2017 මැයි 06 වන සෙනසුරාදා

කවුද දිනුම්?

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

මැයි දිනය සහ ගෝල්ෆේස් පිටිය ගැන මැයි දිනයට පෙරත් ඉන් පසුවත් බොහෝ දේ ලියැවුණේය. මේ හැම ලියැවිල්ලකම එක් පොදු කාරණාවකට මුල් තැනක් ලැබී තිබුණි. මැයි දිනයට කළින් එය මහින්ද ගෝල්ෆේස් පිටිය පුරවන හැටි ගැන කළ කතාය. මැයි දිනයට පසුව මහින්ද ගෝල්ෆේස් පිටිය පුරවපු හැටි ගැන කතාය. කළින් සමහරු කියා තිබුණේ මහින්දට ගෝල්ෆේස් පිටියෙන් මුහුදට පනින්නට සිදුවන බවය. එහෙම කතා කියූ අය මැයි දිනයට පසුව කිව්වේ තක්කු මුක්කු වෙච්ච කතාය.

මැයි දිනයට පෙර බොහොමයක් දේශපාලන විචාරකයන් කියා තිබුණේ ඒකාබද්ධය ගෝල්ෆේස් පිටිය ඉල්ලා ගැනීම ඉල්ලං කෑමක් විය හැකි බවය. ඒ ගැන දෙවරක් හිතුවා නම් හොඳ බවය. යූ.එන්.පී. මාධ්‍ය සාකච්ඡාවකදී එක් මන්ත්‍රීවරයකු කීවේ ඔන්න අපි දුන්නා පුළුවන් නම් පුරවලා පෙන්නන්න යැයි කියාය. නමුත් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා නම් කිව්වේ ඒකාබද්දෙට ගෝල්ෆේස් පිටිය දුන්නේ යූ.එන්.පියේ ඩීල් එකක් හැටියට බවය. රැලියෙන් පස්සේ නම් ඩිලාන් ඒ ගැන කිසිවක් කියා තිබුණේ නැත.

මැයි දිනය ලෝකයටම කම්කරුවන්ගේ දවස වන විට ලංකාවට එය තම තමන්ගේ හයිහත්තිය පෙන්නන දේශපාලන පක්ෂවල පොර පිටියක් බවට පත්වුණේ ගෝල්ෆේස් පිටිය මහින්දලාට ලබාදීමෙන් පසුව බව නොරහසකි. එය ලබාදීමට මූලික වුණේ යූ.එන්.පීය බවට ශ්‍රීලනිපයේ සමහරැ චෝදනා කළ බවත් සැබෑවකි. එය එසේ වුණත් නැතත් මහින්දලාට ගෝල්ෆේස් පිටිය ලබාදීම ගැන යූ.එන්.පියේ නායකයන්ටද දැන් ලොකු පසුතැවිල්ලක් තිබෙන බව සැඟවිය නොහැක. ගැටඹේත්, කැම්බල් පිටියේත්, ගෝල්ෆේස් පිටියේත් තිබුණේ පැහැදිලිවම මැයි රැලි නොව සෙනඟ වැඩි තමන්ට බව පෙන්නුම් කරන දේශපාලන සටනකි. එම සටනේ නිසැක ජයග්‍රාහකයා මහින්ද රාජපක්ෂය.
මහින්ද යන චරිතය දේශපාලන පොර පිටියේ කොනකට තල්ලු කොට නිහඬ කළ හැකි චරිතයක් නොවන බව තවමත් ඇතැම් නායකයන් වටහාගෙන නැත. ඒ සමඟ ඔහුගේ වටේ අදෘශ්‍යමානව සිටිමින් සහාය දක්වන පිරිස ගැනද ආණ්ඩුවට හරි තක්සේරුවක් තිබී නැති බවත් ඉතාම පැහැදිලිය. මහින්දගේ රජයට පරාජයේ වළ කැපූ කීපදෙනකු තවමත් මහින්දගේ වටේ සිටීම ඔහුට හානියක් බව පෙනුණද එතැනින් එහා ඔහු සමඟ සිටින වැඩකාරයන් ගැන කාටවත් හරි අවබෝධයක් තිබී නැත. එසේ අවබෝධයක් තිබුණා නම් මහින්ද ගෝල්ෆේස් පිටියට මහ විශාල සෙනඟක් ගෙන්වාගෙන එම පිරිස ඉතාම හොඳින් රටේ සියලු දෙනාටම දැක බලාගත හැකිවන අන්දමින් ප්‍රචාරක සහ තාක්ෂණික උපක්‍රම හරහා ජනගත කිරීමට ඉඩක් නොදෙන බව පැහැදිලිය. එය වඩාත්ම හොඳින් පෙනුණේ කොළඹදී පැවැති අනෙක් රැලිය වූ යූ.එන්.පී. රැස්වීමට පැමිණි විශාල සෙනඟ පිළිබඳව ලබාදුන් දුර්වල ප්‍රචාරය පිළිබඳව සලකා බැලීමේදීය. ගැටඹේ ශ්‍රීලනිප රැලියේද එම දුර්වලකම ඊටත් වඩා පෙනෙන්නට තිබුණේය. මැයි දිනයේ සෙනඟින් පමණක් නොව ප්‍රචාරක අංශයෙන්ද මහින්ද ඉහළින්ම සිටීම ඊට හේතුවයි.

