පාර්ලිමේන්තුව එක මිටට ගත් මංගල
මංගල සමරවීර මෙරට දේශපාලනයේ සුවිශේෂ චරිතයකි. ඔහු නිදහසින් පසුව මෙරට බිහිවූ තමන්ටම අනන්‍ය වූ ස්වාධීන චින්තනයක් සහිතව දේශපාලනය කළ ආත්මාර්ථයෙන් තොර රුඩිකල් මන්ත්‍රීවරයෙක් වශයෙන් කැපී පෙනුණේය. තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණයට වඩා රටේ අනාගතය වෙනුවෙන් නොබියව ඔහු පළ කළ අදහස් මෙරට සම්ප්‍රදායික දේශපාලනයට නතුව සිටි බොහෝ දෙනාගේ දැඩි විරෝධයට හේතු වන්නට ඇත. එහෙත් ඒ කිසිවකුටත් මංගලගේ චින්තනය වෙනස් කළ නොහැකි විය. තමන් පෙනී සිටි දේශපාලන පක්ෂය හෝ සන්ධානය වෙනුවෙන් මංගල ඉටුකළ කාර්යභාරය ඒ ඒ දේශපාලන පක්ෂවල අතීතය සමඟ නොමැකෙන සේ බැඳී තිබේ.
මේ සුවිශේෂ දේශපාලන චරිතය පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ශෝක ප්‍රකාශ යෝජනාව පසුගිය 11 වැනිදා සිකුරාදා සාකච්ඡාවට ගනු ලැබීය. එම අවස්ථාව මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකට එකතු කළ ඉතා විරල අවස්ථාවක් සටහන් කළේය. දෙපාර්ශ්වයේම මැති ඇමැතිවරුන් ඉතා හැඟුම්බරව අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා පිළිබඳ අදහස් පළ කරනු දැකිය හැකි විය.
ශ්‍රීලනිපයෙන් පක්ෂ දේශපාලනයේ අත්පොත් තැබූ මංගල පසුගිය වසරේදී කොවිඩ් වැළඳීමෙන් පසුව ඇතිවූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වනවිට ස්වාධීන දේශපාලනඥයෙක් වශයෙන් ජනතාව අතර රුඳී සිටියේය. ශ්‍රීලනිප දේශපාලනයෙන් පසුව ඔහු යූ.එන්.පියට එකතු වී එහි බලවත් අමාත්‍ය ධූරද හෙබැවීය.
මංගල මුලින්ම අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ තැපැල් හා විදුලි සංදේශ ඇමැති හැටියටය. තම මුල්ම අමාත්‍ය ධූරයෙන් රටේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඇතිකළ විප්ලවීය වෙනස ඔහු පිළිබඳව මෙරට දේශපාලනයේ සියලු නායකයන්ගේ සිත් සතන් තුළ ප්‍රබල හැඟීමක් ඇතිකරන්නට ඇත. එතෙක් මේ රටේ දුරකථනය යනු පගාවක් දී ලබාගත යුතු මහේශාක්‍ය උපකරණයක් විය. එහෙත් දුරකථනය සෑම නිවෙසකටම අයත් පොදු භාණ්ඩයක් බවට පත් කළ මංගල ලොව පුරා ඒ වනවිට ඇතිවෙමින් තිබූ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තාක්ෂණික පිබිදීමට ශ්‍රී ලංකාවේ දොරටුව විවෘත කළේය. අද මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන සුවිශාල සංවර්ධනයේ අද්විතීය නියමුවා වූයේ මංගල සමරවීරය. එසේම මහජන මන්ත්‍රීවරයකු වශයෙන් මාතර දිස්ත්‍රික්කයට ඔහු කළ වැඩ ප්‍රමාණය අදත් පක්ෂ භේදයකින් තොරව මාතර ජනතාව සිහිපත් කරති. මාතර නගරය නවීකරණයේ ආරම්භය ගත්තේ මංගලය.
රටේ සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔහු දැරෑ ස්ථාවරය කවදාවත් වෙනස් වූයේ නැත. ඔහු ඒ සම්බන්ධයෙන් රැඳී සිටි මතවාදයට ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයන්ගේ පවා පැසසුම් හිමි විය. විදේශ අමාත්‍යවරයකු වශයෙන් සාර්ථක කාර්යභාරයක් ඉටුකිරීමට ඔහුට එම සබඳතා මහත් සේ උපකාරී විය. බටහිර සහ යුරෝපීය රටවල පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන නායකයන් මංගලගේ හිතවතුන් වූ බවද මෙහිදී සිහිපත් කළ යුතුය. එසේම මෙරට හිටපු මුදල් අමාත්‍යවරයකු වශයෙන්ද මංගල ඉටුකළ සුවිශේෂ කාර්යභාරයද විශේෂයෙන් කැපී පෙනෙයි.
