- ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත
♦ අපේ අයට වැඩ බාරනොදී වෙන අයට දීම වැරදියි
♦ වැඩ කරගන්න බැරුව අනුන්ට දොස් කියලා වැඩක් නෑ
♦ මගේ ඇමැති දෙවියෙක්: මම නිල නොලත් කැබිනට් ඇමැති
♦ ජීවන බර පැය 24කින් හැදුණු එකක් නොවේ
♦ නිමල් ලන්සාට මම තර්ජනයක් කළේ නෑ
♦ බිල නොගෙවන ඇමැතිලාගේත් වතුර කපනවා
♦ හිරබත් කාලා ආණ්ඩුව හැදූ අපිව කපන්න බෑ
වර්තමාන ආණ්ඩුව බිහිකිරීමේලා වැඩ කොටසක් සිදු කළ කෙනෙක් ඔබ. දැන් ඔබේ කණ්ඩායමෙන් ජනාධිපතිවරයා පත්වෙලා අවුරුදු දෙකක් වෙනවා. ආණ්ඩුවටත් අවුරුද්දක් පහුවෙලා. ඇත්තටම මොකද හිතෙන්නේ වර්තමාන තත්ත්වය ගැන?
මේ පක්ෂය අපේ. අපි කාගෙවත් පක්ෂයක් පස්සෙන් ගිහිල්ලවත්, පක්ෂයකට හේත්තු වෙලාවත් හදපු ආණ්ඩුවක් නෙමෙයි. අපි දේශපාලනයට ශ්‍රීලනිපයෙන් උපත ලබලා ආවට බණ්ඩාරනායක ප්‍රතිපත්තියට විරුද්ධව යන නිසා තමයි මහින්ද මහත්තයා එක්ක මේ ආණ්ඩුව පිහිටෙව්වේ. ඉතිහාසයේ පළවෙනි වතාවට පක්ෂයක් පිහිටුවලා ඉතාම කෙටි කලකින් බලය ගත්තා. අන්න එහෙම යන ගමනෙදි අපි මේ පක්ෂයේ අයිතිකාරයෝ. උරුමක්කාරයෝ.
ඔබට පක්ෂය පිහිටුවන්න ගිහින් හිරේ විලංගුවෙත් ඉන්න වුණා නේද?
ඔව්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විනය පියවර අරගෙන මන්ත්‍රී ධූරවලින් එළවන්න සූදානම් වුණු අයගෙන් ඉස්සෙල්ලම ඉන්නේ මම. ඒක බැරිවුණු නිසා උසාවියෙන් දුන්න නියෝගයකට පොලීසියේ අත්සන් කරන්න යන්න එක දවසකට බැරි වුණා. ඒක උපරිම දඬුවම විනිසුරුවරයකුගේ අවවාදය විතරයි. ඒත් මාව මාස තුනයි දවස් 19ක් රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒකට හේතු වුණේ මම උසාවි ගේන දවසට විනිසුරු නිවාඩු ගිහින්. ඇත්තටම යහපාලන ආණ්ඩුව හිතාමතාම අපෙන් පළිගත්තා. මට සිරිසේන ජනාධිපතිතුමා එන්න කිව්වා එයාගේ ආණ්ඩුවේ ධීවර නියෝජ්‍ය ඇමැතිකමට. එහෙම ගියා නම් ඊට පහුවැනිදා මම නිදහස්. ඒත් මම එහෙම ගියේ නෑ. ඒ මාස තුනයි දවස් 19ට මහින්ද රාජපක්ෂ මහත්තයා 11 වතාවක් මාව බලන්න හිරගෙදරට ආවා. එතුමා මට දරුවකුට වගේ සැලකුවේ.
පක්ෂය වෙනුවෙන් හිරේ ගිය නිසා අයිතිකාරයෝ පක්ෂයේ?
නෑ. ඔය කවුරුත් මන්ත්‍රීවරු නැති කාලේ මේ සනත් නිශාන්ත තමයි ගාලු මුවදොර පුරවන්න බස් 256ක් පුත්තලමෙන් අරගෙන ගියේ. මම තනියෙන් එහෙම කළේ. අනෙක් මන්ත්‍රීවරු ආණ්ඩුව එක්ක ගැටඹේ ගියා. මම 15000ක් අරගෙන ආවා ගාලු මුවදොරට. එහෙමයි අපි වැඩ කළේ. එහෙම නැතුව සමහර අය වගේ ඒ ආණ්ඩුවෙත් ඉඳලා මේ ආණ්ඩුවෙත් ඉන්න අය නෙමෙයි අපි.
