කවදාවත් ඡන්දවලට බයක්, චකිතයක් නොතිබුණද රාජපක්ෂ ආණ්ඩුව දැන් ඉන්නෙ ඡන්දයක් තියාගන්න බයෙන් කියන එක පසුගිය දවස්වල විපක්ෂ වේදිකාවලින් දිගටම ඇසුණු කතාවකි. ලබන මාර්තු මාසයේ තියන්න නියමිත වුණු පළාත් පාලන ඡන්දය අවුරුද්දකින් කල් යවපු වෙලාවෙත් විපක්ෂය ආණ්ඩුවෙන් ඇහුවේ ඇයි ඡන්ද කල් දාන්නෙ..* කියලාය. මේ කතාව ඇහෙද්දි ජනපතිට අගමැතිට මුදල් ඇමැතිට නොරිදුණා නම් පුදුම විය යුතුය. එහෙනම් යහපාලන කාලෙත් ඡන්දෙ කල් දැම්මේ ඇයි කියලා අහන්නත් රාජපක්ෂලා කැමැති නැත. පරදිනවට බයේ යහපාලන ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දාන බව කියමින් ආණ්ඩුව පට්ට ගැහැව්වේ ඒ කාලේ විපක්ෂයේ හිටපු රාජපක්ෂලාය.
තාක්ෂණික හේතු කොතරම් තිබුණත් දිනන්න හොඳට චාන්ස් එකක් තිබෙන බවට සැකයක් නැත්නම් ආණ්ඩුවක් කවදාවත් ඡන්ද කල් දාන්නේ නැත. වරින් වර තබන ඡන්දවලින් ලබන ජය ආණ්ඩු ශක්තිමත් කරනවා මිස දුර්වල කරන්නේ නැත. යහපාලනය කාලයේ නම් ජනාධිපති එක පක්ෂයකත් අගමැති තව පක්ෂයකත් වීම නිසා ඡන්දයක් යනු හිසරදයක් වීම වළක්වා ගත නොහැකි විය. අනෙක් අතට පළාත් පාලන ඡන්දය කල් දැමීමට හේතුව වශයෙන් සඳහන් වන සීමා නිර්ණය පිළිබඳ තාක්ෂණික ගැටලු විසඳා ගැනීම අපහසු නැත. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීමට විපක්ෂයේ සහාය ද ලබාගැනීමට හැකිවන නිසා ඡන්දය කල් දැමුවේ එය ජය ගැනීමට තිබෙන ඉඩකඩ ගැන ආණ්ඩුවට ඇති සැකය නිසා විය යුතුය.
ආණ්ඩුව ඡන්දයකට යාම කොහොම වුණත් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතින් ජනතාව අතරට යාමත් ප්‍රශ්නයක් වන ලකුණු පහළ වෙමින් තිබිණි. ගිය ගිය තැන් කිහිපයකදීම ඇමැතිවරුන්ට ජනතාවගෙන් දොස් අහන්නට සිදුවිය. මේ නිසා තමන්ට ගමට යාමටවත් නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතින බව මැති ඇමැතිවරුන් තමන්ගේ නායකයන්ට නොකිව්වා නම් පුදුමය. නමුත් පක්ෂයේ නායකයන් හැමවිටම තමන්ගේ මැති ඇමැතින්ට කියන්නේ ගමට යන්න කියලාය. ජනතාව අතරට ගොස් ප්‍රශ්න විසඳන්න කියලාය.
එහෙම කිව්වත් පොහොර ප්‍රශ්නයෙන් ගොවි පවුල් පීඩනයට පත්ව සිටියදී, කිරිපිටි, ගෑස් නැතිව ජනතාව පෝලිම්වල රස්තියාදු වෙද්දී, කුස්සි ඇතුළේ ගෑස් පුපුරද්දී, සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අහස උසට නගිද්දී, ජනතාව අතරට ගොස් ගැටලු ගැන කතා කරන්න සූදානම් මැති ඇමැතිවරුන් නම් කිසිම ආණ්ඩුවක නැති බව තේරුම් ගැනීම අපහසු නැත. මේ ප්‍රශ්න ගැන ආණ්ඩුව ඇතුළේ ලොකු කතාබහක් සිදු නොවුණා නම් පුදුමය. අනෙක් සියලු වැඩ පැත්තක තිබියදී ආණ්ඩුව වැඩ ලක්ෂයක්* වැඩසටහන ඉදිරියට ගත්තේ මේ නිසා විය යුතුය. දේශපාලන පක්ෂ සහ ඡන්ද කිරීමේදී රටේ ප්‍රබලම, සූක්ෂම සහ දක්ෂම සංවිධායකවරයකු වශයෙන් නම් දරා සිටින බැසිල් මේ වෙලාවෙදි වැඩ ලක්ෂයක් වැඩසටහනෙන් පළාත් පාලන ආයතන මට්ටමින් තමන්ගේ පක්ෂයේ සිටින බිම් මට්ටමේ සංවිධායකරුවන්ට සේලයින් දුන්නේය. ඔවුන් දැන් ගමට යන්නේ නිකම් නොවේ. සල්ලිත් අරගෙනය. ග්‍රාමසේවා මට්ටමින් ගත්තත් වැඩ ගණනාවක් කරන්න ඔවුන්ට මුදල් වෙන්කර තිබේ.