මැයි දවසේ සෙනඟ මහින්දට මහත් තෘප්තියක් වූ බවත් ඒකාබද්ධයේ සෙසු නායකයන්ට එම තෘප්තිය ඩබල් ට්‍රිබල් වී තිබූ බවත් පැහැදිලිය. නමුත් ශ්‍රීලනිප පාක්ෂිකයන්ට නම් ඒ සමඟ දැඩි සිත් රිදීමක් ඇතිවන බව පෙනෙන්නට තිබේ. ගැටඹේත් ගෝල්ෆේස් පිටියේත් දෙතැනම රැස්ව සිටියේ ශ්‍රීලනිප පාක්ෂිකයන්ම මිස වෙනත් දේශපාලන පක්ෂ සාමාජිකයන් නොවේ. ගෝල්ෆේස් පිටියේ නම් ඒකාබද්ධයේ ඇතැම් පක්ෂවල සුළු සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින්නට ඇත. නමුත් අති බහුතරය ශ්‍රීලනිප පාක්ෂිකයන්ය. ගැටඹේ ගිය ඇතැම් පාක්ෂිකයන්ට ගෝල්ෆේස් ගියානම් හොඳයි කියා සිතුණා නම් ඒ ගැන පුදුම වීමට දෙයක් නැත. ගැටඹේ සිටියේ ආණ්ඩුවේ රස බලන ශ්‍රීලනිප පාක්ෂිකයන්ය. ගෝල්ෆේස් එකේ සිටියේ විපක්ෂයේ කට්ට කන ශ්‍රීලනිප පාක්ෂිකයන්ය. මේ නිසා ඇත්තෙන්ම විපක්ෂයේ ගැම්ම තිබු‍‍ණේ ගෝල්ෆේස් පිටියේය.
මේ විදියට විපක්ෂයේ ගැම්ම තිබූ පමණින් ශ්‍රීලනිප ආණ්ඩුවක් ගන්න එක පහසු වැඩක්ද? පක්ෂය මෙසේ දෙකඩ වී පාක්ෂිකයන් දෙපැත්තකට වී සිටින තාක් එය පහසු වෙන්නේ නැත. මෙවර මැයි දිනය හොඳින්ම පෙන්නුම් කළේ ශ්‍රීලනිපය මෙසේ සිටින තුරු එහි වාසිය යූ.එන්.පී.යට ලැබෙන බවය. ශ්‍රීලනිප පාක්ෂිකයන්ට දැනෙන කනස්සල්ලට හේතුව ඇත්තේ එතැනය.
මැයි දින කතාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිව්වේ මෙසේය.

මා ජනාධිපති ධූරයට ආවේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ. අනාගත සිහින ලෝක දෙස බලාගෙන වැඩ කිරීමෙන් රටටත් ජනතාවටත් පළක් නෑ. ශ්‍රීලනිපය තවදුරටත් ශක්තිමත් කර මේ රට ප්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කරනවා. ප්‍රබල රටවලින් ඈත්වීම නිසා එදා අපේ රට කොන්වුණා. ජාත්‍යන්තරය ඉදිරියේ විත්තිකරුවෙක් වුණා. 2015 දී ලැබූ ජය සමඟ අපි ජාත්‍යන්තරය දිනාගත්තා
ජනාධිපතිවරයා ශ්‍රීලනිපය ගැනත් කතා කළේය.

ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට නම් ශ්‍රීලනිපය ශක්තිමත් කළ යුතුයි. අද ශ්‍රීලනිපය කාටවත් යන්න කියලත් නෑ. එන්න එපා කියලත් නෑ. පක්ෂය විවෘතයි. වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. මම මේ පක්ෂයේ සභාපතිකම බලෙන් බාරගත්තෙ නෑ. හිටපු ජනාධිපතිතුමා මට සුහදව බාරදුන්නා. අද සමහරු පක්ෂයේ දේට එන්නෙ නැතුව වෙනත් මැයි රැලි පවත්වනවා.
ජනාධිපතිගේ මැයි දින කතාවේ ශ්‍රීලනිපය හා මහින්ද සම්බන්ධව කළ සඳහන් එසේය. මහින්ද තම කතාවෙන් තමන්ගේ පැත්තද කිව්වේය. මෛත්‍රීපාලගේ කතාව දැඩිව තිබුණත් ඔහුගේ ඉරියව් තුළ එක්තරා දුරකට සන්සුන් සහ නොසැලුණු ගතියක් තිබුණේය. මහින්ද කතාව කළේ දැඩි හඬකිනි. එසේම තරමක් ආවේගශීලීවය. හැකි ඉක්මනින් බලය අතට ගැනීමේ උවමනාවක් ඔහුගේ ඉරියව් තුළින් පෙනුණු බව ඇතැම් විචාරකයන්ගේ මතය වී තිබුණි. මහින්ද තම කතාවේදී මෙසේද කියා තිබුණේය. 

වෙන්දේසිකාර, කොන්ත්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන මැයි දිනය අදයි. වරාය නගරය, නෙළුම් කුලුන අපි ඇතිකළ සාමයේ ප්‍රතිඵලයි. මගෙන් පළිගන්න ඕන නිසා ආණ්ඩුව මේ දේවල් නතර කළා. අපි ගත්ත ණය නිසා නොවෙයි ආණ්ඩුව අමාරැවේ වැටුණේ. ආණ්ඩුව ගත්ත ණය නිසයි ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ. ජාතිවාදීන් සතුටු කරන මේ ආණ්ඩුවට විරුද්ධව පාඩම් උගන්වන්න ඕනෑ.
රට ගැන මෙසේ කරුණු ගණනාවක් පැවැසූ මහින්ද තමන්ගේ අභියෝගය ගැන කිව්වේ මෙහෙමය.
ආණ්ඩුව අපිට අභියෝගයක් කළා ගෝල්ෆේස් පිටිය පුරවන්න කියලා. ඒ අභියෝගය බාර අරගෙන ඔන්න අපි පිට්ටනිය පුරවලා පෙන්නුවා. ඒ වගේ අපි කරන අභියෝගයත් ආණ්ඩුව බාරගන්න ඕනෑ. පුළුවන් නම් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා.

මහින්දගේ මේ අභියෝගය ආණ්ඩුව භාරගන්නේදැයි ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.
මේ අතර යූ.එන්.පී. රැලියටද එහි නායකයන්ට සතුටු විය හැකි ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණේය. එහිදී රාජිත සහ සරත් ෆොන්සේකා ගිරිය පුප්පාගෙන දැඩි සේ ආවේගශීලීව කතා කරන විට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සුපුරුදු සන්සුන්කමින් කතා කිරීම කැපී පෙනුණේය. ඔහු මෙසේ තම කතාවේදී සඳහන් කළේය.

යහපාලන ජාතික රජයේ වසර දෙකක ප්‍රගතිය තුළින් යළි ජී.එස්.පී. ප්ලස් සහනය හරහා ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සහිත රටක් බවට පත්කිරීමේ ගමන වහාම ආරම්භ කළා. ආයෝජන රටට ගෙන්වා රාජපක්ෂ ණය සියල්ලම ජනතාවට කිසිදු බරක් නොදී ගෙවා දමනවා. රජයේ ඉදිරි ගමන නතර කරන්න හදන ඕනෑ බලවේගයක් හමුවේ නිකම් බලා සිටීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම් නෑ.
රජයට එල්ලවෙන අභියෝග ගැනද අගමැති රනිල් මෙසේ සඳහන් කළේය.