මම මෙහෙම අහන්නම්කෝ. එච්චර කැපවීම් කරපු සනත් නිශාන්තට ආණ්ඩුවෙන් සැලකුම් ලැබිලා තියෙනවද කළ දේවල්වලට?
වටිනාකමක් ලැබිලා තියෙනවා. මට වඩා ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරු ඉන්නකොට මට මේ දිස්ත්‍රික්කයේ නායකකම දීලා තියෙනවා. මම රාජපක්ෂවරු දන්නේ ප්‍රාදේශීය සභාවේ ඉන්න කාලේ ඉඳලා. මම තුන් වතාවක් මේ පුත්තලමේ වැඩිම මනාප ගත්ත මන්ත්‍රී. ඒ නිසා රාජපක්ෂවරු මට සැලකුවා ඇති. ඒ වගේම අයවැයෙන් වැඩිම මුදල් වෙන් කළේ පානීය ජලයට. ඒ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා බවට මාව පත් කරලා කැබිනට් ඇමැතිකමට දැම්මේ අවුරුදු 84ක කෙනෙක්. ඉතින් මම කැබිනට් තමා. මම නිල නොලත් කැබිනට්.
නිල නොලත් කැබිනට් කියන්නේ ඔබට අමාත්‍යංශයෙන් ඕන දෙයක් ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් නේද?
මට අනිවාර්යෙන් පුළුවන්. මට හම්බවෙලා තියෙන්නේ කැබිනට් ඇමැති කෙනෙක් නෙමෙයි, දෙවි කෙනෙක්. වාසුදේව නානායක්කාර මහත්තයා කියන්නේ දෙවි කෙනෙක්. කවදාවත් කකුලෙන් අදින්නේ නෑ. කපන්නේ නෑ. දිරිගන්වනවා හැම වෙලාවෙම. එතුමා මට කියන්නේ ඔබතුමා වැඩ කරන්න, රට වටේ දුවන්න. මම වයෝවෘද්ධ නිසා දුවන්න බෑ. ප්‍රතිපත්ති ටික මම හදන්නම් කියලා .මට හැම නිලධාරියෙක්ම සලකනවා. මට කලකිරීමක් නෑ.
ඔබ ඔහොම කිව්වට ගොඩක් රාජ්‍ය ඇමැතිවරු පොදුවේ කියනවනේ ඇමැති එක්ක වැඩ කරන්න බෑ කියලා. ඒවා බොරුද?
වැඩ බැරි ටාසන්ලා එහෙමයි. වැඩේ කරන්න බැරි නම් අරයට මෙයාට දොස් කියලා වැඩක් නෑ. හැම නිලධාරියම අපේ මතයට ගන්න බෑ. අපි දැනගන්න ඕන අපේ විදිහට ගලපාගන්න.
ඔබ ඔහොම කිව්වට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය ධුරයෙන් ඉවත් වෙන්න යනවා කියලා කතාවක් පැතිරෙනවා. ඒකට හේතුව අමාත්‍යංශයේ නිලධාරීන් අතර ගැටුමක් කියලයි ආරංචිය. දැන් එතකොට ඒවා මොන වගේ ප්‍රශ්නද?
නිමල් ලන්සා ඇමැතිතුමාට තියෙන ප්රශ්නය තමයි, එතුමා මේ ආණ්ඩුවේ අයිතිකාරයා වෙන්න ගියා. මේක සාමූහික ආණ්ඩුවක්. ඒ වගකීම අපි ඉටුකරන්න ඕන. කැබිනට් ඇමැතිවරු වගේම රාජ්‍ය ඇමැතිවරුත්. ඉස්සර වගේ නෙමෙයි, අද රාජ්‍ය ඇමැතිගෙයි, කැබිනට් ඇමැතිගෙයි සියල්ල සමානයි. පහසුකම් පවා එක සමානයි. බලයත් එහෙමයි. තියෙන එකම වෙනස කැබිනට් ඇමැතිට පුළුවන් කැබිනට් මණ්ඩලයේ වාඩිවෙන්න. එහෙම නම් මම අහන්නේ මොකක්ද තියෙන අවුල කියලා.
ඔබ කියන්නේ නිමල් ලන්සා ඔබලට වඩා උඩින් හිටියා කියලද?
