෞරවනීය ලෙස සැලකීම සහතික කිරීම මගින් ශ්‍රී ලංකාවේ අයිතීන් සුරක්ෂිත වනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් ශ්‍රී ලංකා විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවේ කියා ඇතැයි ඉන්දීය විදේශ කාර්යාලය මගින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි.

මේ ප්‍රකාශය කර ඇත්තේ ඉන්දියාවේදී අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවැති දීර්ඝ කතාබහ අතරතුරදීය.

මේ තත්ත්වය ඇතිකර ගැනීම සඳහා බලය බෙදාහැරීම වැදගත්ම පියවරක් බවද ජයශංකර් ප්‍රකාශ කර ඇතැයිද සඳහන්ය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ හැම කල්හිම මිතුරකු බවද ඔහු සඳහන් කර තිබේ.