අපටත් සටන් පුරුදු බව රජයේ ගමනට බාධා කරන කල්ලි මතක තබාගත යුතුයි. මේ සෙනඟ දුටුවිට අපි ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට ඕනෑම මොහොතක සූදානම් බව කිව යුතුයි. 
පක්ෂ නායකයන් තමන් ගැන කුමන තක්සේරුවක සිටියද අවසන් තීන්දුව කවදත් තිබුණේ මහජනතාවම අතේය. ගෝල්ෆේස් පිටියට පැමිණි සෙනඟ හරහා රටේම ඡන්ද තමන් අතට ගත හැකි යැයි ඒකාබද්ධයේ නායකයන් සිතනවා නම් එය වැරදි ගණන් බැලීමක් වනු ඇත. 2015 ඡන්දය ආසන්නයේ මහින්දගේ රැලිවලට පැමිණ සිටි සෙනඟ හේතුවෙන් ජනවාරි 08 වැනිදා රාත්‍රී 12.00 පසුවන තුරුත් මහින්ද ඇතුළු සෙසු නායකයන් ගණන් හදා තිබුණේ තමන් ජය ගන්නා බවටය. අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයද එසේමය. මහින්ද කතා කළ රැලිවලට මහ සෙනඟක් පැමිණි බව දැකිය හැකි විය. නමුත් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලැබුණේ නැත. එය එසේම ඉදිරියේදී සිදුවනු ඇතැයි කිව නොහැකි නමුත් මේ ආණ්ඩුව බලයට පත් කිරීමට කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවී තම ඡන්දය නිදහසේ පාවිච්චි කළ මිලියන ගණන් ඡන්ද දායකයෝ රට පුරා වෙසෙති. ඔවුන් තමන් පත් කළ යහපාලන ආණ්ඩුව කෙරේ දැඩි කලකිරීමෙන් පසුවන බවත් සත්‍යයකි. නමුත් එසේ වූ පමණින් ආණ්ඩුව අකාලයේ වෙනස් කිරීමට ඔවුන්ගේ කැමැත්ත ලැබෙනු ඇතැයි නිගමනයකට ඒම අසීරුය.
එසේ වුවද ඒකාබද්ධ විපක්ෂයේ මහා ගෝල්ෆේස් රැලිය ආණ්ඩුව තුළ කිසියම් සසල කිරීමක් ඇති කළ බව නම් පැහැදිලිය. සමහරැන්ගේ මතය රාජිත සහ ෆොන්සේකාගේ ආවේගශීලී කතාවලට හේතු වූයේ එම සෙනඟ බවය. එය නරක සංඥාවක් හැටියට ඔවුන් නුදුටුවා නම් පුදුමය. 

ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් රාජපක්ෂලාගේ පාලන කාලයට වඩා ප්‍රජාතාන්ත්‍රික නිදහසක් විඳගැනීමට තිබෙන ඉඩකඩ ඉතාම තදින් ආණ්ඩුවටම එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට මුගුරක් වශයෙන් යොදාගෙන තිබීම දැන් ආණ්ඩුවේ නායකයන්ගේ සිත්වලට තදින් කාවැදීම වළක්වනු නොහැකිය. ආණ්ඩුව තමන්ගේ ශක්තිය රැඳී ඇත්තේ කොතැනදැයි යන්න මුල සිටම වරද්දාගෙන තිබුණේය. එසේම දුර්වලකම් පිළිබඳවද හරි තක්සේරුවක් තිබුණේ නැත. මේ නිසාම තමන් කළ සහ කරන හොඳ වැඩ සමාජයට ගලා නොයාමේ විපාකයට දිගටම මුහුණ දෙමින් සිටී. අඩුම වශයෙන් තමන් විදෙස් රටක් සමඟ එළැඹෙන ගිවිසුමක සුබවාදී කුරුණු තමන්ගේ පාක්ෂිකයන්ට හෝ අවබෝධ කරදීමට ක්‍රමයක් අනුගමනය කරන්නේ නැත. තමන්ට ඡන්දය දුන් පාක්ෂිකයන්ගේත් පාක්ෂිකයන් නොවන අයගේත් නාඩි වැටෙන විදිය ගැන හරි අවබෝධයකින් කටයුතු කළේ නම් මේ තරම් කරදර ගොඩක ආණ්ඩුව පැටලෙන්නේ නැත. ඒකාබද්ධ විපක්ෂය ඔළුව උස්සන්නේත් නැත. නමුත් ආණ්ඩුව තමන්ගේ ශක්තිය පමණක් නොව විරුද්ධවාදියාගේ, සතුරාගේ ශක්තිය හෝ දුර්වලකම් ගැනවත් හරියට තක්සේරු කරගැනීමට සමත් වී නැති බව සහතිකය. එසේ තිබුණා නම් ගෝල්ෆේස් රැලිය වැනි තමන්ගේ හිස මත කඩාවැටෙන තීන්දුවක් ගන්නේද නැත.