මෙහෙමනේ. මේ ආණ්ඩුවේ භාරකාරයෝ ඉන්නේ. අයිතිකාරයෝ නෑ කවුරුවත්. අපි ඇතුළු කණ්ඩායම දරන්නේ භාරකාරීත්වයක් විතරයි. අයිතිකාරයෝ නෙමෙයි. එහෙම ඉන්න ගමන් මට අරයා මෙයා සලකන්නේ නෑ කියන්න බෑ. දැන් බලන්න, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කිලෝමීටර් 25ක් තියෙනවා. ඒත් ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමැතිතුමාට එක මීටර් සීයක් දුන්නේ නෑ. ඒත් ජොන්ස්ටන් ඇමැතිතුමා ඉන්දික අනුරුද්ධට දෙනවා කිලෝමීටර් පහක්. ඒත් එයා ඇවිල්ලා ඒ කිලෝමීටර් පහත් කපනවා.
දැන් ඔබ කියන්නේ නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා කැපිලි දානවා කියලද? ඔබ ඔය වගකීමෙන්ද කියන්නේ?
එතුමා තෝරාගත්ත වෙනම සෙට් එකක් ඉන්නවා.
හරි දැන් ඔබ කතා කරන්නේ වෙන වෙන අය ගැනනේ. දැන් ඔබට කැපිල්ලක් වෙලා තියෙනවද? අනුන් ගැන එපා. ඒ කැපිල්ලට අහුවූ අය අතරෙ සනත් නිශාන්තත් ඉන්නවා?
මෙහෙමයි. කපන්න පුළුවන් මිනිස්සු ඇති. ඒත් සනත් නිශාන්ත කපන්න බෑ. අපි හිරබත් කාලා ආණ්ඩු හදද්දි එයාලා ඇමැතිකම් කරලා අපිව කපන්න බෑ.
ඔබට තියෙන්නේ පෞද්ගලික තරහක් වගේ නේද?
නෑ නෑ. මට පෞද්ගලික තරහක් නෑ. මට දිස්ත්‍රික් නායකයා හැටියට කිලෝමීටර් 50ක් තියෙනවා. ඒ 50 දුන්නේ එයා පෞද්ගලිකව හිතවත් කොන්ත්‍රාත්කරුවකුට. ඒ කොන්ත්‍රාත්කරු අපේ පාරවල්වලට ලැබෙන මුදලින් 20%ක ඇඩ්වාන්ස් එකක් අරන් යාපනයේ කිලෝමීටර් 61ක පාරක් හදනවා. ජනාධිපතිතුමාගේ පළමු පදවි ප්‍රාප්තියට මුල්ගල් තිබ්බ පාර තවම හදාගන්න විදිහක් නෑ.
ඔබ දිස්ත්‍රික් නායකයා වුණාට එතුමා විෂය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති. එතුමා දෙන්න ඕන අඩුවට වැඩේ ඉක්මනින් කරන කොන්ත්‍රාත්කරුවකුට මිසක් ඔබට නෙමෙයිනේ. ඔබෙන් ඒකට අවසර ගන්න ඕන නෑනේ. ඒකෙ වැරුද්දක් නෑනේ?
එයා ටෙන්ඩර් කැඳවලා නෙමෙයි දුන්නේ. එයා දුන්නේ එයාගේ හිතවතකුට.
දැන් ඔබ එහෙම කිව්වට, ඔබගේ දුරකථන හඬ පටයක් මම ඇහුවා. ඒකේ ඔබ කියනවා ආනන්ද සරත් කුමාරට දෙන්න එපා කියලා පාරක වැඩක්. දැන් ඔබ කපනවා කියලයි ඒක ඇහුවම තේරෙන්නේ. ඔබයි විෂය භාර ඇමැතිට බලපෑම් කරන්නේ?
ආනන්ද සරත් කුමාර කියන්නේ කවුද? එයා මන්ත්‍රී කෙනෙක්ද? නෑනේ. එයාට මුදල් දෙන්න අයිතිය මොකක්ද? මම ආසන සංවිධායක. මම දිස්ත්‍රික් නායක.
දැන් කියන්නකෝ ඒ දුරකථන සංවාදය එළියට ගියේ කොහොමද?
ඒක තියෙන්නේ දෙන්නෙක් ගාව. එකක් මගේ ළඟ. අනෙක එතුමා ළඟ. මම එළියට දැම්මේ නෑ.