අනුරාධපුරයේ ජන රැලිය පැවැත්වීමට තීන්දු කරන්නේ මේ සේලයින් දීමත් සමඟය. සාර්ථකව ජන රැලියක් පවත්වා ගැනීම විපක්ෂයේ නැගීගෙන එන හඬ යටපත් කරගත හැකි හොඳම උපාය මාර්ගයක් බව මහින්ද, බැසිල් දෙදෙනාම හොඳින්ම දැන සිටියහ. ගෝඨාභය ජනාධිපතිවරයා පක්ෂ දේශපාලනය තුළ දියබුං ගැසීම් පිළිබඳ එතරම් අවබෝධයක් නැති වුණත් විපක්ෂයට ජන සහභාගීත්වයෙන් දෙන උත්තරය වචනවලින් දෙනවාට වඩා වදින බව මහින්ද, බැසිල් දෙදෙනාම දනිති. ඒ වගේම කෘෂිකාර්මික ජීවන රටාවක් තිබෙන වී ගොවීන් විශාල සංඛ්‍යාවක් සිටින අනුරාධපුරයේ පවතින ගැටලු පිළිබඳ හොඳ තක්සේරුවක් ඔවුන්ට තිබේ. ආණ්ඩු පක්ෂ වේදිකාවල ප්‍රබලම කථිකයකු වන මහින්දානන්ද අනුරාධපුරය වේදිකාවේ නොසිටීම එහි ප්‍රතිඵලයකි
අනුරාධපුර රැලියට මහා සෙනඟක් පැමිණීම හේතුවෙන් සෙනඟ පෙන්වා විපක්ෂය දණගස්වන රාජපක්ෂලාගේ තුරුම්පුව හරි ගියේය. මේ සෙනඟ අමතා මහින්ද නියම දේශපාලන කතාවක්ද කළේය. වැල්ලටයි පාරටයි දෙකටම බහින්න සූදානම් බවත් පාරට බැස කෑගසනවාට වඩා තමන් සමඟ හැප්පෙන්නැයි අභියෝග කරන බවත් ඔහු විපක්ෂයට කිව්වේය. එසේම ඕනෑම ඡන්දයකට ආණ්ඩුව සූදානම් බවද වේදිකාවේ සියලු කථිකයන්ගෙන් කියැවුණි. ජනාධිපතිවරයා ද ගොවි ජනතාවගේ ආදායම වැඩි කරන බවටත් ඊළඟ අවුරුදු තුනේදී ආණ්ඩුව ශක්තිමත් ලෙස ඉදිරි ගමනක් යන බවටත් ප්‍රතිඥා දුන්නේය.
කෙසේ වුවද ඇතැමුන් ජනාධිපතිවරයාගේ කතාවේ කිසියම් උද්වේගකර ස්වභාවයක් තිබුණු බවද කියා තිබුණි. මහින්ද නම් තම කතාව අතරතුරදී පොහොර ඉල්ලා කෑගැසූ ජනතාවටද උත්තර දෙමින් ඔවුන්ගේ ගැටලුවට විසඳුම් ලබාදෙන බව ප්‍රකාශ කිරීමද කැපී පෙනුණේය. අනුරපුර රැලිය ජයග්‍රාහී ඉදිරි පිම්මක් හැටියට සැලකීමට ආණ්ඩුවට ඒ වගේ කරුණු ගණනාවක්ම තිබුණි.
එහෙම වුණත් මේ රැලියේ ආණ්ඩුවට දැනෙන කරුණු ගණනාවක්ද තිබුණු බව විපක්ෂයේ සමහරුන්ගේ මතය වෙයි. මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කරන ලද, විශේෂයෙන් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කාලයේදී පැවැත්වූ ජන රැලිවල සහභාගී වී සිටි ජනතාව තුළ තිබූ ගැම්ම මෙවර දකින්නට තිබුණේ නැති බව විපක්ෂය කියයි. වෙනදාට සිනාසෙමින් සතුටු මුහුණින් යුතුව රැලියට සහභාගි වූ උද්‍යෝගිමත් ස්වභාවය මෙවර පෙනෙන්නට නොතිබූ බවද ඔවුහු කියති. එසේම හැකිනම් ඡන්දයකදී හැප්පී බලන්නැයි කළ අභියෝගයට පැය 24ක් ඇතුළත සජබ පිළිතුරු දීමද ආණ්ඩුව බලාපොරොත්තු වන්නට නැත. සජබ කිව්වේ එහෙම නම් කල් නොදමා පළාත් පාලන ඡන්දය තියන්න කියාය. ඒකට ආණ්ඩුවත් පිළිතුරු දිය යුතුව තිබේ.