මෙවන් දැවැන්ත දේශපාලන චරිතයක් වූ මංගල සමරවීර සම්බන්ධ ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය. දේශපාලන සහ මනුෂ්‍යත්වය දෙකක් නොව එකක් බව තේරුම් ගෙන සිටි මංගල සමරවීර ශ්‍රී ලාංකික දේශපාලනයේ අපූරු චරිතයක් බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ මෙසේද සඳහන් විය.
1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන සංවිධායක ධූරයට පත්වූ මංගල සමරවීර මහතා 1989 දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. එදා ඉඳන් වසර 31ක් සක්‍රීය දේශපාලනයේ නිරත වුණා. ජීවිත ගමන අවසන් කරන තුරුම තමන්ටම ආවේණික වූ දේශපාලන ප්‍රතිපත්තියක් වගේම දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන චරිතයක් ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. 1989 දී පාර්ලිමේන්තුවේදී කළ ඔහුගේ පළමු කතාවේ පටන් 2020 පෙබරවාරි මාසයේදී කළ අවසන් කතාව දක්වා ඔහු කළ කතාවලින් එම දේශපාලන දර්ශනය මනාව පැහැදිලි වෙනවා. සංහිඳියාව පිළිබඳ විශ්වාසය තැබූ දේශපාලනයේදී නිර්මාණශීලී මිනිසෙක්. අභියෝග හමුවේද තම මතයෙන් බැහැරව නොගිය මංගල සමරවීර එම මතවාද වෙනුවෙන් නිරතුරුව පෙනී සිටියා. පසුකාලීනව මතවාදී වශයෙන් වෙනස් දේශපාලන කඳවුරු නියෝජනය කළද මියයන තුරුම මංගල මගේ පෞද්ගලික මිතුරෙක් වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මංගල සමරවීර යනු දේශපාලන ලෝකයේ අපූරු චරිතයක් බවයි. &එතුමා ස්ථිර ප්‍රතිපත්තියක සිට මොනම ආකාරයකටවත් නොසැලී කාටවත් දෙවැනි වෙන්නේ නැතුව තමන් විශ්වාස කළ ප්‍රතිපත්තිය අකුරටම පිළිපැද්ද නායකයෙක්. කිසි ලෙසකින්වත් එතුමා දැරෑ දේශපාලන සමාජ හා ආර්ථික මෙන්ම අන්තර්ජාතික විදේශ ප්‍රතිපත්තිය වෙනස් කළේ නෑ. ඔහු තනතුරු මත යැපුණු චරිතයක් නොවේ. හෘදසාක්ෂියට එකඟව එතුමා හැමවිටම කටයුතු කළා. ඔහු ස්ථිර තැනක සිට කටයුතු කළ ආකාරය බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වුණා. ඍජුභාවය යන ගුණාංගය මංගල සමරවීරගේ ඇඟේ තිබුණු දෙයක්. කිසිම දෙයකට බිය නොවූ එතුමා එඩිතර චරිතයක්. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය දිනවන්න කටයුතු කළ දේශපාලන නායකයෙක්.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තමා දැන සිටි මංගල සමරවීරට චරිත තුනක් තිබූ බවය. &1989 සිට 2005 දක්වා එක් චරිතයක් ලෙස හැඳින්විය හැකියි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ආදී තීරණ නිර්භීතව ගත්තා. නොබැඳි සමුළු සංකල්පයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්නයේදී එතුමා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කළ යුතු බවට වන ස්ථාවරයේ සිටියා. මුදල් ඇමැති ලෙස ආර්ථිකය ගොඩනැගීමට එතුමා කටයුතු කළා. මිල සූත්‍රය, ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් කැපී පෙනෙනවා. පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වූ චරිතයක්ද එතුමාට තිබුණා. රට ගැන අලුතින් සිතිය යුතු බවත් නැත්නම් අනාගතයක් නැති බවත් අප සාකච්ඡා කළා. ඔහුට කළ හැකි හොඳම උපහාරය සැවොම එක්වී ප්‍රශ්න විසඳීමයි.
දැඩි ලෙස දේශපාලන වශයෙන් භේද භින්න වී සිටින රටකට මංගල සමරවීර කොතරම් වැදගත් චරිතයක්ද යන්න ඔහු සම්බන්ධ ශෝක ප්‍රකාශ යෝජනාවට සියලු දේශපාලන පක්ෂ එකම ස්ථාවරයක සිට දැක්වූ අදහස්වලින් පෙනී යයි. ජීවත්ව සිටි මංගල සමරවීර මෙන්ම අභාවප්‍රාප්ත වූ මංගල සමරවීරද රටේ දේශපාලනයේ කොතරම් ප්‍රබල චරිතයක්ද යන්න පෙන්වා දීමට වෙනත් ප්‍රකාශයක් අවශ්‍ය නැත.