හරි දැන් ඒ හඬ පටය අනුව ඔබ නිමල් ලන්සා විෂය භාර ඇමැතිවරයට පාරක් සම්බන්ධයෙන් චෝදනා කරනවා. එතන ඔබ පැහැදිලිව තර්ජනයක් කරන්නේ. එහෙම තර්ජනය කරන්නේ කොහොමද?
නෑ. මම තර්ජනයක් නෙමෙයි කරන්නේ. එයා ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ අයට වැඩ නොදී වෙන වෙන පක්ෂවල අයට වැඩ දෙනවා. ඒක එයාගේ දිස්ත්‍රික්කයේ කරන්න පුළුවන්. ඒත් මම මේ දිස්ත්‍රික්කයේ පක්ෂයේ නායකයා. මේ දිස්ත්‍රික්කයේ වෙන දේවල් ගැන අපි දැනුවත් වෙන්න ඕන. අනික මම ආනමඩුව සංවිධායක. අපේ ආසනයේ ග්‍රාමීය වසම් 16ක් තියෙනවා. ඒකෙන් 10ක වැඩ අපේ පක්ෂයේ නොවන කෙනකුට දෙනවා. ඒකට විරුද්ධ වෙන්න මට අයිතියක් තියෙනවනේ.
දැන් ඔබ කරන චෝදනා කාටද පැමිණිලි කළේ. ජොන්ස්ටන් ඇමැතිතුමාට පැමිණිලි කළාද?
මම ලිඛිතව එතුමාව දැනුවත් කළා, මෙයා නරක විදිහට කටයුතු කරනවා කියලා. මොකද අපේ අයට අසාධාරණය වෙන්නේ. අපේ ඡන්දයි නැතිවෙන්නේ. ඒ වෙනුවෙන් මම පෙනී ඉන්නම ඕන. අඩුම ගාණේ මගේ ගේ ඉස්සරහ පාර හදලා නෑ.
එතුමා නෙමෙයි, හරි නම් අයින්වෙන්න ඕන ඔබ. ගමේ පාරක් හදාගන්න බෑ කියන්නේ කලිසමක් ඇඳන් ගමට යන්න පුළුවන්ද?
ඔව් ඒක හරි. මේ සිදුවීම ගැන මේ වෙද්දි පරීක්ෂණයක් කරනවා.
දැන් මේ සිදුවීමද එතුමා අයින් වෙන්න හේතුව?
වෙන්න ඇති. එයා අකාර්යක්ෂම නම්, එයාගෙ හිතවතුන්ට පමණක් සලකනවා නම්, එයාට කොතනකවත් වැඩ කරන්න බෑ.
ඉතින් මෙහෙම කා කොටා ගන්නවා නම් ආණ්ඩුවක් ගෙනියන්නේ කොහොමද ඉස්සරහට?
මීට වඩා ප්‍රශ්න තියෙනකොට අපි ආණ්ඩු කළා. ඒත් මේ තමයි සන්ධාන ආණ්ඩු යන විදිහ.
දැන් මේ සන්ධානයේ අයද රණ්ඩු වෙන්නේ. මේ රණ්ඩු වෙන්නේ ඔබලගෙම අයනේ. එකම පක්ෂයේ?
ඔයාගේ පවුලේ අය රණ්ඩු වෙන්නේ නැද්ද? මාධ්‍ය - මාධ්‍ය රණ්ඩු වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. ඒ හැටි.
එහෙම රණ්ඩුවෙලා පස්සේ ෂේප් එකේ යාළු වෙනවා නේද? අපි ඉතින් රැවටිලා?
පස්සේ යාළු වෙනවා. මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියලා කියන්න තියෙන්නේ.
රන්ජන් රාමනායක කිව්ව කතාව ඇත්ත. මේ ඔක්කොම යාළුවෝ මල්ලි නේ?
ඔව් ඔව්...
දැන් ඔක්කොම දන්න ඔබට තේරෙන්නේ නැද්ද ජනතාව ජීවන බරෙන් මිරිකිලා හුස්ම ගන්න අමාරුවෙන් කියලා?