අනුරපුරදී සාර්ථක රැලියක් පැවැත්වීමෙන් සියලු දොස් දුරුවනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නම් එය මුලාවේ වැටීමකි. රට ඇතුළේ ප්‍රශ්න එකින් එක ගොඩගැසෙමින් තිබෙන බව සැබෑ තත්ත්වයයි. ආර්ථික ගැටලුවලට පෙනෙන තෙක් මානයක ඇත්තේ එකම විසඳුමක් පමණි. ඉන්දියාවෙන් සහ චීනයෙන් ණය සහ ආධාර ගැනීමය. එහෙත් ආසන්නව මේ අවුරුද්ද ඇතුළත පමණක් ඩොලර් බිලියන 04ක් ගෙවන්නට තිබෙන බව සඳහන්ය. ඒ සඳහා ඩොලර් උපයා ගන්නේ කෙසේදැයි ආණ්ඩුව කියන්නේ නැත. එසේම මේ වසර තුළදී රාජ්‍ය සේවකයන්ට ලබා දුන් රුපියල් 5000ක වැටුප් දීමනාව සඳහා ද රුපියල් බිලියන 229ක් වැය වෙයි. වැඩ ලක්ෂය සඳහා ද බිලියන 89ක් ඇස්තමේන්තු කර ඇති බවද කියයි. රටේ ජනතාව අතර තිබෙන මතය නම් මේ මුදල් සොයාගන්නේ මුදල් අච්චු ගැසීමෙන් බවය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට හෝ යාමකින් තොරව මෙලෙස වැය කිරීමට මුදල් නැති බව ඔවුන්ගේ මතයයි.
එපමණක් නොවේ. ආර්ථසාධක සහ සේවා නියුක්ති භාරකාර අරමුදල් ලාභයට 25෴ක අධිභාරයක් පැනවිය හැකිවන ලෙසට නිකුත් කළ ගැසට් නිවේදනය ද ආණ්ඩුව කෙරෙහි ජනතා විරෝධයක් අවුළුවා තිබේ. මේ තීන්දුවට අමාත්‍ය මණ්ඩලයේ පිරිසක් ද විරෝධය පළ කරන බවත් දැනගන්නට තිබේ. විවිධ බදු හේතුවෙන් පීඩාවට පත්ව සිටින පෞද්ගලික අංශ සේවකයන්ට මේ අධිභාරය පැනවීම ඉදිරියේ පැවැත්වෙන ඡන්දයකදී රජයට මහත් අවාසියක් වීමට ඉඩ තිබේ. එසේ වුවද ඉදිරි වර්ෂය සඳහා මුදල් සෙවීමට මේ ගැසට් නිවේදනය අනුව කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇතැයි ද කියයි.
තවමත් ඉහළ ගිය ඇතැම් බඩු මිල පහළ ඇවිත් නැත. ඉදිරියේදී තවත් සහල් සහ කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යන බවද කියයි. ඒ අතර භාණ්ඩ හිඟය ද තවම නිරාකරණය වී නැත. දහසකුත් එකක් ප්‍රශ්න ගොඩගැසෙන අතරවාරයේ රුස්වීමක් සාර්ථකව පැවැත්වීම පමණක් සියලු ප්‍රශ්නවලට විසඳුම දැයි බලාගත හැක්කේ ඉදිරියේදී පැවැත්වෙන ඡන්දයකදී පමණි. නිසි වැඩපිළිවෙළක් නැතිව ජනතාවගේ ප්‍රශ්නවලින් පමණක් ගොඩයන්න පුළුවන් යැයි සිතන එක මිටකට ගොනු නොවූ විපක්ෂයක් තිබීම නම් ආණ්ඩුවට තරමක අස්වැසිල්ලකි. හැබැයි ප්‍රශ්නවලට විසදුම් නොදී රුස්වීම්වලට සෙනඟ පුරවා විපක්ෂයට අභියෝග කිරීමෙන් පමණක් රජය දිගටම පවත්වාගෙන යා හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය තමන්ම රවටා ගැනීමක් බව ආණ්ඩුව ද දැන සිටිය යුතුය
- ශශීන්ද්‍ර