මහින්ද 2015 දී ජනාධිපතිවරණයෙන් පැරදුණේද තමන්ගේ සතුරාගේ, ප්‍රතිවාදියාගේ ශක්තිය නිවැරැදිව මැනගැනීමට අසමත් වීම හේතුවෙනි. ඔහු දැන සිටියේ, මැනගෙන තිබුණේ තමන්ගේ ශක්තිය පමණි. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයන්ද තමන්ට ඕනෑ වූ ගමන් මේ ආණ්ඩුව පෙරළාගත හැකි යැයි දැන් සිතනවා නම් එයද ලොකු වැරැද්දක් බව නිසැකය. ඉවසීම යහපාලන රජයේ වටිනාම ලක්ෂණය වුවද එහි දිග පළලේ සීමාවක් පවතින බව දැනගෙන ඉදිරි පියවර තැබීම වඩාත් සුදුසු වන්නේ එනිසාය.

පවතින තත්ත්වය මෙසේ වන විට ඉදිරි කාලයේදී මහින්ද ඇතුළු ඒකාබද්ධ නායකයන් බලාපොරොත්තු විය යුතු ප්‍රතිඵල ද තිබෙන බව අමතක නොකළ යුතුය. මහින්දගේ ආරක්ෂාවට සිටි පිරිසෙන් 42ක් ඉවත් කිරීම එම ප්‍රතිඵල වලින් එකක් බව පැහැදිලිය. එය ආරම්භයක් පමණක් වීමටද ඉඩ තිබෙන බවත් සළකා කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත. 

මෙවැනි පියවර ගැනීම් අතින් මහින්දලාද දෙවිවරුන් නොවේ. ඔවුන් තමන්ගේ ඇතැම් දේශපාලන විරුද්ධවාදීන්ට අනුකම්පා විරහිතව සැලකූ අවස්ථා තිබේ. යුද්ධය දිනාගැනීමේ හමුදාව මෙහෙය වූ සරත් ෆොන්සේකා ඡන්දයට ඉදිරිපත් වීමට සූදානම් වූ විගසම ඔහුගේ ආරක්ෂාව අඩු කෙරිණි. යුද්ධය නිම වී වැඩි කාලයක් ගත නොවී තිබීම හේතුවෙන් ඔහුගේ ජීවිතයට දැඩි තර්ජන තිබිණි. නමුත් ඒවා කිසිවක් සැලකිල්ලට නොගැනිණි.
ඉන්පසුව ඡන්දය නිමවූ වහාම ඔහු කුදලාගෙන ගොස් සිරගත කරනු ලැබීය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වූ විට ඔහුටද විවිධ හරස් කැපීම් සිදුවිය. ඔහුගේ ආරක්ෂාවද අවමයට බස්සනු ලැබීය. ජනාධිපතිවරණය ජයගත නොහැකි වී නම් ඔහුගේ ඉරණම සරත් ෆොන්සේකාට අත් වූ ඉරණමටත් වඩා දරුණු වීමට ඉඩ තිබුණේය. ඒ බව වරක් ජනාධිපතිවරයාම ප්‍රසිද්ධ රැලියකදී පවසා තිබිණි.
අතීතය එසේ වූ පමණින් මහින්දගේ ආරක්ෂාව අඩු කිරීමට යහපාලන රජයට කිසිම යුතුකමක් නැත. එය යහපාලන ප්‍රතිපත්තිවලටද විරුද්ධය. ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම මහින්දගේ චරිත ස්වභාවයයි. ගෝල්ෆේස් පිටියේදී ඔහු පෙන්නුම් කළේ එම ගතියයි. ඒ වෙනුවට ඔහුගේ ආරක්ෂාව අඩුකිරීම සාධාරණ තීන්දුවක් නොවේ.

මැයි දින ෂෝ එකෙන් පසුව ඒකාබද්ධය ආණ්ඩුවෙන් අපේක්ෂා කළ යුතු ප්‍රතිචාර දෙකක් තිබේ. එකක් හැකි වෙර යොදා ඒකාබද්ධය වැට්ටවීමට කටයුතු කිරීමයි. අනෙක මහින්ද තාමත් ජනප්‍රියයි කියා ඒකාබද්ධයට ඉදිරියට යන්නදී නිහඬ වීමය. ලංකාවේ දේශපාලනයට අනුව නම් විය හැක්කේ මින් පළමුවැන්න මිස දෙවැන්න නම් නොවේ.

 ශශීන්ද්‍ර