මේක මේ පැය 24කින් හැදුණු එකක් නෙමෙයි. 2005 මහින්ද මහත්තයා රට භාරගනිද්දි රටේ ණය ඩොලර් ට්‍රිලියන 02යි. ඒත් රටෙන් 1/3ක් ත්රස්තවාදීන් යටතේ. ඊට පස්සේ යුද්ධ කරන්න අවශ්‍ය දේවල් ගත්තා. පස්සේ යුද්ධය දින්නා. කවදාවත් ඡන්දයක් තිබ්බේ නැති පළාත් දෙකක් තමයි අතට ගත්තේ. කිසිම දෙයක් වෙලා නෑ. ඊට පස්සේ රට සංවර්ධනය කරන්න අපි ණය ගත්තා ට්‍රිලියන 05ක්. එකතුව 7යි. ඊට පස්සේ ඒ ගත්ත ආණ්ඩුව කරපු දෙයක් නෑ. සියලුම ජාතික සම්පත් විකිණුවා. අපිව හිරේ දැම්මා. වරාය විකිණුවා. මේ සියල්ල කරලා අපිට භාරදෙනකොට ට්‍රිලියන 14ක් වෙලා. එයාලා කරපු දෙයින් රට විනාශ වුණා. දැන් අපි අමෙරිකානු ඩොලර් බිලියන 6ක් වාර්ෂිකව ණය හැටියට ගෙවන්න ඕන. එව්වා තමයි මේ ප්‍රශ්න. සංචාරක කර්මාන්තයෙන් අපිට බිලියන 3ක් ආවා වාර්ෂිකව. ඒවා නැවතුණා. ඒ වගේම කොරෝනා නිසා රස්සාවල් නැතුව මේ රටට ආපු විදෙස් ශ්‍රමිකයෝ ගාණ ලක්ෂයක්. ඒ අයටත් අපි වියදම් කළා සෞඛ්‍ය පහසුකම්වලට. ඒ වගේම කොරෝනා මෙහෙයුමත් එහෙමයි.
දීර්ඝ පැහැදිලි කිරීමක්. දැන් ඒ කියන්නේ ආයේ තෙල් වැඩි වෙයි නේද?
ඔව්. තෙල් ගණන් වැඩි වෙයි.
කීයකින් විතර වැඩි වෙයිද?
ඒක මම දන්නේ නෑ. තෙල් ඇමැතිගෙන් අහන්න. මම පානීය ජලය ඇමැතිනේ.
වතුර බිලත් වැඩිවෙයිනේ ඔහොම යද්දි නේද?
නෑ නෑ. අපි වැඩි කරන්නේ නෑ මේ වෙලාවේ.
හරි... දැන් ජල බිල්පත්වල පොලු කීයද?
ඒක නම් මතකයේ නෑ.
ඔය වැඩියෙන්ම පොලු තියන්නේ වතුර බිලට ඇමැතිලනේ. නේද?
ඇමැතිතුමත් මමත් තීන්දු කරලා තියෙනවා බිල ගෙව්වේ නැත්නම් වතුර කපනවා කියලා. පස්ස හෝදගන්න වතුර කොහෙන් හරි ඇමැතිවරුන්ට ගේන්න වෙයි. මම මේ පැහැදිලිවම කියන්නේ කපන එක කපනවා. සහනයක් දෙන්න පුළුවන් වාරික හැටියට ගෙවන්න. ඒත් නොගෙවා ඉන්න අයගේ නම් කපනවාමයි.
ඔය කියන ඒවා ඇමැතිවරුන්ට කරන්න බෑනේ?
නෑ නෑ. කිසිම සමාවක් නෑ. කපනවා.
දැන් ශ්රීලනිපය, අනෙක් පක්ෂ එක්ක තිබුණු රණ්ඩු මරාගැනිලි ඉවරද?
ඔක්කොම යාළුවෝ මල්ලි. ඔයාලනේ ලොකු ලොකුවට මේවා ගන්නේ.
නෑ... අර හඬ පටය ඇහුවම බය වුණා. මාර සද්දයක්නේ දාන්නේ?
නෑ. ඒ හඬපට ඇහුවා නම් හිතන්න ඒ මම කතා කරන්නේ මගේ දිස්ත්‍රික්කය වෙනුවෙන්. මගේ ජනතාව වෙනුවෙන්. මගේ ජනතාව පහළ ඉඳලා උඩට මාව ගෙනාවේ. මට තියෙන එකම බලය ජන බලය. ඕනම වෙලාවක ඒ ජන බලය වෙනුවෙන් මම පෙනී ඉන්නවා.
I ගයාන් ගාල්ලගේ